රාජ්‍ය පාලනය දුර්වල නිසා හැමදේටම හදිසි නීතිය යොදාගන්නවා ! – ආචාර්ය දීපිකා උඩගම

(හදිසි නීතිය සහ එහි බලපෑම’ යන මාතෘකාව යටතේ ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය මගින් සංවිධානය කළ සංවාදයේදී ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු සභාපති සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ ප්‍රධානී ආචාර්ය දීපිකා උඩගම මහත්මිය දැක්වූ මූලික අදහස් දැක්වීම පහත පළවේ.)

ආරම්භක අරමුණ කුමක්ද?

අද දවසේ සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳ නිවැරදි අදහසක් ලබාගන්න මහජන ආරක්ෂක පනත ක්‍රියාත්මක වූ ඉතිහාසය පිළිබඳ අවධානය යොමුකිරීම අත්‍යවශ්‍යයි. මහජන ආරක්ෂක පනත පනවන ලද්දේ 1947දි. බොහෝ අය හිතන්නෙ මේක බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයේදී ඔවුන්ගේ කොලනියකට හඳුන්වා දුන් නීතියක් විදිහට. නමුත් ඒ ගැන ගැඹුරින් අධ්‍යයනය කරලා බලන විට පෙනීයන කාරණය තමයි, මේක ශ්‍රී ලාංකික දේශපාලනඥයන් විසින් ඔවුන්ගේ දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් සම්මත කරගන්නා ලද ආඥා පනතක් බව. වාමාංශික දේශපාලනය පාලනය කිරීම තමයි එහි අරමුණ වුණේ. විශේෂයෙන්ම ලංකා සම සමාජ පක්ෂය ඒ වකවානුවේදී සක්‍රීයව ක්‍රියාත්මක වුණා.
මෙතැන තියෙන උත්ප්‍රාසය තමයි, මේක බහුල වශයෙන් භාවිත කරන්න පෙළඹුණේ 1972න් පසුව වීම. ඒ කියන්නෙ අපි ජනරජයක් බවට පත්වීමෙන් පසු. කොටින්ම කිව්වොත් ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කරන කොටත් හදිසි නීති තත්ත්වයක් පනවලා තිබුණෙ. 1971 කැරැල්ල වගේම ඊට කලින් මුදල් කරුණු හේතුවෙනුත් හදිසි නීති තත්ත්වයක් ප්‍රකාශයට පත්කරලයි තිබුණෙ.

’78 ආරක්ෂණ සීමා

අපි කවුරුත් පිළිගන්නවා 1971 කැරැල්ල සමයේදී මහජන ආරක්ෂාවට යම් බලපෑමක් තිබුණා කියලා. නමුත් ඊටපස්සෙත් ඒක ක්‍රියාත්මක වුණා දිගටම. ඊට පසුව ජේ.ආර්.ජයවර්ධන මහත්මයා ප්‍රකාශ කළ පරිදි මේ මහජන ආරක්ෂක පනත අවභාවිතය වැළැක්වීම අත්‍යවශ්‍ය කරුණක් වුණා. අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඒ සඳහා නව ප්‍රතිපාදන පනවන බව කියවුණා. යම් යම් සීමාවන් පැනවූවා ඒ වෙලාවෙ. නමුත් ඒ රජය විසින්ම හදිසි නීතිය පෙර පරිදිම අවභාවිතාවේ යෙදවීම ආරම්භ කළා. සමහර විට පෙරටත් වඩා වැඩියෙන්. ඒ වගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කරන විට පනවපු යම් යම් ආරක්ෂණ සීමාවන් සංශෝධන මගින් ඔවුන් ම ඉවත් කළා.
එතකොට ජනරජයේ ඉතිහාසය දිහා බලන කොට 1971 සිට 2011 දක්වා ඉතාම කෙටි කාලයක් තමයි සාමාන්‍ය නීතිය යටතේ රට පාලනය වුණේ. අනෙක් හැමවෙලාවෙම හදිසි නීතිය ක්‍රියාත්මක වුණා. මේ නිසා අපි බලන්න ඕනේ, මේ විදිහට මහජන ආරක්ෂක පනත ක්‍රියාත්මක වීමේ බලපෑම කුමක්ද කියලා. මූලිකව මෙතැනදි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක තිබිය යුතු සංවරණ හා තුලනය නැතිවෙනවා. ප්‍රජාතන්ත්‍රවාදයේ තිබිය යුතු මූලික ලක්ෂණයක් තමයි, ආණ්ඩුවේ ප්‍රධාන ආයතන තුන, ඒ කියන්නෙ විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය අතර හොඳ බල තුලනයක් පැවතීම. ඒ වගේම බලවිභේදනයක් තියෙන්න ඕනෙ.

