Home පුවත් දුමින්ද නිදහස් – රටට ඔහු කොතරම් අවශ්‍ය ද?

දුමින්ද නිදහස් – රටට ඔහු කොතරම් අවශ්‍ය ද?

දුමින්ද නිදහස් – රටට ඔහු කොතරම් අවශ්‍ය ද?
(ශාලික විමලසේන)
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබාදීමේ තීරණය නැවත ආපසු හැරවීමේ හැකියාවක් නැති බව ව්‍යවස්ථා විශාරදයෙකු වන ආචාර්ය නිහාල් ජයවික්‍රම පවසයි.

විපක්ෂයේ ඉල්ලීම ඉටු කරන්න බෑ !

විපක්ෂය නියෝජනය කරන ප්‍රධාන දේශපාලන පක්ෂය වන සමගි ජන බලවේගය ඊයේ (24) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ වහාම මේ නියෝගය හකුලාගනිමින් නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත කිරීමට කටයුතු කරන ලෙසයි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ආචාර්යවරයා සඳහන් කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව ලබාදුන් මේ සමාව නැවත ඉවත් කිරීමේ කිසිදු ප්‍රතිපාදනයක් නීතියේ නැති බවයි.
මීට අදාළ ව නැවත නඩුවක් විභාග කිරීමේ හැකියාව ද නොමැති නිසා මේ සමාව ලබාදීමේ ක්‍රියාවලිය නිසා නීතියේ ආධිපත්‍ය බරපතළ ලෙස හෑල්ලුවට ලක්වී ඇතැයි ද ආචාර්යවරයා පවසයි.
‘ජනාධිපතිවරයාට මේ විදිහට සමාව දෙන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බලය පවරලා තියෙනවා. ඒත් ඒක තමන්ගෙ හිතවතුන්, දේශපාලන කරුණු මත තෝරාගත් පිරිස්වලට විතරක්, කිසිම හේතුවක් ඉදිරිපත් නොකර කරනවා නම්, ඒක බරපතළ තත්ත්වයක්.’

මරණ දඬුවම නැවැත්තුවෙ කවුද?

ආචාර්ය නිහාල් ජයවික්‍රම යනු අධිකරණ අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයෙකි. 1976 වසරේදී මෙරට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම අත්හිටුවන අවස්ථාව වන විට, ඊට අදාළ ලිපිලේඛන සකස් කිරීම ඇතුළු සියලු වගකීම් අමාත්‍යංශ ලේකම්වරයා ලෙස දරන ලද්දේ ඔහු ය.
‘පස්සෙ අගමැති ධුරයට පත්වුණු රත්නසිරි වික්‍රමනායක තමයි, මරණ දඬුවම ක්‍රියාත්මක වීම නතර කරන කාලෙ වෙනකොට අධිකරණ ඇමැති. එතුමා ඒ තනතුරේ හිටියෙ අවුරුද්දක් විතර. ඒ කාලෙදි අවශ්‍යම දෙයක් කළා. ඒකට හේතුව මරු සිරාගෙ සිද්ධිය. ඔහු එල්ලුම් ගහට ගේනකොට පෙති වගයක් පානය කරලා, සිහි නැතුව හිටියෙ. ඇත්තටම පසුව වාර්තා වුණු විදිහට ඔහු ජීවතුන් අතර හිටියද කියන සැකයත් තියෙනවා. මේ සිද්ධිය මත පදනම් වෙලා තමයි, එල්ලුම් ගහ ක්‍රියාත්මක වෙන එක නවත්තන සංවාදය ඇති වුණේ.
රත්නසිරි වික්‍රමනායකට කලින් අධිකරණ ඇමැති හිටියෙ ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක. එතුමා නම් කිසිම අවස්ථාවක මේ වැඩේට කැමැති වුණේ නෑ. පස්සෙත් එතුමාට මේ කරපු වැඩේ ගැන විවේචනයක් තිබුණා. හැබැයි ඊට පස්සෙ ආණ්ඩු බලය ගත්තු ජේ.ආර්.ජයවර්ධනත් ඒක වෙනස් කරන්න අඩු තරමෙ උත්සාහයක්වත් ගත්තෙ නෑ.’

