දුමින්ද සිල්වා සභාපති පුටුව බබලවයි ද? : වරදකරුවෙක් පත්කරන්න කිසිම ඉඩක් නෑ – හිටපු අමාත්‍යංශ ලේකම් ඒ.පී. ගුණසේකර

තමන් සමාව දුන් දුමින්ද සිල්වා විසින් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය බබලවනු ඇතැයි ජනාධිපතිවරයා තීරණය කර තිබේ. ඒ නිසා එහි සභාපති ධුරයට ඔහු පත්කරන ලෙස ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දර මගින් ලිපියක් යවා තිබේ. ග්‍රාමීය නිවාස, ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් කීර්ති රංජිත් අබේසිරිවර්ධන වෙත පසුගිය 16දා ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් යවන ලද ලිපියක මේ බව සඳහන් ය.

ගෝඨාභයගේ විශ්වාසය

‘ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති තනතුරට පත්කිරීම.
ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති වශයෙන් 40/8, පෙරේරා මාවත, පැලවත්ත, බත්තරමුල්ල පදිංචි දුමින්ද සිල්වා මහතා පත්කිරීම අතිගරු ජනාධිපතිතුමා විසින් අනුමත කර ඇත.
ඒ අනුව අවශ්‍ය ඉදිරි කටයුතු සිදුකරන ලෙස කාරුණිකව දන්වමි.’
ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරය බබළවනු ඇතැයි රටේ ජනතාවගෙන් බහුතරයක් සිතූහ. ඒ විශ්වාසය සමග පැමිණි ගෝඨාභය රාජපක්ෂ මහාධිකරණයෙන් සහ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වරදකරු කරන ලද දුමින්ද සිල්වාට ජනාධිපති සමාව දුන්නේය. ඒ ව්‍යවස්ථානුකූලව තමන්ට පැවරී ඇති බලය යොදාගෙන ය. දඬුවමින් නිදහස් කළාට, ජනාධිපතිට දුමින්ද සිල්වා ව වරදින් නිදහස් කළ නොහැකිය. ඔහු වැරදිකරුවෙකු බව යුක්තිය පසිඳලන විනිසුරුවරුන් හත්දෙනෙකු විසින් තහවුරු කර තිබේ.

ඒ කෙසේද යත්…,

2011 වසරේදී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ජනාධිපතිවරයාගේ වෘත්තීය සමිති කටයුතු පිළිබඳ උපදේශකවරයා වූ අතර, දුමින්ද සිල්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු මෙන්ම කොළොන්නාව ආසනයේ එක්සත් ජනතා නිදහස් සන්ධාන ආසන සංවිධායකවරයා ද විය. එමෙන්ම ඔහු ආරක්ෂක අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රීවරයා ලෙස ද පත්කර තිබූ බව එකල මාධ්‍ය වාර්තා කළේය.
කොටිකාවත්ත-මුල්ලේරියාව ප්‍රාදේශීය සභාව පිහිටා ඇත්තේ කොළොන්නාව ඡන්ද බල ප්‍රදේශයේ ය. එහි සභාපතිවරයා වූයේ ප්‍රසන්න සෝලංගආරච්චි ය. 2011 ඔක්තෝබර් 08 වැනිදා පැවැති පළාත් පාලන ඡන්ද විමසීමේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් කොටිකාවත්ත-මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවට සෝලංගආරච්චි යළිත් වරක් තරඟ වැදුණේය. භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර සෝලංගආරච්චිගේ ජයග්‍රහණය උදෙසා වැඩ කළ අතර, ඔහුගේ මැතිවරණ ප්‍රචාරක රැළිවලටද සහභාගි වූයේය.
එම ප්‍රාදේශීය සභාවට එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් සුමුදු රුක්ෂාන් ද තරඟ වැදුණු අතර, සුමුදු රුක්ෂාන් සහ සෝලංගආරච්චි සමඟ තියුණු සටනක් තිබිණි. දුමින්ද සිල්වා සහයෝගය ලබාදුන්නේ සුමුදු රුක්ෂාන්ට ය.

