තලේබාන්වරුන් ඇල්ලූ කාබුල් දැන් නිදහස් ද?

https://indianexpress.com/article/world/afghanistan-taliban-crisis-live-updates-kabul-protests-7460648/
ඇෆ්ගනිස්තානය සහ සෝවියට් රුසියාව අතර යුද්ධය පැවතුණේ 1979 දෙසැම්බර් සිට 1989 පෙබරවාරි මාසය දක්වා ය. ඇෆ්ගන් යුද්ධය යනු ඈත්ව තිබූ බල අධිකාරීන් දෙකක් අතර වූ ගැටුමක් විය. ඊට ඇෆ්ගන් ජනතාව මැදි වූහ.
සෞදියේ සිට ඇෆ්ගනිස්තානයට පැමිණ සිටි ඔසාමා බින් ලාඩ්න්ගේ අරමුණ වූයේ ද සෝවියට් හමුදා ඇෆ්ගනිස්තානයෙන් පළවාහැරීම ය. ඇමරිකා එක්සත් ජනපදයේ මධ්‍යම බුද්ධි ඒජන්සිය හෙවත් සීඅයිඒ සංවිධානය ඒ කාලයේ බින් ලාඩ්න්ලා ආයුධ සන්නද්ධ කිරීමට සහ ඔවුන් පුහුණු කිරීමට රන් පවුම් මිලියන පන්සීයකට වඩා වැය කළ බව සඳහන් ය. එහිදී ඔවුන් වැඩි වශයෙන් සම්බන්ධතා පැවැත්වූ මුජහඩීන් ගරිල්ලා නායකයෙකි, ඔසාමා බින් ලාඩ්න්. මේ කාලයේදී ඇමරිකාවේ සුපිරි යැයි සම්මත ආයුධ සියල්ල බින් ලාඩ්න්ලාගේ ගබඩා වල තිබූ බවත්, ස්ටින්ගර් මිසයිල පවා ඒ අතර වූ බවත් සඳහන් ය.
සීඅයිඒ අරමුණ සාර්ථක විය. සෝවියට් හමුදා පරාජය කෙරිණි. අවම පහසුකම් සහිතව සිටි හමුදාවක් නවීන ආයුධ වලින් සන්නද්ධ හමුදාවක් බවට ඒ වන විට පත්වී තිබිණි. ඇෆ්ගනිස්තානයට තවදුරටත් ඇමරිකාවේ ආධාර අවශ්‍ය නැති බව බින් ලාඩ්න් කීවේය. ඉන්පසුව ඇමරිකාව බින් ලාඩ්න් තමන්ගේ හතුරා බවට පත්කර ගත්තේය. ත්‍රස්තවාදීන් අතර යුද්ධයට මැදි වූ ජනතාව දහස් ගණන් මියයන්නට වූහ.
බල සතුකරණ න්‍යාය
බල සතුකරණ න්‍යාය නමින් න්‍යායක් සමාජ විද්‍යාවේ ඇත. එයින් කියන්නේ මිනිසුන් දිළිඳු වී ඇත්තේ සම්පත් නැතිකම නිසාම නොව, ආධ්‍යාත්මික නිද්‍රාභාවය නිසා බව ය. මේ තත්ත්වය වෙනස් කළ හැක්කේ මිනිසුන් එකිනෙකා තමන්ගේ අත්දැකීම් සහ අදහස් බෙදාගැනීම තුළින් ය. මේ සමාජ විද්‍යා විෂයයන් වල ඇති න්‍යායාත්මක කරුණු ය. ප්‍රායෝගික තලයේදී මේ තත්ත්වය අපටද අපූරුවට ආදේශ කර ගත හැකිය.
