පැමිණිලි විසඳීම ඉබි ගමනේ ; තනතුරු රැසක් හිස්; ළමා ආරක්ෂක අධිකාරිය නමට විතරද?

(තරිඳු ජයවර්ධන)
MediaLK අනාවරණය විශේෂාංගයෙන් මෙවර ඉදිරිපත් කරන්නේ පහුගිය කාලයේ වැඩි දෙනෙක් කතා බහ කළ මාතෘකාවකට අදාල කාරණයක් ගැනය.
මීට සති තුනකට පමණ පෙර පුවත් මවන මාතෘකාවක් වූයේ අවුරුදු 15ක දැරියක පිරිසක් විසින් ලිංගික අපයෝජනය කළැයි කියන සිදුවීමයි. ඊට සතියකට පසු එම මාතෘකාව රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ නිවසේදී ගිනිගෙන රෝහල් ගත කරනු ලැබීමෙන් පසු මිය ගිය දැරියක වෙතට යොමු විය. සතියක් පමණ පුවත්පත්වල ප්‍රධාන පුවත වූයේ එම සිදුවීමයි. සිද්ධියක් වාර්තාවූ විට එම සිද්ධියට ඇති දේශපාලන හෝ වෙනයම් සම්බන්ධකම් මත ටික දිනක් ඒ ගැන කතා කළ ද එය ක්‍රමයෙන් අමතකව යැම සාමාන්‍ය පුරුද්දයි. මෙවැනි සිදුවීම් රැසක් සමාජයේ සිදුවුවද ඒ ගැන කතාබහක් ඇතිවන්නේ නැත.

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය

එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් සම්මුතියට ශ්‍රී ලංකාව 1990 වසරේදී අත්සන් තැබීය. ළමයින් සම්බන්ධයෙන් සොයා බලා කරුණු ඉදිරිපත් කිරීම සඳහා 1996 වසරේදී එවකට ජනාධිපතිවරිය  ළමා ආරක්ෂණය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායක් පත් කළාය. එම කාර්ය සාධක බලකායේ එක් ප්‍රධාන නිර්දේශයක් වූයේ ළමයින් සම්බන්ධයෙන් තීරණ ගත හැකි නෛතික බලතල සහිත ආයතනයක් පිහිටුවීම සුදුසු බවයි. ඒ අනුව 1998 අංක 50 දරණ පනත මඟින් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය නම් ආයතනය පිහිටවනු ලැබීය. එහි පළමු සභාපතිවරයා වූයේ මහාචාර්ය හරේන්ද්‍ර ද සිල්වා මහතාය.
ළමා අපයෝජන වැළැක්වීම පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සැකසීමටත්, ඒ හා සබැඳි නීති පිළිබඳව රජයට උපදෙස් දීම සහ එවැනි අපයෝජනයන්ට ගොදුරු වූ දරුවන්ගේ ආරක්ෂාව සහතික කිරීම, ප්‍රතිකාර කිරීම සහ සියලු ආකාරයේ ළමා අපයෝජනවලට එරෙහිව කටයුතු කිරීම, කටයුතු සම්බන්ධීකරණය හා අධීක්ෂණය කිරීම ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ප්‍රධානතම වගකීමකි.
ළමයින් සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි විභාග කිරීම සඳහා ළමා ආරක්ෂක අධිකාරියේ වෙනම පොලිස් ඒකකයක්ද ස්ථාපිත කර තිබේ. ළමා ආරක්ෂක අධිකාරිය ගැන අනාවරණය කළ යුතු දේවල් රැසක් තුබුණද මෙම ලිපියෙන් අනාවරණය කරන්නේ ළමයින් සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි නිසි ආකාරයට විභාග කරනවාද යන්න ගැන පමණි.

