කාබනික පොහොර නරක ද? – ජනාධිපති කරන්නේ කුමක්ද? : විරෝධය හරියට තේරුම් ගන්න – මහාචාර්ය එල්.එම්.අබේවික්‍රම

විකල්ප ක්‍රියාමාර්ග අනුගමනය නොකරමින්, එක්වර රසායනික පොහොර සහ කෘෂි රසායනික ද්‍රව්‍ය ආනයනය තහනම් කිරීම නිසා මෙරට රුපියල් කෝටි 84,000ක කෘෂි ආර්ථිකය මෙන්ම ඇමෙරිකානු ඩොලර් මිලියන 2,500කට ආසන්න විදේශ විනිමය ඉපැයීම් බිඳවැටීමේ අනතුරක් පවතී.
පසුගිය අප්‍රේල් 22 වැනිදා ජනාධිපතිවරයා මේ තීරණය ප්‍රකාශයට පත් කළේය. 2020 මහ බැංකු වාර්තාවට අනුව ජාතික ආදායමට කෘෂිකර්මාන්තයෙන් එක් වන රුපියල් කෝටි 84,000ක ඉපයීම් බිඳවැටීමේ අනතුරක් මේ මගින් නිර්මාණය වී ඇත. එම වර්ෂයේ වී නිෂ්පාදනයෙන් රුපියල් කෝටි 16,850ක්, එළවළු නිෂ්පාදනයෙන් රුපියල් කෝටි 13,332ක්, පලතුරු නිෂ්පාදනයෙන් රුපියල් කෝටි 11,613ක් සහ තේ කර්මාන්තයෙන් රුපියල් කෝටි 10,854ක් ආදී වශයෙන් කෘෂි අංශයෙන් ජාතික නිෂ්පාදනයට රුපියල් කෝටි 84,000කට අධික නිෂ්පාදන දායකත්වයක් සපයා ඇතැයි ද අදාළ වාර්තාවේ සඳහන් ය.
කෘෂිකාර්මික අපනයන ආදායම වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 2,500ක් පමණ පසුගිය වසරේදී ලංකාව උපයාගෙන තිබේ. එසේම රට තුළ මාස 17කට අවශ්‍ය සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 33ක් නිෂ්පාදනය කර තිබේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් රුහුණු විශ්වවිද්‍යාලයේ කෘෂි ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ අංශ ප්‍රධානී මහාචාර්ය එල්.එම්.අබේවික්‍රම මෙසේ සඳහන් කරයි.

‘හිතලා ගත්ත තීරණයක් නෙමෙයි’

‘රටේ කවුරුත් කාබනික පොහොර භාවිතයට කැමැතියි. නමුත් තීන්දුවක් ගනිද්දි දීර්ඝකාලීනව හිතලා තමයි තීරණයක් ගන්න ඔ්නෙ. අද වන විට කෘෂිකර්මාන්තය නවීකරණය වෙලා තියෙනවා. රසායනික පොහොරවලට ඉක්මනින් සංවේදී වන කෘෂිකර්මයක් තමයි දැන් තියෙන්නෙ. ක්‍රිස්තු පූර්ව දාහෙ වගේ කැලයක් කපලා වගා කළා නම්, කන්න දෙකක් වගේ වගා කරන්න පොහොර අදාළ භූමියේම තියෙනවා. ජනගහනය වැඩිවීමත් සමග ඉඩම් ප්‍රමාණය අවම වෙනවා. හැම අස්වැන්නකින්ම කොටසක් අයින් කරන්න වෙනවා. විද්‍යාඥයො පොහොරවලට සංවේදී වැඩි අස්වනු ගතහැකි බීජ හදලා තියෙනවා අභිජනන ක්‍රමවලින්. ඒවා තමයි දැන් තියෙන්නෙ. මේවා කැලෑ කපලා, හේන්වල කරන වගාවල් විදිහට කරන්න බෑ.
දැන් තියෙන බෝගවලට රසායනික පොහොරවලින් ඒ ඒ කාලයට අවශ්‍ය දේවල් දෙන්න ඔ්නෙ. ඒක දෙන්න නම් අපිට අවශ්‍ය වෙනවා, වැඩි සාන්ද්‍රණයෙන් යුක්ත පොහොර. දැන් යූරියාවල සීයට 46ක්ම නයිට්‍රජන් තියෙනවා. කොම්පෝස්ට්වල තියෙන්නෙ සීයට දෙකයි. යූරියා දානවා වගේ 23 ගුණයක් කොම්පෝස්ට් දාන්න ඔ්නෙ. මේක මිනිස්සුන්ට ප්‍රායෝගිකව කරන්න පුළුවන් ද? අනෙක කාබනික පොහොරවලින් රසායනික මූලද්‍රව්‍ය නිදහස් කරන්නෙ බොහොම හෙමින්. දැන් ඇතැම් බෝගවලට ඒ ඒ කාලවලදි සාන්ද්‍රණ වේගයෙන් අවශ්‍ය වෙනවා. ගොයම් පූදිනකොට බණ්ඩි පොහොර අවශ්‍ය වෙනවා. ඒ කියන්නෙ පොටෑසියම්. රතු කුඩු කියලා ගොවියො ගහන්නෙ ඒක. ඒක බණ්ඩි කාලෙ ලබානොදුන්නොත් වී අස්වැන් අඩු වෙනවා. කාබනික පොහොරවලට ඒ හැකියාව නෑ.

