ශානි වැදගත් සාක්කිකරුවෙක් ; ආරක්ෂාව තහවුරු කරන්නැයි තරුණ ජනමාධ්‍යවේදීහු බලධාරීන්ගෙන් ඉල්ලති

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා ලෙස ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාතික අධිකාරියේ සභාපතිවරයාගෙන් ඉල්ලා සිටී.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා සහ එම පවුලේ සාමාජිකයන්ට ප්‍රබල ජීවිත අනතුරක් තිබෙන බව දන්වමින් අබේසේකර මහතා පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාට ලිපියක් යවා ඇති බැවින් මෙම බරපතල තත්ත්වය සැලකිල්ලට ගෙන කටයුතු කරන්නැයි එම සංගමය ඉල්ලා තිබේ.
අබේසේකර මහතාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාතික අධිකාරියේ සභාපතිවරයාට ලිපියක් යොමු කරමින් එම සංගමය මේ බව සඳහන් කරයි.
ජනමාධ්‍යවේදීන්ට වධහිංසා පැමිණවීම, ඝාතනය කිරීම සහ අතුරුදන් කිරීම ඇතුලු සිදුවීම් ගණනාවක් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ සහ විමර්ශන අධීක්ෂණය කළ ඒ මහතාගේ ජීවිතයට යම් තර්ජනයක් සිදුවුවහොත් එය විමර්ශනවලට දැඩි අගතියක් වන බව ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පෙන්වා දෙයි.
එමගින් මෙම විමර්ශනවලට සෘජුවම බලපාන බවද විමර්ශනවල ප්‍රධානම සාක්කිකරුවකු නොමැතිවීම නිසා සැකකරුවන් නිදහස් වීමට පවා ඉඩ තිබෙන බව එම සංගමය සඳහන් කරයි.
එම සංගමය යොමු කළ සම්පූර්ණ ලිපිය පහතින්…
‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා සහ එම පවුලේ සාමාජිකයන්ට ප්‍රබල ජීවිත අනතුරක් තිබෙන බව දන්වමින් අබේසේකර මහතා පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාට ලිපියක් යවා ඇති බව ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයට වාර්තා විය.
ජනමාධ්‍යවේදීන්ට වධහිංසා පැමිණවීම, ඝාතනය කිරීම සහ අතුරුදන් කිරීම ඇතුලු සිදුවීම් ගණනාවක් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ සහ විමර්ශන අධීක්ෂණය කළ ඒ මහතාගේ ජීවිතයට යම් තර්ජනයක් සිදුවුවහොත් එය විමර්ශනවලට දැඩි අගතියක් වන බව අප සංගමයේ අදහසයි. එබැවින් ඔහුගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අදාල ආයතන දැනුම්වත් කරන ලෙස ඉල්ලා මීට පෙර ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් සිදු කළ අතර ආයතන ගණනාවකට අත්සන් 4000ක් පමණ සහිත මහජන පෙත්සමක් ද යොමු කරන ලදී.
මාධ්‍යවේදී පොද්දල ජයන්ත පැහැරගෙන ගොස් වධහිංසා පැමිණවීම, මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් වධහිංසා පැමිණවීම, හිටපු කර්තෘ උපාලි තෙන්නකෝන් මහතාට පහරදී තුවාල සිදුකිරීම, හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීම සහ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම ඇතුලු ජනමාධ්‍යයට සම්බන්ධ සිදුවීම් ගණනාවක විමර්ශන සිදුවූයේ ශානි අබේසේකර මහතාගේ අධීක්ෂණය යටතේය.
අබේසේකර මහතාගේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත් කරනු ලැබුවේ මෙම විමර්ශන අඩපණ කිරීමට බව මීට පෙර ද අප සංගමය මානව හිමිකම් කොමිෂන් සභාවට දැනුම් දී තිබේ. පවතින වාතාවරණය තුල අබේසේකර මහතාගේ ජීවිතයට යම් අනතුරක් සිදුවුවහොත් එය මෙම විමර්ශනවලට සෘජුවම බලපාන අතර විමර්ශනවල ප්‍රධානම සාක්කිකරුවකු නොමැතිවීම නිසා සැකකරුවන් නිදහස් වීමට පවා ඉඩ තිබේ.
එබැවින් මෙම බරපතල තත්ත්වය සැලකිල්ලට ගෙන ශානි අබේසේකර මහතාගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා ලෙස ඔබ අධිකාරියෙන් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ලෙස අපි ඉල්ලා සිටිමු.’
මෙම ලිපියේ පිටපත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට සහ නීතිපතිතිවරයාට ද යොමු කර තිබේ.

 

Previous articleබලය ක්‍රියාත්මක කිරීමේදී ජනාධිපති ප්‍රඥාවන්ත විය යුතුයි – කොළඹ නීතිඥ සංගමය
Next articleසාධාරණ සහ අපක්ෂපාතී වන්න – සංවිධාන 19ක් පොලිස්පතිට ලියයි !

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here