හිරිකිතයක් නැති මාධ්‍ය වාර්තා මානසික රෝග වැඩිවීමට ප්‍රධාන හේතුවක් – මනෝ වෛද්‍ය විශේෂඥ, මහාචාර්ය හරිශ්චන්ද්‍ර ගාම්භීර

වසංගත තත්ත්වය නිසා මානසික රෝගාබාධවලට ලක්වන පිරිස වැඩි වී තිබෙන බව වාර්තා වෙනවා. වසංගතය සහ මානසික රෝගාබාධ අතර තියෙන්නෙ මොන වගේ සම්බන්ධයක් ද?
කොවිඩ් විතරක් නෙමෙයි ඕනෑම ව්‍යසනකාරී තත්ත්වයක් මනෝ විද්‍යාත්මකව සමාජයට විශාල බලපෑමක් කරනවා. ඒකට ප්‍රධාන හේතුව තමයි එවැනි තත්ත්වයක් බොහෝ විට අපේ පාලනයෙන් දුරස්ථ වීම. එහෙම පාලනයෙන් දුරස්ථ වුණහම අපිට තියෙන අභියෝගය වැඩියි. ඒ වගේම අවිනිශ්චිතතාවය වැඩි වෙනවා. ඒ නිසා ව්‍යසනය පාලනයෙන් තොරව සමාජය තුළ පැතිර යද්දි අවිනිශ්චිතව බලා සිටින්නට වීම නිසා ප්‍රජාව තුළ විවිධ මානසික රෝගී තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්.
මොන වගේ රෝගී තත්ත්වයන් ද ඒ විදිහට ඇතිවෙන්න පුළුවන්… ?
ඒ විදිහට ඇතිවෙන්න පුළුවන් එක් රෝගී තත්ත්වයක් තමයි කාංසාව (Anxiety) කියන එක. කාංසාව කියල කියන්නෙ යම් කිසි අභියෝගයක් ඉදිරියේ ඇති වෙන්න පුළුවන් මානසික සහ ශාරීරික වෙනස්කම් ගණනාවක එකතුවක්. මානසික වෙනස්කම් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් මූලික ලක්ෂණ තමයි භීතිය, ආතතිය, අවිනිශ්චිතකම, නොසන්සුන්කම සහ තැතිගැන්ම වගේ දේවල්. ශාරීරික ලක්ෂණ විදිහට රුධිර ගමනාගමනයේ වේගය වැඩි වීම, හෘද ස්ඵන්දන වේගය වැඩි වීම, අධික ලෙස දහඩිය දැමීම, ශරීරයේ වේදනාවන් ඇති වීම වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම අධික ලෙස මුත්‍රා පිට වීම, ඩයරියා තත්ත්වය වගේ දේවල් ඇති වෙන්නත් පුළුවන්. මේ තත්ත්වය කාන්තාවන්ට සහ ගර්භනී මව්වරුන්ට වැඩියෙන් දකින්න ලැබෙන බව පර්යේෂණාත්මකව තහවුරු කරල තියෙනවා.
සාමාන්‍යයෙන් මේ කාංසා තත්ත්වය, ඒකට අදාළ වුණු අභියෝගය අවසන් වුණාට පස්සෙ සමහන් වෙලා යනවා. මෙතැනදි ඇති වෙන්න පුළුවන් ඊට වඩා බරපතළ තත්ත්වය තමයි විශාදය (Depression) කියන තත්ත්වය. විශාදය කියන තත්ත්වය කාංසාවට සාපේක්ෂව අඩුවෙන් තමයි දකින්න ලැබෙන්නෙ. කොහොම වුණත් සාමාන්‍යයෙන් ලංකාවෙදි සියයට හයක වගේ ප්‍රමාණයකට මේ රෝගී තත්ත්වය දකින්න පුළුවන්. ඒකෙදිත් පිරිමින්ට සාපේක්ෂව කාන්තාවන්ට මේ රෝගී තත්ත්වය දෙගුණයකින් වැඩි බව සොයාගෙන තියෙනවා. මේ වගේ ව්‍යසනකාරී තත්ත්වයකදි වෙන්න පුළුවන් දේ තමයි මේ විශාදය තියෙන රෝගීන්ගේ රෝගී තත්ත්වය උත්සන්න වීම. ඒ වගේම අලුතින් පිරිස් මේ රෝගී තත්ත්වයට ගොදුරු වීම. ශෝකීබව, කලකිරුණු ස්වභාවය සහ කිසි දේකින් සතුටට පත් නොවීම, සාර්ව අසුබවාදී බව වගේ දේවල් තමයි මේ රෝගයේ මානසික හැසිරීම් විදියට හඳුනා ගන්න පුළුවන් වෙන්නෙ. නින්ද නොයාම, ආහාර අරුචිය සහ ශරීරයේ වේදනාව ඇති වීම වගේ භෞතික ලක්ෂණත් ඇති වෙනවා. විශාදයේ තියෙන භයානකකම තමයි ජීවිතයේ බලාපොරොත්තු විරහිත භාවය ඇති වීම විසින් සිය දිවි නසා ගැනීම දක්වා මෙය වර්ධනය විය හැකි වීම. ඒ නිසා කාංසාවට වඩා විශාදයට ප්‍රතිකාර ගැනීම අත්‍යාවශ්‍යයි.
