චෝදනාවක් කිව්වෙත් නෑ : හැඳුනුම්පත් දුන්නෙත් නෑ : තාත්තව පැහැරගෙන ගියා – අසේල සම්පත්ගේ දියණිය කියයි !

 

මහජන අයිතීන් සුරැකීමේ පදනමේ සභාපති අසේල සම්පත් මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ යැයි හඳුන්වා ගත් පිරිසක් විසින් පැහැරගෙන ගිය බවට පිළියන්දල පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
සභාපතිවරයාගේ දියණිය වන අග්‍රා දිනෙත්‍රි විසින් මේ පැමිණිල්ල ඉදිරිපත් කර ඇති අතර, තම පියා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් කිසිදු චෝදනාවක් ඉදිරිපත් නොකොට මෙසේ පැහැරගෙන ගිය බවත්, එහිදී ඔහුට පහර දුන් බවත් අදාළ පැමිණිල්ලේ සඳහන් ය.
මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී පැලැන්වත්ත, පන්නිපිටිය ලිපිනයේ පදිංචි අසේල සම්පත්ගේ දියණිය වන අග්‍රා දිනෙත්‍රි පැවසුවේ තම පියා රැගෙන ගිය පිරිස සුදු පැහැති වෑන් රථයකින් පැමිණි බවත්, ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ යැයි පැවසූ බවත් ය. තමන් ඔවුන්ගෙන් රාජකාරි හැඳුනුම්පත් ඉල්ලා සිටියද, ඔවුන් එවැනි කිසිදු අනන්‍යතාවක් හෙළි නොකළ බවත්, ඒ වෙනුවට සිය පියාට මුව ආවරණයක් හෝ පැළඳ ගැනීමට ඉඩක් ලබානොදී පහර දී බලහත්කාරයෙන් රැගෙන ගිය බවත් ඇය සඳහන් කළාය.
අවුරුදු 18ක් වයසැති සිය සහෝදරයා මේ අවස්ථාවේ ඔන්ලයින් අධ්‍යාපන කටයුත්තකට සම්බන්ධ වී සිටි බවත්, අදාළ පිරිස ඔහු ළඟ තිබූ දුරකතනය ද පැහැරගෙන ගිය බවත් ඇය වැඩිදුරටත් පැවසීය. අද (25) රාත්‍රී 8.30ට පමණ මේ සිදුවීම සිදු වූ බවත්, තමන් වහාම පදිංචි ප්‍රදේශය අයත් පොලිස් ස්ථානය වන පිළියන්දල පොලිසියට ගියද, ඔවුන් පැමිණිල්ල බාරගැනීම සෑහෙන වේලාවක් ප්‍රමාද කළ බවත් සඳහන් කළ ඇය, අවසානයේදී බරපතළ ලෙස ඉල්ලීම් කිරීමෙන් පසු පැමිණිල්ල ලියාගත් බව ද පැවසීය.
පිළියන්දල පොලිසියේ අද දිනැති 196/171 පැමිණිලි අංකය යටතේ අදාළ පැමිණිල්ල සටහන් වී තිබේ.
Previous articleදුමින්ද නිදහස් – රටට ඔහු කොතරම් අවශ්‍ය ද?
Next articleකඩිනමින් මැදිහත් වන්න : ජනමාධ්‍ය ආයතනවල කාන්තාවන් වෙනුවෙන් තරුණ මාධ්‍යවේදීහු ප්‍රවෘත්ති අධ්‍යක්ෂට ලියති !

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here