සාධාරණ සහ අපක්ෂපාතී වන්න – සංවිධාන 19ක් පොලිස්පතිට ලියයි !

නීතිය කඩ කරන්නන්ට විරුද්ධව පොලිසිය විසින් ක්‍රියා කිරීමේදී එය අත්තනෝමතික හෝ පුද්ගලයාගේ අනන්‍යතාව හෝ සමාජ තත්ත්වයට හානි නොවන අයුරින් සාධාරණව හා අපක්ෂපාතීව සිදුවිය යුතු බව සංවිධාන 19ක් ප්‍රකාශ කරයි.
අත්තනෝමතික ලෙස අත්අඩංගුවේ රඳවා තබාගැනීම් හා අත්අඩංගුවේදී මරණයට පත්වීම වැළැක්වීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට ලිපියක් යොමු කරමින් සංවිධාන 19ක් මේ බව සඳහන් කරයි.
වසංගත තත්ත්වය නිසා ජනතාව විසින් අත්විඳිනු ලබන දැඩි ආර්ථික අපහසුතා පොලිසියේ ක්‍රියාකාරකම් මගින් උත්සන්න නොවිය යුතු බවද නිරෝධායන ක්‍රියාමාර්ග ජනතාව සිරගත කිරීම් හෝ දඬුවම්වලට ලක් කිරීම සඳහා යොදා නොගෙන පැතිර යන වෛරස් රෝගී තත්ත්වයන් පාලනය කිරීමේ සුවිශේෂි අරමුණ උදෙසා යොදාගත යුතු බවද ඔවුහු පෙන්වා දෙති.
සමාජයේ දුර්වල සහ අසරණ ජනතාවට විරුද්ධව පමණක් නීතිය අත්තනෝමතිකව ක්‍රියාත්මක කිරීම සහ දුර්වල සහ අසරණ ජනතාවට ආරක්ෂාව සැපයීම ප්‍රතික්ෂේප කිරීම රජය හා පොලිසිය වැනි රජයේ ආයතන කෙරෙහි මහජනතාව තුළ පවතින විශ්වාසය දිගින් දිගටම පළුදු වීමට මග පාදන එම සංවිධාන ප්‍රකාශ කරයි.
ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවට සහ අදාළ නීතිවලට අනුකූලව කටයුතු කරමින් නීතිය අත්තනෝමතිකව හෝ වෙනස් ආකාරයෙන් ක්‍රියාත්මක නොවන බව තහවුරු කරන්නැයි ද අත්අඩංගුවේ සිටියදී වද හිංසනයට ලක්වීම පිළිබඳව කඩිනම් පරික්ෂණ පවත්වා එම පරික්ෂණවල ප්‍රතිඵල මහජන ප්‍රසිද්ධියට පත් කරන්නැයි ද මහජනයා විසින් අයිතීන් උල්ලංඝනය වීම් පිළිබඳව කරනු ලබන පැමිණිලි, විශේෂයෙන් රජයේ නිලධාරින් විසින් කරනු ලබන මහජන අයිතීන් උල්ලංඝනය කිරීම් පිළිබඳ පැමිණිලි පොලිසිය විසින් භාර ගැනීම තහවුරු කරන්නැයි ද ඔවුහු ඉල්ලා සිටිති.
එමෙන්ම ගෘහස්ථ හිංසනය ඇතුළුව ලිංගික හා ස්ත්‍රී පුරුෂභාවය මත පදනම්ව සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳව පොලිසිය විසින් කඩිනම්ව හා වෘත්තීයමය ආකාරයෙන් පිළිතුරු සැපයිය යුතු බවත් සෞඛ්‍යය මාර්ගෝපදේශ උල්ලංඝනය කිරීම් වැනි කොරෝනා වෛරසය ආශ්‍රිත ගැටළුවලට පිළිතුරු සැපයීමේදී ප්‍රජාව සමග කටයුතු කරන ආකාරය පිළිබඳව පොලිසිය හට මාර්ගෝපදේශ ලබා දිය යුතු බවත් නියමයන් (රෙගුලාසි) වෙනස්වීම් පිළිබඳව සිංහලෙන් සහ දෙමළෙන් යන භාෂා දෙකෙන්ම පැහැදිලි අයුරින් මහජනතාවට සන්නිවේදනය කළ යුතු බවත් ඔවුන් මෙම ලිපියෙන් පෙන්වා දී තිබේ.