තීරණය පිටුපස ඇති ඇත්ත කුමක්ද?

ජනාධිපතිවරයා මේ අරගෙන තියෙන්නෙ ජනප්‍රිය තීරණයක්. රටේ ජනමතයක් තියෙනවා, වසවිසෙන් තොර ආහාර ගැන. මේ හරහා ජනප්‍රිය වෙන්න ගත් තීන්දුවක්. ඒ වගේම කියන්න ඔ්නෙ, මෙතැන තියෙන්නෙ කාබනික පොහොර ප්‍රශ්නයක් නෙමෙයි. විදේශ විනිමය ප්‍රශ්නයක්. ඩොලර් නැතිවෙනකොට වාහන ආනයනය නැවැත්තුවා. ඒකෙන් යම් ප්‍රමාණයක් ඩොලර් පිටට ගලාගෙන යන එක නැවතුණා. ඒකෙන් විතරක් මේක කරන්න බෑ, ඒ නිසා තව ආනයන නවත්තන්න ඔ්නෙ. සීනි, කිරිපිටි, පෙට්‍රල් නවත්තන්න බෑ. පොහොර නෑ කියලා එකපාරට මිනිස්සු මැරෙන්නෙ නෑ. ඒ නිසා මේක කළා. මෙතැන තියෙන්නෙ කාබනික ප්‍රශ්නයක් හෝ වනවිස ප්‍රශ්නයක් නෙමෙයි. රටේ තියෙන ආර්ථික අර්බුදයේ ප්‍රකාශනයක්.

‘කාබනික වගාවට එකඟයි’

අපි කාබනික වගාවට කැමැතියි. නමුත් ආණ්ඩුවේ මේ එකවර කාබනික පොහොරවලට මාරුවෙන තකතීරු තීරණයට එකඟ නෑ. මේක දිගුකාලීන ක්‍රියාවලියක්. කාබනිකවලට ගැළපෙන බීජ ප්‍රභේද හදන්න ඕනෙ. මේව ක්ෂණිකව, ජනප්‍රිය තීරණවලින් කරන්න බෑ. ජීව විද්‍යාත්මක ක්‍රියාවලියක් තුළ තමයි එතැන්ට අපි යන්න ඔ්නෙ. ඒක කරන්නෙ කොහොමද කියන එක ගැන නිවැරදි සැලසුමක් තියෙන්න ඔ්නෙ. නැත්නම් ලොකු ප්‍රශ්නයක් වෙන්නෙ.

ලෝකය කාබනික වගාවට මාරු නොවන්නේ ඇයි?

කාබනික වගාව හැම රටකම කුඩා ප්‍රමාණයෙන් කරනවා. එංගලන්තය වගේ රටවල සියයට දෙකක-තුනක ප්‍රමාණයක් තියෙනවා. ඇතැම් රටවල් ඒකට මහන්සි වෙලා, ෆේල් වෙලා තියෙනවා. ලෝකයේ හැම රටකම කුඩා ප්‍රතිශතයක් තියෙනවා, ඒත් ඒක එක පාර වෙනස් කරන්න කවුරුත් උත්සාහ කරන්නෙ නෑ. අපේ රටෙත් එහෙමයි. යම් ගොවිපොළ ප්‍රමාණයක් කාබනික පොහොරවලින් කරනවා. ජනගහනයේ සමස්ත ආහාර අවශ්‍යතාව සපුරන්න ඒ විදිහට වගා කරන්න අපිට හැකියාවක් නෑ. අනෙක් අතට කාබනික යොදලා වගා කරන සුළු වගා ප්‍රමාණයේ නිෂ්පාදනවල මිල ඉහළයි. මොකද ඒකට විශේෂ මහන්සියක් දරන්න ඕනෙ.
කාබනික පොහොර යොදලා වගා කළොත් දැන් ලැබෙන අස්වැන්නෙන් හතරෙන් එකකට ආසන්න ප්‍රමාණයක් ලැබෙන්නෙ. එකවර ඒ වගේ තැනකට යෑම බරපතළ අනතුරක්. මෙච්චර වගා කරලත් අපේ රටේ අවශ්‍යතාව හරියට සම්පූර්ණ කරගන්න අමාරු අපිට ඒ වගේ අනතුරකට මුහුණ දෙන්න පුළුවන්ද? ඒ නිසා තමයි, ලෝකයේ කිසිම රටක් මේ අනතුරට මුහුණ දෙන්න යන්නෙ නැත්තෙ. භූතානය 2012 මහා පරිමාණයෙන් කාබනික වගාව කරන්න පටන් අරන්, දැන් අත්හැරලා තියෙන රටක්.

කළ යුත්තේ කුමක්ද?