වසර 09ට පැමිණිලි 37186ක් විසඳා නෑ

ළමා ආරක්ෂක අධිකාරී පනතේ 40 වැනි වගන්තිය අනුව ළමයා යන්නට වයස අවුරුදු 18ට අඩු පුද්ගලයන් අදහස් වේ.
ළමයින් සම්බන්ධයෙන් පැමිණිලි ලැබෙන එකම ආයතනය ළමා ආරක්ෂක අධිකාරිය නොවේ. ශ්‍රී ලංකාවේ විවිධ පොලිසිවලට ද ළමා අපයෝජන සම්බන්ධයෙන් පැමිණිලි ලැබෙයි. 2010 වසරේ ජාතික ළමා ආරක්ෂක අධිකාරියට ලැබුණු පැමිණිලි ගණන 4206කි. වසර අවසන් වන විට විමර්ශන ආරම්භ කර තිබී ඇත්තේ එයින් පැමිණිලි 3923ක පමණි.
2011 වසරේ එම අධිකාරියට ලැබුණු පැමිණිලි ගණන 6106ක් වන අතර විසඳා ඇති පැමිණිලි ගණන 3249කි. එනම් සියයට 56ක් විසඳා නොතිබිණි. 2012 වසරේ ලැබුණු පැමිණිලි 8504ක් අතුරෙන් විසඳා තිබුණේ පැමිණිලි 5692කි. 2013 වසරේ ලැබුණු පැමිණිලි ගණන 11489ක් වූ අතර එයින් විසඳා ඇත්තේ පැමිණිලි 5504ක් පමණි.
2011 වසරේ සිට 2019 වසර දක්වා ජාතික ළමා ආරක්ෂක අධිකාරියට ලැබුණු පැමිණිලි ගණන සහ විසඳා ඇති පැමිණිලි ගණන පහත දැක්වේ.
2011 සිට 2019 වසර දක්වා ලැබුණු මුළු පැමිණිලි 79259ක් අතුරෙන් විසඳා තිබුණේ පැමිණිලි 42073ක් පමණි. එනම් පැමිණිලි 37186ක් විසඳා නොතිබිණි. ලැබුණු පැමිණිලිවලින් සියයට 47ක් පමණ විසඳා නොතිබීම බරපතල තත්ත්වයකි.

ගොනු 413යි නඩු 185යි

ජාතික ළමා ආරක්ෂක අධිකාරියට ලැබුණු පැමිණිලිවලින් 2010 වසරේ සිට 2019 වසර දක්වා විමර්ශන අවසන් කර ගොනු 413ක් නීතිපතිවරයා වෙත යොමු කර ඇති අතර 2020 වසර වන විටත් එයින් නඩු පවරා තිබුණේ ගොනු 185ක් සම්බන්ධයෙන් පමණි. ළමා ආරක්ෂක අධිකාරියේ කාර්යසාධනය ගැන විශේෂ විගණනයක් පැවැත්වූ විගණකාධිපති දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ නීතිපති දෙපාර්තමේන්තුව සමඟ සාකච්ඡා කර නඩු පැවරීම කඩිනම් කිරීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පියවර ගෙන නැති බවයි.
මීට පෙර සඳහන් කළ පරිදි ජාතික ළමා ආරක්ෂක අධිකාරියට ලංකාවේ සිදුවෙන සෑම අපයෝජනයක් ගැනම පැමිණිලි ලැබෙන්නේ නැත. ඊට හේතුව අපයෝජනයට ලක්වූ ළමයි හෝ ඔවුන්ගේ දෙමාපියන් පැමිණිලි දැමීම සම්බන්ධයෙන් දැනුම්වත්වී නොමැතිකම සහ පැමිණිලි කිරීමට මැලිවීම මෙන්ම බොහෝ පැමිණිලි අදාල ප්‍රදේශයේ පොලිසියට සිදු කිරීමය.  ලැබුණු පැමිණිලි ද කඩිනමින් විභාග කර නීතිමය ක්‍රියාමාර්ග ගැනීම ප්‍රමාද වන්නේ නම් එයින් සිදුවන්නේ ළමා අපයෝජන තව තවත් සිදු කිරීමට අනියමින් ඉඩ කඩ සැලසීමකි.
මෙසේ පැමිණිලි විමර්ශනය කිරීම ප්‍රමාද වීමට හේතු මොනවාද යන්න සම්බන්ධයෙන් MediaLK කළ සොයාබැලීමේදී අනාවරණය වූයේ ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ප්‍රමාණවත් කාර්ය මණ්ඩලයක් නොසිටීම පැමිණිලි විමර්ශනය ප්‍රමාද වීමට එක් ප්‍රධාන හේතුවක් බවයි.