ජනාධිපති සමාව සඳහා සුදුසුකම්

මෙසේ අධිකරණවලින් මරණ දඬුවම නියම වූ, ජනාධිපති සමාව ලැබීමට සුදුසු විශාල පිරිසක් නිකරුණේ බන්ධනාගාරවල සිර දඬුවම් විඳින බව ද ආචාර්යවරයා සඳහන් කරයි.
‘ඒ අය ජනාධිපති සමාව ගන්න එක-එක විදිහට උත්සාහ කරනවා. ගමේ පන්සලේ හාමුදුරුවන්ගෙ ලියුම් ඉදිරිපත් කරනවා. චරිත සහතික ඉදිරිපත් කරනවා. ඔය කිසිම එකක් පහුගිය කාලෙ හිටපු ජනාධිපතිවරුන්ගෙ අවධානයට යොමු වෙලා නෑ. දේශපාලන සම්බන්ධකම් මත පමණයි ඔය වැඩේ සිද්ධවෙන්නෙ.
මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමත් අර රෝයල් පාර්ක් ඝාතන සිද්ධියේ වැරදිකාරයට සමාව දුන්නනෙ. එහෙම කෙනෙක්ව තෝරාගන්නෙ කොහොමද කියන එක ගැන බරපතළ විදිහට ප්‍රශ්න කරන්න ඕනේ. ඒකට පැහැදිලි උත්තරයක් නැති එකෙන්ම පේනවා, මේවා ඔක්කොම සිද්ධවෙන්නෙ දේශපාලන සම්බන්ධකම්, එහෙමත් නැත්නම් සල්ලි, බලය මත කියලා.’

වහාම නියෝගය හකුළාගන්න!

සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාරගේ අත්සනින් ඊයේ නිකුත් කර තිබූ නිවේදනයේ අවසාන ඡේදයේ මෙසේ සඳහන් වේ.
‘තමන්ට ව්‍යවස්ථාවෙන් හිමි බලයක් ජනාධිපතිවරයා විසින් අයුතු ලෙස භාවිත කිරීම සමගි ජන බලවේගය ඉමහත් පිළිකුලෙන් යුතුව හෙළා දකිමු.
ජනාධිපතිවරයා දුන් මේ වැරදි පූර්වාදර්ශය තුළින් රටේ අනාගතය අනතුරකට හෙළා ඇත. එබැවින් වහාම මේ නියෝගය හකුළා ගනිමින් නීතියේ ස්වාධිපත්‍ය සහ ස්වාධීනත්වයත්, ගරු විනිසුරුතුමන්ලාගේ ගෞරවයත් සුරකින ලෙස ජනාධිපතිවරයාට බල කරමු.’

2019 – 2021 ඇතුළෙන් ආ විරෝධය

දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබාදීමෙන් පසු බෝගම්බර සහ මහර බන්ධනාගාරවල රඳවා සිටින මරණ දඬුවම නියම වූ සිරකරුවන් පිරිසක් තමන්ට ද සමාව ලබාදීම හෝ දඬුවම වෙනස් කිරීම සම්බන්ධයෙන් සලකා බලන ලෙස බලකරමින් සිටියහ. ඒ ඊයේ (24) ආහාර වර්ජනයක නිරත වෙමිනි. අතුරලියේ රතන හිමියන්ගේ ඉල්ලීම සහ සම්බන්ධීකරණය මත රෝයල් පාර්ක් ඝාතන නඩුවේ වැරදිකරු වීමෙන් පසු මරණ දඬුවම නියම වී සිටි ජූඩ් ශ්‍රමන්ත ජයමහට 2019 ඔක්තෝබර් මාසයේදී ජනාධිපති සමාව ලැබුණු අවස්ථාවේ ද සිරකරුවෝ මෙවැනි ම වර්ජනයක් කළහ. හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් ඔහුට ලබාදුන් ජනාධිපති සමාවට විරෝධය පළකරමින් වැලිකඩ, බූස්ස සහ අඟුණකොළපැලැස්ස යන බන්ධනාගාරවල මේ ආහාර වර්ජනය ක්‍රියාත්මක කෙරිණි.
වසර හතරකට වරක් සිදු කළ යුතු දඬුවම් සමාලෝචනය පවා විධිමත්ව සිදු නොවන තත්ත්වයක් තුළ මෙසේ ජනාධිපතිවරුන් විසින් හිතූ මනාපයේ ජනාධිපති සමාව ලබාදීම බරපතළ තත්ත්වයක් බව එහිදී සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව ඇතුළු සිවිල් සංවිධාන ද අවධාරණය කරන ලදි.