රසායනික පොහොරවලින් විතරක් නෙමෙයි, බෙහෙත්වලිනුත් ශරීරයට හානියක් වෙනවා. භාවිතා කරන ක්‍රමවේදයයි නිවැරදි කරගන්න ඔ්නෙ. අපි නතර කරන්න ඕනෙ තැනක් තියෙනවා. ගොවියො ඉවක් බවත් නැතුව පොහොර පාවිච්චි කරන එක පාලනය කළ යුතුමයි. පොහොර සහනාධාරය කියන එක විද්‍යාඥයන් නිර්දේශ කළ එකක් නෙමෙයි. ඒක දේශපාලන සහනාධාරයක්. මේ ජනාධිපති ආවෙත් පොහොර නිකම් දෙනවා කියලනෙ. පොහොර නිර්දේශිත මිලට දෙන්න ඕනෙ.
පොහොර දැම්මම වගාවට උරාගන්නෙ සීයට තිහක් විතර ප්‍රමාණයක්. ඉතිරි ප්‍රමාණය අපතේ යනවා. අපි මේකට වැඩපිළිවෙලක් හදන්න ඔ්නෙ. පසේ පොහොර රඳවා ගැනීමේ හැකියාව වැඩි කරන්න පුළුවන් කාබනික ද්‍රව්‍ය එකතු කිරීමෙන්. කාබනික ද්‍රව්‍ය ටිකෙන්-ටික එකතු කිරීමෙන් අපිට පුළුවන් පසේ ගුණාත්මක බව වැඩි කරන්න. ඊටපස්සෙ ටික-ටික නයිට්‍රජන් අඩු කරන් පුළුවන්.

‘විරෝධය නිවැරදිව තේරුම් ගන්න’

මේ දැන් තියෙන පසට මේක ක්ෂණිකව කරන්න බෑ. පසේ පොහොර රඳවා ගැනීමේ හැකියාව වැඩි කරලා, හොඳ තත්ත්වයකට ගන්න අවම වශයෙන් වසර පහක්වත් යනවා. මේක හෙමින් යන්න ඕනෙ ගමනක්. හැම පාර්ශ්වයකම සහයෝගයෙන් යන්න ඔ්නෙ ගමනක්. කාබනික පොහොර භාවිතයට රටේ කවුරුත් විරුද්ධ නෑ. මේ හදිස්සි, සැලසුමක් නැති ජනප්‍රිය තීරණයටයි විරුද්ධ. ඒක හරියට තේරුම් ගන්න ඔනෙ මුලින්ම. ජනාධිපතිවරයා කියනවා, රසායනික පොහොර ආනයනයට යන මුදලින් ගොවීන්ට වන්දි ගෙවනවා කියලා. ඒක මේකට උත්තරයක්ද? ඒකත් අර වගේම ජනප්‍රිය වෙන්න දරන උත්සාහයක්.’

බැසිල් වෙනස් කරයිද?

මේ අතර ප්‍රවෘත්ති වෙබ් අඩවි ගණනාවක් වාර්තා කර තිබුණේ නව මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ විසින් තාවකාලිකව රසායනික පොහොර ආනයනය සඳහා අවසර ලබාදෙනු ඇති බවයි. කාබනික පොහොර නිෂ්පාදනය වැඩි කරන තුරු මේ තීරණය ගනු ඇතැයි ද එම වාර්තාවල සඳහන් විය.

තීරණයේ වෙනසක් නෑ – රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ

එහෙත් මේ සම්බන්ධයෙන් ඊයේ (10) නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක අවදාරණය කර තිබුණේ එවැනි කිසිදු තීරණයක් ගෙන නැති බවයි. අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කළ නිවේදනයේ මෙසේ සඳහන් ය.
‘හරිත සමාජ ආර්ථික රටාවක් ගොඩනැගීමේ අරමුණ ඇතිව රසායනික පොහොර සහ පළිබෝධ නාශක ආනයනය තහනම් කිරීමට ජනාධිපති ගෝඨභාය රාජපක්ෂ මැතිතුමා ගත් තීරණය නව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් වෙනස් කර ඇති බවට ඇතැම් වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන පුවතේ කිසිදු සත්‍යතාවක් නැත.
රසායනික පොහොර භාවිතයෙන් බැහැරව කාබනික කෘෂිකර්මයට මාරුවීමට ගත් තීරණය අහෝසි කිරීමට රජය කිසිසේත්ම අදහස් නොකරයි.’

සාකච්ඡා සැලසුමක් ?

කෙසේ වෙතත් වාර්තා වන්නේ එවැනි කිසිදු තීරණයක් මෙතෙක් ගෙන නැතත්, ඉදිරි සතිය තුළ රසායනික පොහොර සහ පළිබෝධ නාශක ආනයනකරුවන් සහ මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ අතර සාකච්ඡාවක් පැවැත්වෙනු ඇති බවයි.
Previous articleනිරෝධායනය දඬුවමක් කිරීම අධිකරණයට කරන අපහාසයක් – ශ්‍රී ලංකා නීතිඥ සංගමය
Next articleඅනීතික රඳවාගැනීම්වලට එරෙහිව ලුණුගම්වෙහෙරේ උද්ඝෝෂණයක් !

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here