වසංගතය ගැන කතා කරන්නන් මර්දනය නවත්වන්න – ජාත්‍යන්තර නීතිවේදීන්ගේ කොමිසම ශ්‍රී ලංකා රජයට කියයි !

කොවිඩ් 19 වසංගතය පාලනය කිරීම සඳහා රජය ගන්නා ක්‍රියාමාර්ග විවේචනය කරන හෝ ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන මාධ්‍යවේදීන්, රජයේ නිලධාරීන්, වෛද්‍යවරුන් සහ සමාජ මාධ්‍ය භාවිත කරන්නන්ට හිරිහැර කිරීම සහ තර්ජනය කිරීම නතර කළ යුතු බව ජාත්‍යන්තර නීතිවේදීන්ගේ කොමිසම (International Commission of Jurists) අවධාරණය කරයි.
කොවිඩ් 19 වෛරසය හඳුනාගැනීම සඳහා වන පරීක්ෂණවල මිල ගණන් පිළිබඳව රූපවාහිනී සාකච්ඡාවකදී කළ ප්‍රකාශ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමත්, කොවිඩ් 19 ආසාදිතයන් වැඩි වීමත් සමග අවිස්සාවේල්ල රෝහලේ ඇති වී තිබූ අර්බුදය පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් පළකළ වෛද්‍ය නජිත් ඉන්දිකගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ප්‍රශ්න කිරීමත් පිළිබඳව එම කොමිසම සිය විශේෂ අවධානය යොමුකර තිබේ.
2020 අප්‍රේල් මාසයේදී සහ 2021 ජුනි මාසයේදී පොලිසිය පාර්ශ්වයෙන් සඳහන් කර තිබුණේ පරිගණක අපරාධ පනත, පොලිස් ආඥා පනත සහ දණ්ඩ නීති සංග්‍රහය යන නීතිවල සඳහන් විධිවිධානවලට අනුකූලව අසත්‍ය හෝ අපහාසාත්මක කරුණු පළකරන පුද්ගලයන් අත්අඩංගුවට ගන්නා බවයි. ප්‍රභූ පුද්ගලයන් සඳහා විශේෂ නිරෝධායන මධ්‍යස්ථානයක් ඉදිකිරීමක් සම්බන්ධයෙන් ප්‍රචාරය කළ බවට චෝදනා කරමින් විශ්වවිද්‍යාල සිසුවෙකු සතියකට වැඩි කාලයක් රඳවාගෙන සිටීම ද එම කොමිසම මගින් යළිත් මතක් කර තිබේ. මෙවැනි කරුණු පිළිබඳ බරපතළ අවධානය යොමුකිරීමේ වැදගත්කම ද එම කොමිසම නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙයි.
එම කොමිසමේ නීති සහ ප්‍රතිපත්ති අධ්‍යක්ෂ ඉයන් සෙයිඩර්මාන් සඳහන් කරන්නේ මෙමගින් වසංගතය පැතිරීම නතර නොවන බවයි. අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ තොරතුරු දැනගැනීමේ අයිතිය සීමාකිරීම සඳහා කොවිඩ් 19 පාලනය සඳහා ඉදිරිපත් වූ රෙගුලාසි භාවිත කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කරන බව ද අධ්‍යක්ෂවරයා අවධාරණය කරයි. මෙය වසංගත තත්ත්වය යටතේ ආරම්භ වූවක්ම නොව, පෙර සිට ම පැවති තත්ත්වයක් අඛණ්ඩව පවත්වාගෙන යෑමක් බව ද ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.
සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ 19 වන වගන්තිය මගින් මෙන්ම ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වැනි වගන්තිය මගින් ද අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය පිළිබඳ සඳහන් කර ඇති බවත්, මහජන සෞඛ්‍ය වෙනුවෙන් එහි යම් ආකාරයේ සීමා කිරීමක් කළ හැකි අවස්ථා පිළිබඳව සඳහන්ව ඇතත්, එම ඔ්නෑම සීමාකිරීමක් මහජන සෞඛ්‍ය ආරක්ෂා කිරීමේ අරමුණට සමානුපාතික විය යුතු බවත් එම කොමිසම පෙන්වා දෙයි.
වැරදි සහ අසත්‍ය තොරතුරු ප්‍රචාරය වීම වැළැක්විය යුතු වුවද, ඒ සඳහා පැහැදිලි සහ විනිවිදභාවයකින් යුක්ත නීති සහ ක්‍රමවේද අනුගමනය කළ යුතු බවත්, අනවශ්‍ය අත්අඩංගුවට ගැනීම් මගින් ජනතාව භීතියට පත්කිරීම නොකළ යුතු බවත් කොමිසම අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.
Previous articleහිරිකිතයක් නැති මාධ්‍ය වාර්තා මානසික රෝග වැඩිවීමට ප්‍රධාන හේතුවක් – මනෝ වෛද්‍ය විශේෂඥ, මහාචාර්ය හරිශ්චන්ද්‍ර ගාම්භීර
Next articleහදිසි නීතියෙන් ජනතාවට වාසි ද? – නීතිඥ ජගත් ලියන ආරච්චි

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here