පොලිස් පහරදීමකින් පුද්ගලයකු මරුට – මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ; පහරදීමක් නෑ – පොලිසිය

පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවන් මියයෑමේ සිදුවීම් කිහිපයක් පසුගිය කාලයේ වාර්තා විය. එහි ආසන්නතම වාර්තා වූයේ මතුගම පොලිසියෙනි.
මතුගම පදිංචි තිදරු මවක ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කරමින් කියා ඇත්තේ අගෝස්තු 22 වැනිදා තම සැමියාට පොලිසියෙන් පහර දුන් බවත්, පසුව ඔහු මියගිය බව පොලිසියෙන් දැනුම් දුන් බවත්ය.
ඇගේ පැමිණිල්ලේ මෙසේ ද සඳහන් වේ.
‘2021.08.22 දින දහවල් 1.30ට පමණ මාගේ ස්වාමිපුරුෂයා බුලත් විටක් ගැනීමට ගෙදර ළඟ කඩේට ගියා. ඒ අතරතුරදී ස්වාමිපුරුෂයා කෑ ගසන ශබ්දයක් ඇසී මම පාරට දුවලා පැමිණ බැලුවා. එතකොට මම දැක්කා පුද්ගලයන් දෙදනකු ස්වාමිපුරුෂයාට පහර දෙනවා. ඔවුන් කොසු මිටකින් හා අතින් පයින් පහර දුන්නා. ඉන්පසුව ඔවුන් ස්වාමිපුරුෂයාට මාංචු දමා එතන තිබුන ත්‍රීරෝද රථයක දා ගත්තා. මම ස්වාමිපුරුෂයා ගෙනියන්නේ ඇයිදැයි විමසා සිටියා. නිරෝධායන නීති කඩ කළ බවට යනුවෙන් ප්‍රකාශ කළා. එම ත්‍රීරෝද රථයේ රියදුරු අසුනේ පොලිස් නිල ඇඳුමෙන් නිලධාරියෙක් සිටියා. එම ත්‍රීරෝද රථය නිල් පාට මතුගම පොලිසියට අයත් ත්‍රීරෝද රථය බව හඳුනාගත්තා. මගේ ස්වාමිපුරුෂයා කෑ ගසමින් ___ පොලිසියට එන්න මාව ගෙනියන්න කියා කිව්වා. ස්වාමිපුරුෂයාට පහර දුන් නිලධාරීන් දෙදෙනා මට දුටුවහොත් හඳුනාගන්න හැකියි. මෙම සිද්ධිය පුද්ගලයන් කිහිප දෙනකුම දුටුවා.’
‘මම සවස 2.30ට පමණ මතුගම පොලිසියට ගියා. රිසව් එකේ හිටපු නිලධාරියා පහළට වෙලා ඉන්න, කතා කරන්නම් යනුවෙන් මට කිව්වා. මම පාර අයිනට වෙලා පැය 02ක් විතර හිටියා. එම අවස්ථාවේ පොලිස් ජිප් රථය එළියට ගියා. ස්වාමිපුරුෂයාට පහර දුන් නිලධාරීන් දෙදෙනා සමඟ හතර දෙනකු හිටියා. ජිප් රථයේ පිටුපස බිම රෙද්දකින් වහලා පුද්ගලයෙකු රැගෙන ගියා. පසුව මම නැවත පොලිසියට ගියා. මාගේ ස්වාමිපුරුෂයා පොලිසියට ගෙන ආ බවත්, ඔහු බැලීමට අවශ්‍ය බවත් කිව්වා. එහෙම පුද්ගලයකුව ගෙන ආවේ නැති බව රිසව් නිලධාරියා කිව්වා. පොලිසියට අයත් නිල් පාට ත්‍රීරෝද රථයෙන් ගෙන ආ බවත් මම ඔහුට කිව්වා. එවිට එම නිලධාරියා, එයාව ඉස්පිරිතාලෙට ගෙනිච්චා, එයාට හොඳටම අමාරු බව කිව්වා.
