මේජර් ජෙනරාල්ගේ අලි පැටව් සිදුවීම සමථයකට පත්කර ගැනීමේ උත්සාහයක් : අපි වැරදි නෑ – හමුදාව

මින්නේරිය ජාතික වනෝද්‍යානයට ආසන්න හබරණ ප්‍රදේශයේදී වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් සහ යුද හමුදාවේ මේජර් ජෙනරාල්වරයෙකු අතර සිදු වූ සිදුවීම ඉහළ පෙළේ නිලධාරීන් හරහා සමථයකට පත්කිරීමේ උත්සාහයක් ක්‍රියාත්මක වේ.

විනය පියවරක් පමණයි ?

එසේ ම මෙහිදී අදාළ හමුදා නිලධාරියා ප්‍රධාන මාර්ගයෙන් වනෝද්‍යානය දෙසට ඇතුළු නොවූ බව තහවුරු කිරීමටත්, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝ පටයට අදාළ සිදුවීම සම්බන්ධයෙන් පමණක් විමර්ශනයක් සිදු කොට ඊට අදාළ පරීක්ෂණ විනය පියවරකින් පමණක් අවසන් කිරීමටත් අමාත්‍යංශ මට්ටමින් සාකච්ඡා සිදුවෙමින් පවතින බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් MediaLK සිදු කළ විමසීමකදී වනජීවී විෂය භාර රාජ්‍ය ඇමැති විමලවීර දිසානායක පැවසුවේ තමන්ට සිදු කළ හැකි සියල්ල මේ සම්බන්ධයෙන් සිදු කර ඇති බවයි.

‘බලපෑම් වන කරුණු කියන්න බෑ’

තමන් මේ සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශ ලේකම් කමල් ගුණරත්නට දැනුම් දුන් බව ද සඳහන් කළ ඇමැතිවරයා, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට ද මීට අදාළ ව නීතිමය පියවර ගන්නා ලෙස උපදෙස් දුන් බව ද පැවසීය. මීට අදාළ ව මේ වන විට අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇති නිසා, ඊට බලපෑම් වන කරුණු කිසිවක් තමන්ට පැවසිය නොහැකි බව ද ඇමැතිවරයා සඳහන් කළේය.

‘වෘත්තීය සමිති අසාධාරණයි’

කෙසේ වෙතත් මේ සිද්ධියට අදාළ විමර්ශන සම්බන්ධයෙන් ගැටළු පැවතීම නිසා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු වෘත්තීය සමිති වැඩවර්ජනයකට සූදානම් වන බවත්, එවැනි චෝදනාවකට පිළිතුරු දීම ඇමැතිවරයාගේ වගකීමක් බවත් සඳහන් කරමින් කළ විමසීමේදී ඔහු සඳහන් කළේ එවැනි කිසිදු චෝදනාවක් පිළිබඳව අදාළ වෘත්තීය සමිති විසින් තමන්ට දැනුම් දී නැති බවයි. එම නිසා වෘත්තීය සමිතිවල අදාළ ක්‍රියාපිළිවෙත අසාධාරණ බව ද ඔහු පැවසීය.

‘කිසිදු නීතිමය පියවර ගැනීමක් නෑ’

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී වනජීවී වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු ඉමේෂ් ගුණතිලක සඳහන් කළේ අදාළ වර්ජන සූදානම සහ සිදුවීමට අදාළ පරීක්ෂණ පිළිබඳ ගැටළුව සම්බන්ධයෙන් විෂය භාර ඇමැතිවරයා දැනුවත් කර ඇති බවයි.
ලබන 02 වැනිදා සිට දින දෙකක් ක්ෂේත්‍ර රාජකාරිවලින් ඉවත් වීමටත්, ලබන 06 වැනිදා වර්ජනයක් දක්වා යෑමටත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සියලුම වෘත්තීය සමිති තීරණය කර ඇතැයි ද ඔහු පැවසීය. මේ වන විටත් අදාළ සිදුවීමට සම්බන්ධ හමුදා නිලධාරියා අත්අඩංගුවට ගැනීමක් හෝ කිසිදු නීතිමය පියවර ගැනීමක් සිදු වී නැතැයි ද සඳහන් කළ ගුණතිලක මහතා, මෙය බරපතළ තත්ත්වයක් බව ද අවධාරණය කළේය. මේ නිසා අදාළ සිද්ධිය පිළිබඳ විමර්ශන ප්‍රමාද කිරීම බරපතළ ගැටළුවක් බව ද MediaLK වෙත අදහස් දක්වමින් ඔහු පැවසීය.
මේ සිද්ධියට අදාළ ව මෙතෙක් හබරණ පොලිසිය මගින් අධිකරණයට කරුණු වාර්තා කිරීමක් සිදු කර නැති බව එහි නිලධාරියෙක් තහවුරු කළේය. අදාළ තර්ජනය කිරීමට සහ පහරදීමට සම්බන්ධ යුද හමුදා මේජර් ජෙනරාල්වරයාට එරෙහිව ද මෙතෙක් කිසිදු නීතිමය පියවරක් ගෙන නැති අතර, දෙපාර්ශ්වය විසින් ම මේ සම්බන්ධයෙන් හබරණ පොලිසියට පැමිණිලි ඉදිරිපත් කර තිබිණි.

