මහේස්ත්‍රාත්වරුන්ගේ වැටුප තීරණය කළ සම්මන්ත්‍රණය : යුක්තිය පසිඳලීමට බලපෑමක් සිදු වී ඇත්නම් වහාම නිවැරදි කරන්න – නීතිඥ සංගමයෙන් අධිකරණ සේවා කොමිසමට ලිපියක් !

මහේස්ත්‍රාත්වරුන් සඳහා පවත්වන ලද අන්තර්ජාල සම්මන්ත්‍රණයක් මගින් යුක්තිය පසිඳලීමේ කාර්යයට යම් බලපෑමක් සිදු වී තිබේ නම්, වහාම එය නිවැරදි කිරීමට වගකිවයුතු පාර්ශ්ව කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය අවධාරණය කර සිටී.

එම සංගමයේ සභාපති, ජනාධිපති නීතිඥ සාලිය පීරිස්ගේ සහ ලේකම් රජීව් අමරසූරියගේ අත්සනින් ඊයේ (16) අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත යොමුකරන ලද ලිපියක මේ බව සඳහන් කර ඇත. ‘කොවිඩ් 19 අධි-වසංගත සන්දර්භය තුළ අධිකරණ ක්‍රියාමාර්ග සම්බන්ධ කාරණා මැයෙන් අධිකරණ නිලධාරීන් සඳහා පවත්වන ලද වෙබ් සම්මන්ත්‍රණයක් / රැස්වීමක් සම්බන්ධව වාර්තා වන කරුණු සම්බන්ධවයි’ යන ශීර්ෂය යටතේ යොමු කර ඇති මේ ලිපිය මගින් නීතිඥ සංගමය වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ මේ රැස්වීම පවත්වනු ලැබුවේ යම්-යම් නියෝග නිශ්චිත ආකාරයකින් ලබාදීම සඳහා විනිසුරුවරුන් පෙළඹවීම සඳහා යැයි අධිකරණ නිලධාරීන් තුළ හෝ ජනතාව තුළ අදහසක් නිර්මාණය වීමේ හැකියාවක් පවතින බවයි. එසේ අධිකරණ නිලධාරීන් විසින් ස්වාධීනව තීරණ ගැනීමට යම් බලපෑමක් එල්ල වී ඇති බවට අදහසක් ඇති වීම බරපතළ කාරණයක් බව ද එමගින් අවධාරණය කර තිබේ.

අධිකරණ සේවා කොමිසමේ ලේකම්ගේ ලිපිය

ශ්‍රී ලංකා විනිසුරුවරුන්ගේ ආයතනය මගින් පසුගිය 13දා මේ සම්මන්ත්‍රණය පවත්වන බවට විනිසුරුවරුන්ට ලිඛිත ව දැනුම් දී තිබුණේ අගෝස්තු 09 දා ය. අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් එච්.සංජීව සෝමරත්නගේ අත්සනින් එම ලිපිය යොමු කර තිබූ අතර, විනිසුරුවරුන්ගේ උසස්වීම්, වාර්ෂික වැටුප් වර්ධක, විදේශ පුහුණු සහ මහාධිකරණ සඳහා විනිසුරුවරුන් පත්කිරීමේදී මේ සම්මන්ත්‍රණයට සහභාගි නොවීම පිළිබඳව විශේෂයෙන් සලකා බලනු ඇති බව ද අදාළ ලිපියේ සඳහන් විය. මේ සම්මන්ත්‍රණය සම්බන්ධයෙන් අධිකරණ ක්ෂේත්‍රයේ පුළුල් කතාබහක් ඇති වූ අතර, පසුගිය කාලයේදී උද්ඝෝෂණ පැවැත්වීම තහනම් කරන ලෙස පොලිසිය පාර්ශ්වයෙන් කරන ලද ඉල්ලීම්වලදී විනිසුරුවරුන් කටයුතු කළ ආකාරය පිළිබඳව ද මෙමගින් සමාජයේ අවධානය යොමු විය.

