අපනයන තේ මිල කඩා වැටෙයි : පොහොර තහනම ගැන නැවත හිතන්නැයි ඉල්ලීමක්!       

රසායනික පොහොර තහනම් කිරීම නිසා ගුණාත්මක තේ නිෂ්පාදනයට බාධා ඇති වන බවද එමගින් ‘ලංකා තේ‘ අපනයන මිල අඛණ්ඩව පහත වැ⁣ටෙන බවද හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.
ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනයෙන් 75% ක් නිෂ්පාදනය කරන කුඩා තේ වතු හිමියන්ට අවශ්‍ය පොහොර සහ කෘෂි රසායන නොලැබීම නිසා ගුණාත්මක භාවයෙන් ඉහළ තේ දළු නිෂ්පාදනය කළ නොහැකිව ඇති බවත් එම නිසා අපනයන මට්ටමේ තේ නිෂ්පාදනවල පැවතිය යුතු ගුණාත්මක භාවය නොමැති බවත් ඔහු සඳහන් කරයි.
තත්වයෙන් බාල තේ නිෂ්පාදනය කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ අපනයන තේ කිලෝ ග්‍රෑමයක් සඳහා ලැබෙන මිල තුන්වන වතාවටත් පහත බැස ඇතැයි ද ජූලි මාසයේ දී අපනයන තේ මිල තවත් පහත වැටෙමින් ඇතැයි ද ඔහු කියයි.
රසායන පොහොර තහනම හේතුවෙන් මෙරට කෘෂිකර්ම ක්ෂේත්‍රයේ සෑම අංශයක්ම කඩා වැටෙමින් තිබෙන බවත් අස්වැන්න අඩුවෙමින් පවතින බවත් එළවළු, පළතුරු හා මල්වර්ග නිෂ්පාදනයට එයින් දැවැන්ත බලපෑමක් එල්ලවී ඇති බවත් හිටපු ආණ්ඩුකාරවරයා පවසයි. කුරුඳු ඇතුළු අපනයන බෝග රැසක නිෂ්පාදන තත්වය ද මේ වන විට පහත වැටී ඇතැයි තෙන්නකෝන් මහතා සඳහන් කරයි.
හෙතෙම නිවේදනයක් නිකුත් කරමින් මෙසේද පවසයි.
“තේ සඳහා ලැබෙන මිල අඛණ්ඩව පහත වැටීම වැලැක්වීමට නම් තේ වගාව සඳහා හෝ රජය රඳවාගෙන තිබෙන පොහොර වහා නිදහස් කළ යුතු ය. අපනයන ආදායමේ හදවත බදු තේ වගාව රැක ගැනීම සඳහා පොහොර හා කෘෂි රසායන ආනයන තහනම පිළිබඳ වහා නැවත ඇගයීමක් සිදු කළ යුතුව ඇත.
පොහොර හා කෘෂි රසානයන නොමැතිවීමෙන් මේ වන විට තේ වගාව දැඩි පරිහානියකට ලක්ව තිබේ. පහතරට තේ වගාවේ අස්වැන්න හා දළුවල ගුණාත්මක බව පහත වැටීම සුවිශේෂී වේ. කඳුකර තේ වගාවට පොහොර නොමැතිවීමට අමතරව බ්ලයිට් රෝග ආසාදනයට ලක්වී ඇත. මේ රෝග සඳහා නිර්දේශිත කෘෂි රසායන නොමැතිවීම හේතුවෙන් දළු අඩුවීම පමණක් නොව, ගස් විනාශ වීම ද ඇරඹී ඇත.
වතු සමාගම් සතුව පොහොර හා කෘෂි රසායන තොග පවතින නමුත් කුඩා තේ වතු හිමියන්ට පොහොර නොලැබේ. වතු සමාගම් හා කුඩා වතු හිමියන්ට ඇත්තේ එකම වෙළෙඳපොලකි. තත්වයෙන් බාල තේ නිෂ්පාදන වැඩි වශයෙන් වෙළෙඳපොලට පැමිණීමත් සමඟම තේ මිල පහත යාම ඇරඹී තිබේ.
අත්තනෝමතික කෘෂි රසායන තහනම හේතුවෙන් කෘෂි නිෂ්පාදනවල තත්වය පවත්වාගෙන යාමේ ගැටළුවකට කෘෂි නිෂ්පාදන ක්ෂේත්‍රයේ සෑම කණ්ඩායමක්ම මුහුණ දී සිටී. ශ්‍රී ලංකාවේ සමස්ථ අපනයන ආදායමෙන් 15% ක් ලැබෙන්නේ තේ නිෂ්පාදනයෙනි. කෘෂිකර්ම ක්ෂේත්‍රයේ අපනයන ආදායමෙන් 62% ක් ලැබෙන්නේ තේ වගාවෙනි.
කෘෂිකර්ම නිෂ්පාදන සඳහා අත්‍යවශ්‍ය අමුද්‍රව්‍යයක් වන පොහොර හා කෘෂි රසායන තහනම හේතුවෙන් මෙරට කෘෂිකර්ම ක්ෂේත්‍රයේ සෑම අංශයක්ම කඩා වැටෙමින් තිබෙන අතර අස්වැන්න අඩුවෙමින් පවතී. එළවළු, පළතුරු හා මල්වර්ග නිෂ්පාදනයට එයින් දැවැන්ත බලපෑමක් එල්ලවී ඇත. කුරුඳු ඇතුළු අපනයන බෝග රැසක නිෂ්පාදනය තත්වය මේ වන විට පහත වැටී ඇත.”
Previous articleනිරෝධායන ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කළා : දුමින්ද නාගමුව වහාම මුදාහරින්න – බිරිඳගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක් !
Next articleමහජන විරෝධතා ආරක්ෂා කළ යුතුයි – ජාතික සාම මණ්ඩලය

1 COMMENT

  1. තේරෙන විදිහට මෙයින් කියැවෙන්න – දිලීර/කෘමිනාශක නැතුව තේ දළු වලට වන හානිය නිසා අවසන් තේ නිශ්පාදනයේ ඇතිවන ගුණාත්මක තත්ත්වයේ පහත වැටීම පිළිගත හැකියි. පොහොර නොමැතිවීම නිසා අස්වනු ප්‍රමාණය පහත වැටෙන බව පිළිගත හැකි වුවත්, එයම ගුණාත්මක තත්වයේ පහල වැටිමක් වන්නේදැයි සැක සහිතය.

    කේසේ වූවද, පොහොර, කෘමිනාශක තියෙන අවධියේ මීට පෙර දෙවතාවක් ම තේ වල ගුණාත්මය පහළ ගොස්, වෙළඳ පොළ මිළ පහළ යාම සිදුවූයේ කෙසේදැයි ඒ අනුව අභිරහසක් බවට පත්වේ!!

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here