සිරකරුවන්ගේ ආරක්ෂාව රජයේ වගකීමක් – ලොහාන්ගේ සිද්ධිය පිළිබඳ නීතිඥ සංගමය අපක්ෂපාතී විමර්ශනයක් ඉල්ලයි !

තමන්ගේ අත්අඩංගුවේ සිටින සිරකරුවන් ආරක්ෂා කිරීම රජයේ වගකීමක් බවත්, ලොහාන් රත්වත්ත සම්බන්ධයෙන් පූර්ණ හා අපක්ෂපාතී විමර්ශනයක් කඩිනමින් කළ යුතු බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය අවධාරණය කර සිටී.

ලොහාන් රත්වත්ත මහතා චෝදනා ලැබ සිටින අපරාධමය චර්යාව පිළිබඳව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ලේකම් රජීව් අමරසූරියගේ අත්සනින් අද (16) නිකුත් කළ නිවේදනයක එසේ සඳහන් වේ. එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ඇමැති ධුරයකින් ඉවත් වීම මගින් ලොහාන් රත්වත්ත තම චර්යාව සම්බ්නධයෙන් වගකීම බාරගෙන ඇති බවත්, ඔහුට රජයේ වෙනත් කිසිදු තනතුරක් දැරීමේ කිසිදු සදාචාරාත්මක අයිතියක් නැති බවත් ය. ඔහුට චෝදනා එල්ල වී ඇති බරපතළ සාපරාධී ක්‍රියා සම්බන්ධයෙන් නීතිපතිවරයා හා නීතිය ක්‍රියාත්මක කිරීමේ බලධාරීන් කඩිනමින් ක්‍රියාත්මක විය යුතු බව ද එම සංගමය අදාළ නිවේදනයේ සඳහන් කර ඇත.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය මගින් නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහත පළ වේ.

‘බන්ධනාගාර කළමනාකරණ හා සිරකරු පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය හා මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය තනතුරු දරන ලොහාන් රත්වත්ත මහතාට චෝදනා එල්ල වන අපරාධකාරී චර්යාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය සිය දැඩි අවධානය යොමුකරන අතර, ඔහුට තවදුරටත් එම තනතුරු දැරීමට තිබෙන යෝග්‍යතාව ශ්‍රී ලංකා නීතිඥ සංගමය දැඩි ලෙස ප්‍රශ්න කරයි. ලොහාන් රත්වත්ත මහතා බන්ධනාගාර කළමනාකරණ හා සිරකරු පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය තනතුරින් ඉල්ලා අස්වී ඇති බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය දැනුවත් වී ඇති නමුත්, ඔහු මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී නොමැත.

ලොහාන් රත්වත්ත මහතා තවත් පුද්ගලයන් සමග වැලිකඩ බන්ධනාගාරයට බලහත්කාරයෙන් ඇතුළු වූ බවටත්, අනුරාධපුර බන්ධනාගාරය වෙත හෙලිකොප්ටරයකින් ගොස් එයට බලහත්කාරයෙන් ඇතුළු වූ බවටත්, සිරකරුවන්ට තර්ජනය කළ බවටත් එල්ල වන චෝදනා අතිශය සාපරාධී වන අතර, එම අතිශය සාපරාධී ක්‍රියා නීතියේ ආධිපත්‍යයට බරපතළ තර්ජනයක් වනු ඇත.

ලොහාන් රත්වත්ත මහතාට එරෙහිව තිබෙන චෝදනා ඉතා බරපතළ වන අතර, එබැවින් සිරකරුවන් සම්බන්ධයෙන් වගකිවයුතු අමාත්‍යංශයක් බාරව සිටීමටවත්, වෙනත් ඇමැති තනතුරක හෝ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක හෝ වගකීමක් දැරීමටවත් ඔහු විශ්වසනීය පුද්ගලයෙකු වන්නේ නැත.

එවැනි සාපරාධී ක්‍රියා සම්බන්ධයෙන් පූර්ණ හා අපක්ෂපාතී විමර්ශනයක් සිදු කළ යුතුය. චෝදනා ඔප්පු වුවහොත් දණ්ඩනයට ලක්කළ යුතුය. මෙවැනි අපරාධ චෝදනා සම්බන්ධයෙන් ස්වාධීන හා අපක්ෂපාතී විමර්ශන කඩිනමින් සිදුකිරීම ඉතා වැදගත් ය. තමන්ගේ අත්අඩංගුවේ සිටින සිරකරුවන් ආරක්ෂා කිරීම රජයේ වගකීමක් බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් නැවත නැවතත් අවධාරණය කර තිබේ.

ඉල්ලා අස්වීම මගින් රත්වත්ත මහතා තම චර්යාව සම්බන්ධ වගකීම බාරගෙන තිබේ. එමගින් කිසිදු රජයේ තනතුරක් දැරීම සඳහා ඔහු සතු සදාචාරාත්මක අයිතිය අහිමි වී ඇත.

ලොහාන් රත්වත්ත මහතා විසින් සිදු කළ බවට චෝදනා එල්ල වල බරපතළ සාපරාධී ක්‍රියා සම්බන්ධයෙන් ක්‍රියා කරන ලෙස නීතිපතිවරයා හා නීතිය ක්‍රියාත්මක කිරීමේ බලධාරීන් වෙතින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉල්ලා සිටී.’

ලොහාන් එක ඇමැතිකමකින් අස්වෙයි – අත්අඩංගුවට නොගන්නේ විශේෂ වරප්‍රසාදයක් නිසා ද?

බන්ධනාගාර සිද්ධිය ගැන මානව හිමිකම් කොමිසමෙන් පරීක්ෂණයක්

 

MediaLK විසින්  පලකරනු ලබන කතාවක් සම්බන්ධයෙන් ප්‍රතිචාරයක් ඇත්නම් හෝ වෙනත් තොරතුරක් ලබා දීමට ඇත්නම් පහත ඊමේල් ලිපිනවලට ඊමේල්මඟින් යොමු කළ හැකිය.
in.medialk@gmail.com
parapura.medialk@gmail.com
medialknews@gmail.com

Previous articleරාජ්‍ය පාලනය දුර්වල නිසා හැමදේටම හදිසි නීතිය යොදාගන්නවා ! – ආචාර්ය දීපිකා උඩගම
Next articleඩබ්ලිව්.ජී.ගුණරත්න – ජනමාධ්‍යයේ හදවතක් නවතී !

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here