සිරකරුවන්ට සමාව දීම වැදගත් : ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම ඊට වඩා වැදගත් – හියුමන් රයිට්ස් වොච්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වරදකරුවන් වූ සිරකරුවන් 16 දෙනෙකුට ශ්‍රී ලංකා රජය සමාව දීම සාදරයෙන් පිළිගන්නා නමුත් එම දරුණු නීතිය අවලංගු කිරීමේ හදිසි අවශ්‍යතාව එමගින් සපුරාලන්නේ නැති බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය පවසයි.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවලංගු කරනවා වෙනුවට, මෑත කාලයේදී රාජපක්ෂ පාලනය එය වඩාත් බරපතල කිරීමට පියවර ගෙන තිබෙන බව එම සංවිධානය ප්‍රකාශ කරයි.
2019 දී බලයට පත්වූ දා සිට රාජපක්ෂ පාලනය දෙමළ හා මුස්ලිම් ප්‍රජාවන්ට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිතා කර ඇති නමුත් සුළුතර කණ්ඩායම්වලට එරෙහිව ප්‍රචණ්ඩත්වය සහ වෙනස්කම් කිරීමට උසිගන්වන අයට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැති බව එම සංවිධානය අවධාරණය කරයි.
දුමින්ද සිල්වාට සමාව දීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගත් තීරණය, බරපතල අපරාධ සම්බන්ධයෙන් වගවීම සම්බන්ධයෙන් රජයේ නොසලකා හැරීම ඉස්මතු කරන බවද හියුමන් රයිට්ස් වොච් සංවිධානය පෙන්වා දෙයි.
එම සංවිධානය මෙසේ සඳහන් කරයි.
‘ශ්‍රී ලංකා රජය අදාළ නීතිය ප්‍රතිස්ථාපනය කිරීමට සහ මානව හිමිකම් ආරක්ෂා කිරීමට ඇති කැපවීම්වලට අනුකූල නොවන්නේ නම්, තම වෙළෙඳපොල සමග ගනුදෙනු කිරීමේදී සහන ලබාදීමේ ක්‍රියාපටිපාටිය ඉවත් කර ගැනීම ගැන සලකා බලන ලෙස යුරෝපා සංගමයෙන් ඉල්ලා සිටිමින් යුරෝපා පාර්ලිමේන්තුව මෑතකදී යෝජනාවක් සම්මත කර ගත්තේය.
2021 ජුනි 24 වැනිදා බෞද්ධ උත්සවයක් සැමරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ රජය ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වරදකරුවන් වූ 16 දෙනෙකු ඇතුළු සිරකරුවන් 94 දෙනෙකුට සමාව දුන්නේය. වධහිංසා පැමිණවීමට අත්තනෝමතික ලෙස රඳවා තබා ගැනීමට පාපොච්චාරණය ලබාගැනීමට මෙම නීතිය දිගු කලක් තිස්සේ ඉඩ දී ඇති අතර එය මූලික වශයෙන් දෙමළ හා මුස්ලිම් සුළු ජාතීන්ට එරෙහිව භාවිතා කර ඇත.
2011 දී ප්‍රතිවාදී දේශපාලන ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු වූ සහ දේශපාලන සගයෙකු වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ජනාධිපතිවරයා සමාව ලබා දෙන ලදී.
“ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ මෑත සමාව ලබාදීම මගින් ශ්‍රී ලංකාවේ අව්‍යාජ නීතියේ පාලනයක අවශ්‍යතාව අවධාරණය කරයි” හියුමන් රයිට්ස් වොච් යැයි දකුණු ආසියා අධ්‍යක්ෂ මීනාක්ෂි ගංගුලි පවසයි. “ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වසර ගණනාවක් සිරගතව සිටින පුද්ගලයින් නිදහස් කිරීම, මෙම අපයෝජන නීතිය ප්‍රතිස්ථාපනය කිරීමේ අවශ්‍යතාවය හෝ ඒ සඳහා ශ්‍රී ලංකාවේ හවුල්කරුවන්ගේ බලපෑම් කිරීමේ අවශ්‍යතාව කිසිසේත් ඉවත් නොකරෙයි”
“නීතියේ ආධිපත්‍යයට එරෙහිව ජනාධිපති රාජපක්ෂගේ ප්‍රහාරයන් ගෙවී යන සෑම දිනකම ඉහළ යමින් පවතිනවා” යැයි ගංගුලි පැවසුවාය.
