පීසීආර් සඳහා පුද්ගලයෙක් රිමාන්ඩ් කරන්න අවශ්‍ය නෑ – ගුරුවරුන්ට ඇප දෙමින් මහේස්ත්‍රාත් කියයි

පීසීආර් කිරීම සඳහා පුද්ගලයකු රිමාන්ඩ් කළ යුතු නැතැයි කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (05) ප්‍රකාශ කළේය.
ගුරු විරෝධතාව අතරතුර අත්අඩංගුවට ගනු ලැබ අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ 44 දෙනකු ඇප මත මුදා හරිමින් මහේස්ත්‍රාත්වරයා මේ බව කීවේය.
පොලිසිය වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දීලිප පීරිස් මහතා,⁣ රජයේ අධිනීතිඥ ලක්මිණි මහත්මිය, රජයේ නීතිඥ සරත්චන්ද්‍ර මහතා, රජයේ නීතිඥ හංස අබේරත්න මහතා පෙනී සිටි අතර ඔවුහු ඇප ලබාදීමට විරුද්ධ වූහ. එම පිරිසට ඇන්ටිජන් පරීක්ෂණ කර ඇතත් නැවත පීසීආර් පරීක්ෂණ කිරීමට අවශ්‍ය බවට බී වාර්තාවේ සඳහන් කර ඇති නමුත් පීසීආර් කරන අරමුණින් එම පිරිස රිමාන්ඩ් කළ නොහැකි බව මහේස්ත්‍රාත්වරයා පැවසීය.
පීසීආර් පරීක්ෂණ සිදු කරන තෙක් එම පිරිස රිමාන්ඩ් කරන ලෙස තමන් සඳහන් කර නැතැයිද එහි සඳහන් කර ඇත්තේ පීසීආර් කිරීමට අවශ්‍ය බව පමණක් යැයි ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට දැන්වීය.
එ් බව සෘජුව සඳහන් කර නැතත් සමස්තයක් ලෙස ගත්විට ප්‍රකාශ කර ඇත්තේ පීසීආර් පරීක්ෂණ කරන තුරු රිමාන්ඩ් කරන ලෙස බවත් එම ඉල්ලීම තමන් ප්‍රතික්ෂේප කරන බවත් මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේය.
ඇප මත සිටින විටදී ද පීසීආර් කළ හැකි බවද පීසීආර් කිරීම සඳහා රිමාන්ඩ්ගත කරනු ලැබ සිටීම අනිවාර්ය නොවන බවද ඇප පනත අනුව ද පීසීආර් කිරීම සඳහා රිමාන්ඩ් කළ නොහැකි බවද අධිකරණය සඳහන් කළේය.
එම පිරිස ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හරිනු ලැබූ අතර අද දිනයේ විශාල පිරිසක් සිටින බැවින් ඇපකරුවන් ඉදිරිපත් කළ නොහැකි නිසා හෙට දිනයේද ඇපකරුවන් ඉදිරිපත් කළ හැකි බව මහේස්ත්‍රාත්වරයා නියෝග ක⁣ළේය.
එම පිරිස⁣ට ඇප දුන්නහොත් මහජන කැළඹීමක් ඇති වේයැයිද විමර්ශනවලට බාධා ඇති වේයැයිද පොලිසිය පාර්ශ්වය අධිකරණයට දැන්වූ අතර එම ඉල්ලීම මහේස්ත්‍රාත්වරයා ප්‍රතික්ෂේප ක⁣⁣ළේය.
එලෙස ඇප දුනහොත් මහජන කැළඹීමක් ඇති වේයැයි කීමට සාධක නැතැයිද විමර්ශන වලට සහ යුක්තිය ඉටුකිරීමේ ක්‍රියාවලියට බාධා එල්ලවේයැයි තහවුරු කිරීම සඳහා අධිකරණය සැහීමට පත්වෙන කරුණු ඉදිරිපත් වී නැතැයි ද මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේය.
එම නඩුව යළි සැප්තැම්බර් 17 යළි කැඳවීමට නියෝග කෙරිණි.
Previous articleතරුණයන් අතුරුදන් කිරීමේ නඩුවෙන් හිටපු නාවික හමුදාපති බේරයි? – අතුරුදන් මව්වරුන්ගෙන් නීතිපතිට ලිපියක් !
Next articleකොතලාවල පනත් කෙටුම්පතට විරුද්ධ වන්නේ රැල්ලට ද ?

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here