සංශෝධන එපා : කොතලාවල පනත ඉවත් කරගන්න – ඉංජිනේරුවෝ 20,000ක් ජනපතිට ලියති !

කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල (KNDU) පනත් කෙටුම්පත සම්පූර්ණයෙන්ම ඉවත් කර ගත යුතු බව ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය (IESL) විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත නිල වශයෙන් දැනුම් දී ඇත.
20,000 කට අධික ඉංජිනේරුවන්ගේ ප්‍රමුඛතම වෘත්තීය ආයතනය වන්නේ මේ ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයයි.
කොතලාවල පනත මගින් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම (UGC) හා සමාන්තර තවත් ආයතනයක් ලෙස KNDU ආයතනය ස්ථාපනය කිරීමේ අගතියත්, විශේෂ කාර්යභාරයක් වෙනුවෙන් එකල පිහිට වූ කොතලවල ආරක්ෂක විශ්වවිද්‍යාලය සන්නද්ධ සේවා සාමාජිකයන්ට අමතරව රාජ්‍ය සේවකයන් හා සියලුදෙනාට විවෘත කිරීම අතිශයින්ම විනාශකාරී බවත් ප්‍රකාශ කරන එම නිවේදනය, රටට හා රටේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයට මෙම පනත මගින් බලවත් අගතියක් සිදුවන බැවින්, මේ පනත් කෙටුම්පතේ සවිස්තරාත්මක අඩුපාඩු පිළිබඳ සාකච්ඡාවකට නොගොස්, මෙය සම්පූර්ණයෙන්ම ඉවත් කර ගත යුතු බව ජනාධිපතිවරයාට අවධාරණය කර ඇත.
ජනාධිපතිවරයාට අමතරව මෙහි පිටපත් අගමැති, අධ්‍යාපන ඇමති, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති හා එම ආයතන ලේකම්වරුන්ට ද යවා තිබේ.
ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය ජනාධිපතිවරයා වෙත යවන ලද සම්පූර්ණ ලිපිය පහත පළ වේ.
අතිගරු ගෝඨාභය රාජපක්ෂ,
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ජනාධිපති,
ලේකම් කාර්යාලය,
කොළඹ.
අතිගරු ජනාධිපතිතුමනි,
ශ්‍රීමත් ජෝන් කොතලවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයේ (KNDU) පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ (IESL) ස්ථාවරය
අතිගරු අගමැති විසින් 2021 මාර්තු 26 දින KNDU පනත් කෙටුම්පත ගරු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදි.
IESL යනු ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල විසින් පිරිනමනු ලබන ඉංජිනේරු උපාධි හඳුනාගෙන ප්‍රතීතනය කරන ශ්‍රී ලංකාවේ ඉංජිනේරුවන්ගේ ඉහළම වෘත්තීය ආයතනයයි. ඉහත පනත් කෙටුම්පතේ අන්තර්ගතය විමසා බැලීමෙන් අනතුරුව, ජාතික උසස් අධ්‍යාපනයේ අනාගතය සහ ඉංජිනේරු අධ්‍යාපනය කෙරෙහි එහි ඇඟවුම් පිළිබඳව IESL සැලකිලිමත් වේ.
උසස් අධ්‍යාපනයට ප්‍රවේශවීමේ ප්‍රමිතීන්, ගුණාත්මකභාවය, අඛණ්ඩතාව සහ සමානාත්මතාවය නියාමනය කළ යුතුය යන තර්කයට IESL දැඩි ලෙස කැපවී සිටීන අතර, ශ්‍රී ලංකාව තුළ මෙය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ (UGC) ස්වරූපයෙන් ඇති තනි, දේශපාලනික නොවූ නිර්පාක්ෂික ව්‍යවස්ථාපිත මණ්ඩලය විසින් නියාමනය කළ යුතුය යන මතය තරයේ දරයි. යෝජිත KNDU පනත් කෙටුම්පත UGC හි පරමාධිපත්‍යය උදුරා ගන්නා අතර, රටේ අධ්‍යාපනය සහ උසස් අධ්‍යාපනය අමාත්‍යංශයෙන් පරිබාහිර ආයතනයක් වෙත ඊට සමාන හෝ වඩා බලතල පැවරීමක් ඇතිකරනු පෙන්නුම් කරයි.
