Home පුවත් සෞඛ්‍ය ප්‍රධානියා පොලිස්පතිට යැවූ ලිපිය නීතියක් නෙමෙයි ; පාගමන තහනම් කරන්නැයි කළ පොලිස් ඉල්ලීම ඉවතට

සෞඛ්‍ය ප්‍රධානියා පොලිස්පතිට යැවූ ලිපිය නීතියක් නෙමෙයි ; පාගමන තහනම් කරන්නැයි කළ පොලිස් ඉල්ලීම ඉවතට

0
සෞඛ්‍ය ප්‍රධානියා පොලිස්පතිට යැවූ ලිපිය නීතියක් නෙමෙයි ; පාගමන තහනම් කරන්නැයි කළ පොලිස් ඉල්ලීම ඉවතට
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පොලිස්පතිවරයාට යවන ලද ලිපියක් නිරෝධායන හා රෝග වැලැක්වීමේ ආඥාපනත යටතේ රෙගුලාසියක් වශයෙන් සැලකිය නොහැකි බැවින් ගුරු විදුහල්පති වැටුප් විෂමතාවයට එරෙහිව සංවිධානය කර ඇති උද්ඝෝෂණ පාගමන වලක්වමින් නියෝගයක් නිකුත් කරන ලෙස බෙම්මුල්ල පොලිස් ස්ථානය කළ ඉල්ලීම ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා ප්‍රතික්ෂේප කර තිබේ.
එම පාගමනට සහභාගී වන පිරිස් ඇන්ටිජන් හෝ පීසීආර් පරීක්ෂණයකට ලක් කරන ලෙසට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට නියෝගයක් නිකුත් කරන්නැයි ද පොලිසිය ඉල්ලා සිටි අතර ඒ සඳහා ඉල්ලීම කළ යුත්තේ අදාල සෞඛ්‍ය බලධාරීන්ගෙන් බැවින් එම ඉල්ලීම ද අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ තිබේ.
මෙම පාගමන වලකාලන නියෝගයක් ඉල්ලමින් බෙම්මුල්ල පොලිසිය ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර ඇත්තේ පසුගිය 06 වැනිදාය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වැනි ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති සාමකාමීව රැස්වීම, අදහස් ප්‍රකාශ කිරීම, ශ්‍රී ලංකාව තුල අභිමත ස්ථානයක් වෙත යාමේ ඒමේ නිදහස ආදිය සීමා කළ හැක්කේ ව්‍යවස්ථාවේ 15 වැනි ව්‍යවස්ථාව අනුව පමණක් බවත්, ඒ අනුව එය සිදු කළ හැක්කේ පවත්නා නීතියෙන් ප්‍රතිපාදන දක්වා ඇත්නම් පමණක් බවත්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පොලිස්පතිවරයාට යවන ලිපියක සඳහන් කරුණු 1987 අංක 03 දරණ නිරෝධායන හා රෝග වැළැක්වීමේ ආඥා පනතේ 2 සහ 3 වගන්ති ප්‍රකාරව සාදන ලද සෞඛ්‍ය රෙගුලාසි වශයෙන් සැළකිය නොහැකි බවත් මහේස්ත්‍රාත්වරයා සිය නියෝගයේ සඳහන් කර තිබේ.
ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා විසින් ලබා දෙන ලද සම්පූර්ණ නියෝගය පහත දැක්වේ.
”ඉදිරිපත්ව ඇති ඉල්ලීම වෙත අධිකරණයේ අවධානය යොමු කරමි. ඒ යටතේ කරුණු සළකා බැලීමේදී ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව ප්‍රකාරව අනෙකුත් මූලික අයිතිවාසිකම් අතර සාමකාමීව රැස්වීම, අදහස් ප්‍රකාශ කිරීම, ශ්‍රී ලංකාව තුල අභිමත ස්ථානයක් වෙත යාමේ ඒමේ නිදහස සෑම පුරවැසියකුම සතු මූලික අයිතිවාසිකම් වන බව 14 වන ව්‍යවස්ථාව ප්‍රකාරව ඉතාමත් පැහැදිලි කරුණකි.
ඒ අනුව එකී මූලික අයිතිවාසිකම් සීමා කළ හැක්කේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේම 15 වැනි ව්‍යවස්ථාව අනුව පමණි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 15 වන ව්‍යවස්ථාව ප්‍රකාරව මහජන සෞඛ්‍ය මත පදනම්ව 14 ව්‍යවස්ථාවේ සඳහන් මූලික අයිතිවාසිකම් සීමා කළ හැකි නමුදු, එය සිදු කළ හැක්කේ පවත්නා නීතියෙන් ඒ සදහා ප්‍රතිපාදන දක්වා ඇත්නම් පමණි.
