නීතිය අනුව වැඩ කළැයි පොලිස් ප්‍රධානීන් 14 දෙනකු ගැන විමර්ශනයක් 

පොලිස්පතිවරයා විසින් නියෝජ්‍ය පොලිස්පති තනතුරක් සඳහා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරියක පත්කිරීමෙන් තමන්ට දැඩි අගතියක් සිදුවූ බව කියමින් ඒ සඳහා ලක්ෂ පහක වන්දි මුදලක් ඉල්ලා නීත්‍යනුකූල රාමුව ඇතුළේ සිටිමින් නීතීඥවරියක හරහා එන්තරවාසියක් යොමු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 14 දෙනකු සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් විමර්ශනයක් ආරම්භ කරනු ලැබ තිබේ.

2015 වසරේ දී සහකාර පොලිස් අධිකාරීවරයක ලෙස පත්වූ බිම්ෂානි ජාසිංහආරච්චි මහත්මියට නියෝජ්‍ය පොලිස්පති තනතුරක් ලබාදීම නීති විරෝධී බවත් එමගින් වසර ගණනාවක් තිස්සේ පියවරෙන් පියවර උසස්වීම් ලැබූ තමන්ට අසාධාරණයක් සිදුවන බවත් කියමින් ශ්‍රී ලංකා පොලිසියේ සිටින ජ්‍යෙෂ්ඨම සහකාර පොලිස් අධිකාරීවරුන් 14 දෙනකු අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට පෙර මෙලෙස නීතීඥවරියක මාර්ගයෙන් එන්තරවාසිය යවා තිබේ.මෙම එන්තරවාසිය යොමු කරනු ලැබ ඇත්තේ නීතීඥ ඒ් තනුජා ද අල්විස් මහත්මිය විසිනි.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන්ගේ එන්තරවාසිය පොලිස්පතිවරයා විසින් ජාතික පොලිස් කොමිෂන් සභාවට ඉදිරිපත් කරනු ලැබ ඇති අතර ඒ් සම්බන්ධයෙන් විභාගයක් පවත්වන ලෙස ජාතික පොලිස් කොමිෂන් සභාව එහි ප්‍රධාන විමර්ශන නිලධාරියාට දැනුම් දී තිබේ. මෙම විමර්ශනය සඳහා එම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 14 දෙනාම කොමිසමට කැඳවන බව කොමිෂන් සභාවේ උසස් නිලධාරියෙක් MediaLK වෙත ප්‍රකාශ කළේය.

මෙම උසස් කිරීමට එරෙහිව නඩු පවරන බවට එන්තරවාසි යැවූූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති ජාතික පොලිස් කොමිෂන් සභාව ඒ් අතරතුර අදාල නිලධාරිනියට උසස්වීම ද ලබා දී තිබේ. 2020 ඔක්තොාබර් 10 වැනි දා ජාතික පොලිස් කොමිෂන් සභාව NPC/ED/GO/TR/03/05/19/1 අංකයෙන් පොලිස්පතිවරයාට ලිපියක් යවමින් ඇයට උසස්වීම ලබාදෙන ලෙස දැනුම් දී තිබේ.

මේ සම්බන්ධයෙන් විමසීමට ජාතික පොලිස් කොමිෂන් සභාවේ ලේකම්වරයා සම්බන්ධ කරගැනීමට උත්සහ කළද ප්‍රතිචාරයක් නොලැබිණි.

මෙම උසස්වීම ගැන වෙනම ලිපියකින් තොරතුරු බලාපොරොත්තු වන්න…
Previous articleහාල් මිලත් ආණ්ඩුවේ පාලනයෙන් ගිලිහෙයි : ගැසට්ටුවේ මිල 98යි : මහ බැංකු වාර්තාවේ 110යි : කඩේ 114යි
Next articleවිශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිට නීතියට පිටින් පොලිසියේ 06ක්

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here