මේ රෝගී තත්ත්වයන් දෙකට අමතරව මරණයට පත් වූවන්ගේ ඥාතීන්ට ‘වියෝ දුක’ කියන එකක් මේ කොවිඩ් තත්ත්වය නිසා වැඩි වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි රෝහල් ගත කිරීමේ සිට මරණයේ අවසන් කටයුතු දක්වාම දුරස්ථව සිටීමට සිදු වීම. ඒ නිසා මරණයේ වියෝ දුක සමහන් කර ගන්න තියෙන සංස්කෘතික ක්‍රියාවලියත් අහිමි වෙලා තියෙනවා. ඒ නිසා ඇති වෙන වියෝ දුක අර කලින් කියපු රෝගී තත්ත්වයන් දෙක ඇති වීමටත් බලපාන්න පුළුවන්. මේව තමයි කොවිඩ් වසංගත තත්ත්වය තුළ ඇති වෙන්න පුළුවන් සෘජු මානසික බලපෑම්. ඊට අමතරව තවත් වක්‍රව සිදුවන බලපෑම් ගණනාවක් තියෙනවා.
වක්‍රව සිදුවන බලපෑම් කියලා අදහස් කරන්නෙ මොනවද..?
එකක් තමයි දරුවන්ට සිදු වන බලපෑම. විශේෂයෙන්ම වයස අවුරුදු දහ අහතරට අඩු දරුවෙකුට තමන්ගේ මව අහිමි වුණොත් එවැනි දරුවන් අනාගතයේ මානසික රෝගවලට ගොදුරු වීමේ වැඩි සම්භාවිතාවක් තියෙනවා. ඒ වගේම කොවිඩ් විතරක් නෙමෙයි ඕනෑම රෝගී තත්ත්වයකදී වැඩි වශයෙන් මරණයට පත් වෙන්නෙ ආර්ථික ශක්තියෙන් අඩු, දිළිඳු ජනතාව බව අපි කවුරුත් දන්නවා. ඒකට ප්‍රධාන හේතුව තමයි රෝගවලින් ආරක්ෂා වීමට අවශ්‍ය මූලික අවශ්‍යතා පවා ඔවුන්ට ප්‍රමාණවත්ව නොලැබීම. ඒ වගේම රෝගවලට ප්‍රතිකාර ගන්න තියෙන අවස්ථා අවම වීම. ඒ වගේම එවැනි පවුලක මුදල් උපයන කෙනා මිය ගියොත් ඒ පවුල් තවත් විශාල දුෂ්කරතාවයකට මුහුණ දෙනවා. ඒකත් අවසානයේ වැඩියෙන්ම බලපාන්නෙ දරුවන්ට. ඔවුන්ගේ පෞරුෂ වර්ධනයට ඒකෙන් විශාල බලපෑමක් සිදු කරනවා. ඒ විතරක් නෙමෙයි, කොවිඩ් වැළඳීමත් දීර්ඝ කාලීනව මානසික රෝගාබාධයන්ට ලක් වීමට හේතුවක් විය හැකි බවට මනෝ වෛද්‍යවරුන් අනුමාන කරනවා. ඒත් ඒක තාම පර්යේෂණ මට්ටමේ තියෙන අදහසක්.
මේක ලෝකයටම පොදු තත්ත්වයක් ද…?
ඔව්. ලෝකයේ ඕනෑම රටක ජන ප්‍රජාවකට මේ තත්ත්වයන් ඇති වීම සාමාන්‍යයෙන් සිදු විය හැකි දෙයක්. ඒත් ලංකාවෙදි ඒක ඇතැම් රටවලට වඩා උත්සන්න වෙන්න රට තුළ තිබෙන තත්ත්වයත් බලපාල තියෙනවා. ඒ අතුරින් ප්‍රධානම කාරණාවක් තමයි කොවිඩ් පාලන යසඳහා සෞඛ්‍යමය මැදිහත්වීමක් වෙනුවට හමුදාමය මැදිහත්වීමක් මුල සිටම ක්‍රියාත්මක කිරීම. ඒ නිසා පළමු අවස්ථාවෙදි ආසාදිතයෙකු සොයා ගැනීම සහ ඔහුව රෝහල්ගත කිරීම, රෝගීන්ගේ ආශ්‍රිතයන් නිරෝධායනය සඳහා යොමු කිරීම හමුදා මෙහෙයුමක් විදිහට තමයි ක්‍රියාත්මක කෙරුණෙ. ඒකෙන් රෝගය ගැන වගේම තමන් රෝගියෙකු බව දැන ගනී කියන එකත් බියට පත්වීමට කාරණාවක් වුණා.
