තරුණයන් අතුරුදන් කිරීමේ නඩුවෙන් හිටපු නාවික හමුදාපති බේරයි? – අතුරුදන් මව්වරුන්ගෙන් නීතිපතිට ලිපියක් !

කොළඹ හා තදාසන්න ප්‍රදේශවල පදිංචිව සිටි තරුණයන් 11 දෙනෙකු අතුරුදන් කිරීමේ නඩුවට අදාළව චෝදනා පත්‍ර ලබා දී ඇති හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ හදිසියේ නිදහස් කිරීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ මැදිහත් වීම බරපතළ ගැටළුවක් බව ජ්‍යෙෂ්ඨ නීතිවේදීහු අවධාරණය කරති.
මේ නඩුව විභාග කරන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ජනක බණ්ඩාර පසුගිය 04දා පවසා තිබුණේ හිටපු නාවික හමුදාපතිවරයාට එරෙහි චෝදනා ඉදිරියට පවත්වාගෙන යෑමට අපේක්ෂා නොකරන බවයි. මේ නඩුවේ 14 වැනි විත්තිකරු ලෙස කරන්නාගොඩ නම් කර ඇති අතර, මීට අදාළ ව ඔහු අභියාචනාධිකරණයේ රිට් පෙත්සමක් ද ගොනු කර තිබේ. එහි දී අභියාචනාධිකරණය රිට් පෙත්සම් විභාගය අවසන් වන තෙක් නඩුව විභාග කිරීම අත්හිටුවමින් වාරණ නියෝගයක් නිකුත් කර ඇත. එම පෙත්සම ලබන 30 දා යළි කැඳවීමට නියමිත ය.

මහාධිකරණයේ තීරණය

මෙහිදී මහාධිකරණ විනිසුරු මඩුල්ල රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයාට දැනුම් දුන්නේ නීතිපතිවරයාගේ මේ ස්ථාවරය අභියාචනාධිකරණයට දැනුම් දෙන ලෙසත්, ඒ සම්බන්ධයෙන් අභියාචනාධිකරණයේ ස්ථාවරය මහාධිකරණයට දැනුම් දෙන ලෙසත් ය. එසේ ම මේ නඩුවේ විත්තිකරුවන් 14 දෙනෙකු සිටින නිසා ඔවුන් සියල්ලන් ඉදිරියේ මේ ස්ථාවරය ඉදිරිපත් කළ යුතුව ඇතැයි ද විනිසුරු මඩුල්ල මෙහිදී අවධාරණය කර ඇත.

ක්‍රමවේදයේ ගැටළුවක් නෑ

කෙසේ වෙතත් ජ්‍යෙෂ්ඨ නීතිවේදීන් පෙන්වා දෙන්නේ ඉහළ අධිකරණයක මීට අදාළ පෙත්සමක් විභාග වන තත්ත්වයක් තුළ, මෙසේ කරන්නාගොඩට එරෙහි චෝදනා ඉවත් කර ගැනීමට නීතිපති දෙපාර්තමේන්තුවට කලබලයක් ඇති වීම අසාමාන්‍ය තත්ත්වයක් බවයි. මෙවැනි අවස්ථාවකදී නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කළ මේ ආකාරය නිවැරදි ද යන්න සම්බන්ධයෙන් අප කළ විමසීමකදී හිටපු නීතිපති පාලිත ප්‍රනාන්දු පැවසුවේ එහි වරදක් නැති බවයි. නඩුව විභාග කරනු ලබන්නේ අදාළ මහාධිකරණයේ වන නිසා, නීතිපතිවරයාගේ ස්ථාවරය එම අධිකරණයට දැනුම් දීමේ ගැටළුවක් නැති බව ද හිටපු නීතිපතිවරයා සඳහන් කළේය. එහෙත් අදාළ ස්ථාවරයට අනුව හදිසියේ චෝදනා ඉවත් කර ගැනීමේ තීරණය ගැනීම සම්බන්ධයෙන් වෙනම අවධානය යොමු කළ යුතු බව ද ඔහු පෙන්වා දුන්නේය.

චෝදනා 667ක්

2008 අගෝස්තු 08 වැනිදාත්, 2009 සැප්තැම්බර් මස 21 වැනිදාත් අතර කාලය තුළ දී කොටහේන, වැල්ලවත්ත, ත්‍රීකුණාමලය, මඩකලපුව ඇතුළු ස්ථාන කිහිපයක දී කස්තුරි ආරච්චිගේ ජෝ රීට්, රජීව් නාගනාදන්, ප‍්‍රදීප් විශ්වනාදන්, තිලගේෂ්වරන් රාමලිංගම්, මොහොමඩ් සාජිත්, ජමාල්ඩීන් ඩිලාන්, අමනන් ලියෝන්, රොෂාන් ලියෝන්, ඇන්තනි කස්තුරිආරච්චි, ත්‍යාගරාජා ජෙගන් සහ මොහොමඩ් අලි අන්වර් නමැත්තන් මරා දැමීමට කුමන්ත‍්‍රණය කිරීම, පැහැරගෙන යෑම, අයුතු ලෙස සිර කර තැබීම, ඔවුන්ගේ දේපොළ බලහත්කාරයෙන් ලබාගැනීම, තරුණයන් අතුරුදන් කිරීමට අදාළ සාක්ෂි වසන් කිරීම ඇතුළු චෝදනා 667ක් සම්බන්ධයෙන් නීතීපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර තිබේ.

