ශ්‍රේෂ්ඨාධිකරණයේ හතරවැනි විනිසුරුත් රිෂාඩ්ගේ නඩුවෙන් ඉවත් වෙයි : එහෙම කරන්න පුළුවන් – නීතිඥ එස්.ජී පුංචිහේවා

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සහෝදරයා වන රියාජ් බදියුදීන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බලන විනිසුරු මඩුල්ලෙන් සිව්වැනි විනිසුරුවරයාත් ඉවත් වී තිබේ.
අද (05) මෙසේ ඉවත් වී ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන ය. තමන්ව අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබාගෙන සිටීම නීතිවිරෝධී යැයි තීන්දු කරන ලෙස ඉල්ලා බදියුදීන් සහෝදරයන් විසින් මේ පෙත්සම ඉදිරිපත් කර ඇත.
මීට පෙර ඒ.එච්.එම්.නවාස්, යසන්ත කෝදාගොඩ සහ ජනක් ද සිල්වා යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු මේ පෙත්සම විභාගයෙන් ඉවත් වූහ.
ඒ.එච්.එම්.නවාස් සහ යසන්ත කෝදාගොඩ යන විනිසුරුවරුන් අධිකරණයට දැනුම් දී තිබුණේ පෞද්ගලික හේතු මත මේ පෙත්සම සලකා බැලීමෙන් ඉවත් වන බවයි. ජනක් ද සිල්වා විනිසුරුවරයා අධිකරණයට දැනුම් දී තිබුණේ තමන් පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිසමේ සාමාජිකයෙකු වශයෙන් කටයුතු කළ නිසා මේ තීරණය ගන්නා බවයි.
මෙසේ අදාළ විනිසුරුවරුන් දිගින්-දිගටම මේ පෙත්සම සලකා බැලීමෙන් ඉවත් වීම පිළිබඳව MediaLK ජ්‍යෙෂ්ඨ නීතිඥ එස්.ජී.පුංචිහේවාගෙන් කෙටි විමසීමක් කළෙමු.
විනිශ්චයකාරවරුන් කියන්නෙත් රජයෙන් වැටුප් ලබන පිරිසක්. ඔවුන්ට පුළුවන් ද මේ විදිහට මම මේ නඩුවෙන් ඉවත් වෙනවා කියන්න…?
පුළුවන්. සිවිල් හෝ අපරාධ, නැත්නම් මේ වගේ පෙත්සමක යම් පාර්ශ්වයක් එක්ක තමන්ට සම්බන්ධයක් තියෙනවා කියලා යම් විනිසුරුවරයෙක් හිතනව නම්, මේ තීරණය ගන්න පුළුවන්කම තියෙනවා. නෑදෑකමක්, හිතවත්කමක්, යම් ආකාරයක ගනුදෙනුවක් ඒකට අදාළයි. ඒක නීතියේම සඳහන් වෙනවා. නඩුවක තීන්දුවක් දෙනකොට ඒක අපක්ෂපාතී වෙන්න ඕනෙ. නඩුවට සම්බන්ධ යම් පාර්ශ්වයක් එක්ක යම් සම්බන්ධතාවක් තියෙනව නම් හෝ යම් ආකාරයකින් ඒ නඩුවට බලපෑමක් වෙන්න පුළුවන් කුමන හෝ ආකාරයක අවස්ථාවක් තියෙනවා නම්, එතැනදි විනිසුරුවරයාට අපක්ෂපාතී වෙන්න බෑ කියලා නීතිය උපකල්පනය කරනවා. ඒ නිසා මේ ඉඩ ලබාදීලා තියෙනවා.
ගෝඨාභය රාජපක්ෂ, ජනාධිපති ධුරයට පත්වෙන්න පෙර ඔහුගේ නඩුවකිනුත් මේ ආකාරයට විනිසුරුවරුන් ඉවත් වෙනවා අපි දැක්කා. රිෂාඩ් බදියුදීන්ගෙත් දැන් එහෙමයි. එතකොට ඊළඟට ඒ විනිසුරුවරයා විභාග කරන දේශපාලනයට සම්බන්ධකම් තියෙන නඩු පිළිබඳවත් ප්‍රශ්නයක් මතුවෙනවා නේද…?
ඔබ කියන කාරණය සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම වැදගත්. ඒක සාධාරණ සැකයක් බවට පත්වෙන්න පුළුවන්. ඒත් නීතිය ඔබ කියන තරම් දුරට මෙතැනදි යන්නෙ නෑ. පෞද්ගලික සම්බන්ධතා විතරයි මෙතැනදි අදාළ කරගන්නෙ. විනිසුරුවරුන්ට දේශපාලනයේ යෙදීමේ අවසරයක් නෑනෙ.
Previous articleතෙල් සංස්ථාවේ කෝටි 30,000ක ප්‍රශ්නයක් – ඉලක්කම් හරඹයක්ද?
Next articleඅහ්නාෆ්ගේ මූලික අයිතිවාසිකම් පෙත්සමට නීතිපති දෙපාර්තමේන්තුවෙන් ප්‍රතිචාර – ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සති දෙකක් කල් දෙයි !

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here