විශාල නීත්‍යනුකූල බලයක්

හදිසි නීති තත්ත්වයක් ප්‍රකාශයට පත්කළාම කොතරම් නීත්‍යනුකූලව වුණත්, විධායකයට විශාල බලයක් හිමිවෙනවා. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ අපි දන්නවා, ඉතාම ප්‍රබල විධායක ජනාධිපති ධුරයක් නිර්මාණය වුණා. කාලයත් එක්ක ඒ බලය යම් තරමකට අඩු කරගන්න හැකි වුණා. දැන් 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පස්සෙ ඒ තත්ත්වයම යළිත් අපිට පේන්න තියෙනවා.
මහජන ආරක්ෂක පනත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් පිළිගන්නවා. න්‍යායාත්මක තලයේදී යම්කිසි විදිහක මේවා අතර නියාමනයක් තිබුණත්, ප්‍රායෝගික තලයේදී විධායකයට මේ හරහා ලැබෙන බලය අතිශය භයානකයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙත්, මහජන ආරක්ෂක පනතෙත් කියන්නෙ ජනාධිපතිවරයාට හැඟෙනවා නම් මහජන ආරක්ෂාව පිළිබඳ යම් තර්ජනයක් තියෙනවා හෝ තර්ජනයක් ඇතිවීමේ අනතුරක් තියෙනවා හෝ මහජන සාමය ආරක්ෂා කිරීමට හෝ අත්‍යවශ්‍ය සේවා ක්‍රියාත්මක කරන්න හෝ මේ විදිහට හදිසි නීති තත්ත්වයක් ක්‍රියාත්මක කරන්න පුළුවන් කියලා.

ලංකාවේ පමණක් ද?

මේක ලංකාවට විතරක් සීමා වුණු තත්ත්වයක් නෙමෙයි, ලෝකයේ ඔ්නෑම ප්‍රජාතන්ත්‍රවාදී රටක රටේ ජනජීවිතයට හානියක් වන අවස්ථාවක මේ විදිහට හදිසි තත්ත්ව ප්‍රකාශයට පත්කරන්න පුළුවන්. ස්වභාවික විපත් වෙන්න පුළුවන්, කැරලි වෙන්න පුළුවන්, මනුෂ්‍යයා විසින් නිර්මාණය කරනු ලබන ඕනෑම හදිසි තත්ත්වයක් වෙන්න පුළුවන්.
කොහොම වුණත් මෙතැනදි මූලික වෙන්නෙ මහජන ආරක්ෂාව. ජාතික ආරක්ෂාව නෙමෙයි. ලංකාවේ නීතියේ තියෙන විශේෂ තත්ත්වය තමයි, මේ විදිහට ජනාධිපතිවරයාට හදිසි නීති බලතල ලබාදීම අධිකරණයක් ඉදිරියේ කිසිම ආකාරයකින් ප්‍රශ්න කරන්න නොහැකි වීම. වෙනත් රටවල ඔය තත්ත්වය නෑ. ඒ රටවල හදිසි නීති තත්ත්වය ප්‍රකාශයට පත්කිරීම පවා අධිකරණයක් ඉදිරියේ ප්‍රශ්න කරන්න පුළුවන්කම තියෙනවා, ජනාධිපතිවරයාට හදිසි නීති තත්ත්වයක් ප්‍රකාශයට පත්කරන්න පිළිගතහැකි හේතු තිබුණාද කියන කාරණය සම්බන්ධයෙන්.