ඒ යටතේ කරුණු සලකා බැලීමේදී, සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පොලිස්පතිවරයා වෙත යවන ලද ලිපියෙහි සඳහන් කරුණු සංශෝධිත පරිදි වූ 1897 අංක 03 දරණ නිරෝධායනය හා රෝග වැළැක්වීමේ ආඥා පනතේ 2 සහ 3 වගන්ති ප්‍රකාරව සාදන ලද සෞඛ්‍ය රෙගුලාසි වශයෙන් සැළකිය නොහැකි අතර, මක් නිසාද යත් එකී කරුණ පුද්ගල සංචරණයන්ට අදාලව වන සීමාවන්ට අදාල නොවන එක් පිරිසක් ඉලක්ක කොටගත් කරුණක් වීමත්,එවැනි රෙගුලාසියක් නීත්‍යානුකුල වීමට නම් එය ගැසට් පත්‍රයේ පල කොට ඊට අදාලව වන නෛතික වලංගුභාවය සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ලබා දිය යුතු වීමත් නෛතික අවශ්‍යතාවයක් වන බැවිනි. (ඒ අනුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් කොවිඩ් 19 ව්‍යප්තවීම වැළැක්වීම පිණිස සියළු උද්ඝෝෂණ වලක්වා සෞඛ්‍ය රෙගුලාසියක් පනවනු ලදුව එය ගැසට් පත්‍රයේ පලකරණු ලබන්නේ නම් එය නීතියක් වන බැවින් එවැනි තත්වයක් මත පමණක් ඊට අදාල කරුණු මත අදාල රැස්වීම, නීති විරෝධී රැස්වීමක් බවට නිරායාසයෙන්ම පත්වන බැවින්, ඒ සම්බන්ධයෙන් වන කරුණු අධිකරණය වෙත සළකා බැලිය හැකිව පවතී.)
ඒ අනුව 01 වන ඉල්ලීම වන අදාල ගුරුවිදුහල්පති වැටුප් විෂමතාවයට එරෙහිව ජාතික එකමුතුව විසින් සංවිධානය කර ඇති විරෝධතා පාගමන වැළැක්වීම සම්බන්ධයෙන් මා වෙතින් කරන ලද ඉල්ලීම ඉහත කී හේතුන් මත ප්‍රතික්ෂේප කරමි.
තවද දෙවනුව පැමිණිල්ලෙන් ඉල්ලා ඇත්තේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෙත එකී විරෝධතා පා ගමනට සහභාගි වන තැනැත්තැන් ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණයකට හෝ පී.සී.ආර්. පරීක්ෂණයට අහඹු ලෙස භාජනය කිරීම සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් කරන ලෙසට වන ඉල්ලීමකි.
එවැනි ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණයක් හෝ පී.සී.ආර් පරීක්ෂණයක් සම්බන්ධයෙන් පවත්නා අවස්ථානුගත තත්වයන් මත තීරණය ගැනීම සිදු කළ යුත්තේ සෞඛ්‍ය අංශය විසිනි. ඒ අනුව සෞඛ්‍ය අංශ විසින් වර්තමානයේ පවතින කොවිඩ් ව්‍යසනය හමුවේ එම අයවලුන් විසින් අදාල කරුණු පරිශීලනය කොට ඒ අනුව අදාල තීරණය ගත යුතුව පවතින බැවින්, ඒ සම්බන්ධයෙන් නියෝග නිකුත් කිරිම සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයා වශයෙන් මා වෙත බලය පැවරිමක් සිදුව නොමැත. මක් නිසාද යත් ඉහත කී 1897 අංක 03 දරණ නිරෝධායනය සහ රෝග වැළැක්වීමේ ආඥා පනත ප්‍රකාරව ඊට අදාලව වන කරුණු තීරණය කිරිමේ පරම බලධරයා (Proper Authority) වනුයේ මුළු දිවයිනටම අදාලව සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වන බැවිනි. (ප්‍රාදේශිය වෂයෙන්, ප්‍රාදේශිය සෞඛ්‍ය වෛද්‍ය නිලධරයා වෙතද මෙම බලතල පවතින බැවින්, මීට අදාලව වන ඉල්ලීමක් සෞඛ්‍ය අංශ වෙතින් සිදු කිරිමේ හැකියාව පැමිණිල්ල සතුව පවතී.)
එසේ හෙයින් ඉහත කී දෙවෙනි ඉල්ලීමට අදාලව ද ඉදිරිපත්ව ඇති කරුණු යටතේ ඊට අදාලව නෛතික වලංගුතාවයකින් යුතු නියෝගයක් නිකුත් කරලීමට මා වෙත බලය පැවරී නොමැති පදනම යටතේ ඊට අදාලව කරන ලද ඉල්ලීම ද එකී හේතුන් මත ප්‍රතික්ෂේප කරමි.’’

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here