“පද්ධතිමය අපයෝජනයන් අවසන් කිරීම සඳහා අව්‍යාජ ප්‍රතිසංස්කරණයක් සිදු වන තුරු ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර හවුල්කරුවන් පීඩනය එල්ල කළ යුතු අතර හිස් පොරොන්දුවලින් මගහැර යාමට ඉඩ නොදිය යුතුයි.” ඇය කීවාය.
සමාව දුන් එම සිරකරුවන් 16 දෙනාගෙන් බොහෝ දෙනා පරාජිත බෙදුම්වාදී දෙමළ ඊලාම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සමඟ සම්බන්ධකම් පැවැත්වීම හේතුවෙන් දශකයකට වැඩි කාලයක් සිරගත කර සිටි අය වේ.
ඔවුන් එක්කෝ ඔවුන්ගේ දඬුවම් අවසන් වීමට ආසන්නව හෝ ඔවුන්ගේ දඬුවම් කාලය ඉක්මවා සිරගත කරනු ලැබ සිටි සිරකරුවන් වේ.
2019 දී බලයට පත්වූ දා සිට රාජපක්ෂ පරිපාලනය විශේෂයෙන් දෙමළ හා මුස්ලිම් ප්‍රජාවේ සාමාජිකයින්ට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිතා කර ඇති අතර සුළුතර කණ්ඩායම්වලට එරෙහිව ප්‍රචණ්ඩත්වය සහ වෙනස්කම් කිරීමට උසිගන්වන අයට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැත.
මෙම පනත යටතේ තවමත් රඳවාගෙන සිටින අය අතර 2020 අපේ‍්‍රල් 14 වැනිදා සිට අත්අඩංගුවේ පසුවන මානව හිමිකම් නීතිඥ හිජාස් හිස්බුල්ලා සහ සාමය සහ ඉවසීම ප්‍රවර්ධනය කරන කවි පොතක් රචනා කිරීම හේතුවෙන් 2020 මැයි 16 සිට රඳවා සිටින මුස්ලිම් කවියෙකු වන අහ්නාෆ් ජසීම් ද ඇතුළත් වේ.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවලංගු කරනවා වෙනුවට, මෑත කාලයේදී රාජපක්ෂ පාලනය එය වඩාත් බරපතල කිරීමට පියවර ගෙන තිබේ. ආගමික හෝ වාර්ගික අසමගිය ඇති කරන ලද බවට චෝදනා ලැබූ ඕනෑම අයෙකු වසර දෙකක කාලයක් නඩු විභාගයකින් තොරව සිරගත කිරීමට බලධාරීන්ට ඉඩ සලසන නව රෙගුලාසි මාර්තු මාසයේදී ප්‍රකාශයට පත් කරන ලදී. කුප්‍රකට වධහිංසා පමුණුවන ස්ථානයක් වන කොළඹ පොලිස් ගොඩනැගිල්ලක් එම සිරකරුවන් රඳවා තබා ගැනීම සඳහා යොදා ගන්නා බව ජනාධිපතිවරයා ජුනි මාසයේදී නිවේදනය කළේය.
“ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල අත්අඩංගුවට ගත් පුද්ගලයින්ගේ සංඛ්‍යාව වැඩි වෙමින් පවතී,”යැයි එම නීතිය යටතේ හිරිහැර සිදුවූ සංවිධානයක නීතිඥයෙකු හියුමන් රයිට්ස් වොච් වෙත පැවසීය. රාජපක්ෂ පාලනය යටතේ ආරක්ෂක අංශ විසින් සිවිල් සමාජ කණ්ඩායම් සහ මානව හිමිකම් ආරක්ෂා කරන්නන්, විශේෂයෙන් දෙමළ බහුතරයක් ජීවත් වන උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල හිරිහැර හා බිය ගැන්වීම් කර තිබේ.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට අයිතිවාසිකම්වලට ගරු කරන නීතියක් සම්පාදනය කරන ලෙස වසර ගණනාවක් තිස්සේ දේශීය හා ජාත්‍යන්තර ඉල්ලීම් ලැබී තිබේ. එක්සත් ජාතීන්ගේ විශේෂඥයින් සහ හියුමන් රයිට්ස් වොච් ඇතුළු මානව හිමිකම් කණ්ඩායම් ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සිදුවු බරපතල අපයෝජනයන් පිළිබඳව පුළුල් ලෙස ලේඛනගත කර ඇත.
