හදිසි නීතියෙන් ජනතාවට වාසි ද? – නීතිඥ ජගත් ලියන ආරච්චි

නීතියේ නැති හදිසි නීතිය

හදිසි නීතිය යනුවෙන් වචනයක් නීතියේ සඳහන් ව නැත. එය ව්‍යවහාරයේ තිබෙන වචනයකි. තාක්ෂණික වශයෙන් මීට අදාළ ප්‍රතිපාදන ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහ මහජන ආරක්ෂක පනතේ ය. එහි සඳහන් වන්නේ රටේ ජනතාවගේ ආරක්ෂාව, සෞඛ්‍ය වැනි කරුණු සඳහා පවතින නීතිය ප්‍රමාණවත් නොවන බව ජනාධිපතිවරයාට වැටහෙන්නේ නම්, මහජන ආරක්ෂක පනතේ දෙවැනි කොටස ක්‍රියාත්මක කිරීමේ බලය ඔහු සතු ය. එය රට පුරා ක්‍රියාත්මක වන ලෙස හෝ නිශ්චිත පරිපාලන දිස්ත්‍රික්කයක් සඳහා බලපැවැත්වෙන පරිදි නියෝගයක් පැනවිය හැකිය. එම නියෝගය ගැසට් පත්‍රයක් මගින් නිකුත් කළ යුතු වේ. හදිසි අවස්ථාව යනුවෙන් හඳුන්වන්නේ එයයි.
එවැනි ගැසට් පත්‍රයක් මේ වන විට ජනාධිපතිවරයා විසින් නිකුත් කර තිබේ. හදිසි අවස්ථාවක් ගැසට් පත්‍රයක් මගින් ජනාධිපතිවරයා ප්‍රකාශයට පත්කළ පසු, එම නිවේදනය පාර්ලිමේන්තුවට දැනුම් දිය යුතුය. පාර්ලිමේන්තුව විසින් දින 10ක් ඇතුළත එය සම්මත කළ යුතුය. එසේ සම්මත කිරීමෙන් පසු එම නියෝගය නිකුත් කළ දින සිට මාසයක කාලයක් සඳහා එය වලංගු වේ. නියෝගය පාර්ලිමේන්තුවේ සම්මත නොකළහොත්, අදාළ නියෝගය පැනවූ දින සිට දින 14ක් ඇතුළත එය අවලංගු වී යයි.

ජනාධිපතිට ලැබෙන විශේෂ බලය

මෙසේ හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කිරීමෙන් පසු ජනාධිපතිවරයාට විශේෂයෙන් ලැබෙන බලතල තිබේ. මහජන ආරක්ෂක පනතේ 5 වැනි වගන්තිය යටතේ නියෝග පැනවීමේ බලය ඉන් එකකි. ක්ෂේත්‍ර ගණනාවක් යටතේ එසේ පැනවිය හැකි නියෝග, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හැර වෙනත් ඔ්නෑම නීතියක් අබිබවා ක්‍රියාත්මක වේ. මෙහි ඇති භයානක තත්ත්වය එයයි. එනම් පාර්ලිමේන්තුව විසින් පනවා ඇති නීතියක් අත්හිටුවිය හැකිය. සංශෝධනය කළ හැකිය. වෙනස් කළ හැකිය. අබිබවා ක්‍රියාත්මක විය හැකිය. නීති පැනවීමේ බලය ඇත්තේ ව්‍යවස්ථාදායකයට ය. එයින් කොටසක් මේ අනුව ජනාධිපතිවරයා යටතට ගැනේ. මේ යට‌තේ ජනාධිපතිවරයා පනවන නීති සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට කළ හැකි කිසිවක් ද නැත. එසේම එම නියෝග අධිකරණය ඉදිරියේ ප්‍රශ්න කිරීමට ද නොහැකිය. තවත් ආකාරයකට කියන්නේ නම් හදිසි අවස්ථාවක් පැනවීම මගින් ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව සතු බලයෙන් කොටසක් මෙන්ම කැබිනට් මණ්ඩලය සතු බලයෙන් කොටසක් ද ලැබේ.
හදිසි නීතිය භාවිත කරන්නේ කෙසේද යන්නෙන් එහි ඇති බරපතළ බව කෙසේද යන්න පැහැදිලි වේ. මේ වන විට ජනාධිපතිවරයා විසින් හදිසි අවස්ථා පිළිබඳ එක් නියෝගයකුත්, එම නියෝගය යටතේ විධානයකුත් නිකුත් කර තිබේ. නියෝගය වන්නේ 2021 අංක 01 දරන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පිළිබඳ හදිසි අවස්ථා නියෝගයයි. ඒ යටතේ සහල්, සීනි අනවශ්‍ය ලෙස තොග රැස්කිරීම, ලියාපදිංචි නොවන ස්ථානවල රැස්කිරීම සහ සඟවා තබා ගැනීම සම්බන්ධයෙන් කටයුතු කිරීමට බලය පවරා තිබේ. ඒ යටතේ තවත් ගැසට් පත්‍රයකින් ජනාධිපතිවරයා විසින් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයෙකු පත්කර තිබේ.
පසුගිය 06 වැනිදා පාර්ලිමේන්තුව විසින් ජනාධිපතිවරයාගේ හදිසි අවස්ථාව ප්‍රකාශයට පත්කරමින් නිකුත් කළ නිවේදනය වැඩි ඡන්දයෙන් සම්මත කරන ලදි. එය මේ මස 30 දක්වා බලාත්මක ය. ඉන්පසු ජනාධිපතිවරයාට අවශ්‍ය නම්, හදිසි අවස්ථාව දීර්ඝ කිරීමේ ගැසට් පත්‍රයක් නිකුත් කළ හැකිය. යම් අවස්ථාවක මෙසේ පනවන ලද හදිසි අවස්ථාව අහෝසි වන තෙක්, මුලදී පනවන ලද හදිසි අවස්ථා රෙගුලාසි බලාත්මක වේ. පවතින හදිසි අවස්ථා නියෝග සංශෝධනය කිරීමේත්, නව හදිසි අවස්ථා නියෝග පැනවීමේත් බලය ජනාධිපතිවරයා සතු වේ.

