මුලතිව් සිද්ධිය ගැන ගුවන් හමුදාපතිගෙන් වාර්තාවක් කැඳවයි !

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම ගැන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව මගින් පවත්වන විමර්ශනයකට මුලතිව් ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරිවරයා සහයෝගය ලබා නොදීම සම්බන්ධයෙන් එම කොමිෂන් සභාව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගෙන් වාර්තාවක් කැඳවා තිබේ.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට ලැබුණු පැමිණිල්ලක් අනුව එහි යාපනය සම්බන්ධීකරණ නිලධාරි ටී.කනගරාජ් මහතා ඇතුළු කණ්ඩායම මුලතිව් ගුවන් හමුදා කඳවුරට ගිය අවස්ථාවේ විමර්ශනයට අවශ්‍ය තොරතුරු එම ගුවන් හමුදා කඳවුරේ නිලධාරීන් විසින් ලබා දී නැති බව ද, අනතුරුව ඒ සම්බන්ධයෙන් ප්‍රධාන කාර්යාලයෙන් ගුවන් හමුදාපති දැනුම්වත් කර දෙවැනි දිනටත් කණ්ඩායමක් මූලික පරීක්ෂණය සඳහා ගොස් ඇති බව ද මානව හිමිකම් කොමිෂන් සභාව ගුවන් හමුදාපතිවරයා වෙත යවන ලද ලිපියේ සඳහන් වේ.
දෙවැනි වර කොමිෂන් සභා නිලධාරි කණ්ඩායම කඳවුරට ගිය අවස්ථාවේ ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරිවරයා දොරටුව අසලට පැමිණ එම කණ්ඩායම මුණ ගැසී ඇති අතර, නිරෝධායන මධ්‍යස්ථානය නිරීක්ෂණය කිරීමට යෑමට අවස්ථාව ලබාදී නැති බව ද කොමිෂන් සභාව සඳහන් කරයි.
මෙසේ කටයුතු කිරීම මගින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කාර්යභාරය හා බලතල අගරුවීමකට ලක්ව ඇති බව සඳහන් කරන කොමිසම, 1996 අංක 21 දරන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා පනත අනුව අධිකරණ ආඥාවක් මඟින් හෝ වෙනත් ආකාරයකින් පුද්ගලයන් රඳවනු ලැබ තිබෙන ස්ථාන නිරීක්ෂණය කිරීමට බලය ඇති බව ද අවධාරණය කරයි.
මේ සම්බන්ධයෙන් ජූලි 20 වැනිදාට පෙර කොමිසම වෙත වාර්තාවක් එවීමට කටයුතු කරන ලෙස කොමිෂන් සභාවේ සභාපති ජගත් බාලසූරිය මහතා ගුවන් හමුදාපතිවරයාට ලිඛිතව දැනුම් දී තිබේ.
Previous articleමර්දනයට එරෙහිව ගුරු සංගමයෙන් එක්සත් ජාතීන්ට සංදේශයක් !
Next articleහිජාස් – අහ්නාෆ් නිදහස් කොට ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කරන්න ! – විශ්වවිද්‍යාල ආචාර්ය – මහාචාර්යවරුන් 96 දෙනෙක් අවධාරණය කරති !

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here