මම ඉක්මනට එළියට ඇවිත් ගෙදර ළඟ ____ අක්කට ත්‍රීරෝද රථයක් අරගෙන පොලිසිය ළඟට එන ලෙස දැනුම් දුන්නා. ඇය මා සමඟ පොලිස් ස්ථානාධිපතිවරයා හමුවුණා. මම එම නිලධාරියා මාගේ ස්වාමිපුරුෂයාව අත්අඩංගුවට අරගෙන ආ බවත්, ඔහුට පොලිස් නිලධාරීන් පහර දුන් බවත්, ඔහු දැන් රෝහලට රැගෙන ගොස් ඇති බවත් දැනුම් දුන්නා. එවිට එම නිලධාරියා ඔව් එයාට ගොඩක් අමාරුයි. එයාට හාර්ට් ඇටෑක් එකක් හැදිලා. ජීවිතය නැති වෙන්නත් පුළුවන් යනුවෙන් ප්‍රකාශ කළා. එවිට මම හඬමින් මම කොහොමද දරුවෝ තුන්දෙනත් එක්ක ජීවත් වෙන්නේ කුලී ගේක ඉන්නේ, මාස හතරක් කුලී ගෙවලත් නෑ, පොඩි දරුවගේ පපුවේ හිලක්, බෙහෙත් ගන්න මාසෙකට රුපියල් 5000ක් විතර යනවා, ස්වාමිපුරුෂයාට මොකද වුනේ යනුවෙන් කෑ ගැසුවා.
එවිට එම නිලධාරියා අපි ගෙයක් හදලා දෙන්නම්, මරණ වැඩ කටයූතු අපි කරලා දෙන්නම් යනුවෙන් ප්‍රකාශ කළා. මම කිව්වා මට ස්වාමිපුරුෂයාව බලන්න අවශ්‍යයි, ඔහුව පෙන්වන්න යනුවෙන් කිව්වා. එවිට ඔහු රෝහලට යන ලෙස දැනුම් දුන්නා. මම ____ අක්කා සමඟ වෑත්තෑව රෝහලට ගියා. ස්වාමිපුරුෂයාව එම රෝහලේ ට්‍රොලියක දාලා තිබුණා. ඔහුගේ මුහුණ ඉදිමිලා තිබුණා. අතේ ලේ තිබුණා. එහි හෙදියන් දෙදෙනෙක් හිටියා. ඒගොල්ලො කිව්වා මෙහෙට ගේනකොටත් නැතිවෙලා හිටියේ කියලා. පොලිසිය තමයි වගකියන්න ඕනේ යනුවෙන් ප්‍රකාශ කළා. ඉන්පසු අපි ගෙදර ආවා. ගෙදර එද්දි රාත්‍රී 7 විතර වුනා.
නැවතත් රාත්‍රී 7.30ට පමණ ____ අක්කට පොලිසියෙන් කතා කරලා. නඩුකාර හාමුදුරුවෝ දැන් ඉස්පිරිතාලෙට එනවා, ඉක්මණට ඉස්පිරිතාලෙට එන ලෙස දැනුම් දී තිබුණා. ඒ අනුව අපි රෑ 8ට විතර වෑත්තෑව රෝහලට ගියා. නඩුකාර හාමුදුරුවො ඇවිත් ගිය බව රෝහලෙන් දැනුම් දුන්නා. ඉන්පසු පොලිසියෙන් නැවතත් කෝල් කර මතුගම මාර්කට් එක ළඟට එන ලෙස දැනුම් දුන්නා. අපි එතනට ගියා. ඉන්පසු අපිව පොලිසිය විසින් මහේස්ත්‍රාත්තුමාගේ නිල නිවසට එක්කගෙන ගියා. මහේස්ත්‍රාත්තුමා විසින් මගෙන් ප්‍රකාශයක් ගත්තා. මං පොලිසියෙන් පහර දුන් බවත්, මරණය සැක සහිත බවත් ප්‍රකාශ කළා. ඉන්පසු මහේස්ත්‍රාත්තුමා හෙට උදේ පොලිසියට යන්න, මරණය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරනවා, ඉන් පසු දේහය භාර දෙන බවත්, භූමදානය කරන ලෙසටත් දැනුම් දුන්නා.
