උපක්‍රම තියාගෙන අපි පස්සට යනවා : ලෝකය ඇවිත් තියෙන්නෙ අලුත් යුගයකට – ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු

(හසරිඳු රාජපක්ෂ)
ශ්‍රී ලංකාවට භාණ්ඩ ආනයනය තවදුරටත් සීමා කළහොත් රටේ ආර්ථිකය සංකෝචනය විය හැකි බවත්, එමගින් දරුණු ආර්ථික පසුබෑමකට රට ලක්විය හැකි බවත් ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු මහතා පෙන්වා දුන්නේය.
රටේ ආර්ථික තත්වය සම්බන්ධයෙන් MediaLK සමග අදහස් දක්වමින් ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ මේ වන විට රට මුහුණ දෙමින් සිටින ආර්ථික තත්ත්වයෙන් ගොඩඒමට නම් ආර්ථික ප්‍රතිසංස්කරණ වෙත ඉතා කඩිනමින් යා යුතු බවයි.

‘ආනයන සීමා කරන්න හැකි සීමාවක් තියෙනවා’

‘මේ වන විට භාණ්ඩ ආනයනය සීමා කරලා තියෙන්නේ. නමුත් අපිට ආනයන සීමා කරන්න පුළුවන් ප්‍රමාණයක් තිබෙනවා. එයට සීමාවක් තිබෙනවා. ආනයනය මත රැඳෙන විශාල පිරිසක් ලංකාවේ ඉන්නවා.  ඒ වගේම අපි ආනයනය කරන භාණ්ඩවලින් පාරිභෝගික භාණ්ඩ තිබෙන්නේ බොහොම අඩු ප්‍රමාණයක්. ඉතිරි භාණ්ඩ අතරමැදි භාණ්ඩ සහ අමුද්‍රව්‍ය. ඒ වගේම අපි ආනයනය කරන දේවල්වල අපනයනය සඳහා අවශ්‍ය වන කොටස් බොහොමයක් තිබෙනවා. උදාහරණයක් ලෙස ඇඟළුම් ක්ෂේත්‍රය ගැන කියනවා නම් මෙහි නිෂ්පාදන ඇමරිකානු ඩොලර් බිලියන 4.5ක් වැනි ප්‍රමාණයක් අපනයනය කරනවා. එයට අවශ්‍ය රෙදි, නූල් වැනි අමුද්‍රව්‍ය, උපකරණ ආනයනය සඳහා එයින් සියයට දෙකක් පමණ ප්‍රමාණයක් සඳහා වැයවෙනවා. ඒ මොකද මේ කිසිවක් ලංකාවේ හදන්නේ නැති නිසා.
තේ කර්මාන්තය ගත්තත් ඒ විදිහමයි. ලංකාවෙන් තේ අපනයනය කළාට තේ පැකට් කරන පොලිතින් වගේ බොහොමයක් ආනයනය කරන්න වෙනවා. මේ නිසා ආනයනය දිගටම නවත්වාගෙන තියාගන්න අමාරුයි.
මොකද මේ විදිහට ගියොත් අපේ මුළු ආර්ථිකයම සංකෝචනය වෙන්න පුළුවන්. මේ වන විට රටේ තිබෙන ඩොලර් ප්‍රමාණය අඩු නිසා බැංකුවලින් ණයවර ලිපි (Letter of Credit) විවෘත කරන්න දෙන්නේ නැහැ. මේ තත්ත්වය තුළ මහා පරිමාණ ආයතනවලට බාධාවකින් තොරව කටයුතු කරගෙන යන්න පුළුවන් වෙයි. නමුත් පොඩි ආයතනවලට මේ තත්ත්වය දරාගන්න අමාරුයි. ඒ කියන්නේ මේ තත්ත්වය නිසා පොඩි-පොඩි ව්‍යාපාරවලට පහර වදිනවා. ඒවා හකුළාගන්න වෙනවා. එහෙම නැත්නම් වහලා දාන්න වෙනවා. එය ඉදිරියේදී ප්‍රශ්නයක් වෙන්න පුළුවන්.

හැමදෙයක්ම ලංකාවෙ හදන්න පුළුවන් ද?