රටවල් අවුළුවා, එයින් දේශපාලන වාසි ලබන ලෝක බලවතුන්ට මෙවැනි නිද්‍රාශීලී තත්ත්වයන් රන් ආකර ය. ඔසාමා බින් ලාඩ්න් උදාහරණය දැක්වූයේ ඒ නිසා ය. බින් ලාඩ්න් ඇතුළු ඒජන්තයන් හරහා ඇමරිකාව තමන්ගේ වැඩේ කරගත්තේය. ඒ ඇෆ්ගනිස්තානයට ආදරේට නොවේ. ඔවුන් හැමදාම ජීවත් වූයේ බෝම්බවලට බියෙන් ය.
තලේබාන්වරු ජනතාවට වෙඩි තබති
ඇෆ්ගනිස්තානයේ කාබුල් ගුවන් තොටුපොළ මාර්ගයේ රැඳී සිටි සාමාන්‍ය වැසියන් වෙඩි තබා පළවා හැරීමට එරට බලය ඇල්ලූ තලේබාන් සාමාජිකයන් කටයුතු කර තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ සාමාන්‍ය වැසියන් පළවා හැරීම සඳහා තලේබාන්වරුන් කස පහර, වේවැල් පහර මෙන්ම බැටන් ප්‍රහාර ද එල්ල කර ඇති බවයි. මෙහිදී කාන්තාවන්, ළමුන් ඇතුළු පිරිසක් තුවාල ලබා ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
තලේබාන් සංවිධානය කාබුල් නගරය අල්ලා ගැනීමත් සමගම දහස් සංඛ්‍යාත ජනකායක් ඇෆ්ගනිස්තානයෙන් පිටවීම සඳහා එරට ගුවන් ප්‍රධාන තොටුපොළ ආසන්නයේ රැඳී සිටිති. කාබුල් ගුවන් තොටුපොළෙන් පිටත් වූ ඇමරිකානු යානයක පිටතින් එල්ලී ගමන් ගත් පුද්ගලයන් තිදෙනෙකු ඉන් ඇද වැටී මියයෑමේ සිදුවීමක් ද මීට දින කිහිපයකට පෙර වාර්තා විය. ගුවන් යානාවලට ගොඩවීමේදී ඇතිවූ තෙරපීම් සහ තත්ත්වය පාලනය කිරීම සඳහා සිදුකළ වෙඩි තැබීම් හේතුවෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව ද නවයක් පමණ වෙතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ඇෆ්ගනිස්තානය වෙනුවෙන් ජිනීවා රැස්වීමක්
ඇෆ්ගනිස්තානයේ සිදුවන මානව හිමිකම් උල්ලංඝනයවීම් සහ ඇතිවිය හැකි දරුණු තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ විශේෂ රැස්වීමක් කැඳවා තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ අගොස්තු 24 වැනිදා මෙම විශේෂ රැස්වීම පැවැත්වීමට නියමිත බවයි.
මෙම විශේෂ රැස්වීම නිරීක්ෂණ රාජ්‍යයන් 60 ක පමණ සහාය සහිතව කැඳවා ඇති අතර, ප්‍රංශය, ඉන්දියාව, ජපානය, පකිස්තානය, එක්සත් රාජධානිය ඇතුළු රටවල් රැසක් ඒ අතර වන බව සඳහන් වේ. කවුන්සිලයේ සාමාජික රටවල් 47 අතරින් රටවල් 29ක් මේ ඉල්ලීමට දැනටමත් සහාය පළකර තිබේ.
මෙම රැස්වීම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ 31 වන විශේෂ රැස්වීම වනු ඇති අතර, එහිදී මූලිකව ඇෆ්ගනිස්තානයේ මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා ගත හැකි පියවර පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත ය.
බ්‍රිතාන්‍යයේ කතාව
කිසිදු රාජ්‍ය පාර්ශ්වයක් තලේබාන් සංවිධානය ද්විපාර්ශ්වීය වශයෙන් පිළිගැනීම අවශ්‍ය නැති බව බ්‍රිතාන්‍ය අගමැති ⁣බොරිස් ජොන්සන් පවසයි.
