තොරතුරු අයිතිවාසිකම් කොමිෂන් සභාවේ දෙවන ධූරකාලය කෙසේද?

(නීතිඥ ජගත් ලියන ආරච්චි)
තොරතුරු කොමිෂන් සභාවේ පළමු ධූර කාලය
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් කොමිෂන් සභාවේ සභාපති ඇතුළු සාමාජිකයන් තිදෙනකුගේ පස් අවුරුදු ධූරකාලය මෙම මස 30 වන දිනෙන් අවසන් වේ. පනතේ උපලේඛනය අනුව කොමිෂන් සභා රැස්වීම්වල ඝන පූර්ණය තිදෙනෙකු වේ. ඒ අනුව මෙම මස 30 වන දිනයෙන් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් කොමිෂන් සභාවේ පළමු නිලවාරය නිමාවට පත්වේ. කොමිසම සිය පළමු නිල කාලය තුළදී තොරතුරු රීති කඩිනමින් සකස්කර ප‍්‍රකාශයට පත් කළ අතර, තොරතුරු අභියාචනා විභාගයේදී ඉතාමත් ස්වාධීන ලෙස මෙන්ම නිර්භයව සිය තීරණ ලබාදී ඇති බවද පැහැදිලිය. ඇතැම් නිර්දේශ පුරවැසියන් සතු තොරතුරු දැනගැනීමේ අයිතියේ සීමාවන් පුළුල් කර ඇති බවද පැවසිය යුතුය,
තොරතුරු අයිතිවාසිකම් කොමිෂන් සභාවේ භූමිකාව
2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත යටතේ තොරතුරු දැනගැනීමේ අයිතිය පිලිබදව තීරණාත්මක කාර්යභාරයක් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් කොමිෂන් සභාවට පැවරී ඇත. පොදු අධිකාරීන් විසින් තොරතුරු ඉල්ලීම් ප‍්‍රතික්‍ෂේප කරන විට එකී තීරණයට එරෙහිව පුරවැසියන්ට අභියාචනා කළ හැක්කේ තොරතුරු අයිතිවාසිකම් කොමිෂන් සභාව වෙතය. එම අභියාචනා විභාග කිරීම තොරතුරු කොමිෂන් සභාවේ ප‍්‍රධානතම කාර්යය භාරය වේ. ඒ හැරුණ විට තොරතුරු අයිතිවාසිකම් පිලිබදව රීති නිකුත් කිරීම, මාර්ගෝපදේශ නිකුත් කිරීම, තොරතුරු පනතේ සදහන් වැරදි පිලිබදව නඩු පැවරීම වැනි පුරවැසියන්ගේ තොරතුරු දැනගැනීමේ අයිතිය හා සැබැදි බලතල රැසක් මෙම කොමිෂන් සභාව සතුය. එම නිසාම කොමිෂන් සභාව වඩා ස්වාධින විය යුතුය.
ස්වාධින බව ආරක්‍ෂා කිරිම සදහා කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන් පස්දෙනා පත් කිරීම වඩාත් සුවිශේෂී ආකාරයකට සිදුකිරීමට තොරතුරු අයිතිවාසිකම් පනත මගින් ප‍්‍රතිපාදන සලසා තිබිණි.ඒ අනුව පනතේ 12 වන වගන්තිය දක්වන ආකාරයට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව විසින් කොමිෂන් සභාවේ පුරප්පාඩු ඇතිවූ දින සිට මාසයක් ඇතුළත නීතිඥ සංගමය සහ අනෙකුත් සිවිල් සංවිධාන මගින් සුදසු නාමයෝජනා කැදවා එකී නාමයෝජනා අතරින් පස් දෙනෙකු ජනාධිපති වෙත නිර්දේශ කළ යුතුය. ජනාධිපති විසින් එම පස්දෙනා කොමිෂන් සභාවේ සාමාජිකයින් ලෙස පත් කළ යුතු අතර ඒ අතරින් එක් අයකු සභාපති ලෙසද පත් කළ යුතුය. 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ස්ථාපනය කරන ලද ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව අගමැති කථානායක විපක්‍ෂ නායක ඇතුලූ පාර්ලිමේන්තු සාමාජිකයන් 7 දෙනකුගෙන් සහ පාර්ලිමේන්තු සාමාජිකයන් නොවන විද්වත් පුරවැසියන් තිදෙනකුගෙන් සමන්විත විය. එබැවින් එය වඩාත් ස්වාධීන ආයතනයක් ලෙස පිලිගැනිණ.
විසිවන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට එක් කරන ලද 20 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව අහෝසි කර ඒ වෙනුවට පාර්ලිමේන්තු සභාව ස්ථාපනය කරන ලදී. මෙම සභාව සමන්විත වන්නේ අගමැති කථානායක විපක්‍ෂ නායක සහ ආණ්ඩුපක්‍ෂයේ සහ විපක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් දෙදෙනකුගෙන්ය. එහි ස්වාධීන බව මෙන්ම බලධාරී බවද, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවට සාපේක්‍ෂව ඉතාමත් හීනය.