මෙම ලිපියට අත්සන් තැබු ආයතන:
  1. අනුරාධපුර පුරවැසි කමිටුව
  2. විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය
  3. මානව හිමිකම් හා සංවර්ධනය සඳහා මද්‍යස්ථානය
  4. ඩාබිඳු සාමුහිකය
  5. මහනුවර මානව හිමිකම් කාර්‍යාලය
  6. මානව හිමිකම් ප්‍රථමාධාර මද්‍යස්ථානය – හම්බන්තොට
  7. මානව හිමිකම් ප්‍රථමාධාර මද්‍යස්ථානය – ගාල්ල
  8. මානව හිමිකම් නිවහන – ගම්පහ
  9. ඉන්ෆොර්ම් මානවහිමිකම් ප්‍රලේඛන මධ්‍යස්ථානය
  10. නිතීය හා සමාජය භාරය
  11. ජාතික ධීවර සහයෝගිතාව
  12. ජාතික සාම මණ්ඩලය
  13. ජාතික සහයෝගිතා සංවර්ධන පදනම
  14. රතුකොඩි සංගමය – දෙණියාය
  15. රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මද්‍යස්ථානය
  16. රයිට්ස් නව් ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ සහයෝගිතාව
  17. රූල් ඔෆ් ලෝ ෆොරම්
  18. ගැමි කාන්තා පෙරමුණ
  19. සුය ශක්ති පදනම
සම්පූර්ණ ලිපිය පහතින්…
“පහත අත්සන් තබා ඇති අප විසින් ශ්‍රී ලාංකීය පුරවැසියන් හා සිවිල් සමාජ ක්‍රියාකාරීන් ලෙස ශ්‍රී ලංකාවේ පවතින මෙම වසංගත තත්ත්වය තුළ පොලිසිය විසින් ක්‍රියාකරන ආකාරය පිළිබඳව දැඩි අවධානයෙන් පසු වන්නෙමු.
මෙය දැඩි මානසික පිඩන සහ අවිනිශ්චිතතාවන්ගෙන් සපිරුණ කාලය පරිච්ඡේදයක් බවත්, කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීමට පොලිසිය සහ අනෙකුත් රජයේ ආයතන වලට ජනතාවගේ සහාය දැඩිව අවශ්‍යවන කාලයක් බවත් අපි දනිමු. කෙසේ නමුත්, හදිසි අවස්ථාවන්හීදී මෙන්ම ජනතාව නීතිය කඩකරන අවස්ථාවන්හීදී වුවද ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් කඩ නොවිය යුතුය. මෙම මූලික අයිතිවාසිකම් ගොන්නට වද හිංසනය, කෘරත්වය, අමානුෂික හා පුද්ගලයාගේ ආත්ම ගෞරවයට හානිවන ආකාරයේ දඩුවම් කිරීම්වලට පාත්‍ර නොවීම මෙන්ම, සිතීමේ සහ හෘද සාක්ෂියේ නිදහස යනාදියට පූර්ණ රැකවරණය සැපයීම ඇතුළත්වේ.
අපගේ අවධානය අත්තනෝමතික අයුරින් අත් අඩංගුවට ගැනීම් සහ රඳවා තබා ගැනීම්, අත් අඩංගුවේදී මරණයට පත්වීම් සහ සැකකරුවන් සමඟ සිදුවූ වෙඩි හුවමාරු වීම් වල ප්‍රතිඵලයක් ලෙස සිදුවූ මරණ වැනි අත්අඩංගුවට ගැනීම් වලදී සිදුවූ අයිතීන් උල්ලංඝනය කිරීම් පිළිබඳ වාර්තා කිහිපයක් වෙත යොමු විය.
විශේෂයෙන්ම සෞඛ්‍ය හේතූන් මත ජනතාවගේ අයිතිවාසිකම් සීමා කිරීම්වලට ලක්ව ඇති මෙවන් වසංගත තත්ත්වයකදී මෙවැනි සිදුවීම් මහජන උද්වේගය සහ නොසන්සුන්භාවයන් ඇති කිරීමට හේතු විය හැකිය. මෙවන් අවස්ථාවකදී පොලිස් නිලධාරින් අනුයුක්ත කිරීම කෙතරම් බරපතල කාර්යයක්ද යන්න පිළිබඳව සැලකිලිමත් වූවත්, එය ව්‍යාවස්ථානුකූව ආරක්ෂා කර ඇති සිවිල් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට සාධාරණ හේතුවක් ලෙස කිසිසේත් සැලකිය නොහැකිය.