ත්‍රිවිධ හමුදාව කැඳවීම

මහජන ආරක්ෂක පනත යටතේ ම ත්‍රිවිධ හමුදාව කැඳවීම සහ මේ හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කිරීම යනු දෙකකි. හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කිරීම යනුවෙන් සිදුකරන්නේ මහජන ආරක්ෂක පනතේ දෙවැනි කොටසේ විධිවිධාන බලාත්මක කිරීම ය. දෙවැනි කොටස යනු 5 වැනි වගන්තියේ සිට 12 වැනි වගන්තිය දක්වා ය. නීතිය හා සාමය ආරක්ෂා කිරීම සඳහා ත්‍රිවිධ හමුදාව කැඳවනු ලබන්නේ මේ පනතේ තුන්වැනි කොටසේ ඇති විධිවිධාන මගින් ය. ඒ සඳහා හදිසි අවස්ථාවක් තිබිය යුතු නැත. යම් අවස්ථාවක නීතිය හා සාමය ආරක්ෂා කිරීම සඳහා පොලිසිය සමත් නොවන බව ජනාධිපතිවරයාට හැඟේ නම්, ත්‍රිවිධ හමුදාව ඒ වෙනුවෙන් කැඳවීමට මෙමගින් බලය පවරා ඇත. මේ පනතේ තුන්වැනි කොටස මගින් ය, ජනාධිපතිවරයාට ඇඳිරි නීතිය පැනවීමේ බලය ද පවරා ඇත්තේ.

තිබෙන නීතිවලට සිදුවන්නේ කුමක්ද?