ඉන්පසු අද එනම් 2021.08.23 වන දින උදේ මා හා ඥාතීන් මතුගම පොලිසියට ගියා. ස්ථානාධිපතිවරයා මිනිය කපන්නේ නැතිව භාරගන්න බැරිද කියා මගෙන් ඇසුවා. මම බැහැ කිව්වා. මට සැකයි, පොලිසිය ගැහුව නිසා තමයි මැරුණේ කියා කිව්වා. ඔව් පොලිසියෙන් ගැහුවා කියනවා, පොලිසියෙන් මැරුවා කියනවා, ඊයේ මාධ්‍යට කිව්ව විදිහට මතක් කරලා පොලිසියෙන් මැරුවා කියලා කියනවා කියලා සැරවැර කළා. අද පීසීආර් වාර්තා ආවොත් තමයි මිනිය කපන්නේ, කොරෝනා වුනොත් මඩකලපුවේ මිනිය යවනවා කිව්වා. මම කිව්වා අපට ස්වාමිපුරුෂයා බලන්න අවශ්‍ය බවත්, ළමයින් තාත්තා බලන්න ඕනි කියනවා කියලා කිව්වා. පසුව අපිව නාගොඩ රෝහලට යැව්වා. උසාවි යන සාජන් මහත්තයත් ගියා. මරණ පරීක්ෂණය කළේ නෑ. හෙට එන ලෙස දැනුම් දුන්නා.
මම කළුතර පොලිස් අධිකාරී කාර්යාලයට ගියා. පොලිස් අධිකාරීවරයා හමුවුණා. ඔහු සිද්ධිය මගෙන් විමසුවා. මම කිව්වා මේකට සාධාරණයක් කරන්න කියලා. ගහපු නිලධාරීන්ට විරුද්ධව දඬුවම් කරන්න කියලා ඉල්ලුවා. අපි සාධාරණ පරීක්ෂණයක් කරනවා, මරණ පරීක්ෂණයෙන් පසුව නිලධාරීන්ට දඬුවම් කරනවා, දරුවන්ව දැක්කම අපිටත් හෝස් ගාලා පත්තු වෙනවා, අපිටත් දරුවෝ ඉන්නවානේ යනුවෙන් ප්‍රකාශ කළා. නමුත් පැමිණිල්ලක් හෝ ප්‍රකාශයක් මගින් සටහන් කරගත්තේ නැත.’
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් MediaLK කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා ඊයේ (25) ප්‍රකාශ කළේ එම පුද්ගලයා මියගොස් ඇත්තේ කොවිඩ් 19 ආසාදනය වීම නිසා ඇතිවූ ආසාත්මිකතාවලින් බවට පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ අධිකරණ වෛද්‍යවරයා තීරණය කර ඇති බවයි. ඔහුට පහරදීමක් වූ බවට පශ්චාත් මරණ පරීක්ෂණයෙන් තහවුරු වී නැතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.
මෙම පශ්චාත් මරණ පරීක්ෂණය ගැන සැක මතුවන බැවින් වෙනත් පශ්චාත් මරණ පරීක්ෂණයක් ඉල්ලා සිටීමට පවුලේ පිරිස් සැරසෙන බව ද ආරංචිමාර්ග කියයි.
Previous articleපොලිස් නිලධාරීන්ගේ කන්නලව්ව – ව්‍යාජ තොරතුරු මගින් පාස්කු ප්‍රහාරය වෙනතක යැවීමේ උත්සාහයක් ද?
Next articleමාධ්‍යවේදී කීර්ති රත්නායක වෙනුවෙන් ජනාධිපති ලබාදී ඇති විශ්වාසයේ තරම !

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here