තවත් අවධානය යොමු කළ යුතු කාරණයක් තිබෙනවා. ඒ තමයි මේ වන විට එක භාණ්ඩයක් සම්පූර්ණයෙන්ම නිෂ්පාදනය කරන ලෝකයේ කිසිම රටක් නැති තරම්. ඕනෑම කුඩා භාණ්ඩයක් වුණත් ලෝකයේ රටවල් 20ක පමණ එකතුවෙන් තමයි හැදෙන්නේ. උදාහරණයකින් කියනවා නම් ලංකාවේ ඇඟළුම් ක්ෂේත්‍රය ගත්තොත් එහි කපු ලබාගන්නේ එක රටකින්, නූල් හදන්නේ තවත් රටකින්, රෙදි හදන්නේ තව රටක, වර්ණක හදන්නේ තවත් රටක, මැෂින්, උපකරණ හදන්නේ වෙනත් රටක. මේ වගේ පොඩි නිෂ්පාදනයක් ගත්තත් එය රටවල් 20ක, 30ක වගේ පැතිරිලා තිබෙනවා.
වාහනයක් නිෂ්පාදනය කරන ආකාරය සැලකුවත් එහෙමම තමයි. බෙන්ස් කාර් එක ගත්තොත් එහි සීට්වලට ඇතුළත් කරන සංවේදක උපකරණ හදන්නේ ලංකාවේ. ඒ පොඩි උපකරණය විතරයි ලංකාවේ හදන්නේ. බෙන්ස් කාර් එක අපිට හදන්න බැහැ. එහෙම කළොත් අපිට ලොකු වියදමක් යනවා. මේ දාමය අපි තේරුම් අරගෙන නැති වීම ප්‍රධානම ප්‍රශ්නයක්. හැමදෙයක්ම ලංකාවේ හදන්න පුළුවන් කියන සංකල්පයේ අපි ඉන්නවා. ඒ යුගය දැන් ඉවර වෙලා තියෙන්නේ. අපි එය තේරුම්ගත යුතුයි. අපි දැන් අලුත් යුගයකට ඇවිත් ඉන්නේ. මේ නිසා ලංකාව හැටියට අපිත් මේ මහා පරිමාණ නිෂ්පාදනවල කොටස්වලට එකතු විය යුතුව තිනෙවා.

ඩොලර් අර්බුදය හිතන තරම් සරල නෑ

අපේ රටේ තිබෙන ඩොලර් අර්බුදය අද ඊයේ ඇතිවුණු දෙයක් නෙමෙයි. අවුරුදු ගණනාවක් පුරා තිබුණු ප්‍රශ්නයක්. එයට හේතු කිහිපයක් තිබෙනවා. එකක් තමයි අපේ රට තුළ ව්‍යාපාර කරන්න පුළුවන් පසුබිමක් අවුරුදු ගණනාවක් තිස්සේ හැදුණෙ නැහැ. ලෝක බැංකුව කරන සොයාබැලීමට අනුව ව්‍යාපාර කරන්න පුළුවන් හැකියාව තිබෙන රටවල් අතර අපි හැමදාම හිටියේ පහළ මට්ටමේ. නමුත් අපේ කලාපයේ සිටින ඉන්දියාව, වියට්නාමය, මැලේසියාව, සිංගප්පූරුව වගේ මේ රටවල් සියල්ල අපිට වඩා ඉදිරියට ගිහින් තිබෙනවා. ආයෝජකයෙක් මේ කලාපය තෝරා ගනිද්දි ලංකාව තෝරාගත්තා කියලා විශේෂ වාසියක් ඔවුන්ට නැහැ. ඉතින් අපේ කලාපය තුළ ව්‍යාපාර කරන්න අපේ රට තුළ අපහසු නම්, ඒ සඳහා පහසුකම් නැත්නම් කවුරුත් මෙහෙ ව්‍යාපාර කරන්න එන්නෙ නැහැ. මේ ප්‍රශ්නය අවුරුදු ගාණක් තිස්සේ තිබුණු දෙයක්. ඒ නිසාම වෙන්න ඇති මේ ගැන හොයලා බලන්න ජනාධිපතිතුමා කමිටුවක් පවා පත්කරලා තියෙන්නේ.
ඩොලර් අර්බුදයට තවත් විශාලම හේතුවක් තමයි අපිට ගෙවන්න තිබෙන විශාල ණය කන්දරාව සහ පොලිය. ඒ නිසා ආනයනයට ඩොලර් වියදම් කරනවා වෙනුවට ණය සහ පොලිය ගෙවීමට අපිට ඩොලර් වියදම් කරන්න වෙනවා. මේ වන විට අපිට ඇමරිකානු ඩොලර් බිලියන 4.5ක පමණ ණය ප්‍රමාණයක් ගෙවන්න තිබෙනවා. දැනට තිබෙන දත්තවලට අනුව අපි ලබාගෙන තිබෙන ණයවල පොලිය පමණක් ගෙවන්න අපේ රට ලබන ආදායමෙන් සියයට 50ක් පමණ වැයවෙනවා. මේ තත්ත්වය තුළ ණය, ණය වාරික සහ පොලිය ගෙවන්න අපේ රාජ්‍ය ආදායම මදි වෙනවා. ඒ වගේම රාජ්‍ය ආදායම අඩුවෙලා වියදම වැඩි වෙලා තිබෙනවා. රජය උපයන සෑම රුපියලකින්ම සත 86ක් වැය වෙන්නේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගෙවන්න.
මේ තිබෙන තත්ත්වයෙන් නිදහස් වෙන්න තිබෙන එක ක්‍රමයක් තමයි, තවත් ණයක් අරගෙන අපිට තිබෙන ණය සහ පොලිය ගෙවලා ඉදිරියට යන එක. නමුත් ඒක කරන්න අමාරු තත්ත්වයක තිබෙන්නේ. ඒ මොකද ග්‍රේණිගත කිරීම් අනුව අපි පහළ මට්ටමක ඉන්නේ. එවැනි රටකට ණය දෙනවා නම් ඒ දෙන අය විශාල පොලියකට තමයි ණය දෙන්නේ. ඒ නිසා අපිට නැවත ණය අරගෙන මේ ප්‍රශ්නය විසඳන තැනට යන්න බැහැ. මේ නිසාම වෙන්න ඇති දැන් රජය විසින් පෞද්ගලික ආයතනවලට විදෙස් ණය ලබාගන්න අවස්ථාව දීලා තියෙන්නේ.

