ඩබ්ලිව්.ජී.ගුණරත්න – ජනමාධ්‍යයේ හදවතක් නවතී !

කෘතහස්ත පුවත්පත් කලාවේදියකු මෙන්ම ජනමාධ්‍යවේදීන් රැසකගේ ජනමාධ්‍ය මුල් ගුරුවරයා වූ ජ්‍යෙෂ්ඨ ජනමාධ්‍යවේදී ඩබ්ලිව්.ජී.ගුණරත්න මහතා අද (17) අලුයම අභාවප්‍රාප්ත විය. මිය යන විට ඒ මහතා 83 වැනි වියේ පසුවිය.
දරුවන් සිව්දෙනෙකුගේ පියෙකු වූ ඒ මහතා, ඩල්සි ගුණරත්න මහත්මියගේ ආදරණීය ස්වාමිපුරුෂයා විය.
මෙම ලිපිය ඒ නිමිත්තෙනි. මෙම ලිපියේ ලියුම්කරුගේ ජනමාධ්‍ය ගුරුවරයා වූයේ ද ඩබ්ලිව්.ජී.ගුණරත්න මහතා ය.
ඒ 2011 වසරයි. දීපා අධිකාරි ජනමාධ්‍යවේදිනියගේ දැනුම්දීමක් අනුව ලංකාදීපයට සම්බන්ධ වීමට ලියුම්කරුට අවස්ථාව ලැබිණි. ලියුම්කරු සිටියේ ඩබ්ලිව්.ජී.ගුණරත්න මහතාගේ අධීක්ෂණය යටතේ ය.
‘පත්තරකාරයෙක් වෙන්න නම් බය නැතිවෙන්න ඔ්නෙ. අනෙක කාගෙන්වත් කන්න-බොන්න බෑ. මේකෙ(මේ ක්ෂේත්‍රයේ) ඉන්න ගොඩක් අය එක-එක දේශපාලුවන්ගෙන් කනවා. එහෙම උන් තමයි පත්තරත් කන්නේ. ඔ්නෙ නම් මං කනෙන් පෙන්නන්නම් කීපදෙනෙක්. (සිනාසෙයි) කන්න නැත්නම් පාරෙ පයිප්පෙකින් වතුර බොන්ඩ. කාගෙන්වත් වතුර උගුරක් බොන්ඩ යන්ඩ එපා. අනෙක මේකෙ (මේ ක්ෂේත්‍රයේ) ඉන්න සමහරු කුහකයො. අලුත් අයට ඉඩදෙන්නෙ නෑ. කපන්නමයි බලන්නේ. ඒවා ගණන් ගන්ඩ බෑ. එයාලා එහෙම කරනවා නම් අපි මොකක්ද කරන්ඩ ඔ්නෙ කියලා දන්නවද? අපි කරන්න ඔ්නෙ අලුතෙන් එන අයට උදව් කරන එක.’ ගුණරත්න මහතාගෙන් මට ලැබුණු පළමු උපදෙස් මාලාව එයයි. මට පමණක් නොව ඔහු යටතේ පුහුණුවට එන හැමෝටම ලැබෙන පළමු උපදෙස එයයි.
පුවත්පත් කලාවේ ජ්‍යෙෂ්ඨයන් අතර ඩබ්ලිව්.ජී., එසේත් නැත්නම් ‘ගුණේ’ නමින් ප්‍රචලිත විදාන ගමගේ ගුණරත්න මහතා උපත ලැබුවේ 1938 වසරේ දෙසැම්බර් මස 21 වැනිදා මාතර, තිහගොඩදී ය. මාතර රාහුල විද්‍යාලයේ ඩී.ජී. කුමාරගේ, ජස්ටින් විජේවර්ධන, නන්දසිරි මුතුකුමාරණ වැනි ගුරුභවතුන්ගේ ගුරුහරුකම් මධ්‍යයේ අධ්‍යාපනය ලැබූ ගුණරත්න මහතා, පාසල් කාලයේ සිටම ජනමාධ්‍ය කලාවට ඇලුම් කළේය. 1962 වර්ෂයේදී ලේක්හවුස් ආයතනයේ කඹුරුපිටිය වාර්තාකරු ලෙස ඔහු මාධ්‍ය ජීවිතය ආරම්භ කළේ ජ්‍යෙෂ්ඨ ජනමාධ්‍යවේදී එච්.කේ. මහින්දදාස මහතාගේ මගපෙන්වීම යටතේ ය.