ඔහු සඳහන් කරන්නේ ලොව කිසිදු රටකට ඇෆ්ගනිස්තාන ත්‍රස්තවාදය පෝෂණය කිරීමේ නිරත රටක් ලෙස දැකීමට අවශ්‍ය නොවන බවයි. තලේබාන් සංවිධානය කාබුල් නගරය අත්පත් කරගැනීමෙන් අනතුරුව එහි පාලනය පවත්වාගෙන යෑම සඳහා ක⁣ටයුතු කරමින් සිටියි. කිසිදු රටක් එම පාලනය නිල වශයෙන් පිළිගෙන නැතත්, චීනය පසුගියදා ප්‍රකාශ කළේ ඇෆ්ගනිස්තානයේ ස්ථායිතාව වෙනුවෙන් තලේබාන් සංවිධානය සමග කටයුතු කිරීමට සූදානම් බවයි.
මේ අතර ඇෆ්ගනිස්තානයේ පළමු උප ජනාධිපති අමුරුල්ලා සලේ ප්‍රකාශ කර ඇත්තේ එරට ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයා තනතුරෙන් ඉවත්වීමෙන් පසු තමන් රටේ ජනාධිපතිවරයා වන බවයි.
ඇමරිකානු වාර්තා
ඇමරිකාව සමග කටාර් රාජ්‍යයේදී සාම සාකච්ඡා පැවැත්වූ කාලය අතරතුර, තලේබාන් සංවිධානය සිය ත්‍රස්ත ක්‍රියාකාරකම් වඩාත් විධිමත් කර පවත්වාගෙන ගොස් ඇති බව මේ වන විට අනාවරණය වී තිබේ.
ඇමරිකාවේ ආරක්ෂක දෙපාර්තමේන්තුව වන පෙන්ටගනය පසුගිය 17දා නිකුත් කළ වාර්තාවක් මගින් මෙම කරුණු හෙළිදරව් කර ඇත. එම වාර්තාවට අනුව මෙම කාලය තුළ තලේබාන්වරුන් රජයේ සේවකයන්, වි⁣ශේෂයෙන් කාන්තා සේවිකාවන් ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ල කිරීම වැඩි කොට තිබේ.
මේ හැරෙන්නට ඔවුන් විසින් අල්ඛයිඩා සංවිධානයට සහාය ලබාදීම සඳහා ද කටයුතු කොට ඇත. මෙම සාකච්ඡා කාලසීමාව තුළ තලේබාන් ප්‍රචණ්ඩ ක්‍රියා සියයට 25කින් පමණ ඉහළ ගොස් ඇති බව ද එහි සඳහන් වේ.
චීන මැදිහත් වීම
ඇෆ්ගනිස්තානයේ පවතින ගැටුම්කාරී වාතාවරණය හමුවේ සාමය සඳහා පහසුකම් සපයන්නකු ලෙස චීන මැදිහත්වීමක් සිදුවිය හැකි බව විශේෂඥයන් පිරිසක් සඳහන් කර තිබේ. එම මැදිහත්වීම ආර්ථික සහ සංවර්ධන ප්‍රවේශයකින් ඔබ්බට ගිය එකක් විය හැකි බවට ද ඔවුන් පෙන්වා දී ඇත.
එරට මතුවිය හැකි දැවැන්ත ආර්ථික අර්බුදයට පිළියමක් ලෙස චීනයේ මැදිහත්වීමක් සිදුවිය හැකි බව විශ්වාස කෙරේ. පසුගියදා චීන විදේශ අමාත්‍යාවරයා තලේබාන් සංවිධානය සමග සාකච්ඡාවක් ද පැවැත්වූ අතර, එහිදී තලේබාන් සංවිධානය චීනයට අභියෝග නොකරන බවට පොරොන්දු වී ඇතැයි මාධ්‍ය වාර්තා කර තිබිණි.
