මර්දනයට එරෙහිව ගුරු සංගමයෙන් එක්සත් ජාතීන්ට සංදේශයක් !

ශ්‍රී ලංකා ආණ්ඩුවේ මර්දනයට එරෙහිව ලංකා ගුරු සංගමය යුරෝපා සංගමයේ පාර්ලිමේන්තු කොමසාරිස්වරියට, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරියට හා සිවිල්, දේශපාලන, ආර්ථික හා සංස්කෘතික අයිතිවාසිකම් වෙනුවෙන් සාමකාමීව රැස්වීමේ හා සංවිධානය වීමේ අයිතිය ආරක්ෂා කිරීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරයාට සංදේශයක් බාර දී තිබේ.
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට එරෙහිව ඉකුත් 08 වැනිදා සිසුජන ව්‍යාපාරය විසින් කැඳවා තිබූ උද්ඝෝෂණයට සහභාගි වූ ලංකා ගුරු සංගමයේ ප‍්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් ඇතුළු වෘත්තීය සමිති නායකයින්, බහුජන සංවිධාන කි‍්‍රයාකාරිකයින් හා ශිෂ්‍ය කි‍්‍රයාකාරීන් නිරෝධායන නීතිවලට මුවා වී අනීතික ලෙස අත්අඩංගුවට ගන්නා ලද අතර එය ඇතුළු සිදුවීම් මූලික කරගෙන මෙම සංදේශය බාර දී ඇත.
අධිකරණයෙන් ඇප මත නිදහස් කළ ඔවුන් අධිකරණ භූමියෙන් පිටතට පැමිණෙද්දී ගේට්ටුව හරස් කර පොලීසිය විසින් බස්රථවල නංවාගෙන බලහත්කාරයෙන් නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත රැගෙන ගොස් රඳවා තබා ගනු ලැබ තිබේ.
මෙම නීති විරෝධී හා ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී කි‍්‍රයාවන් සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමයේ සභාපති එස්. පි‍්‍රයන්ත ප‍්‍රනාන්දු හා උප සභාපති රසිකා හඳපාන්ගොඩ මෙනවියගේ අත්සනින් ඊයේ(13) යුරෝපා කවුන්සිලයේ පාර්ලිමේන්තු සභාවේ මානව හිමිකම් කොමසාරිස්වරිය වෙත මෙම සංදේශය භාර දී ඇත.
එමෙන්ම පෙරේදා (12) එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරියට හා සිවිල්, දේශපාලන, ආර්ථික හා සංස්කෘතික අයිතිවාසිකම් වෙනුවෙන් සාමකාමීව රැස්වීමේ හා සංවිධානය වීමේ අයිතිය ආරක්ෂා කිරීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරයාට ද මේ පිළිබඳව සංදේශ භාර දී තිබේ.
කෝවිඩ්-19 වසංගතය තුළ නිරෝධායන නීතීන්ට මුවා වී වෘත්තීය සමිති නායකයින්, ශිෂ්‍ය කි‍්‍රයාකාරීන්, බහුජන සංවිධාන කි‍්‍රයාකාරීන්, විරෝධතාවල යෙදෙන ගොවි ජනතාව, මාධ්‍යවේදීන් ආදී සියලූ පාර්ශව වෙත ආණ්ඩුව තම මර්දනය මුදාහරිමින් තිබෙන බවත් මානව හිමිකම් උල්ලංඝනය කරමින් ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධීව කටයුතු කරන බවත් සඳහන් කරමින් ඊට එරෙහිව මෙම සංදේශය භාරදෙනු ලැබ ඇත.
Previous articleමහජන විරෝධතා ආරක්ෂා කළ යුතුයි – ජාතික සාම මණ්ඩලය
Next articleමුලතිව් සිද්ධිය ගැන ගුවන් හමුදාපතිගෙන් වාර්තාවක් කැඳවයි !

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here