පුරප්පාඩු රැසක්

ඊට හොඳම උදාහරණය වීඩියෝ සාක්ෂි පටිගතකරන්නන්ගේ මදිකමයි. වීඩියෝ සාක්කි පටිගත කරන්නේ වින්දිතයෙකු ඒ සිදුවීම නැවත නැවත කියද්දි නැවත නැවතත් වින්දිතත්වයට පත්වීම නතර කිරීම සඳහාය. 2017 සිට 2019 දක්වා වීඩියෝ සාක්ෂි 461ක් පටිගත කරන ලෙස ඉල්ලීම් ලැබී තිබුණද වීඩියෝ සාක්කි පටිගත කිරීම් සිදු කර තිබුණේ 331ක් පමණි. මේ ගැන විගණකාධිපති දෙපාර්තමේන්තුව කළ සොයාබැලීමකදී අනාවරණය වී තිබුණේ ප්‍රමාණවත් පරිදි පටිගත කිරීමේ උපකරණ නොමැතිකම, සම්මූඛ සාකච්ඡා මෙහෙයවීමට පුහුණු නිලධාරීන් නොමැතිකම සහ වීඩියෝ සාක්කි පටිගත කරන්නන්ගේ තනතුරු ගණන ඉතාම අවම වීම මත වීඩියෝ සාක්කි පටිගත කිරීම් මඟහැරෙන බවයි.
ආයතනයක සෑම කාර්යක්ම බොහෝ විට රඳා පවතින්නේ මූල්‍ය කළමනාකරණය මතය. ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ද ඒ සඳහා වෙනම අංශයක් සහ තනතුරු කිහිපයක් ඇති කර තිබේ. මූල්‍ය අංශයේ ප්‍රධානියා අධ්‍යක්ෂ (මුදල්) ලෙස හැඳින්වේ. එම තනතුර 2012 සිට 2019 දක්වාම පුරප්පාඩු වී පැවැතීම විශේෂත්වයකි. 2016 වසරේ ජූලි මාසයේ එම තනතුරට පුද්ගලයකු පත් කර ඇතත් ඔහු තනතුරේ කටයුතු කර ඇත්තේ මාස තුනක් පමණි. 2016 ඔක්තෝබර් මාසයේ ඔහු ඉල්ලා අස්වී තිබේ. 2020 දක්වාම එම තනතුර පුරප්පාඩුව පැවතී ඇති අතර මීට මාස කිහිපයකට පෙර එම පුරප්පාඩුව පුරවා තිබිණි.
වසර ගණනාකවක් තිස්සේ ආයතනයක ප්‍රධානතම තනතුරක පුරප්පාඩුවක් පැවැතීම සුළුවෙන් තැකිය හැකි තත්ත්වයක් නොවේ. මෙම ආයතනයේ ගණකාධිකාරී ලෙස කටයුතු කළ පුද්ගලයා 2010දී වැඩතහනමට ලක්වී තිබුණු අතර වසර 10ක පමණ කාලයක් එම පුරප්පාඩුව පුරවා නොතිබිණි.
2020 වසරේ මැද වන විට ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ අනුමත තනතුරුවලින් සියයට 36කම පුරප්පාඩුවී තිබිණි. අධිකාරියේ ඉහළම තනතුරක් වූ සාමාන්‍යාධිකාරී (අධ්‍යක්ෂ ජනරාල්) තනතුර 2011 සිට 2016 වනතුරු පුරප්පාඩු වී තිබිණි. නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තනතුර 2011 සිටම පුරප්පාඩු වී තිබිණි.