‘මුල් චෝදනාව ප්‍රතික්ෂේප කරනවා’

මේ අතර අදාළ සිදුවීම සම්බන්ධයෙන් MediaLK සමග අදහස් දක්වමින් යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න සඳහන් කළේ මේජර් ජෙනරාල්වරයා කිසිදු අවස්ථාවක වනෝද්‍යාන සීමාවට හෝ ගොස් නැති බවයි. එය මූලික විමර්ශන මගින් තහවුරු වී ඇතැයි ද පෙන්වා දුන් මාධ්‍ය ප්‍රකාශකවරයා, ඔහු සිය පවුලේ සාමාජිකයන් සමග යම් අවශ්‍යතාවක් සඳහා ගොස් නැවත කඳවුර වෙත පැමිණ ඇතැයි ද පැවසීය. මේ සම්බන්ධයෙන් යුද හමුදාවේ මේජර් ජෙනරාල්වරුන් දෙදෙනෙකුගෙන් සමන්විත පරීක්ෂණ කණ්ඩායමක් විසින් විමර්ශන සිදු කරන බවත්, එහිදී මේ සිදුවීමට අදාළ වීඩියෝව සම්බන්ධයෙන් පුළුල් අවධානයක් යොමු කරන බවත් පැවසූ බ්‍රිගේඩියර්වරයා, මෙය සිදුවීම් දෙකක් බවත්, වනෝද්‍යානය තුළට හෝ ඒ සමීපයට ගිය බවට කරන මුල් චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරන බවත් අවධාරණය කළේය.

ඊරිගෙඔය වෙල්යාය දිගේ ගියේ කවුද?

කෙසේ වෙතත් විශ්වාස කටයුතු ආරංචි මාර්ග තහවුරු කරන්නේ අදාළ මේජර් ජෙනරාල්වරයා සමග පැමිණි යුද හමුදා වාහන දෙක හබරණ සහ මින්නේරිය අතර පිහිටි ඊරිගෙඔය නම් ප්‍රදේශයේ පිහිටි වෙල් යාය අසලින් ප්‍රධාන මාර්ගය දෙසට පැමිණ ඇති බවයි. ඔවුන් මින්නේරිය ජාතික වනෝද්‍යානයේ ප්‍රේරක කලාපය වෙත ගොස් ඇති බව ද තහවුරු වී ඇතැයි පෙන්වා දෙන අදාළ ආරංචි මාර්ග, ඔවුන් එම ප්‍රදේශයේ සැලකිය යුතු කාලයක් ගතකර ඇතැයි ද පවසයි. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මුර කපොල්ලක් යොදා තිබී ඇත්තේ ප්‍රධාන මාර්ගය දෙස සිට යන විට අදාළ වෙල් යාය ආරම්භ වන ස්ථානයේ ය. යුද හමුදා වාහන දෙක නතර කිරීමට කළ සංඥා නොතකා ධාවනය මුලින්ම ධාවනය කර ඇත්තේ මේ මුර කපොල්ලෙන් ය. මේ ප්‍රදේශයට ප්‍රධාන මාර්ගයේ සිට කිලෝමීටරයකට ආසන්න දුරක් ඇති බව ද අදාළ ආරංචි මාර්ග සඳහන් කරයි.