එක පෙළට සමාව

මීට අමතරව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ද ජනාධිපති සමාව ලබා දුන්නේය. ඒ අධිකරණයට අපහාස කිරීම සම්බන්ධ වරදකට ය. රාජ්‍ය තාන්ත්‍රිකයෙකු ලෙස සමස්ත අධිකරණ පද්ධතියේ ගෞරවය මෙමගින් බරපතළ කැළලක් ඇති කළ බවට ද හිටපු ජනාධිපතිවරයාට චෝදනා එල්ල විය. මීට අමතරව වරකාපොළ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ලක්ෂ්මන් පතිරාජ සමරසිංහ ද මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් ලබාදුන් ජනාධිපති සමාව නිසා නිදහස් වූ සිරකරුවෙකි. මාර්ග කොන්ත්‍රාත්තුවක් සම්බන්ධයෙන් රුපියල් 25,000ක අල්ලසක් ලබාගැනීම සම්බන්ධයෙන් ඔහු වැරදිකරු වී තිබිණි.

අදාළ නැති ව්‍යවස්ථාව

යාපනය, මිරුසුවිල් සමූහ ඝාතනය සම්බන්ධයෙන් වැරදිකරු ව, මරණීය දණ්ඩනය නියම වී සිටි යුද හමුදා සැරයන් සුනිල් රත්නායකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වී මාස හතරකින් ජනාධිපති සමාව ලබා දුන්නේය.
‘එසේ වුවද, එසේ වූ යම් වරදකරුවකුට අධිකරණයකින් මරණ දඬුවම නියම වූ විටෙක ජනාධිපතිවරයා විසින් ඒ නඩුව විභාග කළ විනිශ්චයකාරවරයාගෙන් වාර්තාවක් ලබාගැනීමට සැලැස්විය යුත්තේය. එම වාර්තාව ජනාධිපතිවරයා වෙත ලැබුණු පසු, ඒ පිළිබඳව නීතිපති උපදෙස් සමග එය අධිකරණ විෂය භාර ඇමැතිවරයා වෙත යැවිය යුත්තේය. ඉන්පසු එය විෂය භාර ඇමැතිවරයාගේ නිර්දේශ ද සමග ජනාධිපතිවරයා වෙත එවිය යුත්තේය….’
දුමින්ද සිල්වාගේ සමාවේදී මෙන්ම මරණ දඬුවම ලබා සිටි සුනිල් රත්නායකගේ සමාවේදී ද මේ ව්‍යවස්ථානුකූල තත්ත්වයන් ක්‍රියාත්මක නොවීය. එනම් ව්‍යවස්ථා විරෝධී ලෙස ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා අදාළ කටයුතු සිදු කර තිබේ. හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන රෝයල් පාර්ක් ඝාතන නඩුවේ වැරදිකරුට එරෙහිව ලබාදුන් ජනාධිපති සමාවට එරෙහිව ගොනු කළ පෙත්සමක් මේ වන විට අධිකරණයේ විභාග වේ.