කෙසේ නමුත් 20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 59 වන වගන්තියේ මෙවැනි සදහනක් ඇත. “ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශය හෝ අනුමතය ලබා ගැනීම සඳහා යම් ලිඛිත නීතියකින් නියම කර ඇති අවස්ථාවක දී, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවට කරනු ලබන ඒ් සඳහන, පාර්ලිමේන්තු සභාවට කරනු ලබන සඳහනක් ලෙස කියවා තේරුම් ගනු ලැබිය යුතු යයි සැක දුරු කිරීම සඳහා මෙයින් ප‍්‍රකාශ කරනු ලැබේ”.
පාර්ලිමේන්තු සභාවේ වගකීම
ඒ අනුව විසිවන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 59 වගන්තිය සහ තොරතුරු අයිතිවාසිකම් පනතේ 12 වන වගන්තිය කියවීමේදී පැහැදිලි වන්නේ පාර්ලිමේන්තු සභාවට තොරතුරු කොමිෂන් සභාවේ සාමාජිකයන් පත් කිරීම සම්බන්ධයෙන් භූමිකාවක් පවතින බවයි.
ඒ අනුව කොමිෂන් සභාවේ පුරප්පාඩු ඇතිවන සැප්තැම්බර් මස 30 වන දිනයෙන් පසුව පාර්ලිමේන්තු සභාව විසින් තොරතුරු කොමිෂන් සභාවේ සාමාජිකයන් සදහා පනතේ 12 වන වගන්තිය ප‍්‍රකාරව නාමයෝජනා කැදවිය යුතුය. එම නාමයෝජනා අතරින් කොමිෂන් සභාවේ සාමාජිකයින් වීමට එකී වගන්තිය ප‍්‍රකාරව සුදුසුකම් සපුරාලන පුද්ගලයන් අතරින් පස්දෙනකු කොමසාරිස්වරුන් ලෙස පත් කිරිම සදහා ජනාධිපති වෙත නිර්දේශ කළ යුතුය.
සිවිල් සංවිධාන වගකීම
මේ අනුව සැප්තැම්බර් මස 30 වන දිනයෙන් පසුව තොරතුරු අයිතිවාසිකම් කොමිෂන් සභාවට සුදුසු පුද්ගලයන්ගේ නාමයෝජනා කැදවීමේ වගකීමක් පාර්ලිමේන්තු සභාවට ඇත. (වත්මන් කොමිෂන් සභාවට සාමාජිකයන් පත් කිරීම සදහා එවකට පැවති ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව විසින් 2016 අගෝස්තු මස 04 වන දින දාතමින් යුක්තව පුවත්පත් දැන්වීම් පලකරන ලදී). ඒ අනුව කොමිෂන් සභාවට වඩාත් සුදුසු පුරවැසියන් (නීතිය, පාලනය, රාජ්‍ය පරිපාලනය, සමාජ සේවා, පුවපත්පත් කලාවේදී, විද්‍යා හා තාක්ෂණ හෝ කළමනාකරණ යන ක්ෂේත‍්‍රවල සාධනය කළ දැනීමක්, අත්දැකීම් හා ප‍්‍රවීනත්වය සහිත පොදු සමාජ ජීවිතයේදී සුවිශේෂී තැනැත්තන්) යෝජනා කිරීමේ වගකීමක් ශ‍්‍රී ලංකා නීතිඥ සංගමයට; ප‍්‍රකාශකවරුන්ගේ, කර්තෘවරුන්ගේ සහ මාධ්‍යවේදීන්ගේ සංවිධාන; සහ වෙනත් සිවිල් සමාජ සංවිධානවලට පැවරී ඇත. ශ‍්‍රි ලංකා නීතිඥ සංගමය සහ ඇතැම් සිවිල් සංවිධාන මේ වන විටත් සිය නාමයෝනා ඉදිරිපත් කර ඇති බව සමාජ මාධ්‍යවල පලවිය.
කෙසේ නමුත් පුළුල් ප‍්‍රචාරයක් සහිතව එම නාමයෝජනා කැදවීම සහ වාඩාත් සුදුසු පුද්ගලයන් තොරතුරු අයිතිවාසිකම් කොමිෂන් සභාවේ සාමාජිකයන් ලෙස නිර්දේශ කිරීම මගින් තොරතුරු අයිතියේ අනාගතය තීරණය වනු ඇත.
Previous articleඩබ්ලිව්.ජී.ගුණරත්න – ජනමාධ්‍යයේ හදවතක් නවතී !
Next articleඅලින් මුදාහැරීමට මහේස්ත්‍රාත් දුන් නියෝගය තාවකාලිකව අත්හිටුවයි

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here