ලේක්හවුස් ආයතනයේ ‘ජනතා’ පුවත්පතේ මාණ්ඩලිකයකු ලෙස සම්බන්ධ වීමේ අවස්ථාව 1965 වර්ෂයේදී ගුණරත්න මහතාට ලැබිණි. එතැන් සිට 2000 වසර දක්වා වසර 35කට ආසන්න කාලයක් ලේක්හවුස් ආයතනයේ පුවත්පත් කිහිපයක විවිධ තනතුරු හෙබවූ ඒ මහතා, ජනමාධ්‍ය ලෝකයේ මහා වෘක්ෂයක් සේ නැඟී සිටිමින් ආධුනිකයන් දහස් ගණනකට දැනුම, ආකල්ප සහ ප්‍රායෝගිකත්වයේ ගුරුහරුකම් ලබාදුන්නේය. දිනමිණ පුවත්පතේ වැඩකරන කාලයේදී ජනමාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසි නවකයන්ට ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ අත්පොත් තැබීමට අතහිත දුන් කිහිපදෙනා අතර ඩබ්ලිව්.ජී.ගුණරත්න මහතා ද ඉදිරියෙන්ම සිටි බව මාධ්‍ය ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨයන් අතර ප්‍රචලිත කරුණකි. ඒ මහා වෘක්ෂය සෙවණේ හැදී-වැඩුණු නවකයෝ රැසක් දැන් ජනමාධ්‍යවේදීන් මෙන්ම ජනමාධ්‍ය ක්‍රියාකාරිකයන් ලෙස ද තම දක්ෂතා පෙන්වමින් සිටිති.
‘ගෙදරින් දෙන කෑම එකත් අරගෙන ඉස්සර ගුණරත්න මහත්තයා දිනමිණට එනවා. ඇවිත් මුලින්ම අහන්නේ අද මොනවද අලුත් විස්තර කියලා? ගුණරත්න මහත්තයා හැමදාම කියන කාරණයක් තමයි, මාධ්‍යවේදීන් කාර්යාලයට ආපු ගමන් මුලින්ම කරන්න ඔ්නෙ අනෙක් පත්තර කියවන එක කියලා.’ දිනමිණ පුවත්පතේ මාධ්‍යවේදිනියක් පැවසුවාය.
දිනමිණ පුවත්පතේ මාධ්‍යවේදියකු ලෙස සම්බන්ධ වූ දා සිට ශ්‍රී ලංකාවේ සිදුවූ සුවිශේෂී සිදුවීම් රැසක් වාර්තා කිරීමේ භාග්‍යය හිමිකරගනිමින් එම ‌සිදුවීම්වල සාක්ෂිකරුවකු වීමේ අවස්ථාව ඒ මහතාට හිමි විය.
බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ ලංකාගමනය වාර්තා කිරීමට අවස්ථාව හිමිවූ මාධ්‍යවේදීන් කිහිපදෙනාගෙන් ඩබ්ලිව්.ජී.ගුණරත්න මහතා ද කෙනෙකි. ඉන්දියාවේ අගමැති රජිව් ගාන්ධිගේ ලංකාගමනයේ දී සිදුවූ ප්‍රහාරය දිනමිණ වෙනුවෙන් වාර්තා කළේ ද ඒ මහතා ය. ලංකාවේ ආන්දෝලනාත්මක නඩු රැසක් වාර්තා කිරීමේ අවස්ථාව ද ඔහුට හිමි විය. විටෙක පාර්ලිමේන්තු වාර්තාකරුවකු ද, විටෙක අධිකරණ වාර්තාකරුවකු ද වූ ඒ මහතා, විටෙක ගවේෂණාත්මක වාර්තාකරුවකු ද විය.