14 වැනි විත්තිකරු

නඩුවේ විත්තිකරුවන් ලෙස නීතිපතිවරයා විසින් නම් කර ඇත්තේ නාවික හමුදාවේ හිටපු මාධ්‍ය ප්‍රකාශක ඩී.කේ.පී.දසනායක, සම්පත් මුණසිංහ, සුමිත් රණසිංහ, දිලංක සේනාරත්න, නලින් ප්‍රසන්න වික්‍රමසූරිය, ඇන්ටන් ප්‍රනාන්දු, රාජපක්ෂ පතිරණලාගේ කිත්සිරි, අරුණ තුෂාර මෙන්ඩිස්, කත්‍රිආරච්චිගේ ගාමිණී, උපුල් චමින්ද, චන්දන ප්‍රසාද් හෙට්‌ටිආරච්චි හෙවත් නේවි සම්පත්, නන්දප්‍රිය හෙට්ටිහැන්නදි, සම්පත් ජනක පෙරේරා හා වසන්ත කරන්නාගොඩ ය.

පළිගැනීම් කොමිසමේ නිර්දේශය

මේ නඩුවට අදාළව හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට සහ රියර් අද්මිරාල් ඩී.කේ.පී. දසනායකට එරෙහිව පවරා ඇති නඩු විභාගය ඉදිරියට ගෙන යෑම වළක්වාලමින් දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිසම සිය අවසන් වාර්තාවෙන් නීතිපතිවරයාට නිර්දේශයක් ද නිකුත් කර තිබිණි.

තරුණයන්ගේ මව්වරුන්ගෙන් ලිපියක්

මේ අතර තරුණයන් 11 දෙනෙකු අතුරුදන් කිරීමේ නඩුවෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ ඉවත් කිරීමේ ස්ථාවරයට විරෝධය පළකරමින් අතුරුදන් කරන ලද තරුණයන්ගේ මව්වරුන් විසින් නීතිපති සංජය රාජරත්නම් වෙත ලිපියක් යවා තිබේ.
මේ නඩුවට අදාළ ව හිටපු නාවික හමුදාපතිවරයාට එරෙහිව ඉදිරිපත් වූ චෝදනා සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ, කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝග කර තිබියදී, එමගින් ඔහුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බව සඳහන් කරමින් ඉහළ අධිකරණයට ගිය බවත්, ප්‍රමාණවත් තරම් සාක්ෂි තිබියදී වුවද ඔහුව අත්අඩංගුවට ගැනීමක් සිදු නොවූ බවත් අදාළ මව්වරුන් විසින් එම ලිපිය මගින් නීතිපතිවරයාට පෙන්වා දී තිබේ.

නඩුව මගහැරීමේ ඉතිහාසය

අතුරුදන් කිරීම නිසා තම දරුවන්ගේ සහ තමන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීම නොසලකා හැරුණු බව ද ඔවුහු සඳහන් කරති. එසේම මේ නඩුවට අදාළ චෝදනා පත්‍රය හිටපු නාවික හමුදාපතිවරයාට බාරදීම ප්‍රමාද වූයේ ද ඔහු මගහැරීම නිසා බව පෙන්වා දෙන එම මව්වරුන්, දේශපාලන පළිගැනීම් පිළිබඳව විමර්ශන කළ ජනාධිපති කොමිසම මගින් නිදහස් වීමට ද ඔහු උත්සාහ කළ බව පෙන්වා දෙති. එහෙත් එවකට නීතිපති ධුරයේ කටයුතු කළ දප්පුල ද ලිවේරා විසින් අදාළ කොමිසමට මහාධිකරණයේ කටයුතුවලට සම්බන්ධ වීමට බලයක් නැති බව සඳහන් කිරීම නිසා එය වැළකුණු බව ද එම මව්වරු නීතිපතිවරයාට අවධාරණය කර සිටිති.

බරපතළ වේදනාවට කරුණක්

මේ නිසා වසර 13ක විමර්ශනවලින් තහවුරු වූ සාක්ෂි මත ලබාදුන් චෝදනා පත්‍රය මෙසේ හදිසියේ ඉවත් කර ගැනීමට ගෙන ඇති ස්ථාවරය බරපතළ ලෙස තමන් වේදනාවට පත්කරන බව ද අතුරුදන් තරුණයන්ගේ මව්වරු අදාළ ලිපිය මගින් නීතිපතිවරයාට අවධාරණය කර සිටිති.

Previous articleඅහනෆ් හමුවෙන්න නීතිඥයන්ට අවසර
Next articleපීසීආර් සඳහා පුද්ගලයෙක් රිමාන්ඩ් කරන්න අවශ්‍ය නෑ – ගුරුවරුන්ට ඇප දෙමින් මහේස්ත්‍රාත් කියයි

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here