ඊ ළඟට සිදු වුණු දේ තමයි ලෝකයම එන්නත්කරණයට යොමු වෙද්දි ලංකාවෙ විවිධ මිත්‍යා සහ අද්භූත ක්‍රම ගැන වශ්වාස කරමින් ඒවාට අනුබල දීමට ආණ්ඩුව කටයුතු කිරීම. ඒ නිසා විද්‍යාත්මක සෞඛ්‍ය ක්‍රම ගැන විශ්වාසය තියෙන ජනතාව විශාල වශයෙන් බියට පත් වුණා. ඒ බිය ඉතාම සාධාරණයි කිය එක අද ප්‍රත්‍යක්ෂ වෙලා තියෙනවා. ඒ රෝගය විශාල වශයෙන් පැතිරුණු ඉන්දියාවෙ මරණ අනුපාතය මිලියනයකට දශම තුනක් වෙද්දි අපේ මරණ අනුපාතය මිලියනයකට හතයි දශම නමයක් දක්වා වර්ධයනය වී තිබීමෙන්. ඉන්දියාවත් එක්ක බැලුවම අපේ මරණ අනුපාතය විසි හය ගුණයකින් පමණ වැඩියි. ඒ නිසා දැන් කොවිඩ් සම්බන්ධයෙන් තියන සමාජ භීතිකාව තවත් උත්සන්න වෙලා තියෙනවා.
ඊළඟ කාරණාව තමයි බොහෝ මාධ්‍යයන්ගේ හැසිරීම. මුල් කාලයේ ආසාදිතයන් සහ ආශ්‍රිතයන් සම්බන්ධව අර මම කලින් කියපු විදිහේ හමුදාමය මැදිහත්වීම, බිහිසුණු ක්‍රියාන්විතයක් බව හැඟී යන විදිහට තමයි ඔවුන් විසින් වාර්තා කළේ. රෝගීන් විතරක් නෙමෙයි පවුලේ අය, ජාතිකත්වයන් සහ ආගමික අනන්‍යතා වගේ රෝගයට හෝ රෝග පාලනයට අදාළ නොවන කාරණා කිසිම හිරිකිතයක් නැතිව වාර්තා කළා. ඒ නිසාත් රෝගීන් සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් පීඩාවට පත් වුණා. දැන් වුණත් ඇතැම් මාධ්‍ය රටේ තත්ත්වය වාර්තා කරන්නෙ භීතිය ඇති වෙන විදිහට. මෘතදේහ ලොරිවලට පටවන හැටි, මෘත ශරීරාගාරවල තත්ත්වය වගේ දේවල් ඇත්තමට මාධ්‍ය මගින් පෙන්විය යුතු දේවල් නෙමෙයි. මේ කටයුතු නිසා වෙනත් රටවලට සාපේක්ෂව අපේ රටේ ජනතාව තුළ අවිනිශ්චිතභාවය, භීතිය වගේ දේවල් වැඩි වෙලා තියෙනවා.
වෙනත් රටවල් මේ සම්බන්ධයෙන් කටයුතු කළ ආකාරයත්, ලංකාවේ මැදිහත්වීමත් ඔබ විග්‍රහ කරන්නෙ කොහොමද ?
මේ පිළිබඳ තිබුණු ජාත්‍යන්තර සම්මේලන කිහිපයකටම මම සම්බන්ධ වුණා. ඒවයෙදි දකින්න ලැබුණු දෙයක් තමයි ඒ ඒ රටවල මනෝවෛද්‍ය සංගම් ඒ සඳහා මැදිහත් වෙමින් සිටින බව සහ ඒ සම්බන්ධයෙන් පර්යේෂණවල යෙදෙන බව. ඒ වගේම බොහෝ රටවල ඒ සඳහා රාජ්‍ය මැදිහත්වීමත් සිදු කරනු ලැබූවා. ඊට සාපේක්ෂව ලංකාවේ මැදිහත්වීම ප්‍රමාණවත් කියල මම දකින්නෙ නැහැ. විශේෂයෙන්ම මනෝවෛද්‍යවරුන්ගේ සංගමය කරන මැදිහත්වීමක් හැරෙන්න රාජ්‍ය මට්ටමෙන් මේ ගැන කිසිදු අවධානයක් තිබෙන බවක් පේන්න නැහැ.
Previous articleනීතිවිරෝධී ව්‍යාපෘතියකට කැබිනට් අනුමැතියෙන් අක්කර ලක්ෂයක් !
Next articleවසංගතය ගැන කතා කරන්නන් මර්දනය නවත්වන්න – ජාත්‍යන්තර නීතිවේදීන්ගේ කොමිසම ශ්‍රී ලංකා රජයට කියයි !

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here