ආසියා පදනමින් ලැබුණු ශිෂ්‍යත්වයක් මත 1982 වර්ෂයේදී ඇමෙරිකාවේ මිචිගන් විශ්වවිද්‍යාලයට ගිය ඔහු, වසරක කාලයක් ‘මානුෂීය පුවත්පත් කලාව’ ගැන විශේෂ පාඨමාලවක් හැදෑරීය. අධ්‍යාපනය කෙරෙහි විශේෂ උනන්දුවක් දැක්වූ ඔහු, ඉගෙනීමට වයස් සීමාවක් නැතැයි නිරන්තරයෙන් ප්‍රකාශ කළේය. ක්ෂේත්‍රයට පිවිසෙන නවකයන් වැඩමුළුවලට යවමින් ඔවුන්ට ඉගෙනීමේ අවස්ථා ඇතිකිරීමට නිරන්තරයෙන් උත්සුක වූ ඒ මහතා තමන්ට ලැබෙන අවස්ථා පවා නිර්ලෝභීව නවකයන්ට ලබාදුන්නේය.
අසූව දශකයේ අගභාගය වන විට සහකාර ප්‍රවෘත්ති කර්තෘවරයෙක් සහ දිනමිණ පුවත්පතේ ප්‍රවෘත්ති කර්තෘ දක්වා උසස්වීම් ලැබූ ගුණරත්න මහතා, දීර්ඝ කාලයක් එම තනතුර දරමින් නවකයන්ට අතහිත දෙමින් දිනමිණ පුවත්පතට මෙන්ම ජනමාධ්‍ය කර්මාන්තයට ද අමිල මෙහෙයක් ඉටුකළේය.

දිනමිණ පුවත්පතේ ප්‍රවෘත්ති කර්තෘ ධුරය දරමින් සිටියදී සිළුමිණ පුවත්පතට ස්ථාන මාරුවක් ලැබ, එහි නියෝජ්‍ය කර්තෘ ලෙස වැඩ බාරගත් ගුණරත්න මහතා, පුවත්පතේ කර්තෘවරයා මෙන්ම කර්තෘ මාණ්ඩලිකයන් ද එකතු කරගනිමින් නව වැඩපිළිවෙළක් ඔස්සේ පුවත්පතට නව ජීවයක් ලබා දුන් අතර, පුවත්පත අලෙවිය අතින් එම කාලවකවානුවේ වාර්තා පිට වාර්තා තැබීය. සිළුමිණ අලෙවිය ලක්ෂ තුන ඉක්මවන තරමට ගෙන ඒමට ඒ වකවානුවේ ගුණරත්න මහතා ප්‍රමුඛ කණ්ඩායමට හැකි විය.
ඔහු දේශපාලන පළිගැනීම්වලට ලක්වූ අවස්ථා කිහිපයක් තිබුණත් ඒ කිසිවක් පෞද්ගලික මට්ටමෙන් නොගෙන තමන්ට ලැබුණු දඬුවම් මාරුවීම් පවා ආයතනයේ සහ ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් ඔහු යොදාගත්තේය. වරෙක ලේක්හවුස් ආයතනයේ අනුරාධපුර කාර්යාලයට ස්ථාන මාරුවක් ලබා ගිය ඔහු, එහි සේවය කරමින් සිටි කාලයේදී අනුරාධපුරයේ එතෙක් පැවති වාර්තා බිඳහෙලමින් ලේක්හවුස් පුවත්පත් වැඩිම අලෙවියක් ඇති පුවත්පත් බවට පත්කළේය.