ආක්‍රමණ නවත්වන්න !
වහාම ආක්‍රමණ නවත්වා ඵලදායී සාම සාකච්ඡා ක්‍රියාවලියකට එළඹෙන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුටාරෙස් තලේබාන් සංවිධානයෙන් ඉල්ලීමක් කර තිබිණි. ඒ, ඔවුන් කාබුල් නුවරට පිවිසීමට පෙර ය.
ඇෆ්ගනිස්තානයේ සහ එහි වැසියන්ගේ යහපත වෙනුවෙන් ගත හැකි හොඳම සහ ඵලදායීම ක්‍රියාව එය බව එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා මෙහිදී අවධාරණය කර තිබිණි. සිය මූලස්ථානයේදී මාධ්‍ය අමතමින් ඔහු සඳහන් කර තිබුණේ ඇෆ්ගනිස්තානයේ නීත්‍යානුකූල පාලනය බිඳ වැටෙමින් පවතින බවයි.
සිවිල් වැසියන් මියයෑම, තුවාල ලැබීම සහ අවතැන්වීම දැඩි ලෙස ඉහළ ගොස් ඇති බවත්, කාන්තා අයිතිවාසිකම් දැඩි ලෙස සීමාවෙමින් පවතින බවත් බවත්, මේ සියල්ල මහත් ඛේදවාචකයක් බවත් එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කර තිබිණි.
විරෝධය දැඩි වෙයි
තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ බලය අත්පත් කර ගැනීමට එරෙහිව රටවල් රැසකදී විරෝධතා ව්‍යාපාර පැවැත්විණි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම විරෝධතාවලදී තලේබාන් සංවිධානයට මෙන්ම ඔවුන්ට සහාය පළකිරීම සම්බන්ධයෙන් පකිස්තානයටද විරෝධය එල්ල වූ බවයි.
තලේබාන් සංවිධානයට සහාය පළකරමින් ඇෆ්ගනිස්තානයේ ගැටුම් ඇති කිරීමට ක්‍රියා කිරීම හේතුවෙන් පාකිස්තානයට සම්බාධක පැනවිය යුතු බව ද විරෝධතාකරුවන් මෙහිදී සඳහන් කර තිබිණි. ඇමරිකාව, බ්‍රිතාන්‍යය, ඕස්ට්‍රේලියාව, කැනඩාව, ඔස්ට්‍රියාව ඇතුළු රටවල් රැසකදී මෙම විරෝධතා ව්‍යාපාර පැවති බව විදෙස් වාර්තාවල දැක්වේ. විදේශගතව වෙසෙන ඇෆ්ගනිස්තාන ප්‍රජාව සහ විවිධ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් රැසක් මේ සඳහා එක්ව සිට ඇත.
වැදගත්ම කරුණ වන්නේ ඇෆ්ගනිස්තානය අභ්‍යන්තරයේ ද මේ විරෝධතා ආරම්භ වීම ය. එහිදී කාන්තාවන් මූළිකත්වය ගැනීම ද කැපී පෙනෙන සිදුවීමක් විය.
ඉස්ලාමීය නීතියේ රාමුව
ඇෆ්ගනිස්ථානයේ පාලනය අල්ලා ගැනීමෙන් පසු තලේබාන් සංවිධානය සිය පළමු ප්‍රවෘත්ති සාකච්ඡාව පසුගිය 18දා පැවැත්වූ අතර, ඔවුන්ගේ මාධ්‍ය ප්‍රකාශකවරයා වන සබිහුල්ලා මුජාහිඩ් පළමුවරට මාධ්‍ය හමුවේ ඔහුව නිරාවරණය කිරීමට එහිදී කටයුතු කළේය.
මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මුජාහිඩ් ප්‍රකාශ කළේ ඉස්ලාමීය නීතියේ රාමුව තුළ කාන්තාවන්ගේ අයිතිවාසිකම්වලට ගරු කරන බවයි.
