හාල් මිලත් ආණ්ඩුවේ පාලනයෙන් ගිලිහෙයි : ගැසට්ටුවේ මිල 98යි : මහ බැංකු වාර්තාවේ 110යි : කඩේ 114යි

(නිලූක සඳුන් පද්මසිරි)

ආණ්ඩුව විසින් නිකුත් කරනු ලැබ ඇති සහල් පාලන මිල සම්බන්ධ ගැසට්ටුවේ සම්බා සහල් කිලෝවක උපරිම මිල රුපියල් 98ක් වූවද මේ දිනවල ඇතැම් ප්‍රදේශවල වෙළෙඳසැල්වල එම මිල රුපියල් 110ත් 114ත් අතර බව අප කළ සොයාබැලීමකදී අනාවරණය විය.

සම්බා සහල් කිලෝවක මිල 114ක් බවටත්, නාඩු සහල් කිලෝවක මිල 110ක් බවටත්, කැකුළු සහල් කිලෝවක මිල 105ක් බවටත් ඇතැම් වෙළෙඳසල් හිමිකරුවෝ පැවසූහ. ගැසට්ටුව අනුව නාඩු සහල් කිලෝවක මිල රුපියල් 96ක් ද කැකුළු හාල් කිලෝවක උපරිම මිල රුපියල් 93ක් ද විය යුතුය.

මහ බැංකුව ඊයේ (14) නිකුත් කළ දෛනික මිල දත්ත වාර්තාව අනුව ද සම්බා සහල් කිලෝවක මිල පාලන මිලට වඩා රුපියල් 12කින් වැඩි බව පෙනී යයි. මහ බැංකු වාර්තා අනුව ඊයේ සම්බා සහල් කිලෝවක මිල (පිටකොටුව) රුපියල් 110කි. එහි නාඩු හාල් කිලෝවක මිල රුපියල් 96ක් ලෙසත් කැකුළු කිලෝවක මිල රුපියල් 93ක් ලෙසත් සටහන් වෙයි.

එම වාර්තාවේම දඹුල්ලේ සම්බා සහල් කිලෝවක මිල රුපියල් 100ක් ලෙසත් නාඩු සහල් කිලෝවක මිල රුපියල් 94ක් ලෙසත් සුදු කැකුළු සහල් කිලෝවක මිල 90ක් ලෙසත් රතු කැකුළු කිලෝවක මිල 92ක් ලෙසත් සටහන් වෙයි.

නමුත් හාල් මිල සම්බන්ධයෙන් මේ වන විට බලාත්මක ගැසට්ටුව අනුව සහල් මිල පහත පරිදි විය යුතුය.(2020 මැයි මස 28 වැනි බ‍්‍රහස්පතින්දා නිකුත් කරනු ලැබූ අංක – 2177/9 දරණ ගැසට්ටුව අනුව)

  • කීරි සම්බා කිලෝ ග‍්‍රෑම් 1ක් රු. 120
  • සුදු/රතු සම්බා – වාෂ්පයෙන් තැම්බූ/තම්බන ලද කිලෝ ග්‍රෑම් 1 ක් රුපියල් 98/-
    (කීරි සම්බා හා සූදුරු සම්බා හැර)
  • සුදු/රතු නාඩු – වාෂ්පයෙන් තැම්බූ / තම්බන ලද කිලෝ ග්‍රෑම් 1 ක් රුපියල් 96/-
    (මොට්ටයිකරුපන් හා ආට්ටකාරී හැර)
  • සුදු / රතු කැකුළු සහල් කිලෝ ග‍්‍රෑම් 1 ක් රුපියල් 93 /-

සහල් මිල සම්බන්ධයෙන් ආණ්ඩුව වරින් වර ගැසට් තුනක් නිකුත් කළේය.2019 නොවැම්බර් වන වි⁣ට රුපියල් 85ට තිබූ සම්බා සහල් කිලෝවක මිල වත්මන් ආණ්ඩුව ඉකුත් දෙසැම්බර් මාසයේදී රුපියල් 98 දක්වා රුපියල් 13කින් වැඩි කර 2020 අප්‍රේල් මාසයේදී යළි එය රුපියල් 90 දක්වා අඩු කර මැයි මාසයේදී එම මිල යළිත් 98 දක්වා වැඩි කළේය.ආණ්ඩුව එලෙස තෙවැනි වරටත් මැයි මාසයේදී සහල් සඳහා උපරිම මිලක් නිවේදනය කළද එම මිලට සහල් ගත හැකි තැන් දැන් නැති බවත් එක් එක් වෙළෙඳසල්වල එක එක මිල ගණන් බවත් පාරිභෝගිකයෝ මැසිවිලි නගති.

තොග මිලත් ගැසට්ටුවේ මිලට වැඩියෙන්

මහ බැංකු වාර්තා අනුව සම්බා සහල් සඳහා වූ තොග මිලත් නියමිත සහල් පාලන මිලට (උපරිම සිල්ලර මිල) වඩා වැඩි බව පෙනී යයි.

ගැසට්ටුව අනුව සම්බා සහල් උපරිම සිල්ලර මිල රුපියල් 98ක් වුවද එය පිටකොටුව තොග වෙළෙඳපොලේ එම සීමාව ඉක්මවා ගොස් කිලෝවක තොග මිල රුපියල් 106ක් ලෙස සටහන් වෙයි. ඒ අනුව සම්බා සහල් කිලෝවක තොග මිලත් නියමිත සිල්ලර මිලට වඩා රුපියල් 8කින් වැඩිය.