‘මගෙන් සභාපති ඇහුවා අනුරාධපුර කාර්යාලයට යන්න පුළුවන් නේද කියලා. මම කිව්වා ඔව් යන්න පුළුවන් කියලා. මට එහෙට මාරුවක් තියෙනවා කිව්වා. මම කිව්වා හරි මම අද ම යන්නම් කියලා. මම එහෙ ගිහින් අනෙක් අයට අහුවෙන්නේ නැති ප්‍රවෘත්ති ලිව්වා. ගම්මානවල ඇවිදලා මිනිස්සුන්ගේ ප්‍රශ්න ලිව්වා. ඒවා පත්තරේ යන්න පටන් ගත්තම පත්තරේ අලෙවිය ඒ පැතිවල සෑහෙන්න වැඩිවුණා.’ යැයි ගුණරත්න මහතා වරෙක කීවේය.
වරෙක ඩේලි නිව්ස් පුවත්පතට ද ස්ථාන මාරු කළත්, එහි ද හැකි උපරිමයෙන් වැඩකටයුතු කිරීමට ඒ මහතා උත්සාහ කළේය.
වසර 35කට ආසන්න කාලයක් කටයුතු කරමින් ලේක්හවුස් ආයතනයෙන් විශ්‍රාම ලැබූ ගුණරත්න මහතා, හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ කාලයේ ජනාධිපති මාධ්‍ය අංශයේ කෙටි කාලයක් රාජකාරි කර පසුව ඉන් ඉවත් විය. ලේක්හවුස් ආයතනයෙන් විශ්‍රාම ලැබීමෙන් පසු පුවත්පත් කිහිපයක ප්‍රධාන තනතුරු සඳහා ඔහුට ඇරයුම් ලැබිණි. ඔහු බාරගත්තේ විජය පුවත්පත් සමාගමේ සභාපති රංජිත් විජයවර්ධන මහතාගේ ඇරයුමයි.

2001 වසරේදී පමණ ලංකාදීප පුවත්පතට සම්බන්ධ වූ ඒ මහතාට කෙටි කාලයක් ලංකාදීපයේ මාතර අධිකරණ වාර්තාකරු ලෙස කටයුතු කිරීමට සිදු විය. කෙසේ නමුත් යළිත් වරක් රංජිත් විජයවර්ධන මහතාගේ දැනුම්දීම මත ලංකාදීප පුවත්පතේ ප්‍රාදේශීය ප්‍රවෘත්ති කර්තෘ ලෙස සම්බන්ධ වීමේ අවස්ථාව ඒ මහතාට හිමි විය. එතැන් පටන් 2016 වසරේ දෙසැම්බර් මාසය වන තෙක් ලංකාදීප පුවත්පතේ ප්‍රාදේශීය ප්‍රවෘත්ති කර්තෘ ධුරය දැරුවේ ඒ මහතා ය.
ප්‍රාදේශීය වශයෙන් සේවය කරන ජනමාධ්‍යවේදීන් ද ‘ජනමාධ්‍යවේදීන්’ පිරිසක් ම වන බැවින් ඔවුන් හුදු වාර්තාකරණයෙන් බැහැරව ආචාරධාර්මික ජනමාධ්‍යකරණයක යෙදිය යුතු බවත්, ඔවුන්ට ජීවත්වීමට හැකි සාධාරණ ගෙවීමක් කළ යුතු බවත් අවධාරණය කළ ඒ මහතා, ප්‍රධාන කර්තෘවරයා සමඟ සාකච්ඡා කර ප්‍රාදේශීය මාධ්‍යවේදීන් රැසකට මාණ්ඩලිකයන් සේ සම්බන්ධ වීමට අවස්ථාව ද ලබාදුන්නේය. එසේම ඔහු ප්‍රාදේශීය ජනමාධ්‍යවේදීන්ගේ සුබසාධනය ගැන ද නිරන්තරයෙන් සොයා බැලුවේය.