සමාවේ තරම පෙන්වන අපරාධය

කුඩා දරුවකු ඇතුළු අට දෙනෙකු ගෙල කපා ඝාතනය කරන ලද බරපතළ අපරාධයක ප්‍රධාන චූදිතයා වූයේ සුනිල් රත්නායක ය. 2000 වසර වන විට යාපනය අර්ධද්වීපයේ යුද හමුදා පොලිසියේ ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කරන ලද්දේ එවකට මේජර්වරයෙකු වූ ද සොයිසා ය. මේජර් ද සොයිසාගේ ප්‍රකාශවලට අනුව, එවකට මේජර් ජෙනරාල් සුනිල් තෙන්නකෝන්ගේ අණ දීම යටතේ මිරුසුවිල් කේන්ද්‍ර කොටගත් විශාල භූමි ප්‍රදේශයක ආරක්ෂාව යුද හමුදාවේ 55 වැනි සේනාංකයට පැවරී තිබිණි.
2000 අප්‍රේල් මාසයේ අලිමංකඩ යුද හමුදා කඳවුරට එල්ල වූ ප්‍රහාරයත් සමග හමුදා භට පිරිස් මිරුසුවිල් ප්‍රදේශයට පසුබසින ලද අතර, ඉදිරි ආරක්ෂක වළල්ල තිබී ඇත්තේ මෙම නඩුවේ ප්‍රශ්නගත සිදුවීම සිදුවූ හමුදා පාලන ප්‍රදේශයේ සිට මීටර් 700ක් 800ක් පමණ ඉදිරියෙන් ය. ඔහු තවදුරටත් සදහන් කරන පරිදි ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල වීම හේතුවෙන් මිරුසුවිල් ප්‍රදේශයේ පදිංචිව සිටි ජනයා එම ප්‍රදේශ අත්හැර, ඉවත්ව ගොස් තිබිණි.

නවයෙන් අටක් ඝාතනය

2000 දෙසැම්බර් 23 වැනි දින උදෑසන නවයට පමණ මේජර් ද සොයිසාට, එවකට බ්‍රිගේඩියර් තෝරදෙණිය දුරකතන ඇමතුමක් ලබා දී ඇත. හමුදාව විසින් සිවිල් පුද්ගලයන් නව දෙනෙකු සිරභාරයට ගෙන ඇති බවත්, එයින් අට දෙනෙකු ඝාතනය කර ඇතැයි දැනගන්නට ඇති බවත්, දිවි ගලවා ගන්නා ලද සිවිල් පුද්ගලයා සොයාගෙන මෙම සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙසත් බ්‍රිගේඩියර්වරයා උපදෙස් දී තිබේ. ඒ අනුව මේජර් ද සොයිසා ඇතුළු කණ්ඩායමක් නෙල්ලිඅඩි ප්‍රදේශයේ පිහිටි සිද්ධියෙන් දිවි ගලවා ගත් මහේෂ්වරන්ගේ නිවස වෙත ගොස් තිබේ. මහේෂ්වරන්ගේ මව්පියන් විසින් නිවසේ ඇතුළු කාමරයක බිම ඉඳගෙන සිටි මහේෂ්වරන් වෙත මේජර්වරයාව රැගෙන ගොස් ඇති අතර, මහේෂ්වරන්ගේ ශරීරයේ ඇති වෙළුම්පටි තමන් නිරීක්ෂණය කළ බව ද මේජර්වරයා තම ප්‍රකාශවලදී පවසා තිබේ.