මුදල් අච්චු ගැසීම විසඳුමක් ද?

දැන් රජය වැඩි වශයෙන් මුදල් අච්චු ගහනවා. රජයට වියදම වැඩිවෙලා අදායම අඩුවෙලා තියෙන නිසා මේ වියදම පියවන්න තව-තවත් ණය ගැනීමට යොමුවෙනවා. ඒ කියන්නේ භාණ්ඩාගාර බිල්පත් නිතුත් කිරීම හෝ විනිමය සුරැකුම්පත් නිකුත් කරන විට මහ බැංකුවම ඒවා මිලදීගෙන බැංකුවලට යම් මුදල් ප්‍රමාණයක් නිදහස් කරනවා. එය මූල්‍ය පද්ධතියට එකතු වෙන්නේ කිහිපගුණයකින් වැඩි වෙලා. මුදල් අච්චු ගහනවා කියලා කියන්නේ මේ සිද්ධිදාමයට. පසුගිය මාස 18ක කාලයේදී ඒ ආකාරයට මුදල් ට්‍රිලියන 02ක වගේ මුදලක් මේ පද්ධතියට එකතු වුණා.
මේ තත්ත්වය අපිට දරන්න අපහසුයි. මෙහෙම වුණේ රජයේ බදු ආදායම අඩු වුණු නිසයි. මේ ආකාරයට වැඩිපුර මුදල් පද්ධතියට එකතු කිරීම තුළ වක්‍රකාරයෙන් සිදුවෙන්නේ ආනයනය වැඩි වීමයි. මොකද අපි කොපමණ ආනයනය සීමා කළත් මුදල් අච්චු ගැසීම හරහා සිදුවෙන්නේ ජනතාවගේ පරිභෝජනය වැඩි කිරීමයි. උදාහරණයක් විදිහට වාහන ආනයනය තහනම් කරලා තිබුණත්, මිනිස්සු අතේ සල්ලි තියෙනවා නම්, ණය ගන්න පුළුවන් නම් ඔවුන් කරන්නේ වාහනය ගෙන්වනවා වෙනුවට වෙනත් කටයුත්තක් කරන එක. ඇතැම් විට ගොඩනැගිල්ලක් හදන එක හෝ වෙනත් කටයුත්තක් වෙන්න පුළුවන්. එතකොට වාහන ආනයනය කරන ප්‍රමාණය තහනම් වුණාට නිවාස හදන ප්‍රමාණය වැඩි වෙනවා.
ඒ කියන්නේ යකඩ වගේ දේවල් අපිට ආනයනය කරන්න වෙනවා. ඒවා සීමා කරන්න අමාරුයි. අපි එක දෙයක් ආනයනය සීමා කරන විට ඒ හා සාපේක්ෂව වෙනත් දෙයක ආනයනය වැඩිවෙලා තියෙන්න පුළුවන්. ඒ නිසා මුදල් අච්චු ගැසීම කරන්න හොඳ දෙයක් නෙමෙයි. අපිට කරන්න තියෙන්නේ පරිභෝජනය අඩු කරලා ආනයනය අඩු කරන එක විතරයි. ඒ වගේම අපි අවධානය යොමු කළ යුතු තවත් කාරණයක් තියෙනවා. ඒ තමයි ඕනෑම දෙයකට ඕනෑවට වඩා තහංචි දැම්මොත් කළු කඩ මාෆියාව ඇතිවෙනවා. ‍