වෙනත් මාධ්‍ය ආයතන වෙබ් අඩවි ආරම්භ කිරීමටත් පෙර ලංකාදීප වෙබ් අඩවිය ඇරඹුණු අතර, ආරම්භක අවධියේ සිට ම එහි ප්‍රධාන සංස්කාරකවරයා ලෙස කටයුතු කළේ ගුණරත්න මහතා ය. ප්‍රවෘත්ති වෙබ් අඩවියක් පැය 24ම යාවත්කාලීන විය යුතුය යන අදහසේ එල්බගෙන සිටි ඒ මහතා, නිරන්තරයෙන් පොත්, පත්තර කියවමින් යාවත්කාලීන විය.
කාලයක් යද්දී ප්‍රවෘත්ති වෙබ් අඩවි රැසක් බිහිවූ අතර, ඒ බොහෝ වෙබ් අඩවිවලට මූලාශ්‍ර සැපයූයේ ලංකාදීප වෙබ්අඩවියයි. සෑම තප්පරයකම පාඨකයක් 1,000 – 5,000 අතර පිරිසක් වෙබ්අඩවියේ රැඳී සිටින මට්ටමට වෙබ් අඩවිය ඉහළට ගෙනඒමට ඔහු සමත් විය. ගුණරත්න මහතා ලංකාදීප වෙබ් අඩවියේ ප්‍රධාන සංස්කාරක ධුරයෙන් ඉවත්වූයේ වෙබ් අඩවියේ සෑම තප්පරයකම 5,000ත්, 11,000ත් අතර පිරිසක් රැඳී සිටින තැනට ගෙනැවිත් ය. විටින් විට විවිධ වෙනස්කම් කරමින්, අලුත් අත්හදා බැලීම් කරමින් පාඨකයන් තව-තවත් වෙබ්අඩවිය වෙත ආකර්ෂණය කර ගැනීමට ඒ මහතා උත්සාහ කළේය. ඔහු වෙබ් අඩවියෙන් 2017 වසරේ මුල ඉවත් වූයේ සාමාන්‍ය පුවත්පත් කලාවෙන් බැහැරව ගොස් ඩිජිටල් ලෝකය ද ජයගැනීමට පුවත්පත් කලාවේදීන්ට හැකියාව ඇති බව පෙන්වමිනි.
ෆේස්බුක්, ට්විටර්, වට්ස්ඇප්, වයිබර් වැනි නව මාධ්‍ය සහ සන්නිවේදන ක්‍රම ද භාවිත කළ ඔහු, නිරන්තරයෙන්ම ප්‍රකාශ කළේ දියුණු වන තාක්ෂණයට හුරුවීමට වයස ගැටළුවක් කර ගත යුතු නැති බවයි. අලුතින් ජනමාධ්‍ය ක්ෂේත්‍රයට පැමිණෙන පිරිසට තාක්ෂණය පැත්තෙන් ඉදිරියට යෑමට මෙන්ම, තමන් මෙන්ම සිංහල සහ ඉංග්‍රීසි භාෂා ද්විත්වයම හැසිරවීමට හැකියාව ලබා ගත යුතු බවට මගපෙන්වූ ඒ මහතා ජනමාධ්‍යවේදියකු ලෙස ස්වාධීනව වැඩකටයුතු කරන ආකාරය ගැන ප්‍රායෝගික පාඩම් කියා දුන් ගුරුවරයෙක් විය.