මහේෂ්වරන්ගේ කතාව

මහේෂ්වරන් අධිකරණයේ සාක්ෂි දෙමින් පවසන ලද කතාව, සුනිල් රත්නායක ඇතුළු පිරිස ගැමියන් ඝාතනය කළ කතාව සහ තමන් ගැලවුණු ආකාරය, එලෙසින්ම ඔහු මේජර්වරයාට පවසා තිබේ. ඔහු වැඩිදුරටත් යුද හමුදා පොලිසියේ මේජර්වරයාට ප්‍රකාශ කර ඇත්තේ අනෙක් ගැමියන්ගේ සිරුරු ඇතැයි තමන් සිතන වැසිකිළි වළ පෙන්වීමට හැකි බව ය. කෙසේ වෙතත් ඊපීඩීපී සංවිධානයේ නිලධාරීන් සහ ග්‍රාම නිලධාරීවරයා ඔවුන් සමග නොපැමිණෙන්නේ නම්, හමුදා නිලධාරීන් සමග අදාළ ස්ථානයට යාම මහේෂ්වරන් ප්‍රතික්ෂේප කර තිබේ. කණ්ඩායම වාහන දෙකකින් ගමන් කොට, තවත් කිලෝමීටර් එකහමාරක දුරක් පාගමනින් ගොස් අදාළ ස්ථානයට ළඟා වී ඇත. මුලින්ම මහේෂ්වරන් ඔවුන්ට සිය නිවස පෙන්වා තිබේ. එමෙන්ම එහි පිරිස සමග ගිය දෙසැම්බර් 19 වැනිදා, ඔවුන් තම පාපැදි නතර කරන ලද ස්ථානයද පෙන්වා ඇතත්, ඒ අවස්ථාව වනවිට එහි බයිසිකල් තිබී නැත.
ඉන්පසු මහේෂ්වරන් ඔවුන්ව කැඳවාගෙන ගොස් ඇත්තේ ඔවුන්ට මුලින්ම හමුදා සාමාජිකයන් හමුවූ පේර ගසකට ආසන්න ස්ථානයට ය. තමන් ඇතුළු කණ්ඩායමේ පිරිසගේ දෑස් බැඳ, තමන්ට පහර දුන් බවත්, අනෙක් අය වේදනාවෙන් කෑගසන හඬ තමන්ට ඇසුණු බවත් මහේෂ්වරන් වැඩිදුරටත් මේජර්වරයාට ප්‍රකාශ කර තිබේ.

චේතනාව කෙසේද යත් ?

ඉන්පසු මහේෂ්වරන් මේජර්වරයා ඇතුළු පිරිස කැටුව ගොස් ඇත්තේ අනෙක් ගම්වැසියන් අටදෙනාගේ සිරුරු ඇතැයි ඔහු සැකකරන වැසිකිළි වළ වෙතය. එම වැසිකිළි වළ ආවරණය කොට ඇති කොන්ක්‍රීට් ලෑල්ල අසලට ඔවුන් ගොස් ඇත.
සිදුවීම ගැන මහේෂ්වරන්ගෙන් විමසීමේදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ එම ස්ථානයේදී ඔහුගේ ඇස් බැඳ තිබූ රෙදි කඩ ගැලවුණු බවත්, එහිදී ලේ වැනි පැල්ලම් තමන්ට දක්නට ලැබුණු බවත්ය. මේජර් සොයිසාගේ මෙහෙයවීම යටතේ වැසිකිළි වළ ආවරණය කර ඇති කොන්ක්‍රීට් ලෑල්ල ඉවත් කළ විට ඒ තුළින් මියගිය සතෙකුගේ (එළුවෙකුගේ) ශරීර කොටස් හමුවී ඇත. ගම්වැසියන් අටදෙනාගේ සිරුරු ඇතැයි මහේෂ්වරන් කියා ඇත්තේ මෙම වැසිකිළි වළ තුළ ය.
අදාළ ස්ථානයට මීටර් පනහක් පමණ ඈතින් පිහිටි ගොඩනැගිල්ලක් පරීක්ෂා කළ යුද හමුදා පොලිසියේ ස්ථානාධිපතිවරයා, හය වැනි ගජබා රෙජිමේන්තුවේ විශේෂ මෙහෙයුම් ඒකකයට අයත් හමුදා සාමාජිකයන් 20ක් පමණ අදාළ ගොඩනැගිල්ලේ රැඳී සිටින බව අනාවරණය කරගෙන ඇත. මේජර්වරයා අධිකරණයට ප්‍රකාශ කර ඇති ආකාරයට ඔහු අදාළ භට පිරිස භාරව සිටි සැරයන් රණසිංහ නම් නිලධාරියා කැඳවා, ඉහත කී ලේ පැල්ලම් කෙළවර තොණ්ඩුවක් සහිත වයරය සහ මියගිය එළුවෙකුගේ යැයි සැකකළ හැකි ශරීර කොටස් පිළිබඳව ප්‍රශ්න කර ඇත. ඒ අනුව අදාළ එළුවා මරා දැමූ නිලධාරීන් කැඳවීමට ඔහුට උපදෙස් දී ඇති අතර, ඒ අනුව හමුදා සාමාජිකයන් දෙදෙනෙකු පැමිණ තිබේ.