අධිකරණයේදී දිගහැරුණු දුමින්ද සිල්වා වරදකරු වූ සිදුවීම

පළාත් පාලන ඡන්ද විමසීම පැවැති 2011 ඔක්තෝබර් අට වැනිදා කොළොන්නාව එක්සත් ජනතා නිදහස් සන්ධාන සංවිධායක ආර්.දුමින්ද සිල්වා තමිල්නාඩුවත්ත ඡන්දපොළට යෑම සඳහා පෙරවරු 6.30ට නිවසින් පිටත්වී තිබේ. තමිල්නාඩුවත්ත ප්‍රදේශයට දුමින්ද සිල්වා පැමිණි පසු ඔහුගේ ඇමැති ආරක්ෂක අධීක්ෂණ නිලධාරියා වූ ප්‍රියන්ත දිසානායක තවත් නිලධාරීන් පිරිසක් සමඟ එම ස්ථානයට ගොස් ඇත. ඒ යන විට පාරට ආසන්නයේ පුටුවක වාඩිවී සිටි දුමින්ද සිල්වා ඡන්දය දැමීමට යන ඡන්දදායකයන්ගෙන් ඡන්දය දමන්නේ කාටදැයි විමසමින් සිටියේය. එක්සත් ජාතික පක්ෂයට ඡන්දය දීමට පැමිණෙන අයට එසේ නොකරන ලෙස ඔහු පවසා ඇත. පෙරවරු 11.30ට පමණ දිවා ආහාරය සඳහා දුමින්ද සිල්වා ඇතුළු පිරිස රමේෂ් නම් පුද්ගලයකුගේ නිවසට පැමිණ එහිදී මත්පැන් පානය කර තිබේ. දහවල් 12ට පමණ චමින්ද රවී ජයනාත් ද තමිල්නාඩුවත්තට පැමිණ ඇති අතර, එතැන සිටි පිරිසෙන් කිහිපදෙනෙක් කණ්ඩායමක් ලෙස පස්වරු 2.45ට තමිල්නාඩුවත්තෙන් පිටත් වී තිබේ. ඔවුන් පිටත් වී තිබුණේ සුමුදු රුක්ෂාන් නම් අපේක්ෂකයාගේ නිවසට යෑමට ය.
සුමුදුගේ නිවසට යන අතරතුර කන්දේ විහාරය නම් ස්ථානයේදී වාහන පෙළ නතර කරන ලෙස දුමින්ද සිල්වා මහතා දැනුම් දී ඇත. දුමින්ද සිල්වා ගමන් ගත් ඩිෆෙන්ඩර් රිය මුලින්ද, ආරක්ෂක නිලධාරීන් (එම්එස්ඩී) සිටි වාහනය පිටුපසින්ද තිබී ඇති අතර, දුමින්ද සිල්වාගේ පෞද්ගලික ආරක්ෂකයක් රැගත් පෙජරෝව පිටුපසින්ම ය. කන්දේ විහාරය අසල වාහන පෙළ නතර කළ පසු දුමින්ද සිල්වාගේ නියෝග මත අනුර තුෂාර ද මෙල් විසින් චමින්ද රවී ජයනාත් වෙත ටී 56 ගිනිඅවියක් ලබා දී ඇත. එය නීතිවිරෝධී ගිනිඅවියකි. ගිනිඅවි හුවමාරුවෙන් පසු පිරිස පිටත්වී අඹතලේට යන ගමනේදී රාජසිංහ විද්‍යාලය අසල නතර කර ඇත. එතැනදී දුමින්ද සිල්වා විසින් සෝලංගආරච්චිට සහයෝගය දක්වන තරුණයකුට පහරදෙනු ලැබ තිබේ.
යළිත් වරක් පිටත්වූ පිරිස ඊළඟට වාහන පෙළ නතර කර ඇත්තේ රාහුල විද්‍යාලය අසල ය. ප්‍රසන්න සෝලංගආරච්චිගේ බිරිඳ ද ඡන්දය දැමීමට එම ස්ථානයට පැමිණ තිබුණු අතර, දුමින්ද සිල්වා මහතා එම කාන්තාවට බැණවැදී ඇත. ඇය ඡන්දය භාවිත කළේ කාටදැයි දුමින්ද සිල්වා විමසා ඇති අතර, තම සැමියා වන සෝලංගආරච්චිට ඡන්දය දුන් බව ඇය කියා තිබේ.  