එකම ආරක්ෂාව තියෙන තැන

ලංකාවෙ නඩු තීන්දු නීතිය දිහා බලපුවම එහෙම අවස්ථාවක් නෑ. අපේ 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පෙන්නුම් කරන දෙයක් තමයි, හදිසි නීති තත්ත්වයක් ප්‍රකාශයට පත්කරලා ජනාධිපතිවරයාට හදිසි නීතිය යටතේ රෙගුලාසි පැනවිය හැකියි කියන එක. ඒ රෙගුලාසි විධායකය විසින් පනවන රෙගුලාසි. ඒවා පාර්ලිමේන්තුව හරහා යන්න අවශ්‍ය නෑ. ඒ රෙගුලාසි මගින් සාමාන්‍ය නීතිය අඩපණ කරනවා කියලා පැහැදිලිව දැක්වෙනවා. මෙතැනදි ශක්තිමත් වෙන්නෙ හදිසි නීති රෙගුලාසි.
නමුත් හදිසි නීති රෙගුලාසි ප්‍රකාශයට පත්කළාට කිසිම ආකාරයකින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අඩපණවීමක් සිදුවෙන්නෙ නෑ කියන එක පැහැදිලිව දක්වලා තියෙනවා. අවුරුදු හතළිහකට ආසන්න කාලයක් හදිසි නීතිය යටතේ පාලනය වෙනකොට, අපිට තිබුණු එකම ආරක්ෂාව තමයි ඔන්න ඔය තත්ත්වය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මෙමගින් අඩපණ නොවීම.
මේ යටතේ පනවන ලද යම් රෙගුලාසියක් මූලික අයිතිවාසිකම්වලට සෘජුව බලපාන කොට, ඒක කිසිම ආකාරයකින් සාධාරණීකරණය කළ නොහැකි නම්, ඒ වගේ අවස්ථාවලදී අධිකරණය ඉදිරියට යන්න පුළුවන්. එහෙම අවස්ථාවලදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉතාමත් ශක්තිමත් නඩු තීන්දු ප්‍රකාශයට පත්කරලා තියෙනවා. බෲටස් පෙරේරා නඩු තීන්දුවෙදි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මේ විදිහට විධායකයෙන් පනවපු රෙගුලාසියක් අහෝසි කළා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියි කියලා. ඒක තමයි අපිට තියෙන එකම ආරක්ෂාව. ඒක නිසා මේ රෙගුලාසි අත්තනෝමතික ලෙස පනවන්නේ නම්, අපිට පුළුවන් මූලික අයිතිවාසිකම් නඩුකරයක් මගින් එය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝගයට ලක්කරන්න.

හදිසි නීති සංස්කෘතිය

පසුගිය අගෝස්තු 30 වැනිදා පනවපු හදිසි නීති තත්ත්වය පිළිබඳව මවිතයට පත්වෙන්න හේතුව තමයි, ආහාර ද්‍රව්‍ය කළමනාකරණය කිරීමට අදාළව සාමාන්‍ය නීති අවශ්‍ය තරම් තිබියදී ඒ සඳහා හදිසි නීතිය පැනවීම. පාරිභෝගික අධිකාරි පනත යටතේ ඒ බලතල පවරලා තියෙනවා. ලංකාවෙ වෙලා තියෙන්නෙ පහුගිය අවුරුදු 40ක වගේ කාලය තුළ හදිසි නීති තත්ත්වය සාමාන්‍ය තත්ත්වයට පත්වුණා. හැමදෙයක් සඳහාම මේක භාවිත කරන්න පෙළඹෙනවා. මේ නිසා  ජනාධිපතිවරයාට අවශ්‍ය නීති පනවාගැනීම සඳහා පාර්ලිමේන්තුවට යන්න අවශ්‍ය නැති වෙනවා.
කෙහොම වුණත් මේ හදිසි නීතිය ප්‍රකාශයට පත්කිරීම සති දෙකක් තුළ පාර්ලිමේන්තුවේ සම්මත  කරගැනීම අත්‍යවශ්‍යයි. පාර්ලිමේන්තුවෙන් සම්මත කළේ නැත්නම් එය අහෝසි වෙනවා. දීර්ඝ කරනවා නම්, ඒත් මාසයෙන් මාසයට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට, සම්මත කරගත යුතු වෙනවා. එතකොට සංවරණ හා තුලන ක්‍රමය දිහා බැලුවොත්, එක ක්‍රමයක් තමයි මේ පනවන රෙගුලාසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම්වලට පටහැනියි කියන එක අභියෝගයට ලක්කරන එක. අනෙක් ක්‍රමය වගේම ප්‍රබලම කාරණය තමයි, පාර්ලිමේන්තුව මගින් යම්කිසි නියාමනයක් පවත්වාගෙන යෑම.