‘ඇත්ත හොයාගන්න ඕනෙ’

මේ අතර යුද හමුදාව විසින් යුද හමුදා නිලධාරීන් දෙදෙනෙකුගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලබන විමර්ශනයකට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් යොමුකරන ලද්දේ කුමක් නිසා දැයි MediaLK කළ විමසීමේදී වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර සඳහන් කළේ දෙපාර්තමේන්තුවේ උපදෙස් මත එය සිදු කළ බවත්, කවර තත්ත්වයක් යටතේ හෝ ඇත්තටම සිදු වූ දේ අනාවරණය කරගැනීම අත්‍යවශ්‍ය කරුණක් බවත් ය. ඇතැම් වනජීවී නිලධාරීන් මෙය වැරදියට වටහාගැනීමක් සිදු කර ඇති බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.

වනජීවී නිලධාරීන් හමුදාවට යැව්වේ ඇයි?

මේ සම්බන්ධයෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පාර්ශ්වයෙන් අධිකරණයට විධිමත්ව කරුණු වාර්තා කර ඇති තත්ත්වයක් තුළ, අදාළ වනජීවී නිලධාරීන් වගකිව යුතු නොවන වෙනත් දෙපාර්තමේන්තුවල පරීක්ෂණවලට ඔවුන් යොමුකිරීම අනුමත කළ නොහැකි බව මේ පිළිබඳව අදහස් දක්වමින් ජ්‍යෙෂ්ඨ නීතිඥවරයෙක් MediaLK වෙත සඳහන් කළේය. කෙසේ වෙතත් එවැනි විමර්ශන සඳහා සහාය දීම හෝ නොදීම පිළිබඳ තීරණය බොහෝවිට ගනු ලබන්නේ ආයතන ප්‍රධානීන් විසින් බවත්, එහිදී අදාළ පහළ නිලධාරීන්ට ඒ පිළිබඳ තීරණ ගැනීමේ අවස්ථාවක් නැති බවත් ඔහු පෙන්වා දුන්නේය.
යුද හමුදාව විසින් පත්කර ඇති මේජර් ජෙනරාල්වරුන් දෙදෙනාගේ පරීක්ෂණ කණ්ඩායම හමුවට ඊයේ (29) අදාළ සිදුවීමට මුහුණ දුන් වනජීවී නිලධාරීන් ගොස් ඇතත්, ඔවුන් ප්‍රකාශයක් ලබා දී නැති බව වාර්තා වේ. අධිකරණයට කරුණු වාර්තා කර ඇති නිසා වෙනත් ස්ථානවලදී ප්‍රකාශ ලබාදීම අධිකරණ කටයුතුවලට බාධාවක් විය හැකි බව ඔවුන් අදාළ කණ්ඩායමට දැනුම් දී ඇත.

මුල් පැමිණිල්ල කාගේද?

මින්නේරිය ජාතික වනෝද්‍යානයේ කොටසක නීතිවිරෝධී ලෙස අලි පැටවෙකු ඇල්ලීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත යුද හමුදා වාහන දෙකක් නැවැත්වීමට උත්සාහ කිරීමත් සමග පසුගිය 25දා අදාළ සිදුවීම සිදු වී තිබිණි. මෙහිදී ඇති වූ පහරදීමක් සම්බන්ධයෙන් හබරණ පොලිසියට ඊට පසුදින (26) වනජීවී නිලධාරීන් විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි. ඉන්පසු සිදුවීමට සම්බන්ධ යුද හමුදා මේජර් ජෙනරාල් මොහාන් රත්නායක විසින් ද හබරණ පොලිසියට මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
කෙසේ වෙතත් යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ හමුදාව පාර්ශ්වයෙන් මීට අදාළ මුල් පැමිණිල්ල ඉදිරිපත් කළ බවයි. එහෙත් වනජීවී නිලධාරීන් පවසන්නේ එය මුළුමනින්ම අසත්‍යයක් බවයි.

නතර නොකර ධාවනය කිරීමේ රහස?