දුමින්ද සිල්වා ඇය දෙසට එද්දී එතැන සිටි ‘පිංකි අක්කා’ නම් කාන්තාවක විසින් ඇය අනුර කඩය නම් කඩය ළඟට කැඳවාගෙන ගොස් තිබේ. දුමින්ද සිල්වා සමඟ සිටි පිරිස ඡන්ද මධ්‍යස්ථානය අසල සිට ඇත්තේ ටී 56 ගිනි අවි ප්‍රදර්ශනය කරමිනි. එම ස්ථානයේ මද වේලාවක් රැදී සිටි පිරිස පසුව හිඹුටාන හන්දිය දෙසට ගොස් ඇත.
දුමින්ද ඇතුළු පිරිස ඉදිරියට යද්දී හිඹුටාන හන්දිය අසලදී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රගේ වාහනය විරුද්ධ පැත්තෙන් පැමිණ තිබේ. ඒ සමඟම භාරතගේ වාහනයට ඉදිරියට යෑමට නොහැකි වන පරිදි දුමින්දගේ වාහනය පාර හරස් කරමින් නතර කර ඇත.  දුමින්ද සිල්වා සහ භාරත ලක්ෂ්මන් අතර වාදයක් හට ගැනිණි. වචන හුවමාරුවට එහා ගොස් දුමින්ද සිල්වා විසින් භාරතට පහරක් එල්ල කර තිබේ.
දුමින්ද විසින් භාරතට පහර දෙනු ලැබීමත් සමඟම භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රගේ ආරක්ෂක නිලධාරියා වූ රාජපුරගේ ගාමිණී විසින් භාරත ලක්ෂ්මන් බේරාගැනීම සඳහා තම ගිනිඅවියෙන් දුමින්ද සිල්වා මහතා දෙසට වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ. ඒ සමඟම දුමින්ද සිල්වාගේ පෞද්ගලික ආරක්ෂකයෙකු වූ ප්‍රියන්ත ජනක බණ්ඩාර ගලබොඩ හෙවත් ගලබොඩ ප්‍රියන්ත විසින් පිස්තෝලයකින් භාරතගේ ආරක්ෂක නිලධාරියාට වෙඩි තබා ඇති අතර, ඉන් ඔහු බරපතළ තුවාල ලැබීය. අනතුරුව දුමින්ද සිල්වාගේ පිරිස අත තිබූ නීතිවිරෝධී ටී56 ගිනිඅවියකින් භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රටත් එම ස්ථානයේ සිටි තවත් පිරිසකටත් වෙඩි තබා ඇත. එම වෙඩිතැබීමෙන් භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර, දමිත දර්ශන ජයතිලක, මොහොමඩ් අෂීම් සහ මනිවේල් කුමාරස්වාමි යන පිරිස ජීවිතක්ෂයට පත්වූහ. මෙම වෙඩි තැබීමට භාවිත කළ නීතිවිරෝධී ගිනිඅවිය පසුව චමින්දගේ අනාවරණයක් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සොයාගැනිණි. එය එල්ටීටීඊය භාවිත කළ ගිනි අවියක් බව පසුව එම දෙපාර්තමේන්තුව අධිකරණයට පවසා තිබිණි.
මෙම සිදුවීමේදී ආර්.දුමින්ද සිල්වාට ද වෙඩි වැදී තිබුණු අතර, ඔහු ප්‍රතිකාර සඳහා සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් රෝහලට රැගෙන යනු ලැබීය.

සියල්ල අමතකයි !