දුර්වල පාර්ලිමේන්තුවක බලය

නමුත් ප්‍රායෝගිකව අපි දන්නවා, පහුගිය අවුරුදු 40 තුළ ම අපේ පාර්ලිමේන්තුව කොයිතරම් දුර්වල ද කියලා. පාර්ලිමේන්තුව දුර්වල නිසා තමයි, මේ විදිහට මේ තරම් කාලයක් හදිසි නීති තත්ත්වය පවත්වාගෙන යන්න හැකි වුණේ. ජනාධිපතිවරයාව ප්‍රශ්න කිරීමක් බහුතරය මගින් සිදුවෙනවා අපි දැක්කෙ නෑ. සුළුතර මන්ත්‍රී සංඛ්‍යාවක් ප්‍රශ්න කළාට, ඒක ප්‍රමාණවත් නෑ සංවරණ හා තුලන ක්‍රමය ශක්තිමත්ව පවත්වාගෙන යන්න.
දැනට පනවලා තියෙන හදිසි නීති තත්ත්වය දිහා බලපුවම අපිට පේන්නෙ මහජන ආරක්ෂාව සහ අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යෑම කියන කාරණය. මෙතැනදි මහජන ආරක්ෂාවට තියෙන තර්ජනය මොකක්ද කියන කාරණය අපිට ප්‍රශ්න කරන්න පුළුවන්. මෙතැන තියෙන්නෙ සෞඛ්‍ය පිළිබඳ හදිසි තත්ත්වයක්. ඒක ව්‍යසන කළමනාකරණ පනත යටතේ හොඳින් කළමනාකරණය කරන්න පුළුවන්. නමුත් මෙතැන පුරුද්දක් විදිහට විධායකය විසින් සියලු බලය ලබාගැනීම සිදු කරනවා. අනෙකුත් නීති පිළිබඳ කිසිවක් සලකන බවක් පෙනෙන්නෙ නෑ.

ජනතාවගේ වගකීම

මේ රටේ මහජනතාව විදිහට අපි මැදිහත් විය යුත්තේ හැකිතරම් ඉක්මනින් මේ හදිසි තත්ත්වය ඉවත් කරගැනීම සඳහා බලපෑම් කිරීමට. මහජන නියෝජිතයන්ට ඒ සඳහා බලපෑම් කිරීමට. 2019 පාස්කු ප්‍රහාරයෙන් පසු හදිසි නීති තත්ත්වයක් ප්‍රකාශයට පත්කළා. ඒ වෙලාවෙ අපි, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විදිහට ඒක ප්‍රශ්න කළේ නෑ. එතැනදි මහජන ආරක්ෂාවට තර්ජනයක් තිබුණු බව අපිට පෙනීගියා. බොහොම කෙටි කාලයකින් ඒ හදිසි නීති තත්ත්වය අහෝසි කළා. ඒක නිසා ගැටළුවක් වුණේ නෑ.
මේ අවස්ථාවෙදි තියෙන ප්‍රශ්නය එවැනි මහජන ආරක්ෂාව සම්බන්ධ ප්‍රශ්නයක් නොමැතිව, පාර්ලිමේන්තුව විසින් පනවන ලද නීති ක්‍රියාත්මක කිරීම වෙනුවට හදිසි නීති තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීම. ඒක නිසා මේ වෙලාවෙ මේ තත්ත්වය හැකි ඉක්මනින් ඉවත් කරගන්න මැදිහත් විය යුතුයි. පාරිභෝගික අධිකාරි පනත යටතේ මේ රෙගුලාසිවලින් පනවපු සියලු කාර්යයන් කරගත හැකියි.
ඒ නිසා කිසිදු සාධාරණ හේතුවක් නොමැති මෙවැනි අවස්ථාවකදී හදිසි නීති තත්ත්වයක් පැනවීම අපි සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළ යුතුයි. අනෙක් කාරණය තමයි, අනවශ්‍ය අවස්ථාවලදී මෙවැනි හදිසි නීති තත්ත්වයන් පනවන්නේ රාජ්‍ය පාලනයේ තියෙන දුර්වලතා නිසා. සාමාන්‍ය නීතිය භාවිතයෙන් කළ හැකි දේ කරගන්න හදිසි නීතිය අවශ්‍ය වී තිබෙන්නේ ඒ නිසයි.
සකස් කළේ – ශාලික විමලසේන
MediaLK විසින්  පලකරනු ලබන කතාවක් සම්බන්ධයෙන් ප්‍රතිචාරයක් ඇත්නම් හෝ වෙනත් තොරතුරක් ලබා දීමට ඇත්නම් පහත ඊමේල් ලිපිනවලට ඊමේල්මඟින් යොමු කළ හැකිය.
in.medialk@gmail.com
parapura.medialk@gmail.com
medialknews@gmail.com
Previous articleවසංගතය ආණ්ඩුවට ලැබුණු බලපත්‍රයක් නොවෙයි : විරෝධතාකරුවන් අනතුරේ හෙළන්න එපා – ඒකාබද්ධ නිවේදනයකින් ආණ්ඩුවට බලපෑම් !
Next articleසිරකරුවන්ගේ ආරක්ෂාව රජයේ වගකීමක් – ලොහාන්ගේ සිද්ධිය පිළිබඳ නීතිඥ සංගමය අපක්ෂපාතී විමර්ශනයක් ඉල්ලයි !

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here