භාණ්ඩාගාර සහාය නැතුව ශ්‍රී ලංකන්ට යන්න බෑ – කෝප් කමිටුව

සීමාසහිත ශ්‍රී ලන්කන් ගුවන් සේවා සමාගමේ අහිතකර ප්‍රාග්ධන තත්ත්වය 2021 මාර්තු 31 දිනවන විට බරපතල තත්ත්වයකට පත්ව තිබෙන බවත් එහෙයින් භාණ්ඩාගාරයේ සහයක් නොමැතිව සමාගමේ අඛණ්ඩ පැවැත්ම අවිනිශ්චිතතාවයකට පත්ව ඇති බවත් පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ දී (කෝප් කමිටුව) අනාවරණය වී තිබේ.
එම සමාගම ලාභ ලබන තත්ත්වයට පත්කිරීමට අදාළ පූර්ණ ව්‍යාපාරික සැලැස්මක් සකසා මාසයක් ඇතුළත් කෝප් කාරක සභාවට ඉදිරිපත් කරන ලෙස කොප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මාහාචාර්ය චරිත හේරත් මහතා එම සමාගමේ සභාපති අශෝක් පතිරගේ මහතාට ඊයේ (06) දැනුම් දී තිබේ.
එමෙන්ම පවතින තත්ත්වය පිළිබඳව අධ්‍යයනය කර අමාත්‍යාංශ මට්ටමින්ද වාර්තාවක් මසක් ඇතුළත ලබා දෙන ලෙස එම කාරක සභාව සංචාරක අමාත්‍යාංශයේ ලේකම්වරයාට නිර්දේශ කර ඇති අතර විශේෂඥ කමිටුවක් පත්කර පුළුල් අධ්‍යයනයක් සිදුකර කඩිනමින් වාර්තාවක් ලබා දෙන ලෙසද කාරක සභාව නිර්දේශ කර ඇත.
සීමාසහිත ශ්‍රී ලන්කන් ගුවන් සේවා සමාගමේ 2021 මාර්තු 31 දිනට, එය නැවත රජයට පවරා ගැනීමේ දින සිට සමුච්චිත අලාභය රුපියල් මිලියන 372,015 ක් බව කෝප් කාරක සභාවේදී අණාවරණය වී තිබේ.
2020/21 වර්ෂයේ බදුවලට පසු එම සමාගමේ මුළු අලාභය රුපියල් මිලියන 45,674 ක් බවත්, මෙහෙයුම් අලාභය ද වැඩි වී තිබෙන බවත් බව කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මාහාචාර්ය චරිත හේරත් මහතා ප්‍රකාශ කර ඇත. ඊට කොවිඩ් 19 වසංගතයේ බලපෑම මෙන්ම, ගුවන් යානා ඉන්ධන පිරිවැය , ගුවන් යානා මෙහෙයුම් කල්බදු පිරිවැය සහ අනෙකුත් මෙහෙයුම් කල්බදු පිරිවැය සහ අනෙකුත් මෙහෙයුම් වල වියදම්වල ඉහළ යාම බලපා ඇතැයි එම කාරක සභාවේදී ප්‍රකාශ වී තිබේ.
2020 වසරේදී භාණ්ඩාගාරය විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 500 ක අතිරේක ප්‍රාග්ධන යෙදවීමක් සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී තිබූ බවද ඉන් ඇමෙරිකානු ඩොලර් මිලියන 240 ක මුදලක් මේ වනවිටත් සමාගම වෙත නිකුත් කර ඇති බව ද කාරක සභාවේ දී අනාවරණය වී ඇත. එම මුදල් භාවිත කර ඇති ආකාරය සම්බන්ධව ද කාරක සභාව විශේෂ අවධානයක් යොමු කර තිබේ.
සීමාසහිත ශ්‍රී ලන්කන් ගුවන් සේවා සමාගමේ 2021 මාර්තු 31 දිනට සේවයේ යෙදී සිටින ඉහළ කළමණාකරණයේ නිලධාරියෙකු රුපියල් මිලියන 3.1 ක මාසික වැටුපක්ද , ගුවන් නියමුවන් 82 දෙනෙකු රුපියල් මිලියන 02 කට වැඩි මාසික වැටුපක් ද , තවත් ගුවන් නියමුවන් 142 දෙනෙකු, ගුවන් යානා ඉංජිනේරුවන් 12 දෙනෙකු, ඉංජිනේරු අංශයේ කළමණාකරුවන් 09 දෙනෙකු හා ඉහළ කළමණාකරණයේ නිලධාරින් 03 දෙනෙකු රුපියල් මිලියනයත්, මිලියන 02 අතර මාසික වැටුපක් ලබන බවද කාරක සභාවේ නිරීක්ෂණයට ලක්වී ඇත. මෙම සේවය ජාතික ගුවන් සේවයක් ලෙස පවත්වා ගැනීමේ අවශ්‍යතාවද කාරක සභාවේ සභාපතිවරයා පෙන්වා දී තිබේ.
එමෙන්ම සීමාසහිත ශ්‍රී ලන්කන් ගුවන් සේවා සමාගමේ දෛනික පාඩුව රුපියල් මිලියන 84 ක් බව කාරක සභාවේදී හෙළි වී ඇති අතර, එතරම් ජාතික ධනයක් වැය කරන මෙම සමාගම ලාභ ලබන තත්ත්වයට පත් කිරීම වෙනුවෙන් ක්‍රමවත් සැලැස්මක් අවශ්‍ය බවද කාරක සභාව පෙන්වා දී ඇත.
සීමාසහිත ශ්‍රී ලන්කන් ගුවන් සේවා සමාගම 2019/20 හා 2020/21 වසරවලදී එහි පිරිවැය ඇමෙරිකානු ඩොලර් මිලියන 66.9 ක් අඩු කර ගැනීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් කාරක සභාව එම සමාගම ප්‍රශංසාවට ලක් කර තිබේ.
සීමාසහිත ශ්‍රී ලන්කන් ගුවන් සේවා සමාගමේ වර්තමාන කාර්‍ය සාධනය පිළිබඳ පරීක්ෂා කිරීමට මෙම කාරක සභා රැස්වීම කැඳවා ඇති අතර ඊට කැබිනට් අමාත්‍ය මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍යවරුන් වන අජිත් නිවාඩ් කබ්‍රාල්, ඩී.වී චානක ,ඉන්දික අනුරුද්ධ යන මහත්වරුන්ද, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රාවුෆ් හකීම්, පාඨලී චම්පික රණවක, ඉරාන් වික්‍රමරත්න, හර්ෂ ද සිල්වා, එස්.එම් මරික්කාර්, ජගත් පුෂ්පකුමාර, ජයන්ත සමරවීර, ප්‍රේමනාත් සී.දොලවත්ත, එස්. රාසමාණික්කම්, යන මහත්වරුන් ද සභභාගී වී ඇත.
Previous articleස්ත්‍රී – පුරුෂ සමාජභාවය පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයෙන් අයවැය යෝජනා !
Next articleමැයි මාසයේ නීතිපතිගේ ඉල්ලීම ඉටු වෙයි – පාස්කු ප්‍රහාර විභාගයට විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් !

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here