ස්ත්‍රී – පුරුෂ සමාජභාවය පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයෙන් අයවැය යෝජනා !

ජාතික අයවැය සකස් කිරීමේදී කෝවිඩ්-19 වසංගත තත්ත්වය හේතුකොට ගෙන ලාංකීය සමාජයේ ස්‍ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම එල්ල වී ඇති විවිධ බලපෑම් මෙන්ම ඉන් දැඩි පීඩාවට ලක්ව ඇති කණ්ඩායම් පිළිබඳව අවධානය යොමු කළ යුතු බවට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියන්ගේ සංසදය යෝජනා කර තිබේ.
2022 වර්ෂය සඳහා අයවැය සකස් කිරීමේදී ස්ත්‍රී පුරුෂ සමාජ භාවය පිළිබඳ අවධානය යොමු කෙරෙන යෝජනා කිහිපයක් ඉදිරිපත් කිරීමට තීරණය කළ බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියන්ගේ සංසදය පවසයි.
මෙම තීරණ ගෙන ඇත්තේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනී රාජ්‍ය අමාත්‍ය විශේෂඤ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවති ස්‍ත්‍රී පුරුෂ සමාජභාවීය අයවැයකරණය පිළිබඳ විශේෂ රැස්වීමේදීය.
ස්‍ත්‍රී පුරුෂ සමාජභාවීය අයවැයකරණය පිළිබඳ ප්‍රධාන රේඛීය අමාත්‍යාංශ නිලධාරීන් දැනුම්වත් කොට අදාළ අමාත්‍යාංශවල අයවැය යෝජනා සැකසීමේදී ස්ත්‍රී පුරුෂභාවය පිළිබඳ අවධානය යොමු කරවීමට මන්ත්‍රීවරියන්ගේ එකඟතාවය හිමි වූ බව එම සංසදය කියයි.
එයට අමතරව රජයේ මුදල් කාරක සභාව වැනි පාර්ලිමේන්තු කාරක සභා සමග සමීපව කටයුතු කරමින් ස්‍ත්‍රී පුරුෂ සමාජභාවීය අයවැය කරණය පිළිබඳ අදාල කමිටුවල අවධානය යොමු කරවීම සහ ඒ ඔස්සේ අයවැය සකස් කිරීමේ ප්‍රධාන ක්‍රියාවලියෙහි අවධානය ලබා ගැනීමටද මෙහිදී මන්ත්‍රීවරියන් තීරණය කර ඇතැයි පැවසේ.
එයට අමතරව ස්‍ත්‍රී පුරුෂ සමාජභාවීය අයවැයකරණය පිළිබඳව සමාජ දැනුම්වත් කිරීමක් සඳහා මාධ්‍ය පුළුල් ප්‍රචාරණ වැඩපිළිවෙලක් අවශ්‍ය බවද මන්ත්‍රීවරියන්ගේ සංසදය විසින් තීරණය කරන ලදී.
මාර්ගගත ක්‍රමයට සූම් තාක්ෂණය ඔස්සේ පවත්වා ඇති මෙම රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ උප සභාපතිනී රෝහිණි කවිරත්න, එහි සාමාජිකාවන් වන ආචාර්ය හරිනි අමරසූරිය, රාජිකා වික්‍රමසිංහ,මන්ජුලා දිසානායක,ගීතා කුමාරසිංහ සහ ඇතුළු සමාජ සංවිධාන කිහිපයක නියෝජිතයන්ද සහභාගී වී ඇති අතර පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය දිලනි ගුණවර්ධන සහ ආචාර්ය සමන්මාලා දොරබැවිල විසින් ස්‍ත්‍රී පුරුෂ සමාජභාවීය අයවැයකරණයේ පසුබිම සහ අවශ්‍යතාවය පිළිබඳ විශේෂ දේශන ඉදිරිපත් කරනු ලැබ තිබේ.
Previous articleලංකාව මාධ්‍යවේදීන්ට අසීරු රටක් – මාධ්‍ය නිදහසේ භක්ෂකයන් අතරට ගෝඨාභයත් !
Next articleභාණ්ඩාගාර සහාය නැතුව ශ්‍රී ලංකන්ට යන්න බෑ – කෝප් කමිටුව

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here