යුරෝපා පාර්ලිමේන්තුවේ ජුනි 10 යෝජනාවෙන් යුරෝපා සංගමයෙන් ඉල්ලා සිටියේ ශ්‍රී ලංකාව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රතිස්ථාපනය කිරීමට 2017 මැයි 19 වැනිදා දුන් පොරොන්දුව ඇතුළුව සිය ජාත්‍යන්තර මානව හිමිකම් බැඳීම් ඉටු නොකරන්නේ නම් ජීඑස්පී + ලෙස හඳුන්වන වරණීය වෙළඳ කොන්දේසි සඳහා ශ්‍රී ලංකාවට ඇති ප්‍රවේශය අත්හිටුවන ලෙසයි. 2020 දී රාජපක්ෂ රජය එම පොරොන්දුවෙන් ඉවත්වීමක් පෙන්නුම් කළ නමුත් යුරෝපීය පාර්ලිමේන්තු යෝජනාවෙන් පසුව නීතිය නැවත ප්‍රතිස්ථාපනය කිරීමේ නව සැලසුම් ප්‍රකාශයට පත් කළේය.
2011 දී පැවති ප්‍රාදේශීය මැතිවරණ ප්‍රචාරක උත්සවයකදී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර සහ තවත් තිදෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරුවන් වූ සිව්දෙනෙකු අතර සිටි සිල්වාට සමාව දීමට ජනාධිපති රාජපක්ෂ ගත් තීරණය, බරපතල අපරාධ සම්බන්ධයෙන් වගවීම සම්බන්ධයෙන් රජයේ නොසලකා හැරීම ඉස්මතු කරයි. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2018 දී එම වරද යළි තහවුරු කරන ලදී.
එම සමාව දීම “නීතියේ ආධිපත්‍යය දුර්වල කරන සහ වගවීම අඩපණ කරන තෝරාගත් සහ අත්තනෝමතික සමාව ලබා දීම පිළිබඳ තවත් උදාහරණයක්” ලෙසට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය හෙළා දැක්කේය. ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති ඇලයිනා ටෙප්ලිට්ස්, පීටීඒ සිරකරුවන් ඉක්මනින් නිදහස් කිරීම පිළිගත් නමුත්, සිල්වාට සමාව දීම “නීතියේ ආධිපත්‍යය” අඩපණ කරන බව පැවසුවාය.
මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හෝ දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයකට හෝ නඩු විභාගවලට මුහුණ දෙමින් සිටින ඔහුගේ සහචරයින් සහ ඥාතීන් දුසිම් ගණනකට එරෙහිව පවතින එම චෝදනා ඉවත් කිරීමට නිර්දේශ කරන ජනාධිපති කොමිසමක් පිහිටුවීම මගින් රාජපක්ෂ නීතියේ ආධිපත්‍යයට තවදුරටත් අඩපණ කරයි. ජ්‍යෙෂ්ඨ විනිසුරුවන් පත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට පූර්ණ පාලනය ලබා දෙන ව්‍යවස්ථා සංශෝධනයක් සම්මත කර ගැනීමෙන් ද ඔහු අධිකරණයේ ස්වාධීනත්වය අඩපණ කර තිබේ.’
Previous articleමේජර් ජෙනරාල්ගේ අලි පැටව් සිදුවීම සමථයකට පත්කර ගැනීමේ උත්සාහයක් : අපි වැරදි නෑ – හමුදාව
Next articleචන්ද්‍රිකා – මහින්ද – මෛත්‍රිපාල – ගෝඨාභය ඝාතන සැලසුම් විමර්ශනය කළ ශානි විශ්‍රාම ගනී !

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here