මේ අතර දුමින්ද සිල්වාගෙන් ප්‍රකාශයක් ලබාගැනීමේ අවශ්‍යතාවක් මතුවූ අතර, එම අවස්ථාවේදී ඔහුගේ නීතිඥවරයා දැනුම්දුන්නේ ප්‍රකාශයක් ලබාගැනීමට නොහැකි තත්ත්වයක දුමින්ද සිල්වා පසුවන බවයි. දුමින්ද සිල්වාගෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා සීඅයිඩීය නියෝජනය කරමින් සිංගප්පූරුවට ගියේ පොලිස් පරීක්ෂක මෙරිල් රංජන් ළමාහේවා මහතා ය. ඔහු ලබාගත් ප්‍රකාශයෙන් කියැවුණේ අදාළ සිදුවීම ගැන දුමින්ද සිල්වාට මතකයක් නැති බවයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විමර්ශනවලින් පසු විමර්ශන ගොනුව නීතිපතිවරයා වෙත යොමු කරනු ලැබීය. එම ලිපිගොනුව අධීක්ෂණය කළ නීතිපතිවරයා දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් 13 දෙනකුට එරෙහිව මහාධිකරණයේ අධි චෝදනා ගොනු කළේය. නීතිවිරෝධී ජනරාශියක සාමාජිකයන් වීම, මනුෂ්‍ය ඝාතනය ඇතුළු චෝදනා 17ක් විත්තිකරුවන්ට එරෙහිව එල්ල විය. මෙය විශේෂ අධිකරණ කටයුත්තක් බැවින් ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් පත් කරන ලෙස නීතිපතිවරයා කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් ශ්‍රේෂ්ඨාධිකරණය, නඩුව විභාග කිරීම සඳහා ත්‍රිපුද්ගල මහාධිකරණයක් පත් කළේය. එහි සභාපති විනිසුරු වූයේ මහාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්න මහතා ය. අනෙක් විනිසුරුවරුන් දෙදෙනා වූයේ පද්මිණී එම්.රණවක සහ එම්.සී.බී.එස්.මොරායස් යන විනිසුරුවරුන් ය.

මහාධිකරණ තීන්දුව

මහාධිකරණයේ නඩු විභාගය අතරතුරදී මෙම සිද්ධිය සම්බන්ධයෙන් සාක්කි ලබා දීම සඳහා සාක්කිකරුවෝ 118 දෙනෙක් නම් කරනු ලැබ සිටියහ. දීර්ඝ නඩු විභාගයකින් පසු මහාධිකරණ තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණි. විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරුවරයා වන ශිරාන් ගුණරත්න මහතා එක් තීන්දුවකුත්, පද්මිණී එම්. රණවක මහත්මිය තවත් තීන්දුවකුත් ප්‍රකාශයට පත් කරනු ලැබූහ. ශිරාන් ගුණරත්න මහතා නියෝග කළේ මෙම නඩුවේ දුමින්ද සිල්වා ඇතුළු සියලු සැකකරුවන් නිදොස් කොට නිදහස් කරන ලෙසයි. පද්මිණී එම්. රණවක මහත්මිය නියෝග කළේ විත්තිකරුවන් 13 දෙනාගෙන් අට දෙනකු සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කර, දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් පස් දෙනකුට මරණීය දණ්ඩනය, ජීවිතාත්තය දක්වා සිරදඬුවම් ඇතුළු දඬුවම් නියම කිරීමටයි. විනිශ්චය මණ්ඩලයේ අනෙක් විනිසුරුවරයා වූ එම්.බී.එස්.මොරායස් මහතා ද පද්මිණී එම්.රණවක මහත්මියගේ තීන්දුවට ඒකඟ විය. ඒ අනුව විනිසුරුවරුන් තිදෙනාගෙන් බහුතර විනිසුරුවරුන්ගේ මතය අනුව දුමින්ද සිල්වා ඇතුළු පිරිසට දඬුවම් නියම විය.
එසේ දඬුවම් නියම කිරීමට එරෙහිව දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවෝ කිහිපදෙනෙක් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළහ. එම අභියාචනය විභාගයට ගැනුණේ පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් ඉදිරියේ ය. අගවිනිසුරු ප්‍රියසාත් ඩෙප්, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, එච්.එන්.ජේ.පෙරේරා සහ විජිත් කුමාර මලල්ගොඩ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගෙන් එම පංච පුද්ගල විනිසුරු මඬුල්ල සමන්විත විය.
මෙම නඩුවේදී මහාධිකරණ විනිසුරුවරිය සහ මොරායස් විනිසුරුවරයා දුන් තීන්දුව වැරදි බව දිගින් දිගටම විත්තිකරුවන්ගේ පාර්ශ්වයෙන් කීහ. ශානි අබේසේකරලා විමර්ශනය නිසි ආකාරයට සිදු කර නැති බව ද දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන්ගේ පාර්ශ්වයෙන් කියා සිටියහ. දීර්ඝ ලෙස ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුමඬුල්ල තීන්දු කළේ මහාධිකරණ විනිසුරු පද්මිණී එම්.රණවක සහ මොරායස් දුන් තීන්දු නීතියට අනුකූල බවයි.
1946 අංක 53 දරන පළාත් පාලන ආයතන මැතිවරණ පනතේ 81 ඒ, 82 සී (1)  යන වගන්ති අනුව පළාත් පාලන මැතිවරණ දිනයකදී ඡන්දදායකයන්ට බලපෑම් කරමින් කටයුතු කළ නොහැකි බවත්, පිරිසක් එකතු වී ගිනිඅවි සමග ඡන්ද පොළවල් අසලට යා නොහැකි බවත්, එලෙස යෑම නීතිවිරෝධී බවත්, එලෙස කටයුතු කරන කණ්ඩායම නීතිවිරෝධී ජනරාශියක් බවත් අධිකරණ තීන්දුවේ සඳහන් වේ.

ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වේ කුමක්ද?

නීතිවිරෝධී ජන රාශියක කිසියම් සාමාජිකයකු කරන වරදකට එම නීතිවිරෝධී ජනරාශියේ සියලුම සාමාජිකයන් වගකිවයුතු බවට දණ්ඩනීති සංග්‍රහයේ 146 වැනි වගන්තියේ පැහැදිලිව සඳහන් කර තිබෙන බව එම වගන්තිය උපුටා දක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ පැහැදිලි කර තිබේ.
දුමින්ද සිල්වාට මෙම අපරාධයට ඇති වගකීම සඳහන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ මෙසේ ද සඳහන් තර තිබේ.
”ඔහුගේ (දුමින්ද සිල්වාගේ) හිසට වෙඩි තැබූ මොහොත දක්වාම 11 වන චූදිතයා (දුමින්ද සිල්වා)  නීතිවිරෝධී රැස්වීමට නායකත්වය දී ඇත. මෙයින්, පළමු වෙඩි තැබීම සහ ප්‍රතිප්‍රහාරය අතර කාලයේ මිලි තත්පර වෙනසක් පමණක් තිබිය හැකි බවට අදහස් කර ගත හැකිය..
පාර්ශ්වයන් සහ අපරාධ සිදුවීම අතර කාලය හා අවකාශය අතර සැලකිය යුතු වෙනසක් සිදුවී ඇත්නම් හෝ වෙඩි තැබීමේ ක්‍රියාව කර ඇත්තේ මූලික වශයෙන් වෙනස් පුද්ගලයෙක් වූවා නම්, 11 වන චූදිතයා (දුමින්ද සිල්වා) නීතිවිරෝධී එක්රැස්වීමෙන් ඉවත්ව ගොස් ඇති බවට සහ එම ක්‍රියාවන්ගෙන් වෙන්වී ඇති බවට තර්ක කළ හැක.
නමුත් මා කලින් සාකච්ඡා කර ඇති ආකාරයට, ගිනිඅවිවලින් මියයෑම ඔවුන්ගේ අපරාධ වැඩපිළිවෙළ අනුව පූර්ව අනුමාන කළ හැකි ප්‍රතිඵලයකි. තත්පර 60 ක් හෝ ඊට ආසන්න කාලයක් පමණක් ගත වූ මෙම සිද්ධිය ආරම්භ වන විටම 11 වන චූදිතයා (දුමින්ද සිල්වා)  එම අයුතු ජනරාශියේ සාමාජිකයෙකු වූ බව සත්‍යයකි.
ඒ අතරම, ඊට පෙර ඕනෑම වේලාවක, 11 වන චූදිතයා (දුමින්ද සිල්වා) රැස්වීමෙන් වෙන්වීමේ අදහසින් ක්‍රියා කළ බවට කිසිදු සාක්ෂියක් නොමැත. 11 වන චූදිතයා (දුමින්ද සිල්වා) ආබාධ වනවාත් සමගම වාගේ මියගිය පුද්ගලයාට මාරාන්තික තුවාල සිදුවී ඇත.
ඔහු (දුමින්ද සිල්වා) නිතරම නීතිවිරෝධී එක්රැස්වීමේ ක්‍රියාකාරකම්වල නිරතවෙමින් ඒවාට සහාය ලබා දී තිබේ. එබැවින් නීතිවිරෝධී ලෙස එක්රැස්වීමේ පදනම මත අපරාධ චෝදනා පැවරිය හැකිය. එබැවින් ඔහු වරදකරු කිරීම සහ දඬුවම් නියම කිරීම නීතියට අනුකූල වේ.”

