ලංකාව මාධ්‍යවේදීන්ට අසීරු රටක් – මාධ්‍ය නිදහසේ භක්ෂකයන් අතරට ගෝඨාභයත් !

ශ්‍රී ලංකාව, මාධ්‍යවේදීන්ට සිය රාජකාරි කටයුතු කිරීමට ‘අසීරු’ රටක් ලෙස දේශ සීමා රහිත වාර්තාකරුවෝ (Reporters Without Borders – RSF) සංවිධානය ලැයිස්තුගත කර තිබේ.

ඒ ඒ රටවල මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් සකස් කරනු ලැබු ලැයිස්තුවේ 127 වැනි ස්ථානයේ ශ්‍රී ලංකාව ලැයිස්තුගත කර ඇත.
එමෙන්ම එම සංවිධානය ‘මාධ්‍ය නිදහසේ භක්ෂකයන්’ නමින් නිකුත් කරනු ලැබූ මාධ්‍ය නිදහස සීමා කරන රාජ්‍ය නායකයන්ගේ එකතුවට ශ්‍රී ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ද ඇතුළත් කර තිබේ.

මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් සකස් කරනු ලැබූ ලැයිස්තුවේ පළමු ස්ථාන දහය වන්නේ පිළිවෙලින් නෝර්වේ රාජ්‍යය, ෆින්ලන්තය, ස්වීඩනය, ඩෙන්මාර්කය, කොස්ටාරිකා, නෙදර්ලන්තය, ජැමෙයිකාව, නවසීලන්තය,  පෘතුගාලය සහ ස්විට්සර්ලන්තය ය.
එම ලැයිස්තුවේ අවසන් ස්ථාන දහය, එනම් මාධ්‍යවේදීන් සඳහා අවම නිදහසක් ඇති රටවල් දහය වන්නේ කියුබාව, ලා⁣ඕසය, සිරියාව, ඉරානය, වියට්නාමය, ඩිජිබවුටි, චීනය, ටර්ක්මෙනිස්තානය, උතුරු කොරියාව සහ එරිත්‍රියාව යන රටවල් වේ.
2015 වන විට මාධ්‍ය නිදහස සහිත රටවල් අතරින් 165 වැනි ස්ථානයේ පැවති ශ්‍රී ලංකාව 2019 වන විට 126 දක්වා ඉදිරියට පැමිණ තිබූ අතර 2020 වසරේ එය නැවත 127 දක්වා පසු බැස්සේය.
ශ්‍රී ලංකාව එම ලැයිස්තුවේ 2013 සිට මේ දක්වා ලැයිස්තුගත වී ඇති ආකාරය
  • 2013 – 162
  • 2014 – 165
  • 2015 – 165
  • 2016 – 142
  • 2017 – 141
  • 2018 – 131
  • 2019 – 126
  • 2020 – 127
  • 2021 – 127
ඒ සම්බන්ධයෙන් දේශ සීමා රහිත වාර්තාකරුවෝ මෙසේ සඳහන් කර තිබේ.
‘2005 සිට 2015 දක්වා ඔහුගේ සහෝදර මහින්දගේ ජනාධිපති ධුර කාලය තුළ ආරක්ෂක ලේකම් ධුරය දැරූ දශකයේ සිට ‘ටර්මිනේටර්’ ලෙස හැඳින්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා 2019 නොවැම්බර් මාසයේදී ජනාධිපති ලෙස දිවුරුම් දුන්නේය.
ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් අඳුරු දශකයක් ලෙස සලකන ඔහු ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළ කාලය තුළ ‘ගෝඨාභය’ මාධ්‍යවේදීන් පැහැරගෙන ගොස් ඝාතනය කිරීම සඳහා සුදු වෑන් භාවිත කළ විශේෂ ක්‍රියාකාරීන් කණ්ඩායමක් වන ‘වයිට් වෑන් කමාන්ඩෝ’ අධීක්ෂණය කළ බව වාර්තා වේ.
අවම වශයෙන් 14 දෙනෙකු මේ ආකාරයෙන් අතුරුදන් විය. ඔහු ජනාධිපති ධුරයට පත්වීමෙන් ටික කලකට පසු, විවිධ හේතු මත වැටලීම්, ප්‍රශ්න කිරීම් සහ බිය ගැන්වීම් ඇතුළු මාධ්‍යවේදීන්ට පොලිස් හිරිහැර කිරීමේ සිද්ධීන් ඉහළ ගොස් තිබේ.