බොහෝ මාධ්‍යවේදීන් ඔහුගේ මුහුණ දුටු පළමු අවස්ථාව මෙය බව පැවසිණි. වසර ගණනාවක් ඔහු සෙවනැල්ලක් ලෙස ක්‍රියා කර ඇති අතර, බොහෝ විට ඔහුගේ ප්‍රකාශ ලබා දුන්නේ දුරකතනය ඔස්සේ ය. බොහෝ මාධ්‍යවේදීන් දශකයකටත් වැඩි කාලයක් ඔහු සමඟ ගනුදෙනු කර තිබුණත්, ඔහුගේ මුහුණ දැක තිබුණේ නැත.
කෙසේ වෙතත් ඇතැම් පාර්ශ්ව පවසන්නේ තලේබාන්වරුන් මෙවර වෙනස් ප්‍රතිපත්ති අනුගමනය කරනු ඇති බවයි. ඒවා නවීන ලෝකයට අනුගත ඒවා වනු ඇතැයි ද ඔවුන් පවසා තිබිණි. එහෙත් ඇතැම් දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ එය එසේ නොවනු ඇති බවයි. තලේබාන් සංවිධානයේ සුුළු පිරිසක් ලෝකය සමග සංහිඳියාවකට යෑඹට සූදානමින් සිටියද, අති බහුතරය එසේ නොවන බවයි.
බංග්ලාදේශයේ ආරක්ෂාව
තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ බලය අත්පත් කර ගැනීමත් සමග සිය ආරක්ෂාව සම්බන්ධයෙන් සුපරීක්ෂාකාරී වීමට බංගලාදේශය තීරණය කර ඇත. ඊට ප්‍රධාන හේතුව වන්නේ බංගලාදේශයේ ක්‍රියාත්මක ජමාද් අල් මුජහිදීන් නමැති අන්තවාදී කණ්ඩායම ඇෆ්ගනිස්තානයේ තලේබාන් සංවිධානය සමග සමීප සබඳතා පැවැත්වීමයි.
මීට පෙර ඇෆ්ගනිස්තාන යුද්ධය පැවති සමයේ මෙම සංවිධානය නියෝජනය කරමින් බංග්ලාදේශ ජාතිකයන් පිරිසක් එම ගැටුම්වලට සම්බන්ධ වූ බවටද හෙළිවී තිබිණි.
මෑතකදී මෙම සංවිධානයට සම්බන්ධ ප්‍රබල ක්‍රියාකාරිකයන් තිදෙනෙකු අන්තවාදී ක්‍රියා සැලසුම් කිරීමේ චෝදනා මත එරට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබිණි.
ප්‍රකට ආරක්ෂක සහ භූදේශපාලනික විශ්ලේෂකයකු වන ඉන්දියාවේ හිටපු බංගලාදේශ මහ ⁣කොමසාරිස් තාරික් කාරිම් සඳහන් කර ඇත්තේ තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ බලය අත්පත් කර ගැනීම දකුණු ආසියාවේ ආරක්ෂක ගැටළුවක් ලෙස සලකා කටයුතු කළ යුතු බවයි.
නීතියේ ආධිපත්‍යය
තලේබාන්වරුන් ඇෆ්ගනිස්තානයේ බලය අත්පත් කර ගැනීමෙන් අනතුරුව එරට බන්ධනාගාරවල රඳවා සිටි දහස් ගණනකට නිදහස හිමිව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එම මාධ්‍ය වාර්තා කළේ ඇතැම් බන්ධනාගාර වෙත පැමිණි තලේබාන් සාමාජිකයන් ඒවායේ රඳවා සිටි සිරකරුවන් නිදහස් කර යවා ඇති බවයි.
