නීතිවිරෝධී ව්‍යාපෘතියකට කැබිනට් අනුමැතියෙන් අක්කර ලක්ෂයක් !

පරිසර නීති ඇතුළු මූලික නීති උල්ලංඝනය කරමින් ආරම්භ කිරීමට සූදානම් වන කෝමාරිකා ව්‍යාපෘතියක් සඳහා අනුරාධපුර දිස්ත්‍රික්කයේ අක්කර 102,000ක් ලබාගැනීමට සහ ඊට අදාළ වෙනත් අවශ්‍යතා සඳහා පහසුකම් සැලසීමට කැබ්නට් මණ්ඩලය අනුමැතිය ලබාදී ඇති අතර, ඒ පිටුපස දැවැන්ත කළු සල්ලි ව්‍යාපාරයක් ඇති බවට ද සැක මතුවී තිබේ.

හිමිකරු ගැන සැකයක්

කැබිනට් පත්‍රිකාවේ සඳහන් ආකාරයට මේ ව්‍යාපෘතිය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 783ක ආයෝජනයක් සිදුකිරීමට නියමිත ය. අවුරා ලංකා නමින් පෙනීසිටින මේ ව්‍යාපෘතිය සිදුකරන සමාගමේ ප්‍රධානියා වන්නේ ටී.ඒ.සී.වී.තාබුගල ය. ඔහු ආයුර්වේද වෛද්‍යවරයෙකු ලෙස පෙනීසිටින අතර, ප්‍රදේශවාසීන් ඒ පිළිබඳව බරපතළ සැක මතුකර සිටී. වසර කිහිපයකට පෙර විදුලි උපකරණ අලුත්වැඩියා කිරීමේ කර්මාන්තයක් පවත්වාගෙන ගොස් ඇති මේ පුද්ගලයා, හදිසියේ ඩොලර් මිලියන 783ක ආයෝජනයක් සිදුකිරීමට අදාළව කැබිනට් පත්‍රිකාවක් පවා ඉදිරිපත් කරන මට්ටමේ ප්‍රබලයෙකු බවට පත්වී තිබේ.

නීති අදාළ නැත !

මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ සහ එස්.එම්.චන්ද්‍රසේන ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාවක් ලෙස මේ කැබිනට් පත්‍රිකාව පසුගිය 30දා පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කර තිබිණි. අදාළ ආයෝජනය සිදුකරන බවට සඳහන් කර ඇති සමාගම දැනටමත් ජාතික පාරිසරික පනත සහ වනජීවී අණ පනත් උල්ලංඝනය කරමින් ඉඩම් අත්පත් කර ගැනීම් සහ බදු ගැනීම් සිදුකරමින් සිටී. මීට අමතරව රාජාංගනය යාය 18 ප්‍රදේශයේ පිහිටි කහඹිලියාපිටිය වැව ගොවිජන සේවා අණ පනත් උල්ලංඝනය කරමින් ඔවුන්ගේ භුක්තියට ලබාගෙන ඇති අතර, ජනතාවට අදාළ ප්‍රදේශය භාවිත කිරීම ද තහනම් කර ඇත. විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ ප්‍රේරක කලාපයේ පිහිටි ඉඩම් රැසක් ද මෙසේ පරිසර ඇගයීම් වාර්තාවකින් තොරව, බැකෝ යන්ත්‍ර යොදාගනිමින් විනාශ කරමින් සිටී.

රහසිගත ව්‍යාපෘතියක් ?

ඒ සම්බන්ධයෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අධිකරණයට කරුණු වාර්තා කර තිබේ. එහෙත් ප්‍රදේශවාසීන් පවසන්නේ මධ්‍යම පරිසර අධිකාරියේ ප්‍රධානීන් ඇතුළු ඉහළ නිලධාරීන් විශාල පිරිසක් මේ ව්‍යාපෘතියට උපරිම සහයෝගය ලබාදෙන බවයි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අනුරාධපුර දිස්ත්‍රික් මහජන සංසදයේ සභාපති ටෙරන්ස් ගාමිණී පැවසුවේ මේ සම්බන්ධයෙන් අදාළ සියලු නිලධාරීන්ට ලිඛිතව පැමිණිලි කර ඇතත්, කිසිවෙකු මේ නීතිවිරෝධී ව්‍යාපෘතියට එරෙහිව කිසිදු පියවරක් ගෙන නැති බවයි. මෙය කෝමාරිකා වගා කිරීමේ ව්‍යාපෘතියක් පමණක් නොවන බවට බරපතළ සැකයක් මතුවන බව ද පෙන්වා දෙන සභාපතිවරයා, කලා ඔය, නීල බැම්ම සහ විල්පත්තු යාකෙරෙන වෙනත් සැලසුමක් මේ පිටුපස තිබිය හැකි බව ද අවධාරණය කර සිටී. එසේම මෙවැන්නක් අවුරා ලංකා සමාගමේ ප්‍රධානියා ලෙස පෙනීසිටින අදාළ ව්‍යාපාරිකයාට පමණක් කිසිසේතම තනිව කළ නොහැකි බව දඔහු පෙන්වා දෙයි.

අවුරා ලංකා දුරකතන වැඩ නෑ

මේ සම්බන්ධයෙන් විමසීමට අවුරා ලංකා සමාගමේ දුරකතන අංකය ලෙස අන්තර්ජාලයේ ඇති අංකයට ඇමතුමක් ලබාගැනීමෙන් පසු, ඊට පිළිතුරු දුන් පුද්ගලයා පැවසුවේ තමන් එවැනි කිසිදු සමාගමක් සමග සම්බන්ධ නැති බවයි. මධ්‍යම පරිසර අධිකාරියේ ප්‍රධානීන්ගෙන් මේ පිළිබඳ විමසීමට අවස්ථා කිහිපයකදී උත්සාහ කළද, එය ද අසාර්ථක විය.

නීතිමය පියවර ගන්නවා

මේ ව්‍යාපෘතිය ජාතික පාරිසරික පනත ඇතුළු මූලික අණ-පනත් සියල්ල උල්ලංඝනය කරමින් බලහත්කාරයෙන් සිදුකිරීමට උත්සාහ කරන බවත්, ඊට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් මේ පිළිබඳව අදහස් දක්වමින් පරිසරවේදී සජීව චාමිකර පැවසීය. මෙසේ අතිවිශාල භූමි ප්‍රමාණයක් ලබාදීමට සූදානම් වන අදාළ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු ශක්‍යතා වාර්තාවක් සකස් කර නැති බවත්, අදාළ සමාගම වන සංරක්ෂණ ඉඩම්, ජල මූලාශ්‍ර, වැව්වල ජල පෝෂක රක්ෂිත විනාශ කරමින් ප්‍රදේශයට දැවැන්ත හානියක් සිදුකරමින් සිටින බවත් චාමිකර මහතා අවධාරණය කළේය.
Previous articleමාධ්‍යවේදී කීර්ති රත්නායක වෙනුවෙන් ජනාධිපති ලබාදී ඇති විශ්වාසයේ තරම !
Next articleහිරිකිතයක් නැති මාධ්‍ය වාර්තා මානසික රෝග වැඩිවීමට ප්‍රධාන හේතුවක් – මනෝ වෛද්‍ය විශේෂඥ, මහාචාර්ය හරිශ්චන්ද්‍ර ගාම්භීර

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here