Home පුවත් තෙල් සංස්ථාවේ කෝටි 30,000ක ප්‍රශ්නයක් – ඉලක්කම් හරඹයක්ද?

තෙල් සංස්ථාවේ කෝටි 30,000ක ප්‍රශ්නයක් – ඉලක්කම් හරඹයක්ද?

තෙල් සංස්ථාවේ කෝටි 30,000ක ප්‍රශ්නයක් – ඉලක්කම් හරඹයක්ද?
ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සමස්ත ණය ප්‍රමාණය පසුගිය මාස හයේදී රුපියල් කෝටි 30,650කින් ඉහළ ගොස් තිබේ. එය රාජ්‍ය ආයතනයක් කෙටි කාලයක් තුළ ලබාගත් ඉහළම ණය ප්‍රමාණය බව මහ බැංකුවේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ණය වීම ආරම්භ කළ දිනයේ සිට 2020 දෙසැම්බර් 31 දක්වා කාලය තුළ එකතු වී ඇති සමස්ත ණය ප්‍රමාණය රුපියල් කෝටි 34,550කි. මේ බව ශ්‍රී ලංකා මහ බැංකුවේ 2020 වාර්ෂික වාර්තාවේ සඳහන් වේ. එහෙත් පසුගිය ජුනි මස 13දා ජනාධිපති මාධ්‍ය අංශය මගින් නිකුත් කළ නිල නිවේදනයකට අනුව එම සංස්ථාව මේ වන විට ලංකා බැංකුව හා මහජන බැංකුව යන රාජ්‍ය බැංකු දෙකට පමණක් ගෙවිය යුතු මුළු ණය ප්‍රමාණය රුපියල් කෝටි 65,200කි.
ජනාධිපති මාධ්‍ය අංශ නිවේදනයේ එය මෙසේ සඳහන් ය.
‘විදේශ විනිමය වැය කිරීමට අමතරව ලංකා ඛනිජ තෙල් සංස්ථාව පාඩු ලබන ආයතනයක් වශයෙන් පැවතීම නිසා සෑම වර්ෂයකම ලංකා බැංකුවේ හා මහජන බැංකුවේ ණය මත යැපෙන ආයතනයක් වී ඇත. මෙම බැංකු දෙක සඳහා මේ වන විට රුපියල් බිලියන 652ක ප්‍රමාණයක ණය ගෙවීමට ද ඇත.’
මෙසේ අදාළ නිවේදනයේ සඳහන් වන ආකාරයට 2020 දෙසැම්බර් 31 සිට පසුගිය ජුනි 13 දක්වා වූ කාලය තුළ රාජ්‍ය බැංකු දෙක සඳහා පමණක් ඛනිජ තෙල් සංස්ථාවෙන් ගෙවිය යුතු ණය ප්‍රමාණය රුපියල් කෝටි 65,200 දක්වා ඉහළ ගොස් තිබේ. මේ වන විට සංස්ථාවේ සමස්ත ණය ප්‍රමාණය කොතෙක් ද යන්න හෙළිදරව් නොවේ.
මෙසේ මාස හයකට අඩු කාලයක් තුළ ඛනිජ තෙල් සංස්ථාවේ සමස්ත ණය ප්‍රමාණය දළ වශයෙන් රුපියල් කෝටි 30,650කින් ඉහළ ගොස් තිබෙන බව මහ බැංකු වාර්තාවේ දත්ත සහ ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දත්ත අනුව හෙළි වේ.
මේ අතර පසුගිය වසරේ මාර්තු – අප්‍රේල් කාලයේදී ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල ඇමෙරිකානු ඩොලර් 20 සීමාව දක්වා අඩු විය. එහිදී ආණ්ඩුව පැවසුවේ එම වාසිය සෘජුව ජනතාවට ලබානොදී, එයින් ඉතුරු වන මුදල මිල ස්ථායීකරණ අරමුදලකට බැර කරන බවයි. ඉන්පසු බොර තෙල් මිල ඉහළ ගිය විට එම ස්ථායීකරණ අරමුදලේ මුදල් යොදවා තෙල් මිල වැඩි කිරීම පාලනය කිරීමට කටයුතු කරන බව ද ආණ්ඩුව සඳහන් කළේය. එහෙත් පසුගිය මාසයේදී ඉතිහාසයේ වැඩිම මිල ප්‍රතිශතයකින් ආණ්ඩුව ඉන්ධන මිල ඉහළ දැමීමට කටයුතු කළ අතර, අදාළ මිල ස්ථායීකරණ අරමුදල සම්බන්ධයෙන් කළ විමසීම්වලට නිශ්චිත පිළිතුරක් ලබාදුන්නේ ද නැත.
මෙසේ මාස හයක් තුළ විශාල ප්‍රමාණයකින් රාජ්‍ය බැංකු ණය ඉහළ යෑම සම්බන්ධයෙන් විමසීමට ඛනිජ තෙල් විෂය භාර ඇමැති උදය ගම්මන්පිල සම්බන්ධ කර ගැනීමට අවස්ථා ගණනාවකදී උත්සාහ කළද, එය ව්‍යර්ථ වූයේ දුරකතනයට ප්‍රතිචාර නොදැක්වීම නිසා ය. ජනාධිපති මාධ්‍ය අංශය පසුගිය කාලයේදී අවස්ථා ගණනාවක්ම අසත්‍ය තොරතුරු බෙදාහරින බව තහවුරු වී තිබූ නිසා ලංකා ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ ලේකම් ඩී.ජේ.රාජකරුණාගෙන් අප අදාළ ණය පිළිබඳ විමසීමක් කළ අතර, එහිදී අදාළ ණය පිළිබඳ තොරතුරු ආසන්න වශයෙන් නිවැරදි බව ලේකම්වරයා ද තහවුරු කළේය.
කෙසේ වෙතත් මාධ්‍ය වාර්තාවලට අනුව 2020 මාර්තු මාසය වන විට ඛනිජ තෙල් සංස්ථාවේ ණය ප්‍රමාණය රුපියල් කෝටි 59,000කට ආසන්න අගයක් ගෙන ඇත. එය වසර අවසාන වන විට රුපියල් කෝටි 34,000 දක්වා අඩු වූයේ කෙසේද යන්න සම්බන්ධයෙන් ද නිශ්චිත වාර්තා නැත. මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ආර්ථික ක්ෂේත්‍රයේ විශේෂඥයෙකු සඳහන් කළේ ඇතැම් විට එවැනි තත්ත්ව ඇති විය හැකි බවයි. විශාල ණය මුදලක් ගෙවා දැමීමට එක්වර හැකියාව ලැබීම වැනි අවස්ථා ඊට උදාහරණ ලෙස ඔහු පෙන්වා දෙයි. එහෙත් සංස්ථා වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ පසුගිය වසරේ දිගින්-දිගටම අසීරු තත්ත්වයක පැවැති සංස්ථාවට එවැනි අවස්ථාවක් නොලැබුණු බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here