මේජර්වරයාගේ භූමිකාව

ඔවුන් වැසිකිළි වළට ළං වන විට, හදිසියේම මේජර්වරයාට විලාපයක් ඇසී ඇත. එම විලාපය ඇසුණු පැත්ත හැරී බැලූ මේජර්වරයාට දැකගන්නට ලැබී ඇත්තේ තම පියා බදාගෙන කෑගසමින් සිටින මහේෂ්වරන් ය. ඉහත සඳහන් කළ (එළුවා මරාදැමූ බව කියමින්) පෙරට පැමිණි හමුදා සාමාජිකයන් දෙදෙනාද ඒ අනුව නොසන්සුන්ව, බියපත් වන ආකාරය තමන් නිරීක්ෂණය කළ බව මේජර්වරයා අධිකරණයට පවසා ඇත.
භාෂා පරිවර්තක සමග මහේෂ්වරන් වෙත ගමන් කළ මේජර්වරයා ඔහු කෑගැසීමට හේතුව විමසා ඇත. මහේෂ්වරන් ප්‍රකාශ කර ඇත්තේ එතැනට පැමිණ සිටි හමුදා සාමාජිකයන් දෙදෙනා දෙසැම්බර් 19 වැනිදා තමන් රඳවාගෙන පහරදීම සිදුකළ පුද්ගලයන් දෙදෙනා බව ය. ඒ අනුව මේජර් ද සොයිසා විසින් අදාළ හමුදා සාමාජිකයන් දෙදෙනාගෙන් ප්‍රශ්න කිරීම මේජර් ප්‍රේමලාල් වෙත පවරා ඇති අතර, එහිදී එම හමුදා සාමාජිකයන් දැඩි භීතියට පත්වූ බව ද මේජර්වරයා අධිකරණයට පවසා තිබේ.
මේජර් ද සොයිසා විසින් අදාළ හමුදා සාමාජිකයන් දෙදෙනාව කෝප්‍රල් රත්නායක (සුනිල් රත්නායක) සහ සාමාන්‍ය සෙබළ මහින්ද කුමාරසිංහ වශයෙන් හඳුන්වා ඇති අතර, විවෘත අධිකරණයේදී මේජර්වරයා විසින් සුනිල් රත්නායකව හඳුනාගෙන ඇත.

අපරාධය සැඟවීම සහ ගැලවීම

මේජර් ද සොයිසා අධිකරණය ඉදිරියේ සාක්ෂි දෙමින් තවදුරටත් ප්‍රකාශ කර ඇත්තේ අදාළ හමුදා සාමාජිකයන් පස්දෙනා යුද හමුදා පොලිසියට භාරදීමෙන් පසු, නැවතත් දෙසැම්බර් 24 වැනිදා තමන් මෙම විමර්ශනයට සම්බන්ධ වූ බවයි. සුනිල් රත්නායක විසින් ලබාදෙන ලද ප්‍රකාශය මත පදනම්ව, යුද හමුදා පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් සමග මේජර් ද සොයිසා අදාළ සිදුවීම වූ ප්‍රදේශයට ගොස් ඇත. සුනිල් රත්නායක විසින් පෙන්වන ලද මාර්ගය ඔස්සේ, ඔහු පෙන්වූ යම් ස්ථානයක් වෙත පඳුරු සහිත කැලයක් මැදින් යුද හමුදා පොලිස් කණ්ඩායම ගමන් කර ඇත.
එහිදී කුඩා කොළ අතුවලින් ආවරණය කරන ලද බුරුල් පස් සහිත ස්ථානයක් මේජර්වරයාට දක්නට ලැබී ඇත. මේජර්වරයා අදාළ ස්ථානය යුද හමුදා පොලිසියේ ආරක්ෂාව යටතට පත්කර, පොලිසියට මේ ගැන දැනුම් දී තිබේ. ඒ අනුව කන්කසන්තුරේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ප්‍රමුඛ පොලිස් කණ්ඩායමක්ද සමග පැමිණි මහේස්ත්‍රාත්වරයා, සුනිල් රත්නායක පෙන්වූ ස්ථානය හෑරීමට පොලිසියට නියෝග කර ඇත. පොලිසිය එහි හෑරූ වළෙන් පුද්ගලයන් අටදෙනෙකුගේ මළ සිරුරු හමුවී ඇති අතර, ඒවා ඝාතනය කරනු ලැබූ බවට නම් සඳහන් පුද්ගලයන්ගේ බවට ඥාතීන් විසින් හඳුනාගෙන තිබේ. පෙර සඳහන් කළ වැසිකිළි වළ ආසන්නයේ තිබූ ලේ පැල්ලම් ද එළුවකුගේ නොවන බව රජයේ රස පරීක්ෂකවරයා තහවුරු කර ඇත.