මහ බැංකු දෛනික මිල වාර්තාවේ සහල් කිලෝවක තොග මිල පහත දැක්වෙයි. (මරදගහමුල තොග මිල අවසන්වරට යාවත්කාලීන කර තිබුණේ ඉකුත් 05 වැනිදාය)

සම්බා

  • පිටකොටුව – රුපියල් 106
  • මරදගහමුල – රුපියල් 104

නාඩු

  • පිටකොටුව – රුපියල් 91
  • මරදගහමුල – රුපියල් 91

සුදු කැකුළු

  • පිටකොටුව – රුපියල් 90
  • මරදගහමුල – රුපියල් 88

රතු කැකුළු

  • පිටකොටුව – රුපියල් 90
  • මරදගහමුල – රුපියල් 91

දවස් 14ට හාල් මිටියක මිල 220කින් ඉහළට

රජයේ පර්යේෂණ ආයතනයක් වන හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ සහ පුහුණු කිරීමේ ආයතයයේ මිල දර්ශනය අනුව ඔක්තෝබර් 02 සිට අද (15) වන විට සම්බා සහල් කිලෝ 50 මිටියක තොග මිල රුපියල් 220කින් ඉහළ ගොස් ඇති අතර නාඩු කිලෝ 50 මිටියක් රුපියල් 50කින්ද රතු කැකුළු මිටියක මිල රුපියල් 70කින් ද සුදු කැකුළු මිටියක මිල 170කින් ද ඉහළ ගොස් තිබේ.

ඔක්තෝබර් 02 වැනිදාට සාපේක්ෂව අද(15) තොග මිල (කිලෝ 50 මිටියක)

සම්බා

  • ඔක්තෝබර් 02 – රුපියල් 5340
  • ඔක්තෝබර් 15 – රුපියල් 5566

නාඩු

  • ඔක්තෝබර් 02 – රුපියල් 4680
  • ඔක්තෝබර් 15 – රුපියල් 4730

රතු කැකුළු –

  • ඔක්තෝබර් 02 – රුපියල් 4560
  • ඔක්තෝබර් 15 – රුපියල් 4630

සුදු කැකුළු

  • ඔක්තෝබර් 02 – රුපියල් 4460
  • ඔක්තෝබර් 15 – රුපියල් 4630

එමෙන්ම සම්බා සහල් කිලෝ 50 මිටියක මිල ඊයේ(14) දිනට සාපේක්ෂව අද මිල රුපියල් 41කින් ඉහළ ගොස් තිබේ.

ඒ අනුව අද වන විට එක් සම්බා සහල් කිලෝවක සාමාන්‍ය තොග මිල රුපියල් 111ක් වන අතර නාඩු සහල් කිලෝවක සාමාන්‍ය තොග මිල රුපියල් 94කි. මහ බැංකු වාර්තාවේ ඊයේ(14) සම්බා සහල් කිලෝවක තොග මිල රුපියල් 106ක් වන අතර නාඩු කිලෝවක තොග මිල රුපියල් 91ක් ලෙස සටහන් වෙයි.

මහ බැංකු වාර්තා අනුව ඔක්තෝබර් මස මුල් සති දෙක තුළ එක් සම්බා සහල් කිලෝවක තොග මිල රුපියල් 06කින් වැඩි වී ඇති අතර නාඩු සහල් කිලෝවක් රුපියලකින් ද රතු කැකුළු සහල් කිලෝවක් රුපියල් 2කින්ද ඉහළ ගොස් තිබේ. සුදු කැකුළු මිල ඉහළ ගොස් නැත.

ආණ්ඩුවේ ප්‍රතිචාරය

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසූවේ විටින් විට මිල ඉහළ යන බවත් මේ වන විට සහල් ප්‍රශ්නය විසඳීම සඳහා වැඩපිළිවෙලක් සකස් කරමින් සිටින බවත්ය.

ඉකුත් කැබිනට් මාධ්‍ය සාකච්ඡාවේදී ඒ මහතා මෙසේ පැවසීය.

“සහල් සම්බන්ධව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා සහල් ප්‍රශ්නයට පිළිතුරු දෙන්නත් පාරිභෝගිකයා ආරක්ෂා කිරීම මුල් කරගෙන සාකච්ඡා ගණනාවක් විශාල කළා. විශාල කාලයක් වෙන් කළා මේ ගැටළුව ගැන සාකච්ඡා කරන්න. යම් තීන්දු ගත්තා ඒ සියල්ල දැන් කියන්න බෑ. ඉදිරියේදී වැඩපිළිවෙලවල් ගණනාවක් ක්‍රියාත්මක කරනවා.

මූලික වශයෙන් සහල් ගැන තත්ත්වය, ගොවියනුත් ව්‍යවසායකයින් බවට පත්වෙලා අවශ්‍ය ප්‍රමාණය පමණක් දෙන්න පුරුදු වලා තියෙනවා. විටින් විට මිල වැඩි වෙනවා ඒ නිසා. සමස්තයක් වශයෙන් ගත යුතු ක්‍රියාමාර්ග සවිස්තරව ගැනීමට කටයුතු කරන්න ඒ වගකීම බාර දීලා තියෙනවා අදාළ අයට නිරවුල් වූ සවිස්තර වූ වැඩපිළිවෙලක් සකස් කරන්න. ඊළග කැබිනට් එකේදී මේ ගැන කතාවෙන්න බලාපොරොත්තු වෙනවා. “

Previous article*වීඩියෝ* මග නැගුම අයාලේ යයි ; සභාපතිට වැඩබලන සාමාන්‍යාධිකාරීගෙන් කනේ පහරක්
Next articleනීතිය අනුව වැඩ කළැයි පොලිස් ප්‍රධානීන් 14 දෙනකු ගැන විමර්ශනයක් 

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here