රෝග ලක්ෂණ සහිත පුද්ගලයෝ රැසක් පරීක්ෂණ නැතුව නිවෙස්වල

කොවිඩ් රෝග ලක්ෂණ ඇති පුද්ගලයන්ට කොවිඩ් ආසාදනය වී ඇත්දැයි දැන ගැනීම සඳහා අදාළ පරීක්ෂණයකට භාජනය වීම දුෂ්කර වී ඇතැයි ප්‍රදේශ කිහිපයකින් වාර්තා විය.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හරහා අදාළ පරීක්ෂණවලට භාජනය වීමට ඇතැම් ප්‍රදේශවල දින 10ක් පමණ යන බවත්, පෞද්ගලික රෝහල් රැසක රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ නවත්වා ඇති බවත්, පෞද්ගලික රෝහල්වලින් පීසීආර් කිරීම සඳහා ඇන්ටිජන් පරීක්ෂණයට වඩා වැඩි මුදල් වැය වන බවත් රෝග ලක්ෂණ සහිත කිහිප දෙනෙක්ම  MediaLK වෙත ප්‍රකාශ කළහ.
මීට පෙර රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණය සිදු කළ පෞද්ගලික රෝහල් කිහිපයකට MediaLK කතා කර රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණය සිදු කරන්නේදැයි විමසා සිටි අතර ඔවුන් ප්‍රකාශ කළේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණය සිදු කිරීම නතර කර ඇති බවයි.
පෞද්ගලික රෝහල් දෙකක ප්‍රධානීන්ගෙන් විමසීමේදී ඔවුන් ප්‍රකාශ කළේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ නතර කරන ලෙස සෞඛ්‍ය බලධාරීන් කළ දැනුම්දීමකින් පසු එම පරීක්ෂණය නතර කර දැමූ බවයි.
මේ හේතුව නිසා රෝග ලක්ෂණ ඇති පිරිස් දැඩි අපහසුතාවට පත්ව සිටිති.
‘රෝග ලක්ෂණ ඇවිත් දවස් කීපයක්. පීඑච්අයිට කතා කළාම ටික කාලයක් යයි කිව්වා. හරියටම කොවිඩ්ද නැද්ද දන්නේ නැතුව වැඩට යන්නත් නෑ. රජයේ රෝහලකට පීසීආර් කරගන්න යනවා නම් යන්න වෙන්නේ බස්වල. අපිට කොවිඩ්නම් අනිත් අයට බෝවෙන්න පුළුවන්.’ යැයි රෝග ලක්ෂණ සහිත පුද්ගලයෙක් පැවසීය.
මේ සම්බන්ධයෙන් විමසීමට සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරියකු සම්බන්ධ කර ගැනීමට නොහැකි විය.

MediaLK පලකරනු ලබන කතාවක් සම්බන්ධයෙන් ප්‍රතිචාරයක් ඇත්නම් හෝ වෙනත් තොරතුරක් ලබා දීමට ඇත්නම් පහත ඊමේල් ලිපිනවලට ඊමේල්මඟින් යොමු කළ හැකිය.
in.medialk@gmail.com
parapura.medialk@gmail.com
medialknews@gmail.com

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here