තනතුර බබළවන්නට එන දුමින්ද !

එනම් මහාධිකරණයේ සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් අටදෙනකු දුමින්දගේ නඩුව විභාග කර ඇති අතර, එයින් එක් මහාධිකරණ විනිසුරුවරයකු හැරුණු විට සෙසු විනිසුරුවරුන් හත්දෙනාම දුමින්ද සිල්වා වැරදිකරු කරමින් ඔහුට දඬුවම් පැමිණවීමට නියෝග කර තිබේ. පක්ෂග්‍රාහීයැයි චෝදනා එල්ල වූ විනිසුරු පද්මිණී එම්.රණවක ද ඉවත් කළ විට, විනිසුරුවරුන් හයදෙනකු දුමින්ද සිල්වා වැරදිකරු කර දඬුවම් නියම කරන ලෙස නියෝග කර තිබේ.
රටේ බහුතර ජනතාව විසින් ජනාධිපති ධුරය බබළවනු ඇතැයි විශ්වාස කළ ගෝඨාභය රාජපක්ෂ විසින් නිවාස සංවර්ධාන අධිකාරිය සහ එහි සභාපති ධුරය බබළවනු ඇතැයි විශ්වාස කරන්නේ මේ දුමින්ද සිල්වා ය.

වරදකරුවෙක් පත්කරන්න කිසිම ඉඩක් නෑ – හිටපු අමාත්‍යංශ ලේකම් ඒ.පී. ගුණසේකර

රාජ්‍ය නිලධාරියා යනු කවුද?
අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ 170 ව්‍යවස්ථාවෙ ඒකට අදාළ අර්ථ නිරූපණය බොහොම පැහැදිලිව තියෙනවා. රජයේ දෙපාර්තමේන්තු, අමාත්‍යංශවල ඉන්න නිලධාරීන් රජයේ නිලධාරීන්. මේ අය පත්කිරීම කොටස් තුනකට බෙදෙනවා. එකක් අමාත්‍යංශ ලේකම්වරුන්. ඒගොල්ලන් පත්කිරීමේ සහ ඔවුන්ට අදාළ විනය බලය තියෙන්නෙ ජනාධිපතිතුමාට. ඊළඟට දෙපාර්තමේන්තු ප්‍රධානීන්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ 155 ව්‍යවස්ථාව අනුව ඒ බලය තියෙන්නෙ අමාත්‍ය මණ්ඩලයට. අනෙක් සියලුම රජයේ නිලධාරීන් පිළිබඳ පත්කිරීමේ, ඉවත් කිරීමේ, ස්ථාන මාරු කිරීමේ, විනය පාලනය, සේවයෙන් පහකිරීම කියන සියලු බලතල තියෙන්නෙ රාජ්‍ය සේවා කොමිෂන් සභාවට.
නිවාස අධිකාරි සභාපති එහෙම කෙනෙක් ද?