අපරාධයේ තරම අදාළ නැද්ද?

මේ කරුණු සියල්ල අනාවරණය වූයේත්, මීට අදාළ අධිකරණ කටයුතු සිදුවූයේත් ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරය දරන කාලයේ ය. ඊට අදාළ මූලික කරුණු පෙළගැස්වූයේ එහි ඇති අමානුෂික බව සහ ජනාධිපති සමාව ලබාදීමේදී එවැනි තත්ත්වයන් සලකා බැලිය යුතු නොවන්නේද යන්න පැහැදිලි කිරීමට ය.
මේ සම්බන්ධයෙන් අප සමග සංවාදයකට එක්වෙමින් ජ්‍යෙෂ්ඨ නීතිඥ එස්.ජී. පුංචිහේවා පහත අදහස් පළ කළේය.

ප්‍රජාතන්ත්‍රවාදී ද, ඒකාධිපති ද?

මොනතරම් ගැටළු තිබුණත්, මේ සමාව ලබාදීමට අදාළ බලය ජනාධිපතිවරයාට පවරලා තියෙනවා. ඒක වෙනස් නොකර මොනවා කතා කළත් වැඩක් තියෙනවද?
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඒ බලය පැවරිලා තියෙනවා තමයි. බලය දීලා තිබුණට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ ඒක විස්තර කරලා නෑ. ඒත් හිතුණු පළියට මේක ක්‍රියාත්මක කරන්න බෑ. අපි ඉන්නෙ ප්‍රජාතන්ත්‍රවාදී රටක නම්, තමන් ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක් කියලා ජනාධිපති දිව්රුම් දීලා තියෙනවා නම්, එයාට තනි තීරණ ගන්න බෑ. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථාවක් මිසක්, ඒකාධිපති ව්‍යවස්ථාවක් නෙමෙයි.
ඒක නිසා යම් පුද්ගලයෙකුට සමාවක් දෙන්න කලින් නීතිමය පසුබිම වගේම සදාචාරමය පසුබිමත් හොයලා බලන්න ඔ්නෙ. ඒක නීතියට ගැළපෙන්න ඔ්නෙ. මේ සමාව ලබන පුද්ගලයා යම් වරදක් කරලා දඬුවම් වින්දට, රටට ප්‍රයෝජනවත් පුද්ගලයෙක් නම්, රටේ අනාගතයට යහපතක් කළ හැකි පුද්ගලයෙක් නම්, ඔහුව නිදහස් කරන්න කියලා රටෙන් – ජනතාවගෙන් ඉල්ලීමක් තියෙනවා නම්, මේ ගැන සලකලා බලන්න පුළුවන්. ඒ ඉල්ලීම සාධාරණ ද කියලා බැලීමේ අනිවාර්ය වගකීමක් තියෙනවා. මේ කිසිම තැනක එහෙම එකක් තියෙනවද, නෑ. මේක වෙනස් කරන්න අවශ්‍යයි තමයි. ඒ වගේම මේ පත්වෙන පාලකයනුත්න දැනගන්න ඔ්නෙ, අවම විශ්වාසයක් හෝ වගකීමක් ආරක්ෂා කරන්න.