මේ වන විට ආණ්ඩුව පාර්ශ්වයෙන් දිගින් දිගටම සඳහන් කරන්නේ හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කරන ලද්දේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගැටළුව විසඳා, පාරිභෝගිකයාට කඩිනමින් සහන සැලසීමට බව ය. එහෙත් ජනතාව අතර පතුරුවා හරින එම මතයේ බරපතළ දෝෂයක් තිබේ. සීනි සහ සහල් මිල පාලනය පිළිබඳ කරුණ ගතහොත්, 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරි පනතේ මීට අදාළ ප්‍රතිපාදන තිබේ. මේ පනතේ 18 වැනි වගන්තියේ සඳහන් වන්නේ යම් භාණ්ඩයක් හෝ සේවාවක් ජන ජීවිතයට අත්‍යවශ්‍ය වන අවස්ථාවකදී ඒවා නිශ්චිත භාණ්ඩ හෝ සේවා හෝ ලෙස, පාලන මිලක් සහිතව නම් කිරීමේ බලය විෂය භාර ඇමැතිවරයාට තිබෙන බවයි. එසේ නිශ්චිත භාණ්ඩ ලෙස නම් කර, එය ගැසට් පත්‍රයේ පළ කළ යුතුය. පනතේ 60 (4) වගන්තියට අනුව අදාළ නියම කරන ලද මිලට වඩා වැඩි මිලට විකිණීම වරදකි.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරි පනතේ 20 (5) වගන්තියේ ද මෙවැනි තවත් අවස්ථාවක් තිබේ. යම් ආකාරයකට භාණ්ඩයක හෝ සේවාවක හෝ මිල වැඩි බව තීරණය කළහොත්, ඒ සඳහා මිලක් නියම කිරීමේ බලය අධිකාරියේ සභාපතිවරයාට තිබේ. පසුගිය නොවැම්බර් මාසයේදී සීනි සම්බන්ධයෙන් පාලන මිලක් නියම කරන ලද්දේ මේ වගන්තියට අනුව ය. එනම් ඇමැතිවරයා විසින් නොව, සභාපතිවරයා විසින් ය. එහිදී දඩ මුදල් අඩු ය. මේ ගැසට් පත්‍රය පසුගිය පෙබරවාරි මාසයේදී අහෝසි කරන ලදි. එනම් සීනි මිලට අදාළ ගැටළුව රට තුළ මතු වූ අවස්ථාව වන විට රට තුළ ඊට පාලන මිලක් නියමව තිබුණේ නැත. එසේම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරි පනත යටතේ කොන්දේසි සහිත වෙළෙඳාම ද තහනම් ය. ඇතැම් අවස්ථාවලදී මාධ්‍ය වාර්තා කර තිබුණේ නිශ්චිත මිලකට වඩා භාණ්ඩ මිලදී නොගන්නේ නම්, සීනි මිලදී ගත නොහැකි බවට ඇතැම් වෙළෙඳසැල්වලින් කොන්දේසි පනවා ඇති බවයි. භාණ්ඩ විකිණීම ප්‍රතික්ෂේප කිරීම ද, භාණ්ඩ තොග අනවශ්‍ය ලෙස රැස්කිරීම ද වරදවල් බව පනතේ පැහැදිලිව දක්වා ඇත.

නීති ක්‍රියාත්මක නොවූයේ ඇයි?

2021 ජුනි 11 වැනිදා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් සුදු සීනි, දුඹුරු සීනි ගබඩා රජයේ ලියාපදිංචි කළ යුතු බවට නියෝග කරන ලදි. සහල් සම්බන්ධයෙන් ද ඊට පෙර එවැනි නියෝගයක් නිකුත් කර තිබිණි. එම නියෝග කඩකිරීම ද දඬුවම් ලැබිය යුතු වරද වේ. මේ වරදවලට අදාළ දඩ මුදල් සම්බන්ධයෙන් සංවාදයක් තිබේ. ආණ්ඩුව පාර්ශ්වයෙන් පවසන්නේ ඒවා ප්‍රමාණවත් නොවන බවයි. නමුත් දඬුවමේ ප්‍රමාණය කෙසේ වෙතත්, වරද සිදු කරනු ලබන පුද්ගලයා නීතියට හසුවීමේ ප්‍රවණතාව මත නීතිය ක්‍රියාත්මක වීම තීරණය වේ. පසුගිය කාලයේදී එවැනි වැටළීම් කොට, නඩු දමන බවක් මාධ්‍ය මගින් දැකිය හැකි නොවීය. සාමාන්‍යයෙන් එම කටයුතු සිදුවූයේ නම්, ඒවා ප්‍රචාරය කෙරේ. එනම් තිබී ඇත්තේ දඩ සම්බන්ධ ගැටළුවකට වඩා, පවතින නීති ක්‍රියාත්මක නොවීම පිළිබඳ ගැටළුවකි.
මේ වන විට ආණ්ඩුව අදාළ දඩ මුදල් සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පතක් ඉදිරිපත් කර තිබේ. 2003 වසරේදී ඉදිරිපත් වූ පනතකට අදාළ දඩ මුදල් සංශෝධනය වීම සිදුවිය යුත්තකි. එහෙත් මෙමගින් සංශෝධනය කිරීමට යෝජනා කර ඇත්තේ 20 (5) වගන්තියට අදාළ දඩ මුදල් පමණි. එනම් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපතිවරයාට බලය ඇති වැරදි සම්බන්ධයෙන් ය. අනෙකුත් අවස්ථා සහ වැරදි සම්බන්ධයෙන් දඩ මුදල් සංශෝධනය කිරීමක් පිළිබඳ කෙටුම්පතේ සඳහන් වූයේ නැත.
කෙසේ වෙතත් ගැටළුව ඇත්තේ නොවැම්බර් මාසයේ සිට පෙබරවාරි මාසය දක්වා අදාළ නීති ප්‍රතිපාදන යටතේ වැටළීම් සිදු නොවූයේ ඇයි ද යන්න ය. එසේ ම සීනි පිළිබඳ බදු සංශෝධනය වී තිබියදී සීනි තොග විශාල වශයෙන් ගෙන්වූ බව ආණ්ඩුව පාර්ශ්වයෙන් ම පවසන තත්ත්වයක් තුළ, පෙබරවාරි මාසයේ මිල පාලනය ඉවත් කිරීම ද ගැටළුවකි.
මේ කටයුතු කිරීමට හදිසි නීතිය ගෙන ආ බව පැවසුවද, පසුදින ම මිල පාලනය පිළිබඳ ගැසට් පත්‍රය නිකුත් කරන ලදි. ඊට හේතුව හදිසි නීතියෙන් මේ කටයුතු සිදු කළ නොහැකි වීම ය. තේරුම්ගත යුත්තේ මේ සත්‍යයයි.