සංස්ථා සභාපතිවරයෙක් කියන තැනැත්තා රජයේ නිලධාරියෙක් නෙමෙයි. මේවගෙ සභාපතිවරුන් පත්කිරීම පිළිබඳ තීරණ එන්නෙ පාර්ලිමේන්තු පනතකින්. ඒ ආයතනයේ කටයුතු මෙහෙයවන්න පත්කෙරෙන්නෙ මණ්ඩලයක් විදිහට. ඒ සංස්ථාවල කාර්ය මණ්ඩලය පත්කිරීමේ බලය තියෙන්නෙ අර මණ්ඩලයට. සභාපති පත්කිරීමේ බලය ඇමැතිවරයාට දීලා තියෙනවා. සමහර අවස්ථාවලදි මණ්ඩලයටත් පුළුවන් සභාපති පත්කරන්න. මධ්‍යම සංස්කෘතික අරමුදලේ සහ ටවර් හෝල් පදනමේ සභාපතිවරු වෙන්නෙ නිල බලයෙන්ම අගමැතිවරයා. මේක නම් යම් ආකාරයක විකෘතියක්.
අධිකාරියෙ වැඩ කළේ කවුද?
නිවාස සංවර්ධන අධිකාරිය ආරම්භ කළේ 1979 අප්‍රේල් පළමුවැනිදා. මුල්ම සභාපති වුණේ පරිපාලන සේවයේ හිටපු ජ්‍යෙෂ්ඨ, ශ්‍රේෂ්ඨ නිලධාරියෙක් වුණු ඩන්ස්ටන් ජයවර්ධන මහත්තයා. අධිකාරියට පත්කරපු මුල්ම නිලධාරීන් විසි ගාණ අතර මමත් සහකාර කොමසාරිස්වරයෙක්. දැන් තියෙන ගැටළු කිසිවක් එතැන තිබුණෙ නෑ. ඒකට හේතුව ඔහු පරිපාලනයේ විශිෂ්ඨයෙක්. එතුමා යනකොට පත් කළේ ඩබ්ලිව්.ඩී.අයිලප්පෙරුම මහත්තයා. එතුමත් ඒ වගේම විශිෂ්ඨයෙක්. ඒගොල්ලො පරිපාලන සේවයත්, රටත් බබලවපු මහත්වරු. ප්‍රේමදාස මහත්තයා තමයි මේ පත්කිරීම් කළේ. මුල්ම කාලෙ සභාපතිවරයා සහ සුචරිතය අතර සම්බන්ධය හදපු කෙනෙකුත් සභාපති විදිහට පත්කළා. මම මේ කියන්නෙ අගමැති ආර්. ප්‍රේමදාස යටතේ. අගමැති ආර්.ප්‍රේමදාසයි, ජනාධිපති ආර්.ප්‍රේමදාසයි අතර මම විශාල වෙනසක් දකිනවා. මේ වගේ වැඩක් නම් ප්‍රේමදාස මහත්තයවත් කළේ නෑ. ඒ කාලෙ නිවාස අධිකාරියෙ මණ්ඩලයෙත් ඉතාම දක්ෂ අය හිටියා. පසුකාලීනව ඇති වුණු තත්ත්වය නම් හරිම කනගාටුදායකයි.
රාජ්‍ය සේවයට පොලිස් වාර්තා ඕනෙ ද?
දීපව්‍යාප්ත සේවාවලට, පරිපාලන සේවයට වගේ ගන්න කොට පොලිස් වාර්තා ලබාගැනීම අනිවාර්යයි. ඊට පස්සෙ තනතුරු වෙනස් වෙනකොටත්, ඉහළට යනකොටත් රහසිගතව පොලිස් වාර්තා කැඳවනවා. පස්සෙ කාලෙ උසස් නිලතලවලට පත්කිරීම් පිළිබඳ සලකා බලන පාර්ලිමේන්තු කමිටුවට මේ බලතල ලබාදුන්නා. ඒකෙදි නිලධාරීන් කැඳවලා සියල්ල බැලුවා ඒ කාලෙ නම්. ආදායම් වාර්තා, පොලිස් වාර්තා සියල්ල එතැනදි පරීක්ෂා කරනවා. සංස්ථා සභාපතිවරුන් සම්බන්ධයෙනුත් මේ කමිටුවෙන් පරීක්ෂා කරනවා. මේ වගේ සංස්ථා සභාපති කෙනෙකුට විෂය ඥානය, පරිපාලන හැකියාව, කළමනාකරණ දක්ෂතා තියෙන්න ඕනෙ. විශේෂම කාරණයක් තමයි. අනෙක් අයගෙ ගෞරවය දිනාගන්න පුළුවන් වෙන්න ඕනෙ.