උද්ඝෝෂණ ගැන අදත් ප්‍රකාශයක්

අද (17) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණ අංක 06 දී විභාගයට ගත් මට්ටක්කුලිය, මෝදර, ලුණුපොකුණ ප්‍රදේශයේ පසුගිය ජුනි 20දා පැවැති ධීවර උද්ඝෝෂණයකට අදාළව පොලිසිය පැවරූ නඩුවට අදාළ විභාගයේදී ද මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම අවධාරණය කර තිබුණේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ලිපියකින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති අයිතීන් අත්හිටුවිය නොහැකි බවයි.

සෞඛ්‍ය ලිපිය රෙගුලාසියක් නෙමෙයි

මේ අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පොලිස්පතිවරයාට යවන ලද ලිපියක් නිරෝධායන හා රෝග වැළැක්වීමේ ආඥා පනත යටතේ රෙගුලාසියක් වශයෙන් සැලකිය නොහැකි බැවින් ගුරු- විදුහල්පති වැටුප් විෂමතාවට එරෙහිව සංවිධානය කර ඇති උද්ඝෝෂණ පාගමන වළක්වමින් නියෝගයක් නිකුත් කරන ලෙස බෙම්මුල්ල පොලිස් ස්ථානය කළ ඉල්ලීමක් පසුගිය දිනෙක ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න විසින් ද ප්‍රතික්ෂේප කර තිබිණි.
එම පාගමනට සහභාගි වන පිරිස් ඇන්ටිජන් හෝ පීසීආර් පරීක්ෂණයකට ලක්කරන ලෙසට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට නියෝගයක් නිකුත් කරන්නැයි ද පොලිසිය ඉල්ලා තිබූ අතර, ඒ සඳහා ඉල්ලීම කළ යුත්තේ අදාළ සෞඛ්‍ය බලධාරීන්ගෙන් බැවින් එම ඉල්ලීම ද අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබිණි. මේ පා ගමන වළක්වන නියෝගයක් ඉල්ලමින් බෙම්මුල්ල පොලිසිය ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර තිබුණේ පසුගිය 06 දා ය.

ව්‍යවස්ථානුකූල අයිතිය

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වැනි ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති සාමකාමීව රැස්වීම, අදහස් ප්‍රකාශ කිරීම, ශ්‍රී ලංකාව තුළ අභිමත ස්ථානයක් වෙත යෑමේ-ඒමේ නිදහස ආදිය සීමා කළ හැක්කේ ව්‍යවස්ථාවේ 15 වැනි ව්‍යවස්ථාව අනුව පමණක් බවත්, ඒ අනුව එය සිදු කළ හැක්කේ පවත්නා නීතියෙන් ප්‍රතිපාදන දක්වා ඇත්නම් පමණක් බවත්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පොලිස්පතිවරයාට යවන ලිපියක සඳහන් කරුණු 1987 අංක 03 දරන නිරෝධායන හා රෝග වැළැක්වීමේ ආඥා පනතේ 2 සහ 3 වගන්ති ප්‍රකාරව සාදන ලද සෞඛ්‍ය රෙගුලාසි වශයෙන් සැලකිය නොහැකි බවත් ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සිය නියෝගයේ වැඩිදුරටත් සඳහන් කර තිබිණි.

අධිකරණයට බලපෑමක් ද?

අධිකරණයේ ඇතැම් සෘජු ක්‍රියාකාරීත්වයන් හේතු කරගෙන කිසියම් ආකාරයක බලපෑමක් අධිකරණය වෙත ඉදිරිපත් විය හැකි බවට පසුගිය සති කිහිපයේ සමාජයේ කතාබහක් ඇති වී තිබිණි. එවැනි කතාබහක් පවතින අතරතුර, මෙවැනි සම්මන්ත්‍රණයක් සඳහා විනිසුරුවරුන් කැඳවීමත්, එම ලිපියේ වැටුප් වර්ධක සහ උසස්වීම් වැනි කරුණු සඳහන් වීමත් ගැටළුවක් බව ජ්‍යෙෂ්ඨ නීතිවේදීන් විසින් සඳහන් කර තිබිණි.
මේ තත්ත්වය යටතේ අදාළ සම්මන්ත්‍රණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය අධිකරණ සේවා කොමිෂන් සභාවේ සභාපති, අග විනිසුරු ජයන්ත ජයසූරිය, සාමාජික, විනිශ්චයකාර බුවනෙක අළුවිහාරේ, සාමාජික, විනිශ්චියකාර එල්.ටී.බී.දෙහිදෙනිය යන විනිසුරුවරුන් වෙත යොමු කළ සම්පූර්ණ ලිපිය පහත පළ වේ. එහි පිටපතක් කොමිෂන් සභාවේ ලේකම් එච්.සංජීව සෝමරත්න වෙත ද යොමු කර ඇත.