රජයේ නියෝග හා රෙගුලාසීන්වල පවතින අපැහැදිලිබාවය හේතුවෙන් මහජනතාව තම අත්‍යවශ්‍ය කළමනා මිලදී ගැනීම වැනි මූලික අවශ්‍යතා සපුරාගැනීමට යාමේදී පොලීසියේ තාඩන පීඩනවලට ලක්වන අවස්ථා වීඩියෝ දර්ශන මගින් දැකගත හැකිය. පොලිසිය විසින් නීතිය කඩ කරන්නන්ට විරුද්ධව ක්‍රියා කළ යුතු වුවත්, එය අත්තනෝමතික හෝ පුද්ගලයාගේ අනන්‍යතාව හෝ සමාජ තත්ත්වයට හානි නොවන අයුරින් සාධාරණව හා අපක්ෂපාතීව සිදුවිය යුතුය. තවද, වසංගත තත්ත්වය හේතුකොට ගෙන ජනතාව විසින් අත්විඳින දැඩි ආර්ථික අපහසුතා පොලිසියේ ක්‍රියාකාරකම් මඟින් උත්සන්න නොවිය යුතුය. උදාහරණයක් ලෙස, නිරෝධායන ක්‍රියාමාර්ග ජනතාව සිරගත කිරීම් හෝ දඩුවම්වලට ලක් කිරීම් සඳහා යොදා නොගෙන පැතිර යන වෛරස් රෝගී තත්ත්වයන් පාලනය කිරීමේ සුවිශේෂි අරමුණ උදෙසා යොදාගත යුතුය.
2021 ජුනි 8 වන දින නිකුත් වූ පොලිස් මාධ්‍ය නිවේදනයද දැඩි අවදානයට ලක් වන්නකි. මන්ද එයට ව්‍යාජ ප්‍රවෘත්ති පැතිරවීම යන්නට මුවාවී විරෝධය පළ කිරීම් හා අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය මැඩ පැවැත්විය හැකි බැවිනි. මෙය ඇප නොමැතිව පුද්ගලයන් අත් අඩංගුවට ගැනීම හා රඳවා තබා ගැනීම මුල්කොට ගෙන නීති ප්‍රතිපාදනයන්හී මනාව පැහැදිලි කර නොමැති ප්‍රතිපාදනවලට අවධානය යොමු කරයි. අප විසින් නැවතත් අවධාරණය කරනු ලබන්නේ මානව හිමිකම් හෝ මහජනතාව පිළිබඳව වන ඕනෑම සීමා කිරීමක් හෝ තහනමක් නීතියෙන්ම පමණක් නියම නොකොට ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවට, සමානුපාතික හා කාලයට අනුකූල විය යුතු මෙන්ම වෙන් කොට නොසැලකිය යුතු බවයි.
රජයේ බලධරයන් විසින් බලය අවභාවිතා කිරීම, සමාජයේ දුර්වල සහ අසරණ ජනතාවට විරුද්ධව පමණක් නීතිය අත්තනෝමතිකව ක්‍රියාත්මක කිරීම සහ දුර්වල සහ අසරණ ජනතාවට ආරක්ෂාව සැපයීම ප්‍රතික්ෂේප කිරීම රජය හා පොලිසිය වැනි රජයේ ආයතන කෙරෙහි මහජනතාව තුළ පවතින විශ්වාසය දිගින් දිගටම පළුදු කිරීමට මඟ පාදයි. කුරුණෑගල නගරාධිපතිවරයාගේ උපන්දින සැමරුම සහ පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන්ගේ මෑණියන්ගේ අවමංගල්‍යය උත්සවය වැනි සිද්ධීන් වලට සෞඛ්‍ය රෙගුලාසින් උල්ලංඝනය කරමින් පොලීසියේ සහභාගිත්වය ලබාදීම අත්තනෝමතිකව නීතිය පරිහරණයට උදාහරණ වශයෙන් ගත හැකිය.
පොලිසිය විසින් කාන්තාවන් හට නිවෙස් තුළදී සිදුවන හිංසනයන් පිළිබඳ පැමිණිලි භාර නොගැනීම සම්බන්ධ වූ වාර්තා අප වෙත ලැබී ඇත. මෙය කාන්තාවන් විසින් අත්විඳින්න යෙදෙන හිංසනයන් හා සම්බන්ධිත වේ.
යසිරු කුරුවිටගේ මැතිව් සිද්ධියේදී මෙන් විශේෂයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) සහ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ICCPR) පනත භාවිතා වන විට රැඳවියන් හා පවුලේ සාමාජිකයන් අත් අඩංගුවට ගැනීමේදී සිදුවිය හැකි ප්‍රතිවිපාක ගැන නොතකා, සම්පූර්ණ විමර්ශනයක් සිදුකිරීමට පළමුව අත් අඩංගුවට ගැනීම් සිදුවූ අවස්ථා ඇත.