උසස් අධ්‍යාපන වැඩසටහන්වල විෂයමාලා, ව්‍යුහයන්, තත්ත්ව සහතික කිරීම් සහ පිළිගැනීමේ ක්‍රියාවලීන් පිළිබඳව IESL දැඩි ලෙස සැලකිලිමත් වන අතර, KNDU පනත් කෙටුම්පත මගින්, පිළිගත් දේශීය හා ජාත්‍යන්තර සම්මතයන්ට පටහැනිව, ලාභ අරමුණු කරගත් ආයතනයක් වන KNDU වෙත භාර දී ඇති බව පෙනී යයි.
ශ්‍රී ලංකාවේ පරම්පරා ගණනාවක දක්ෂ වෘත්තිකයන් සහ බුද්ධිමතුන් හරහා විශ්වසනීයත්වය අත්කර ගෙන ඇති සාධාරණ නිදහස් අධ්‍යාපන ක්‍රමය පෝෂණය කිරීම හා ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා රජය බැඳී සිටින බව IESL දැඩි ලෙස විශ්වාස කරයි. එබැවින්, මූල්‍යමය ප්‍රවේශය සඳහා ඇති සීමිත අවස්ථාවන්ට විසඳුමක් මුවාවෙන්, සැක සහිත ප්‍රමිතීන් සහිතව, මහජන අරමුදල් හරහා උසස් අධ්‍යාපනය සඳහා ගාස්තු අය කිරීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ මැදිහත්වීම අනුමත කිරීමට IESL හට නොහැකිය.
ආරක්ෂක හමුදාවන්හි නිලධාරීන් පුහුණු කිරීම සඳහා KNDU ආයතනය සපයන උසස් අධ්‍යාපනයේ පැවැත්ම පිළිබඳව IESL කිසි විටෙකත් විරුද්ධත්වයක් හෝ විරෝධයක් නොදැක්වුවද, යෝජිත පනත් කෙටුම්පතේ ස්ථාන කිහිපයකම පුනරාවර්තනය වී ඇති වාක්‍ය ඛණ්ඩයක් වන ‘ත්‍රිවිධ හමුදාවේ සහ රාජ්‍ය සේවයේ සේවය කිරීමට අදහස් කරන පුද්ගලයන් සහ අනෙකුත් පුද්ගලයන්’ මගින් එහි විෂය පථය නියත වශයෙන්ම ඕනෑම හා සියලු සිවිල් වැසියන්ගෙන් සමන්විත වන බව පැහැදිලිවම කියාපානු ලැබේ. ජාතික නීති සම්පාදනයක් තුළ එවැනි ලිහිල් වචන දැකීමෙන් තවත් බොහෝ වෘත්තීය සංවිධාන කම්පනයට පත්වන බව IESL අමුතුවෙන් කිව යුතු නැත.
කෙසේ වෙතත්, IESL වෘත්තීය ආයතනයක් වන අතර, දැනට පවත්නා 1981 කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනතට සුදුසු සංශෝධන ඉදිරිපත් කිරීමට විරුද්ධත්වයක් නොමැත.
ඉහත හෙළිදරව් කිරීම් මත පදනම්ව, යෝජිත පනත් කෙටුම්පතේ සවිස්තරාත්මක අඩුපාඩු පිළිබඳ සාකච්ඡාවට නොගොස්, යෝජිත පනත් කෙටුම්පත මුළුමනින්ම ඉල්ලා අස්කර ගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටීමට IESL ඉතා ගෞරවාන්විතව අපේක්ෂා කරයි.
මීට අවංක,
ඉංජිනේරු කේ.පී.අයි.යූ.ධර්මපාල,
සභාපති,
ඉංජිනේරුවන්ගේ ආයතනය, ශ්‍රී ලංකාව.
දැ.පි.:
ගරු. මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යතුමා
ගරු (මහාචාර්ය) ජී.එල්.පීරිස්, අධ්‍යාපන අමාත්‍යතුමා
ආචාර්ය පී.බී.ජයසුන්දර, ජනාධිපති ලේකම්තුමා
ගාමිණී සෙනරත්, අග්‍රාමාත්‍ය ලේකම්තුමා
ඉංජිනේරු (මහාචාර්ය) කපිල පෙරේරා, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්තුමා
මහාචාර්ය සම්පත් අමරතුංග, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිතුමා
ආචාර්ය එම්.බී.ප්‍රේමකුමාර, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ලේකම්තුමා
Previous articleදුමින්ද සිල්වා සභාපති පුටුව බබලවයි ද? : වරදකරුවෙක් පත්කරන්න කිසිම ඉඩක් නෑ – හිටපු අමාත්‍යංශ ලේකම් ඒ.පී. ගුණසේකර
Next articleඅපරාධ ලෝකයක ළමයින් වෙනුවෙන් අපේ වගකීම !

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here