‘කොවිඩ් 19 අධි-වසංගත සන්දර්භය තුළ අධිකරණ ක්‍රියාමාර්ග සම්බන්ධ කාරණා මැයෙන් ශ්‍රී ලංකා විනිශ්චයකාරවරුන්ගේ ආයතනය විසින් 2021 අගෝස්තු 13 දින අධිකරණ නිලධාරීන් සඳහා පවත්වන ලද වෙබ් රැස්වීමක් / සම්මන්ත්‍රණයක් පිළිබඳ පළවූ වාර්තා කෙරෙහි ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සාමාජිකයන් ගණනාවක් විසින් අවධානය යොමු කර තිබේ. මෙම සම්මන්ත්‍රණයට අධිකරණමය නොවන පුද්ගලයන් ද සහභාගි වී තිබෙන අතර, අධිකරණයෙහි ගොනුකර තිබෙන හෝ විභාගයට ගැනීමට තිබෙන නඩු කිහිපයකට අදාළ කාරණාවල කොටස් ලෙස අධිකරණය විසින් සලකා බලමින් තිබෙන පරිපාලන නියෝග හා තීරණ ගනු ලැබූ පුද්ගලයන් අඩු තරමින් එක් අයෙකු හෝ ඒ අතර විය.

මාධ්‍ය විසින් වාර්තා කර තිබෙන ආකාරයට,

අ) වෘත්තීය සමිති විරෝධතා සහ අධිකරණයේ භූමිකාව පිළිබඳ සාකච්ඡා කර තිබේ.
ආ) රටේ පවතින වසංගත තත්ත්වය තුළ මහජන ඒකරාශී වීම් පාලනය කිරීම සඳහා අපරාධ නඩු විධාන සංග්‍රහයේ ඇතැම් වගන්ති භාවිතා කරන ආකාරය පිළිබඳ අධිකරණ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.
ඇ) විරෝධතා මැඩලීම උදෙසා පොලිසියේ ඉල්ලීම් අනුව නියෝග ලබාදීම සඳහා බලපෑම් සිදුකිරීමේ ප්‍රයත්නයක් තිබුණු බවට අධිකරණ නිලධාරීන් අතර මතයක් නිර්මාණය වී තිබේ.

නීතියේ ආධිපත්‍යය, අධිකරණයේ ස්වාධීනත්වය සහ යුක්තියේ පරිපාලනය සම්බන්ධයෙන් මහජන විශ්වාසයට බලපාන මෙම වාර්තාවන්ගේ අන්තර්ගතය කෙරෙහි ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ දැඩි අවධානය යොමු වී තිබේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව, සෑම අධිකරණ නිලධාරිවරයෙකු විසින් ම, තමන් ඉදිරියේ තිබෙන සෑම නඩුවක් සම්බන්ධයෙන් ම, එම නිශ්චිත නඩුවෙහි කරුණු හා අවස්ථාවන් සහ අදාළ නීතිය අනුව කටයුතු කළ යුතුය. තම නඩුව එම නඩුවට අදාළ සාක්ෂි මත, තමන්ට හෝ තම නීතිඥවරයාට සාධාරණ සවන්දීමකින් යුතුව විසඳෙනු ඇතැයි අධිකරණය ඉදිරියට පැමිණෙන සෑම පාර්ශ්වයක් ම අපේක්ෂා කරති. රාජ්‍යය ද ඇතුළුව ඔ්නෑම පාර්ශ්වයකට, තමන් කිසියම් නියෝගයක් සම්බන්ධයෙන් අතෘප්තියට පත්වන්නේ නම්, නිසි උපරිමාධිකරණයක් වෙත අභියාචනයක් හෝ ප්‍රතිශෝධන ඉල්ලීමක් ඉදිරිපත් කිරීම මගින් එවැනි නියෝගයක් අභියෝගයට ලක්කළ හැකිය.