ගැටුම් අතරවාර⁣යේ සිරකරුවන් පළායෑම ද සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මෙසේ නිදහස ලබා ඇති සිරකරුවන් අතර, විවිධ චෝදනා එල්ල වී සිටි තලේබාන් සාමාජිකයන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, කප්පම්කරුවන් ඇතුළු විශාල පිරිසක් වන බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කර තිබිණි.
තලේබාන්වරුන්ගේ ආදායම
තලේබාන් සංවිධානයේ වාර්ෂික අදායම නිශ්චිතව දැක්විය නොහැකි වුවද, එය ඇමරිකානු ඩොලර් මිලියන 300 සිට බිලියන 1.6ක් දක්වා වන බව එක්සත් ජාතීන්ගේ වාර්තාවක දැක්වේ.
තලේබාන් නිර්මාතෘ මුල්ලා මොහොමඩ්ගේ පුත්‍රයා වන මුල්ලා යාකුඩ් පවසා ඇත්තේ 2020 වසරේ මාර්තු මාසයෙන් නිමවූ වසරක කාලයේ තලේබාන් ආදායම ඩොලර් බිලියන 1.6 ක් වූ බවයි. එය ඇෆ්ගන් රජයේ සමස්ත ආදායමෙන් තුනෙන් එකක් පමණ වේ. ඔවුන්ට මේ ආදායම් ලැබුණේ පතල් කැණීම් (ඛනිජ තෙල්, ගෑස්, තඹ, කොබෝල්ට්, රත්තරන්, යකඩ, ලිතියම් සහ ලැපිස් ලාසුලි ආදී පතල්කරුවන්ට බදු පැනවීමෙන් තලේබාන් සංවිධානය ඩොලර් මිලියන 464 ක ආදායමක් උපයා ගනී.), අබිං (මෝෆීන්, කෝඩීන් සහ හෙරොයින් සඳහා භාවිත කරන අබිං, තලේබාන් සංවිධානයට අරමුදල් සපයන විශාලතම ප්‍රභවයකි. 2020 එක්සත් ජාතීන්ගේ ලෝක ඖෂධ වාර්තාවට අනුව ලොව ගෝලීය අබිං සැපයුමෙන් සියයට 84කට පමණ දායක වන්නේ ඇෆ්ගනිස්තානයයි. එහි ලාභයෙන් වැඩි කොටසක් ගලා එන්නේ තලේබාන් සංවිධානයටයි. ඇෆ්ගනිස්ථානයේ පර්යේෂණ හා ඇගයීම් ඒකකයට අනුව, අබිං නිෂ්පාදන දාමයේ සෑම අවස්ථාවකදීම තලේබාන්වරුන් විසින් ඊට සියයට 10ක බද්දක් පනවා ඇත.), කප්පම් ගැනීම (කප්පම් ගැනීමෙන් තලේබාන් භාණ්ඩාගාරයට වාර්ෂිකව තවත් ඇමරිකානු ඩොලර් මිලියන 160 ක් පමණ ලැබෙන බව වාර්තා දක්වයි.), ආනයන තීරු බදු (පාකිස්තානය, ඉරානය, ටර්ක්මෙනිස්තානය සහ ටජිකිස්තානය යන දේශසීමා අසල පිහිටි රේගු මුරපොළ අටක් තලේබාන් සංවිධානය විසින් පාලනය කෙරුණු අතර, ඔවුන් එම ස්ථාන අල්ලාගනු ලැබීමෙන් පසු ඇෆ්ගනිස්ථාන ආණ්ඩුවට ඩොලර් මිලියන 33ක් අහිමි වූ බව වාර්තාවල සඳහන් ය.), ආධාර හා පරිත්‍යාග (2008 වාර්තාවකට අනුව තලේබාන් සංවිධානයට විදේශීය මූලාශ්‍රයක් ලෙස සැලකෙන ගල්ෆ් රාජ්‍යයන්ගෙන් ඩොලර් මිලියන 106ක පරිත්‍යාග ලැබී තිබේ.)
