මැයි මාසයේ නීතිපතිගේ ඉල්ලීම ඉටු වෙයි – පාස්කු ප්‍රහාර විභාගයට විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් !

අප්‍රේල් 21 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු හා හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට එරෙහිව නීතිපතිවරයා විසින් පවරනු ලැබූ නඩු විභාග කිරීමට අගවිනිසුරුවරයා විසින් විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කර තිබේ.
නීතිපතිවරයා විසින් පවරන ලද නඩු දෙකක් විභාග කිරීම සඳහා මෙම විනිසුරු මඩුල්ල මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතාගේ සභාපතිත්වයෙන් පත්කරනු ලැබ ඇති අතර එහි සෙසු සාමාජිකයින් වන්නේ ආදිත්‍ය පටබැදිගේ හා මොහොමඩ් ඉසර්ඩීන් යන මහාධිකරණ විනිසුරුවරුන් දෙදෙනාය.
නිසි තොරතුරු ලැබී තිබියදී පාස්කු ප්‍රහාරය වලක්වා ගැනීමට අපොහොසත් වීම පිළිබඳ එම ජයසුන්දර මහතාට සහ ⁣හේමසිරි මහාතාට එරෙහිව අධිචෝදනා 864 බැගින් ගොනු කරමින් නීතිපතිවරයා විසින් එම නඩු පවරනු ලැබ තිබේ.
ඔවුන් දෙදෙනාට එරෙහි එම චෝදනා විභාග කිරීම සඳහා ත්‍රිපුද්ගල විනිසුරු මඩුලු දෙකක් ස්ථාපිත කරන ලෙස නීතිපතිවරයා ඉකුත් මැයි මස මුල අගවිනිසුරුවරයාගෙන් ඉල්ලා තිබිණි.
එ් සම්බන්ධයෙන් එවක නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි නිෂාරා ජයරත්න මෙනවිය එම අවස්ථාවේ මෙසේ ප්‍රකාශ කළාය.
“ගරු නීතිපතිතුමා විසින් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන අයවළුන්ට එරෙහිව 2019 පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයට අදාළව මිය ගිය සහ තුවාල ලැබූ පුද්ගලයන් සම්බන්ධයෙන් මිනීමැරීමේ සහ මිනීමැරීමට තැත් කිරීමේ චෝදනාවලට අදාළව තොරතුරු ප්‍රදර්ශනය කිරීම කොළඹ මහාධිකරණයේදී සිදුකරනු ලැබුවා. එය එසේ සිදුකරනු ලැබුවේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන අය සම්බන්ධයෙන් වෙන වෙනම නඩු විභාග දෙකක් සඳහා ගරු අග්‍රවිනිශ්චයකාරතුමන් වෙත ඉල්ලීමක් කිරීම සඳහායි. එම ඉල්ලීම ද අද දින ලිඛිතව ගරු නීතිපතිතුමා විසින් ගරු අග්‍රවිනිශ්චයකාරතුමන් වෙත ඉදිරිපත් කරනු ලැබූවා. 2019 අප්‍රේල් 07 වැනිදා සහ 2019 21 වැනිදා යන කාලසීමාව අතරතුර දී රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතාගෙන් ලැබුණු සංවේදි තොරතුරු සහ බුද්ධි තොරතුරු සහරාන් හෂීම් සහ ඔහුගේ කණ්ඩායම ආගමික සිද්ධස්ථාන සහ හෝටල් සහ අනෙකුත් ස්ථානවලට බෝම්බ ප්‍රහාර එල්ල කිරීමට සංවිධානව සිටි බවට සහ ප්‍රහාර එල්ල කිරීමට සූදානම්ව ආසන්නව සිටින බවට ඔවුන්ට ලැබුණු තොරතුරු නොසලකා හැරීම සහ ඒ මත කටයුතු කිරීමට මුළුමනින්ම අපොහොසත් වීම හේතුවෙන් 2019 අප්‍රේල් 21 වැනි දින ප්‍රහාරය වැළැක්වීමට අපොහොසත් වීම හේතුවෙන් ඔවුන් දණ්ඩ නීති සංග්‍රහයේ 296 වගන්තිය යටතේ සහ 300 වන වගන්තිය යටතේ මිනීමැරීමට සහ මිනීමැරීමට තැත් කිරීමේ වරදට වගකිව යුතු බවට වන පදනම මත මරණ 275 ක් සිදුකිරීම සහ 500කට ආසන්න පිරිසකට තුවාල සිදුකර මිනීමැරීමට තැත් කිරීමේ චෝදනාවන් සම්බන්ධයෙන් ගරු නීතිපතිතුමා විසින් කොළඹ මහාධිකරණයේ අද දින තොරතුරු ප්‍රදර්ශනය කිරීම සිදුකරනු ලැබුවා.”
Previous articleභාණ්ඩාගාර සහාය නැතුව ශ්‍රී ලංකන්ට යන්න බෑ – කෝප් කමිටුව
Next articleනිරෝධායන නීතියෙන් මර්දනය එපා – තවත් සංවිධාන 8කින් ඒකාබද්ධ නිවේදනයක් !

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here