අධිකරණ නිලධාරීන් නඩු විසඳීමේදී නඩුවේ කුසලතාව මත පදනම්ව, වෙනත් සලකාබැලීම්වලින් නිදහස් ව කටයුතු කරනු ඇති බවට විශ්වාසයක් නඩු පවරන්නන් හා ඔවුන්ගේ නීතිඥවරුන් හට තිබිය යුතුය. මෙම කරුණු අධිකරණ ස්වාධීනත්වයේ හා නීතියේ පාලනයේ මූලික සාධක බවට ගරු විනිශ්චයකාරවරුන් හට මනා අවබෝධයක් තිබේ. රෙක්ස් එදිරිව සසෙක්ස් විනිසුරුවරුන්, (1924) 1 KB 256 නඩුවේදී, එවකට එංගලන්තයේ අග්‍ර විනිශ්චයකාර හෙවාට් සාමිවරයා විසින් ඉදිරිපත් කරන ලද අපගේ නීති පද්ධතිය තුළ ද මැනවින් ස්ථාපිත වී ඇති ”යුක්තිය ඉටුකිරීම පමණක් නොව ඉටුකරන බව පෙන්නුම් කිරීම ද අවශ්‍ය ය” යන වාචිතය හා සලකා බැලීමේදී මේ වාර්තාවලින් ඇති කරන තත්ත්වය ඉඳුරාම පරස්පර වේ.

2002 වසරේ අධිකරණ චර්යාව සම්බන්ධ බැංගලෝර් මූලධර්ම කෙරෙහි ද ගරු විනිශ්චයකාරතුමන්ලාගේ අවධානය යොමුකරන්නට කැමැත්තෙමු. (2001 වසරේ අධිකරණ චර්යාව සම්බන්ධ බැංගලෝර් මූලධර්ම කෙටුම්පත අධිකරණ සුපිළිපන්භාවය ශක්තිමත් කිරීමේ අධිකරණ කණ්ඩායම විසින් පිළිගනු ලැබ, හේග්හි පීස් පැලස්හි 2002 නොවැම්බර් 25 – 26 දිනවල පවත්වන ලද අග්‍ර විනිශ්චයකාරවරුන්ගේ වට මේස සාකච්ඡාවෙහි දී සංශෝධනයට ලක්කරන ලදි.) එහි පහත දැක්වෙන කරුණු සඳහන් වේ.

1.1. විනිශ්චයකාරවරයෙකු විසින් අධිකරණ කාර්යයන් ස්වාධීනව ඉටු කළ යුතුය. එහිදී කරුණු සම්බන්ධයෙන් විනිශ්චයකාරවරයාගේ තක්සේරුව මත පදනම් විය යුතු අතර, නීතිය පිළිබඳ හෘදය සාක්ෂියට අනුකූල අවබෝධයකින් යුක්ත විය යුතුය. ඔ්නෑම අංශයකින්, කුමන හෝ හේතුවක් මත සිදුවන සෘජු හෝ වක්‍ර පරිබාහිර බලපෑම්වලින්, පෙළඹීම්වලින්, පීඩනයන්ගෙන්, තර්ජනවලින් හෝ මැදිහත්වීම්වලින් නිදහස් විය යුතුය.