අලි පැටවුන් ඇල්ලීම සම්බන්ධයෙන් අධිකරණයේ නඩු තිබූ කුප්‍රකට පුද්ගලයෙකු මින්නේරිය වනෝද්‍යානය අසල ස්ථානයක රැඳී සිටින බවත්, ඔහු සමග කණ්ඩායමක් වනෝද්‍යානය තුළට නිතර යන-එන බවටත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට තොරතුරක් ලැබී ඇත. මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූ වනජීවී නිලධාරීන් වනෝද්‍යානයෙන් පිටවීමට ඇති ස්ථාන රැසක මුර කපොලු ඇති කර, පරීක්ෂා කිරීම් සිදු කර තිබේ.
මේ අවස්ථාවේදී වනෝද්‍යානය දෙස සිට පැමිණි වාහන දෙකක් මුර කපොලුවල නතර කිරීමේ සංඥා නොතකා වේගයෙන් ධාවනය කර ඇති බවත්, එම වාහන දෙක අනුරාධපුරයේ පිහිටි යුද හමුදාවේ 21 වැනි බලසේනා මූලස්ථානය වෙත ගොස් ඇති බවත් විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් යුද හමුදාවේ අංක සහිත මේ වාහන දෙක පසුපස හඹාගොස් ඇති අතර, ඔවුන් ඉහළ නිලධාරීන්ගේ උපදෙස් නොලැබීම නිසා බලසේනා මූලස්ථානය වෙත ඇතුළු නොවී ආපසු පැමිණ ඇත.

ඇතුළට ගොස් එළියට ඒම !

ඉන්පසු යුද හමුදාවේ වාහන කිහිපයක් අදාළ වනජීවී දෙපාර්තමේන්තු නිලධාරීන් පසුපස පැමිණ ඇති අතර, හබරණ ප්‍රදේශයේදී ඔවුන් අතර වාදයක් ඇති වී තිබේ. එහිදී යුද හමුදාවේ නිලධාරියෙකු විසින් වනජීවී නිලධාරියෙකුට පහර දීමක් සිදු කර, තර්ජනය කර ඇති බවත්, පොලිසිය පැමිණ අදාළ ගැටළුව සමථයකට පත්කිරීමට උත්සාහ දරා ඇති බවත් අදාළ ආරංචි මාර්ග සඳහන් කරයි.

පහර කෑවේ කවුද?

වාර්තා වන ආකාරයට මේ සිදුවීමේදී පහරකෑමට ලක්වී ඇත්තේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මෑතකදී දැඩි කතාබහට ලක්වූ නිලධාරියෙකි. සෝමාවතිය වනෝද්‍යානයට නීතිවිරෝධී ලෙස ගවයන් ඇතුළු කිරීමට එරෙහිව, වනජීවී විෂය භාර රාජ්‍ය ඇමැති විමලවීර දිසානායක සහ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර වාදයක් ඇතිවීම ඊට හේතුවයි. මෙහිදී ඇමැතිවරයාට දිගින්-දිගටම කරුණු පැහැදිලි කරමින්, අදාළ නීතිවිරෝධී ක්‍රියාව වළක්වා ගැනීමට උත්සාහ කළ නිලධාරියාට ඉන්පසුව දෙපාර්තමේන්තු මට්ටමේ පරීක්ෂණයක් පැවැත්විණි. ඉන්පසු ඔහු මින්නේරිය වනෝද්‍යානයට මාරු කර යවන ලදි.

අලි පැටව් ජාවාරමට ආරක්ෂක අංශ සහාය !

ශ්‍රී ලංකාවේ අලි ජාවාරම සම්බන්ධයෙන් වන ප්‍රථම විධිමත් පර්යේෂණයට අදාළ පර්යේෂණ පත්‍රිකාව පසුගිය වසරේදී එළිදැක්විණි. Illegal capture and internal trade of wild Asian Elephants (Elephas maximus) in Sri Lanka නම් එම පත්‍රිකාවේ පැහැදිලිව සඳහන් කර ඇත්තේ මෙරට අලි පැටවුන් ජාවාරමට ආරක්ෂක අංශවල සහයෝගය ලැබෙන බවටයි.මෙය 2008 සිට 2018 දක්වා වසර 10ක් තිස්සේ සිදු කළ පර්යේෂණයකි.
අදාළ සිදුවීම පිළිබඳව පසුගිය 26දා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබූ අතර, ඉන්පසු පසුගිය 28දා අධිකරණයෙන් නියෝග කර තිබුණේ මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ඇතුළත් සවිස්තරාත්මක වාර්තාවක් ලබන අගෝස්තු 05දා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.
Previous articleසාධාරණ සහ අපක්ෂපාතී වන්න – සංවිධාන 19ක් පොලිස්පතිට ලියයි !
Next articleසිරකරුවන්ට සමාව දීම වැදගත් : ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම ඊට වඩා වැදගත් – හියුමන් රයිට්ස් වොච්

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here