දුමින්ද සිල්වා බඳවාගැනීමේ පටිපාටිය කුමක්ද?
රජයේ සේවයේ මට්ටම් තුනක තනතුරු තියෙනවනෙ. එකක් මාණ්ඩලික නිලධාරි, දෙවැන්න සහායක නිලධාරි, අනෙක කනිෂ්ඨ සේවකයන්. මේ කවුරු බඳවා ගත්තත්, බඳවා ගැනීමේ සේවා ව්‍යවස්ථාවක් තියෙනවා. ලේකම්වරු හැටියට පත්කරන්නෙ සුදුසුකම් තියෙන අය, ඒක ජනාධිපතිතුමාගෙ තීරණයක්. ඒකට අවශ්‍ය සුදුසුකම් මේවා කියලා සඳහන් වෙන්නෙ නෑ. ඒ වගේම දෙපාර්තමේන්තු ප්‍රධානීන් පත්කිරීමේ වගකීම තියෙන්නෙ කැබිනට් මණ්ඩලයට. අනෙක් පත්කිරීම් ඔක්කොම රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ වගකීමක්. 1589/30 ගැසට් පත්‍රය ප්‍රකාශයට පත්කළේ 2009 පෙබරවාරි පළමුවැනිදා. මේ ගැසට් එකේ රජයේ නිලධාරීන් පත්කිරීම, උසස් කිරීම පිළිබඳ සියලු කරුණු තියෙනවා. හැබැයි මේ යටතට අර්ධ රාජ්‍ය ආයතන වන නිවාස සංවර්ධන අධිකාරිය වගේ ආයතන කාර්යමණ්ඩලය එන්නෙ නෑ.
අධිකරණයෙන් වරදකරු කළාට කමක් නැද්ද?
රජයේ නිලධාරියෙක් විදිහට බඳවාගන්න කොට යහපත් චරිතයක් තියෙන්න ඔ්නෙ කියන එක අනිවාර්ය සාධකයක්. ජාතික නිවාස සංවර්ධන අධිකාරියට වෙනමම බඳවා ගැනීම් රීති සංග්‍රහයක්, විනය රීති සංග්‍රහයකුත් තියෙනවා. අධිකරණයකින් වරදකරු කරපු, හිරේ ගිය කෙනෙක් කිසිම අවස්ථාවක බඳවාගන්න මේවයින් ඉඩක් නෑ. රථවාහන වැරදි, දික්කසාද නඩු වගේ ඒවා මෙතැනදි ගණන් ගන්නෙ නෑ. මේවා හදලා තියෙන්නෙ මේ තැන්වලට බඳවාගන්න කෙනා රාජ්‍ය ආයතනය බබලවන කෙනෙක් බවට පත්කරන්නයි.
Previous articleහිජාස්ගේ නඩුව මාධ්‍යවේදීන්ට තහනම් කරයි !
Next articleසංශෝධන එපා : කොතලාවල පනත ඉවත් කරගන්න – ඉංජිනේරුවෝ 20,000ක් ජනපතිට ලියති !

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here