මන්ත්‍රීවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් දැන ගැනීම මහජන අයිතියක් ; තොරතුරු ප්‍රසිද්ධ කරන්නැයි නියෝග

මන්ත්‍රීවරුන් ලෙස ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට තේරීපත්වූවන්ගේ අධ්‍යාපන සුදුසුකම් දැන ගැනී‍මට පොදු යහපත උදෙසා මහජනතාවට අයිතියක් ඇති බැවින් අදාල තොරතුරු මුදා හරින ලෙස තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට නියෝග කළේය.
තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාව මෙලෙස නියෝග කළේ ජනමාධ්‍යවේදියකු වන එස් රූබතීසන් (සන්ඩේ ටයිම්ස්) මහතා ගොනු කළ අභියාචනයක තීන්දුව ලබා දෙමිනි.
තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාවේ සභාපති මහින්ද ගම්මන්පිල, කොමසාරිස්වරුන් වන නීතිඥ කිෂාලි පින්ටෝ ජයවර්ධන, නීතිඥ එස්.ජී පුංචිහේවා, විනිසුරු රෝහිනී වල්ගම සහ ආචාර්ය සෙල්වි තිරුචන්ද්‍රයන් යන මහත්ම මහත්මීන් ඉදිරියේ පැවැති අභියාචනා විභාගයකින් පසු කොමිසම මෙම නියෝගය නිකුත් කර තිබේ.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට තොරතුරු ඉල්ලීමක් යොමු කරමින් මාධ්‍යවේදී එස් රූබතීසන් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් සහ මන්ත්‍රීවරුන් කීදෙනකුට එරෙහිව අපරාධ චෝදනා තිබේද යන්න විමසා තිබිණි. තොරතුරු පනතේ තුන් වැනි වගන්තියේ පළමු උපවගන්තිය යටතේ එවැනි තොරතුරක් සන්තකයේ භාරයේ හෝ පාලනයේ නැත යන පදනමින් පාර්ලිමේන්තුවේ තොරතුරු නිලධාරියා තොරතුරු ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබුණු අතර නම් කළ නිලධාරියාද තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කර තිබිණි. ඒ අනුව ජනමාධ්‍යවේදියා තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාවට අභියාචනයක් යොමු කර ඇත.
මහජන ඡන්දයෙන් තේරී පත්වූ නියෝජිතයන්ගේ අධ්‍යාපන සුදුසුකම් සහ අපරාධ චෝදනා පිළිබඳ දැන ගැනීමට ඡන්ද දායකයන්ට අයිතියක් ඇති බව ඉන්දියාවේ නඩු තීන්දුවක් උපුටා දක්වමින් කොමිෂන් සභාව තම තීන්දුවේ පැහැදිලි කර තිබේ.
අභියාචනය විභාග වන අවස්ථාවේ පාර්ලිමේන්තු මහලේකම්වරයා සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලිපියක් යොමු කරමින් ‘මෙම තොරතුරු ලබා දීමට ඔබ කැමති නම්, පුරවැසියන්ගේ ඉල්ලීම් පරිදි එම තොරතුරු බෙදා හැරීම සඳහා හැකි ඉක්මනින් අනුයුක්ත නියැදිය මත ඔබේ අධ්‍යාපන හා වෘත්තීය සුදුසුකම් මට ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.” යනුවෙන් දැනුම් දී ඇත.
ඒ අනුව අදාල ඉල්ලීමට ප්‍රතිචාර ලද වහාම කොමිසමට පිටපතක් සහිතව අභියාචක මාධ්‍යවේදියාට තොරතුරු නිකුත් කරන ලෙස නියෝග කළ තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාව එම තොරතුරු පාර්ලිමේන්තු වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කරන ලෙස ද දැනුම් දී තිබේ.
එම සම්පූර්ණ තීන්දුවේ ඉංග්‍රීසි පිටපත පහත දැක්වේ.

Previous articleදේශපාලන පළිගැනීම් කොමිසමේ නිර්දේශ වළක්වාලමින් අතුරු නියෝගයක්
Next articleආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ගැන සාධාරණ සමාජයක් සමඟ තරුණ තරුණියෝ සංවාදයක

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here