ජනමාධ්‍යවේදීන්ට එරෙහි හිංසන පිළිබඳ අපරාධ සඳහා දඬුවම් නොලැබීමේ ප්‍රශ්නය දිවයිනේ දිගින්-දිගටම පවතී. ආර්එස්එෆ් හි හවුල්කාර සංවිධානයක් වන ශ්‍රී ලංකාවේ ‘ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජනමාධ්‍යවේදීන්’ (Journalists For Democracy in Sri Lanka – JDS) විසින් කරන ලද තක්සේරුවකට අනුව, පසුගිය දශක දෙක තුළ අවම වශයෙන් මාධ්‍යවේදීන් සහ මාධ්‍ය සේවකයන් 44 දෙනෙකු මිය ගොස් හෝ අතුරුදන් වී ඇත.
2015 දී ඝාතන අවසන් වුවද, දඬුවම් නොලැබීම තවමත් එසේම පවතී.
සිවිල් යුද්ධය අවසන් වී දමිළ කැරැල්ල අවසන් කර දැමීමේ දසවන සංවත්සර වර්ෂය වන 2019 දී ශ්‍රී ලංකාවේ දෙමළ සුළුතරයට සම්බන්ධ ගැටළු වාර්තා කරන වාර්තාකරුවන්ට එරෙහි පොලිස් ප්‍රහාරවල වැඩිවීමක් ද දක්නට ලැබිණි. ඔවුන්ගෙන් කිහිප දෙනෙකුට 2020දී බරපතළ මරණ තර්ජන එල්ල විය.’
එමෙන්ම එම සංවිධානය ‘මාධ්‍ය නිදහසේ භක්ෂකයන්’ නමින් මාධ්‍ය නිදහස විශාල වශයෙන් මර්දනය කරන රාජ්‍ය නායකයන් 37 දෙනෙකුගේ එකතුවක් ප්‍රකාශයට පත් කර තිබේ.
නව වාරණ විධි නිර්මාණය කිරීමෙන්, මාධ්‍යවේදීන් අත්තනෝමතික ලෙස සිරගත කිරීමෙන් හෝ ඔවුන්ට එරෙහිව ප්‍රචණ්ඩත්වය මගින් මාධ්‍ය නිදහස පාගා දමන රාජ්‍ය නායකයන් හෝ මාධ්‍යවේදීන් ඝාතනය කිරීමට සෘජුව හෝ වක්‍රව සම්බන්ධ රාජ්‍ය නායකයන් මීට ඇතුළත් ය.
ඒ සම්බන්ධයෙන් ආර්එස්එෆ් මෙසේ ද සඳහන් කරයි.
‘ඇතැම් ‘මාධ්‍ය නිදහසේ භක්ෂකයන්’ දශක දෙකකට වැඩි කාලයක් තිස්සේ ක්‍රියාත්මක වන අතර, තවත් සමහරු මෙම ලේඛනයට අලුතින් එක් වී තිබේ.
ඔවුන්ගෙන් 19 දෙනෙක් ‘ආර්එස්එෆ් මාධ්‍ය නිදහස සිතියමේ’ රතු පැහැයෙන් වර්ණ ගැන්වූ රටවල් පාලනය කරති. ඉන් අදහස් වන්නේ එම රටවල තත්ත්වය මාධ්‍ය වෘත්තියට ‘නරක’ බවයි. රටවල් 16ක් කළු පැහැයෙන් ද වර්ග කර ඇති අතර, එහි අර්ථය ‘තත්ත්වය ඉතා නරක ය’ යන්නයි. මෙම ඒකාධිපතියන්ගෙන් තුනෙන් එකකට වඩා (13) ආසියා-පැසිෆික් කලාපයෙන් පැමිණේ.’
‘ආර්එස්එෆ් හි මාධ්‍ය නිදහසේ ගැලරියේ ‘භක්ෂකයන්’ අතර ලොව පුරා නායකයන් 37ක් සිටිනවා. මෙම ලැයිස්තුව පරිපූර්ණයි කියලා කිසිවෙකුට කියන්න බෑ.’ යැයි ආර්එස්එෆ් මහලේකම් ක්‍රිස්ටෝෆ් ඩෙලොයර් පවසයි.
‘මෙම එක් එක් ‘භක්ෂකයන්ට’ ඔවුන්ගේම ශෛලියක් තියෙනවා. සමහරු අතාර්කික හා ව්‍යාකූල නියෝග නිකුත් කරමින් භීෂණ පාලනයක් පනවනවා. තවත් සමහරු කුරිරු නීති මත පදනම්ව පරෙස්සමින් ගොඩනඟන ලද උපාය මාර්ග අනුගමනය කරනවා. ඔවුන්ගේ ක්‍රම නව සාමාන්‍ය තත්ත්වයට පත්වීමට අපි ඉඩ නොදිය යුතුයි’ යනුවෙන් ඔහු සඳහන් කරයි.
Previous articleඅහ්නාෆ්ගේ මූලික අයිතිවාසිකම් පෙත්සමට නීතිපති දෙපාර්තමේන්තුවෙන් ප්‍රතිචාර – ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සති දෙකක් කල් දෙයි !
Next articleස්ත්‍රී – පුරුෂ සමාජභාවය පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයෙන් අයවැය යෝජනා !

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here