සමාජ හානියේ තරම

මෙතැනදි ව්‍යවස්ථාව අර්ථකථනය කිරීමේ යම් ගැටළුවකුත් තියෙනවා නේද?
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක ඔය සියල්ලම අර්ථකථනය කරන්නෙ නෑ. ව්‍යවස්ථාව මොකක්ද කියන එක තමයි අර්ථකතනය කරන්නෙ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රජාතන්ත්‍රවාදී ද, ඒකාධිපති ද කියන එකයි සඳහන් වෙන්නෙ. ඕනෑම කාරණයකට මේක අදාළයි. එකපාරටම හිතුණු ගමන් තීරණ ගන්නව නම් ඒ කියන්නෙ ඒකාධිපතියි. එහෙම පදනමකට මේ ව්‍යවස්ථාවෙ ඉඩක් නෑ. හැමදේම ලියලා නැති එකෙන් ඒවට ඉඩ ලැබෙන්නෙ නෑ. මේක ප්‍රජාතන්ත්‍රවාදී නිසා ඒකට හානියක් වෙන තීන්දු ගන්න ඉඩක් නෑ.
දැන් බලන්න, පොහොය දවස්වලට, විශේෂ දවස්වලට සිරකරුවො නිදහස් කරනවා. ඒකට කවුරුත් විරුද්ධ වෙනවද, නෑනෙ. ඒ ඔවුන්ගෙන් සමාජයට බරපතළ හානියක් නොවන නිසා. ඔවුන් අහිංසක පිරිස්. ඔවුන්ගෙන් බහුතරය දැන් තමන් කරපුවා ගැන පසුතැවෙනවා. කිසි කෙනෙකුට ඒක ප්‍රශ්නයක් නෙමෙයි. ඒකෙන් සමාජ හානියක් වෙනවා කියලා කවුරුත් විශ්වාස කරන්නෙ නෑ. ඒකයි, මේ විදිහට දේශපාලන සම්බන්ධකම් මත සමාව දීමයි සම්පූර්ණයෙන්ම දෙකක්.

ඒජන්තවරුන්ගේ භූමිකාව

මේ බරපතළ තත්ත්වය අවබෝධ කරගෙන ඉන්න සිවිල් සමාජ ක්‍රියාකාරීන්, නීතිඥ ප්‍රජාව හැකි උපරිමයෙන් මැදිහත්වීම් කළත්, සමස්තයක් විදිහට ගත්තොත් ඒක ප්‍රමාණවත් නෑ. ඇයි එහෙම වෙලා තියෙන්නෙ…?
ඔවුන්ගෙන් බහුතරය මේකෙ බරපතළකම අවබෝධ කරගෙන ඉන්නවා කියන එක මම පිළිගන්නෙ නැහැ. ඒ අයත් මේ හදපු සමාජ ක්‍රියාවලියට ප්‍රබන්ධකාරක සේවයක් තමයි කරන්නෙ. ඒජන්තවරුන්ගේ භූමිකාව තමයි ඒ අය කරන්නෙ. හරියට අවබෝධ කරගත්තොත් කරන්න ඕනෙ ඒක බෙදාහරින එකයි. එහෙම කරන්නෙ නෑනෙ.
විද්වතුන් උපාධි පස්සෙ හඹායනවා. ඒ විදිහටයි මේක හදලා තියෙන්නෙ. මහාචාර්ය, ආචාර්ය, අහවල් විද්වතා වුණාට, ඒ නිදහස් මිනිස්සු නෙමෙයි. ඔවුන්ට ඉලක්ක දීලා තියෙනවා. අලුතින් හිතන්න දෙන්නෙ නෑ. ඔවුන්ටත් ඒකෙන් පිට පනින්න අවශ්‍ය නෑ. තරුණ අය අතරෙ මේකෙ යම් වෙනසක් තියෙනවා. ඒක ඉදිරියට යන්න ඕනෙ. ඒ හරහා මේක වෙනස් කළ යුතුයි. අයින්ස්ටයින් කියලා තියෙනවා වගේ වැරැද්දක් කරපු කෙනාටත් වඩා වැරදි, ඒ වැරැද්ද කරන්න ඉඩ දීලා නිහඬව හිටපු කෙනා. අපි ඒ තත්ත්වය වෙනස් කරන්න ඕනෙ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here