ඇප ලබාදීම සම්මතයක් මිස ව්‍යාතිරේකයන් නොවන බව අපි ඔබේ අවදානයට යොමු කරනු ලබන අතර නීතියේ අධ්‍යාත්මය හා අභිප්‍රාය අනුව යමින් පොලිස් ඇපය ලබාගත හැකි තැනින් එය ලබා දෙන ලෙස සහ චෝදනාව ඇප ලබාගත හැකි එකක් නම් ඇප ලබාදීම ප්‍රතික්ෂේප නොකරන ලෙස ඉල්ලා සිටිමු. ඇප පනතේ සඳහන් පරිදි ව්‍යාතිරේකයන් අදාළ නොවේ.
අයිතීන් ආරක්ෂා කිරීම පිළිබඳව සැලකිල්ලට ගනිමින්, රැඳවියන් මුණ ගැසීමට හා ඔවුන් සමඟ විශ්වාස කටයුතු ලෙස පොලිස් නිලධාරින්ගේ අධීක්ෂණයකින් තොරව තොරතුරු විමසීමට නීතිඥාවරුන්ට අවස්ථාව ලබාදීම තහවුරු කිරීම සඳහා ශ්‍රී ලංකා නීතිඥා සංගමය විසින් ගෙන ඇති ක්‍රියාමාර්ගයට අපි විසින් සහාය පළ කර සිටිමු.
ශ්‍රී ලාංකීය පුරවැසියන් හට ව්‍යාවස්ථානුකූලව සනාථ කරන ලද අයිතිවාසිකම් භුක්ති විදීමට භාවිතා කිරීමට හැකි බව තහවුරු කිරීම සඳහා අප විසින් පොලිසිය හට පහත නිර්දේශ ඉදිරිපත් කරන්නෙමු:
ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවට සහ අදාළ නීතිවලට අනුකූලව කටයුතු කරමින් නීතිය අත්තනෝමතිකව හෝ වෙනස් ආකාරයෙන් ක්‍රියාත්මක නොවන බව තහවුරු කිරීම.
අත්අඩංගුවේ සිටියදී වද හිංසනයට ලක්වීම පිළිබඳව කඩිනම් පරික්ෂණ පවත්වා එම පරික්ෂණවල ප්‍රතිඵල මහජන ප්‍රසිද්ධියට පත් කිරීම.
මහජනයා විසින් අයිතීන් උල්ලංඝනය වීම් පිළිබඳව කරනු ලබන පැමිණිලි, විශේෂයෙන් රජයේ නිලධාරින් විසින් කරනු ලබන මහජන අයිතීන් උල්ලංඝනය කිරීම් පිළිබඳ පැමිණිලි පොලිසිය විසින් භාර ගැනීම තහවුරු කිරීම.
ගෘහස්ථ හිංසනය ඇතුලුව ලිංගික හා ස්ත්‍රී පුරුෂභාවය මත පදනම්ව සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳව පොලිසිය විසින් කඩිනම්ව හා වෘත්තීයමය ආකාරයෙන් පිළිතුරු සැපයීම.
සෞඛ්‍යය මාර්ගෝපදේශ උල්ලංඝනය කිරීම් වැනි කොරෝනා වෛරසය ආශ්‍රීත ගැටලුවලට පිළිතුරු සැපයීමේදී ප්‍රජාව හා කටයුතු කරන ආකාරය පිළිබඳව පොලිසිය හට මාර්ගෝපදේශ ලබා දීම.
වහාම ක්‍රියාත්මකවන පරිදි සිදුවන නියමයන් (රෙගුලාසි) වෙනස්වීම් පිළිබඳව සිංහලෙන් සහ දෙමළෙන් යන භාෂා දෙකෙන්ම පැහැදිලි අයුරින් මහජනතාවට සන්නිවේදනය කිරීම.
පුරවැසියන් හට වසංගත තත්ත්වය හා සම්බන්ධ සීමාකිරීම් පිළිබඳව තොරතුරු ලබා ගැනීමට ක්ෂණික දුරකථන මාර්ගයක් පිහිටුවීම.”
Previous articleශානි වැදගත් සාක්කිකරුවෙක් ; ආරක්ෂාව තහවුරු කරන්නැයි තරුණ ජනමාධ්‍යවේදීහු බලධාරීන්ගෙන් ඉල්ලති
Next articleමේජර් ජෙනරාල්ගේ අලි පැටව් සිදුවීම සමථයකට පත්කර ගැනීමේ උත්සාහයක් : අපි වැරදි නෑ – හමුදාව

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here