නීතිය පැත්තේ තනතුරු රැසක් හිස්

අධ්‍යක්ෂ (නීතිය ක්‍රියාත්මක කිරීම) යන තනතුර ද ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ තවත් ප්‍රධානම සහ වැදගත්ම තනතුරකි. කෙසේ වෙතත් 2020 වන විට වසර 07ක පමණ කාලයක් තිස්සේ එම තනතුර පුරප්පාඩුවී පැවතිණි. එම අංශයේ ඊළඟ තනතුරු වූ සහකාර අධ්‍යක්ෂ (නීතිය ක්‍රියාත්මක කිරීම) නම් තනතුරද 2019 ජනවාරි මාසයේ සිට පුරප්පාඩුවී තිබුණු අතර එම තනතුර පිරවීමට මාස ගණනක් ගතවිය.
ආයතනයේ අධ්‍යක්ෂ (නීති) නම් තනතුර 2014 සිට අවුරුදු 06ක් පුරප්පාඩු වී තිබිණි. සායනික මනෝවිද්‍යා තනතුර 2018 ජූලි 13 සිට පුරප්පාඩුවී තිබිණි. එනම් පැමිණිලි විසඳීමේ ක්‍රියාවලියේ ජ්‍යෙෂ්ඨ මට්ටමේ තනතුරු 04ක්, ද්විතීය මට්ටමේ තනතුරු තුනක් කාලයක් තිස්සේ පුරප්පාඩු වී තිබීම පැමිණිලි විමර්ශනයට බරපතල බාධාවක් වූ බව ළමා ආරක්ෂක අධිකාරියේ අභ්‍යන්තර ආරංචිමාර්ග කියයි.
2020 වන විට දිස්ත්‍රික් ළමා ආරක්ෂක සහ ප්‍රාදේශීය ළමා ආරක්ෂක නිලධාරීන් 131කගේ පුරප්පාඩු තිබිණි. තවමත් තිබේ.
ඉල්ලා අස්වූ නිලධාරීන් සංඛ්‍යාව

වසර අවසන් වන විට පුරවනවා – මාධ්‍ය අංශය

මෙවැනි තත්ත්වයක් තිබියදී ළමයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරියට හැකියාවක් තිබේද? මෙහි වර්තමාන තත්ත්වය ගැන MediaLK ළමා ආරක්ෂක අධිකාරියේ මාධ්‍ය අංශයෙන් විමසීමක් කළ අතර ඔවුන් ප්‍රකාශ කළේ නීතිය ක්‍රියාත්මක කිරීමේ අධ්‍යක්ෂ ඇතුළු තනතුරු කිහිපයකට පිරිස් බඳවාගෙන පුරප්පාඩු සම්පූර්ණ කර ඇති බවයි. ඉතිරි තනතුරුද මෙම වසර අවසන් වන විට සම්පූර්ණ කිරීමට හැකියාව ලැබෙනු ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ මාධ්‍ය අංශයේ නිලධාරියා ප්‍රකාශ කළේය.
වසර ගණනක සිට මෙම වචන මේ ආකාරයටම ඇසීමට ලැබේ.  මෙම අඩුපාඩු සකස් කර, වැරදි නිවැරදි කරගෙන ළමා ආරක්ෂක අධිකාරියට ඉදිරියට යෑමට අවශ්‍ය බලපෑම් කිරීම ළමයින් සම්බන්ධයෙන් කතා බහ කරන සියලුම ආයතනවල, සංවිධානවල සහ පුරවැසියන්ගේ වගකීමකි.

 

Previous articleසෞඛ්‍ය ප්‍රධානියා පොලිස්පතිට යැවූ ලිපිය නීතියක් නෙමෙයි ; පාගමන තහනම් කරන්නැයි කළ පොලිස් ඉල්ලීම ඉවතට
Next articleරෝග ලක්ෂණ සහිත පුද්ගලයෝ රැසක් පරීක්ෂණ නැතුව නිවෙස්වල

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here