ප්‍රවෘත්ති ගැන හොඳ දැනීමක්, හොඳ ‘ඉවක්’ තිබූ ඒ මහතාට ජනමාධ්‍යවේදියකු විසින් වැරදි තොරතුරු සහිත ප්‍රවෘත්තියක් ලියනු ලැබුවහොත් එය හඳුනා ගැනීමට යන්නේ සුළු මොහොතකි. ප්‍රවෘත්තිය ලියූ මාධ්‍යවේදියාගෙන් දිගින්-දිගටම ප්‍රශ්න කරමින් ඔහු කළ වරද අවබෝධ කර දීමට උත්සාහ කරන ගුණරත්න මහතා, මදක් ‘සැර-පරුෂ’ පුද්ගලයකු ලෙස ඇතැම් මාධ්‍යවේදීන් අතර ප්‍රචලිත ය.
ජනමාධ්‍යවේදීන් අතින් යම් වරදක් සිදුවුවහොත් ඊට ‘සැර-පරුෂ’ ලෙස ප්‍රතිචාර දැක්වුවද, කිසිම ජනමාධ්‍යවේදියකු සමඟ පෞද්ගලික අමනාපකම් ඇති කර නොගැනීමට ඔහු වගබලා ගත්තේය. ඔහුගේ ‘සැර-පරුෂ’ ප්‍රතිචාර ලැබූ ඇතැම් මාධ්‍යවේදීන් ගුණරත්න මහතා කෙරෙහි යම් තරහක් උපදවා ගත් අවස්ථා ද නැතුවාම නොවේ. එවැනි අවස්ථාවලදී ගුණරත්න මහතා සෙසු ජනමාධ්‍යවේදීන් සමග ‘මම බැන්නට තරහ නැහැ ඒයි’ කියා මඳ සිහනහවක් පා ඔහුගේ අඩුපාඩුව සහ බැන්න හේතුව කියාදෙමින් සෙසු ජනමාධ්‍යවේදීන්ට ද එවැනි වරදක් සිදුනොවීමට වගබලාගන්නා ලෙස උපදෙස් දෙයි.
රාජකාරි කාලයේ අනවශ්‍ය පීඩනයකින් තොරව වැඩකටයුතු කරගෙන යෑමට ජනමාධ්‍යවේදීන්ට නිරන්තරයෙන් අතහිත දුන් ඒ මහතා, විහිළුවෙන් කාලය ගතකරන ප්‍රියමනාප පුද්ගලයෙක් විය. ගවේෂණාත්මක මාධ්‍යකරණය, පාරිසරික ජනමාධ්‍යකරණය, විශේෂාංග රචනය, ප්‍රවෘත්ති කලාව මෙන්ම ගැටුම් වාර්තාකරණය ගැනද ප්‍රවීණයකු වූ ඒ මහතා, විටෙන නවක ජනමාධ්‍යවේදීන්ට ඇවිදින පුස්තකාලයක් බඳු විය. ඔහුගේ පෞද්ගලික මුදලින් නවකයන්ට පොත්පත් රැගෙන දෙමින් දිරි ගැන්වූ අවස්ථා ද බහුල ය.
කාර්යාලයේ රැඳී සිටින අවස්ථාවලදී වේලාවට ආහාර ගැනීම ඔහු යටතේ සිටි පිරිසට අනිවාර්ය නියෝගයකි. ‘එකත් පහුවුණා. ඇයි තවම කන්නේ නැත්තේ? ගෑස් හදාගන්නද හදන්නේ?’ දහවල් එක පසුවෙද්දීම ඔහු එසේ විමසන අතර, කාර්යමණ්ඩලයේ කිසිවකු එදින නිවසින් කෑම ගෙනැවිත් නැත්නම් බොහෝ විට තමන්ගේ කෑම පාර්සලය ඔහුට හෝ ඇයට දී ගුණරත්න මහතා ආපන ශාලාවෙන් කෑම ගෙන්වා ගත් අවස්ථා එමට ඇත.