අමතක කළ අවශ්‍ය ම පුද්ගලයා
‘අපට ඇෆ්ගනිස්ථාය ගැන මූලික අවබෝධයක්වත් නෑ. අපි දන්නෙ නෑ අපි මොනවද කරන්නේ කියලා.’
ඇමරිකාවේ තරු තුනේ ජෙනරාල්වරයෙකු වන ඩග්ලස් ලූට් එසේ පවසා තිබුණේ ඇෆ්ගනිස්තානයට ඇතුළු වී, එරට යුද්ධ කරන ඇමරිකානු හමුදා ක්‍රියාකාරිත්වය පිළිබඳව සඳහන් කරමින් ය.
මේ සියලු කතා අනාවරණය කළ එක් නිශ්චිත පුද්ගලයෙකු පිළිබඳ බටහිර මාධ්‍ය සඟවනු ලබයි. ඔහු, ක්‍රෙග් වයිට්ලොක් නම් මාධ්‍යවේදියා. වොෂින්ටන් පෝස්ට් පුවත්පතේ රාජකාරි කළ ඔහු වසර දෙකකට පෙර ලෝකයම කැළඹූ හෙළිදරව්වක් සිදු කරන ලදි. ඒ, ඇෆ්ගන් පත්‍රිකා අනාවරණය. තව දින කිහිපයකින්, එනම් 2021 අගෝස්තු 31දා මේ සම්බන්ධයෙන් ඔහු විසින් රචිත කෘතිය පිට වේ. The Afghanistan Papers: A Secret History of the War එහි නමයි.
ඇෆ්ගනිස්තානයට අදාළ, ඇමරිකානු ආරක්ෂක මූලස්ථානයේ රහසිගත ලියවිලි විශාල සංඛ්‍යාවක් මෙසේ ඇෆ්ගන් පත්‍රිකා ලෙස හෙලිදරව් කෙරිණි. එම පත්‍රිකා ලබාගැනීම ද වොෂින්ටන් පෝස්ට් පුවත්පතට පහසු කරුණක් නොවීය. ඔවුන් ඇමරිකානු තොරතුරු අයිතිය පිළිබඳ පනත යටතේ මේ තොරතුරු ඉල්ලුවද, එය ප්‍රතික්ෂේප වී තිබිණි. එහෙත් ඔවුන් වැඩේ අත්හැරියේ නැත. වසර තුනක් තිස්සේ නඩු කියා ඔවුඒු එම පත්‍රිකා ලබාගත්හ.
අගෝස්තු 31 වැනිදායින් පසු ඒ කෘතිය පිළිබඳ කියවාගැනීම මගින් තලේබාන්වරුන්ට යටත් කෙරුණු ඇෆ්ගනිස්තාන කතාවේ තීරණාත්මක කතාව පිළිබඳ අදහසක් ලබාගන්නට හේතුවනු ඇත.

MediaLK පලකරනු ලබන කතාවක් සම්බන්ධයෙන් ප්‍රතිචාරයක් ඇත්නම් හෝ වෙනත් තොරතුරක් ලබා දීමට ඇත්නම් පහත ඊමේල් ලිපිනවලට ඊමේල්මඟින් යොමු කළ හැකිය.
in.medialk@gmail.com
parapura.medialk@gmail.com
medialknews@gmail.com

Previous articleමහේස්ත්‍රාත්වරුන්ගේ වැටුප තීරණය කළ සම්මන්ත්‍රණය : යුක්තිය පසිඳලීමට බලපෑමක් සිදු වී ඇත්නම් වහාම නිවැරදි කරන්න – නීතිඥ සංගමයෙන් අධිකරණ සේවා කොමිසමට ලිපියක් !
Next articleප්‍රහාරයට මාස 28ක් ; අපිව බේරන්න ! – පාස්කු චූදිතයෝ ඉල්ලති

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here