මෙම පසුබිම තුළ, අධිකරණ නිලධාරීන් අතර අධි-වසංගතයේ බැරෑරුම්කම සහ අධිකරණ කටයුතු පරිපාලනය කිරීමේදී සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කටයුතු කිරීඹ පිළිබඳ දැනුවත් කිරීමේ වෙබ් සම්මන්ත්‍රණයක් / රැස්වීමක් පැවැත්වීම සම්බන්ධයෙන් ගන්නා ඔ්නෑම පියවරක් අගය කළ යුතුය. එවැනි රැස්වීමකදී / වෙබ් සම්මන්ත්‍රණයකදී, අධිකරණ කාර්යයන් ඉටුකිරීමේදී කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ බලපෑමක් හෝ අධිකරණ නිලධාරීන් කිසියම් නඩුවක් සම්බන්ධයෙන් නීතිය හා අධිකරණ අර්ථ නිරූපණයේ පිළිගත් මූලධර්ම මත පදනම්ව තම අධිකරණ මනස හා අභිමතය භාවිතා කිරීම වැළැක්වීමේ අභිප්‍රායක් හෝ ඇති බවට අදහසක් එයට සහභාගි වූ විනිශ්චයකාරවරුන්ගේ හෝ මහජනතාවගේ හෝ මනසෙහි නිර්මාණය නොවිය යුතු බව අපගේ අදහසයි.

මෙම පසුබිම තුළ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ස්ථාවරය වන්නේ, ඉහත දක්වන ලද රැස්වීම / වෙබ් සම්මන්ත්‍රණය පවත්වනු ලැබුවේ, යම්-යම් නියෝග නිශ්චිත ආකාරයකින් ලබාදීම සඳහා විනිසුරුවරුන් පෙළඹීම සඳහා යැයි හෝ අධිකරණ නිලධාරීන් විසින් නීතිය සහ නෛතික අර්ථ නිරූපණය පිළිබඳ සිද්ධාන්ත මත පදනම්ව අධිකරණ මනස මෙහෙයවා ස්වාධීනව තීරණ ගැනීම කෙරෙහි යම් බලපෑමක් කරන බවට අධිකරණ නිලධාරීන්ගේ හා මහජනතාවගේ මනස තුළ අදහසක් නිර්මාණය වීමේ සුවිසල් හැකියාවක් තිබෙන බවයි.

එවැනි අදහසක් දැනටමත් නිර්මාණය වී තිබෙන්නට ද පුළුවන. එවැනි බලපෑමක් සිදු වී තිබේ නම්, මහජන සුබසිද්ධිය සහ යුක්තිය පසිඳලීමේ කාර්යය පැවරී තිබෙන සියලු පාර්ශ්වවල අභිලාෂයන් සැලකිල්ලට ගෙන ඒ සම්බන්ධයෙන් වහා ක්‍රියාත්මක විය යුතු අතර, අවශ්‍ය නම් නිවැරදි කළ යුතුය.

අධිකරණයේ ස්වාධීනත්වය හා අධිකරණ ආයතනවල සුපිළිපන්භාවය ආරක්ෂා කිරීමට නීතිඥ සංගමය හැමවිටම කැපවී සිටින අතර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් අනුල්ලංඝනීය ලෙස පනවා ඇති බලතල බෙදීම සහ නීතියේ ආධිපත්‍ය වැනි මූලධර්ම නොමැතිව මෙම ආයතනවල ස්වාධීන බව අවම හෝ අහිමි වී යනු ඇත.

ගෞරවනීය විනිසුරුවරුන් වෙත මෙම සන්නිවේදනය සිදුකරනු ලබන්නේ නීතිඥ සංගමයේ ඉහළ ම සම්ප්‍රාදායයන් හා වටිනාකම් අනුව, අධිකරණය විසින් කුමන දුෂ්කර අවස්ථාවකදී වුව සීමාවකින් තොරව පවත්වාගත යුතු ගරුත්වයට මෙම වාර්තා කිසිදු ආකාරයකින් නිශේධාත්මක බලපෑමක් නොකරන බවට තහවුරු කිරීම සඳහා ය.’

MediaLK පලකරනු ලබන කතාවක් සම්බන්ධයෙන් ප්‍රතිචාරයක් ඇත්නම් හෝ වෙනත් තොරතුරක් ලබා දීමට ඇත්නම් පහත ඊමේල් ලිපිනවලට ඊමේල්මඟින් යොමු කළ හැකිය.
in.medialk@gmail.com
parapura.medialk@gmail.com
medialknews@gmail.com

Previous articleකීර්ති රත්නායක රඳවාගනී
Next articleතලේබාන්වරුන් ඇල්ලූ කාබුල් දැන් නිදහස් ද?

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here