කාර්යමණ්ඩලයේ සියලුමදෙනා ගැන හොඳ අවබෝධයකින් සිටින ඔහු තමන් යටතේ සිටින කෙනකුගෙන් අඩුපාඩුවක් සිදුවුවහොත් එහි වගකීම බාරගන්නා අතර, එම කෙනාට කිසිම ගැටළුවකට මුහුණ දීමට ඉඩදෙන්නේ නැත. ප්‍රවෘත්තියක් ලියද්දී සෑම පාර්ශ්වයකින්ම විමසීමටත්, සාමාන්‍ය විශේෂාංගවලින් එහා ගොස් යම් කරුණක් ගැන සොයා බලා වාර්තා කිරීමටත් ලියුම්කරුට මෙන්ම බොහෝ තරුණ ජනමාධ්‍යවේදීන්ට ඉගැන්වූයේ ඔහු ය.
කර්තෘ සංසදය සහ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය එක්ව සංවිධානය කරන ජනමාධ්‍ය විශිෂ්ඨතා සම්මාන උළෙලේ දී ජනමාධ්‍ය වෙනුවෙන් කැපවූ විශිෂ්ඨ ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් පිදෙන රන් සම්මානය 2016 වසරේදී ඩබ්ලිව්.ජී.ගුණරත්න මහතාට හිමි විය. 2017 වසරේදී ශ්‍රී ලංකා පත්‍ර කලා සංගමයේ 62 වැනි සංවත්සරයේදී ද ඔහු විශේෂ උපහාරයකින් පිදුම් ලැබීය.
ඒ මහතා ග්‍රන්ථ කිහිපයක කතුවරයෙකි.
කොවිඩ් 19 ආසාදනය වීම නිසා දින 18ක් පමණ කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (17) අලුයම 3ට පමණ ඩබ්ලිව්.ජී.ගුණරත්න මහතා අවසන් හුස්ම හෙළුවේ වසර 52ක තම මාධ්‍ය ජීවිතය තුළ නවකයන් විශාල ගණනක් ජනමාධ්‍ය ක්ෂේත්‍රයට එක් කළ, ජනමාධ්‍යවේදීන් රැසකට අතහිත දුන් ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ යුග පුරුෂයකු ලෙස නොමියෙන මතකයන් රැසක් ඉතිරි කරමිනි.
(ඡායාරූප – ඩබ්ලිව්.ජී.ගුණරත්න මහතාගේ ෆේස්බුක් පිටුවෙනි.)

තරිඳු ජයවර්ධන

මීට වසර දෙකකට පමණ පෙර නාලක ගුණවර්ධන මහතා ගුණරත්න මහතා සමඟ සම්මුඛ සාකච්ඡාවක් සිදු කළ අතර එය මාධ්‍ය ආවර්ජනා (මීඩියා මෙමරීස්) යූටියුබ් නාලිකාවේ කොටස් දෙකක් වශයෙන් පළ කර තිබේ. එම සම්මූඛ සාකච්ඡා දෙක පහත දැක්වේ. (වීඩියෝ භාවිත කිරීමට අවසර දීම සම්බන්ධයෙන් නාලක ගුණවර්ධන මහතාට ස්තුතිවන්ත වෙමු.)

MediaLK විසින්  පලකරනු ලබන කතාවක් සම්බන්ධයෙන් ප්‍රතිචාරයක් ඇත්නම් හෝ වෙනත් තොරතුරක් ලබා දීමට ඇත්නම් පහත ඊමේල් ලිපිනවලට ඊමේල්මඟින් යොමු කළ හැකිය.
in.medialk@gmail.com
parapura.medialk@gmail.com
medialknews@gmail.com
Previous articleසිරකරුවන්ගේ ආරක්ෂාව රජයේ වගකීමක් – ලොහාන්ගේ සිද්ධිය පිළිබඳ නීතිඥ සංගමය අපක්ෂපාතී විමර්ශනයක් ඉල්ලයි !
Next articleතොරතුරු අයිතිවාසිකම් කොමිෂන් සභාවේ දෙවන ධූරකාලය කෙසේද?

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here