චීනය උදව් කරන්නේ ඇයි?

ඒ වගේම මේ තත්ත්වයෙන් ගොඩ එන්න තියෙන විසඳුම් ගැන කතා කරද්දි කට්ටියක් හිතනවා චීනය සමග එකතු වෙලා අපිට මේ ප්‍රශ්නය විසඳාගන්න පුළුවන් කියලා. චීනය අපිට බොහෝ උදව් කරලා තියෙනවා. නමුත් කිසිම අපේක්ෂාවක් නැතිව කිසිම රටක් වෙනත් රටකට උදව් කරන්නේ නැහැ. අපේ රට කාටහරි උදව් කළත් උදව් කරන්නේ එහෙම බලාපොරොත්තුවක් තියාගෙනයි. ඒ නිසා මෙවැනි ප්‍රශ්න ඇතිවුණාම අපිට කරන්න තියෙන හොඳම දේ තමයි අන්තර්ජාතික මූල්‍ය අරමුදලට ගිහින් අපිට සහන කාලයක් ඉල්ලා ගැනීම. අපිට උදව් කරන්න අන්තර්ජාතික මූල්‍ය අරමුදලට මැජික් බලයක් නැහැ. අපි මේ අරමුදලේ ආරම්භක සාමාජිකයෙක්. මේ තත්ත්වය ප්‍රයෝජනයට ගත යුතුයි.
මොකද අපිට ආයෝජකයෝ එන්නෙත් නැත්තේ, අපිට කවුරුත් මුදල් දෙන්නෙත් නැත්තේ එක හේතුවක් නිසයි. ඒ තමයි අපි මුදල් පරිපාලනය හරියට කරලා නැහැ. අපි ණය ගෙවීම් සම්බන්ධයෙන්, අදායම්-වියදම් ගෙවීම සම්බන්ධයෙන් හරියට කටයුතු කරලා නැහැ. මේ තත්ත්වය තුළ අපි කාගෙන් හරි ණය ඉල්ලුවොත් කවුරුත් අපිව විශ්වාස කරන්නේ නැහැ. ඒකයි අපිට ණය ගන්න බැරි. මේ තත්ත්වය තුළ අපිට ආරක්ෂකයෙක් හොයාගන්න වෙනවා. ඒ නිසයි අපේ අධීක්ෂකයා විදහට අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ සහාය ලබාගන්නේ. එහෙම කළාම අපි ගැන ආයෝජකයන්ට විශ්වාසය ඇතිවෙනවා. මේ නිසා අපි කළ යුතු හොඳම දේ එයයි. හැබැයි එය ඉතාම ඉක්මනින් කළ යුතුයි. එතැනදී අඩු පොලියට ණයත් ගන්න පුළුවන් වෙයි. ඒ තත්ත්වය තුළ රුපියල ස්ථාවර කරගන්නත් අපිට හැකියාව ලැබෙනවා. ඒ නිසා අපි ආර්ථික ප්‍රතිසංස්කරණවලට යායුතු වෙනවා.’
Previous articleමූලික අයිතිවාසිකම්වලට අත තියන්න විධායකයට අයිතියක් නෑ – ජාතික ජන බලවේගයේ නීතිඥයෝ අවධාරණය කරති !
Next articleවිරුද්ධවාදීන් මර්දනය කරන ‘අලුත් නීති’ අප රැගෙන යන්නේ කොතැනට ද?

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here