කොවිඩ් මරණවලින් 20%ක් රෝහලෙන් පිට : වෛද්‍ය අධීක්ෂණයක් නැති ආසාදිතයින් රැසක් ගෙවල්වල

වාර්තාගත කොවිඩ් ආසාදිත මරණවලින් 19.9%ක්ම වාර්තා වී ඇත්තේ නිවාස වල මිය ගිය පුද්ගලයන් සහ රෝහල් ගත කරද්දී මිය ගිය පුද්ගලයන්යැයි ද, එයින් ගම්‍යවන්නේ ආසාදිත මරණවලින් 20%කට ආසන්න පිරිසක් නිවෙස්වල සිටි පිරිස් බව යැයි ද සෞඛ්‍ය අංශ කියයි.
එමෙන්ම කොවිඩ් ආසාදිතයන්ගෙන් විශාල පිරිසක් නිවෙස්වල වෛද්‍ය අධීක්ෂණයක් නොමැතිව සිටීම බරපතල තත්ත්වයක් බව ද සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.
මේ සම්බන්ධයෙන් MediaLK කළ සොයා බැලීමේදී තහවුරු වූයේ පසුගිය අගෝස්තු 06 වනදා වන විට පැවැති දත්ත අනුව මරණ 980ක්ම නිවාසවල සිදුවූ මරණ හෝ රෝහල් ගත කරද්දී සිදුවූ මරණ බවයි.  අගෝස්තු 06 වැනි දා වන විට රෝහල් ගත කර සිටියදී මිය ගිය ගණන 3939කි.

නිවාසවල සහ රෝහල් ගත කරන අවස්ථාවේ මිය ගොස් ඇති කොවිඩ් ආසාදිතයන් ගණන සමස්ථ මරණ සංඛ්‍යාවෙන් සියයට 19.9ක් වීමෙන් පෙන්නුම් කරන්නේ හඳුනා නොගත් කොවිඩ් රෝගීන් විශාල පිරිසක් සමාජයේ සිටින බව යැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ නම සඳහන් කිරීමට අකමැති නිලධාරියෙක් MediaLK වෙත ප්‍රකාශ කළේය.
අගෝස්තු 06 වැනිදා වන විට කොවිඩ් නිසා මිය ගොස් සිටි 4919 දෙනාගෙන් වයස අවුරුදු 30ට අඩු ගණන 58 දෙනෙකි. අවුරුදු 30ත් 59ත් අතර 1096 දෙනෙක් මිය ගොස් ඇති අතර 60 වැඩි ගණන 3765කි. මිය ගිය පිරිස අතර අවුරුදු 19ට අඩු 18 දෙනෙක්ද සිටිති.
නිවසේදී හෝ රෝහල් ගත කරන අවස්ථාව වන විට මිය ගොස් සිටි 980 අතුරෙන් වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයේ වන අතර එම ගණන 213කි. කළුතර දිස්ත්‍රික්කයේ එම ගණන 189ක් වන අතර ගම්පහ දිස්ත්‍රික්කයේ 138කි. ගාල්ලේ 106 දෙනෙක් ද, කුරුණෑගල 89 දෙනෙක් ද නිවසේදී සහ රෝහල් ගත කරන අවස්ථාවේදී මියගොස් තිබේ.
අගෝස්තු 06 වැනිදා දක්වා වාර්තාගත තොරතුරුවලට අනුව කොවිඩ් 19 ප්‍රතිශක්තීකරණ එන්නත් දෙකම ලබා ගත් 25 දෙනෙකු ද, එක් එන්නතක් ලබා ගත් 202කු ද මියගෝස් තිබේ.
අගෝස්තු පළමු වැනි දා සිට අගෝස්තු 10 වැනිදා තෙක් කොවිඩ් රෝගීන්යැයි තහවුරු වූ බවට වසංගත රෝග අංශය ඉදිරිපත් කරන දත්තවලට සාපේක්ෂව මියගියැයි කියන ගණන සියයට 3.32කි. අගෝස්තු 06 වැනිදා තෙක් දත්ත අනුව මියගොස් ඇති ප්‍රතිශතය ආසාදිතයන්යැයි වාර්තා ගත ගණනට සාපේක්ෂව සියයට 3.07කි. ජනගහනයට අනුව ශ්‍රී ලංකාවේ කොවිඩ් තහවුරු වන ගණන මිලියනයකට 15,901ක් වන අතර මරණ ගණන මිලියනයකට 254 දෙනෙකි. ඉන්දියාවේ කොවිඩ් තහවුරුවන ගණන මිලියනයකට 22,994ක් වන අතර මරණ ගණන මිලියනයකට 308 දෙනෙකි. කෙසේ වෙතත් ඉන්දියාවේ මෙලෙස වාර්තා වන්නේ පීසීආර් විශාල ප්‍රමාණයක් සිදු කිරීම නිසා බවත්, ලංකාවේ පීසීආර් පරීක්ෂණ 4,412,770ක් සිදු කරද්දී ඉන්දියාවේ පීසීආර් පරීක්ෂණ 487,370,196ක් සිදු කර ඇති බවත්, ඒ අනුව බලන කල ලංකාවේ තත්ත්වය ඉන්දියාවටත් වඩා නරක අතට යමින් තිබෙන බවත් ප්‍රජා වෛද්‍ය විශේෂඥවරු කියති.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ජූනි 06 දිනැති සංශෝධිත මාර්ගෝපදේශයෙන් පසු ඇතැම් රෝහල්වල කොවිඩ් ලක්ෂණ නොමැතිව මිය යන රෝගීන්ට පීසීආර් පරීක්ෂණ සිදු නොකරන බව ද රෝහල් ආරංචිමාර්ග කියයි.
කොවිඩ් ආසාදිතයන් නිවාසවල සහ මහ මඟ මිය යන බවට පසුගිය නොවැම්බර් සහ දෙසැම්බර් මාසවල සමාජ මාධ්‍යවල පෝස්ට් පළවූ අතර ඒවා අසත්‍ය බව රජය පාර්ශ්වයෙන් ඒ දිනවල ප්‍රකාශ කළේය. එවැනි ව්‍යාජ පෝස්ට් පළකරන පිරිස් අත්අඩංගුවට ගන්නා බව ද රජයේ පාර්ශ්වයෙන් කීවේය. කෙසේ වෙතත් පසුගිය ඔක්තෝබර 24 වැනි දා සිට දෙසැම්බර් 31 වැනිදා තෙක් කොවිඩ් ආසාදිතයන් 70ක් නිවාසවල සහ රෝහලට ඇතුළත් කරන අවස්ථාවන වන විට මියගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශයේ දත්ත විශ්ලේෂණය කරද්දී පෙනී යයි.
(මෙම ලිපිය සඳහා දත්ත වසංගත රෝග විද්‍යා අංශයෙනි)

MediaLK පලකරනු ලබන කතාවක් සම්බන්ධයෙන් ප්‍රතිචාරයක් ඇත්නම් හෝ වෙනත් තොරතුරක් ලබා දීමට ඇත්නම් පහත ඊමේල් ලිපිනවලට ඊමේල්මඟින් යොමු කළ හැකිය.
in.medialk@gmail.com
parapura.medialk@gmail.com
medialknews@gmail.com

Previous articleරෝග ලක්ෂණ සහිත පුද්ගලයෝ රැසක් පරීක්ෂණ නැතුව නිවෙස්වල
Next articleආසාදිතයන්ගේ සංඛ්‍යාව ගැන දහස් ගණනක පරස්පරතාවක්

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here