හදිසි නීතියෙන් වැරදිකරුවන්ට තෑගි මුදල්

එහෙත් හදිසි නීතියෙන් එක් දෙයක් සිදු විය. එනම් ලියාපදිංචි නොකළ තොග තිබේ නම්, ඒවා මිලදී ගෙන ජනතාවට බෙදාහැරිය හැකි බවට හදිසි අවස්ථාවට අදාළ 2021 අංක 01 දරන හදිසි අවස්ථා (අත්‍යවශ්‍ය ආහාර සැපයීමේ නියෝග) නියෝගයේ සඳහන් වීම ය. එහි 12 වැනි වගන්තියේ සඳහන් වන්නේ ජනතාවගේ ජීවිතයට අත්‍යවශ්‍ය සැපයීම් සහ සේවා පවත්වාගෙන යෑම සඳහා වී, සහල් සහ අත්‍යවශ්‍ය ආහාර ඇතුළු පාරිභෝගික ද්‍රව්‍ය හා ඒවා ප්‍රවාහනය කරනු ලබන වාහන භාරයට ගත හැකි බවයි. එහි 12 (2) සඳහන්ව ඇත්තේ අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයාගේ තීරණය පරිදි රජයේ සහතික මිලට හෝ රේගුවේ සඳහන් මිල ගණන් පදනම් කරගෙන එම තොග රජය භාරයට ගෙන, පාරිභෝගික ජනතාවට සහන මිලට බෙදාහැරීමට කටයුතු කළ යුතු බවයි. එනම් මෙහිදී අදාළ තොග රාජසන්තක කිරීමක් සිදු නොවේ. රජයේ මුදල් ගෙවා මිලදී ගැනීමක් සිදු වේ.
ආණ්ඩුව පාර්ශ්වයෙන් මේ කරන්නේ පාරිභෝගික පනත යටතේ වරදකි. ලියාපදිංචි නොකරන ලද තොග තබාගැනීම වරදකි. ඊට අදාළව වැටළීම් කොට, නඩු දැමිය යුතුය. දඩ ගැසිය යුතුය. සිර දඬුවම් ද පනතේ සඳහන් ය. එහෙත් අදාළ පනතේ ප්‍රතිපාදන හදිසි නීතිය යටතේ අත්හිටුවා ඇති ආණ්ඩුව, අදාළ තොග මිලට ගැනීමට කටයුතු කරයි. එනම් නඩු දමා, දඬුවම් කළ යුතු පාර්ශ්වවලට රජයෙන් මුදල් ගෙවයි. මෙවැනි බරපතළ ගැටළු රැසක් හදිසි නීතිය පිළිබඳ සංවාදය තුළ අනිවාර්යෙන්ම මතුකර ගත යුතුය.
සංවාදයක් ඇසුරින් සකස් කළේ – ශාලික විමලසේන
(උපුටා ගැනීම – ලංකා පුවත්පත)
MediaLK පලකරනු ලබන කතාවක් සම්බන්ධයෙන් ප්‍රතිචාරයක් ඇත්නම් හෝ වෙනත් තොරතුරක් ලබා දීමට ඇත්නම් පහත ඊමේල් ලිපිනවලට ඊමේල්මඟින් යොමු කළ හැකිය.
in.medialk@gmail.com
parapura.medialk@gmail.com
medialknews@gmail.com
Previous articleවසංගතය ගැන කතා කරන්නන් මර්දනය නවත්වන්න – ජාත්‍යන්තර නීතිවේදීන්ගේ කොමිසම ශ්‍රී ලංකා රජයට කියයි !
Next articleජනාධිපති මාධ්‍ය ප්‍රකාශක හදිසි නීතිය ගැන බොරු කියයි !

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here