දුමින්ද සිල්වාට සමාව දුන්නේ ව්‍යවස්ථානුකූලව ද? – විනිසුරුවරුන්ගේ නිර්දේශ ගැන ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපතිගෙන් ප්‍රශ්න කරයි !

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් වරදකරු කිරීමෙන් පසු මරණ දඬුවම නියම කර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ජනාධිපති සමාව දීම සිදුකරන ලද්දේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් කරුණුවලට අනුකූලව ද යන්න සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ලිඛිතව විමසීමක් කර ඇත.
මේ සම්බන්ධයෙන් එම සංගමයේ ලේකම් රජීව් අමරසූරියගේ අත්සනින් නිකුත් කරන ලද නිවේදනයක සඳහන් වන්නේ ජනාධිපති සමාව දීම සඳහා ජනාධිපතිවරයාට ව්‍යවස්ථානුකූල අයිතියක් ඇතත්, මරණ දඬුවම නියම වූවකු සම්බන්ධයෙන් එය ක්‍රියාත්මක කිරීමේදී ව්‍යවස්ථාවේ සඳහන් ක්‍රියාපටිපාටිය අනුගමනය කිරීම අනිවාර්ය බවයි. එසේ නොකොට දුමින්ද සිල්වා නිදහස් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කර ඇත්නම්, එමගින් අදාළ සමාව ලබාදීම අසාධාරණ සහ අත්තනෝමතික වන බවත්, එය නීතියේ ආධිපත්‍යය බිඳවැටීමටත්, යුක්තිය පසිඳලීම සම්බන්ධයෙන් ජනතාව තුළ ඇති විශ්වාසය පළුදු වීමටත් බලපාන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය.

ව්‍යවස්ථානුකූල පටිපාටිය

මරණ දඬුවම නියම වී ඇති වැරදිකරුවෙකුට ජනාධිපති සමාව ලබාදීමේදී අදාළ නඩුව විභාග කළ විනිසුරුවරුන්ගෙන් වාර්තාවක් කැඳවිය යුතු බවත්, එම වාර්තාව උපදෙස් සඳහා නීතිපති වෙත යොමු කළ යුතු බවත් නීතිපතිවරයාගේ මතය අධිකරණ අමාත්‍යවරයා වෙත යොමු කළ යුතු බවත්, ඒවා සලකා බැලීමෙන් පසු අධිකරණ ඇමැතිවරයා ද ජනාධිපතිවරයා වෙත නිර්දේශයක් ඉදිරිපත් කළ යුතු බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වගන්තියේ සඳහන් ය.
එම වගන්තියේ කොටස් උපුටා දක්වමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපතිවරයාට අවධාරණය කර ඇත්තේ දුමින්ද සිල්වාට අදාළ ව එම වාර්තා විධිමත්ව කැඳවූයේ ද යන්න සම්බන්ධයෙන් දැනගැනීමට ජනතාවට අයිතියක් ඇති බවයි.

දුමින්ද විශේෂයෙන් තෝරාගත්තේ කෙසේද?

එසේම ජනාධිපති සමාව ලබාදීම සඳහා දුමින්ද සිල්වා තෝරාගත් පදනම, ඊට බලපෑ හේතු, අනෙකුත් මරණ දඬුවම ලද වැරදිකරුවන්ගෙන් දුමින්ද සිල්වා විශේෂයෙන් තෝරාගත්තේ කෙසේද, ව්‍යවස්ථාවේ සඳහන් ආකාරයට ඊට අදාළ සියලු වාර්තා කැඳවූයේද යන්න සම්බන්ධයෙන් ද එම සංගමය විසින් ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපිය මගින් ප්‍රශ්න කර තිබේ. එම කරුණු එකක් හෝ වැඩි සංඛ්‍යාවක් ඉටු වී නැත්නම්, එය බරපතළ ලෙස නීතියේ ආධිපත්‍යය බිඳ වැටීමටත්, යුක්තිය පසිඳලීම සම්බන්ධයෙන් ජනතාව තුළ ඇති විශ්වාසය පළුදු වීමටත් හේතු වන බව ජනාධිපතිවරයාට දැන්වූයේ යැයි ද අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.
එම සම්පූර්ණ නිවේදනය පහත පළ වේ.

නීතිඥ සංගමයේ දැඩි අවධානය

‘නීතිවිරෝධී ලෙස ජනතාව රැස්කිරීම සහ පුද්ගල ඝාතනය සම්බන්ධයෙන් වැරදිකරුවෙකු වීමෙන් පසු මරණ දඬුවම නියමව සිටි දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබාදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විධායක කමිටුවේ දැඩි අවධානය යොමු වී ඇත. එවකට අගවිනිසුරු ධුරය දැරූ ප්‍රියසාද් ඩෙප් ප්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් ද අදාළ තීන්දුව තහවුරු කර තිබේ.

34 (1) වගන්තිය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 (1) වගන්තිය මගින් ජනාධිපතිවරයාට එවැනි සමාවක් ලබාදීමට අවශ්‍ය ප්‍රතිපාදන ලබා දී ඇත. එහෙත් එය නීත්‍යනුකූල සලකාබැලීම්වලට ද යටත් ය. මරණ දඬුවම නියම කර ඇති වරදකරුවෙකුට එම සමාව ලබාදීමේදී ව්‍යවස්ථාවට අනුව අදාළ නඩුව විභාග කළ විනිසුරුවරයාගෙන් වාර්තාවක් කැඳවිය යුතුය. එම වාර්තාව උපදෙස් ලබාගැනීම සඳහා නීතිපතිවරයා වෙත යොමු කළ යුතු අතර, නීතිපතිවරයාගේ උපදෙස් සහිත අදාළ වාර්තාව අධිකරණ ඇමැතිවරයා වෙත යොමු කළ යුතුය. අධිකරණ ඇමැතිවරයා විසින් ඊට අදාළ තම නිර්දේශය ජනාධිපතිවරයා වෙත යොමු කළ යුතුය.

ව්‍යවස්ථානුකූල ද – තනි කැමැත්තට ද?

මේ අනුව නඩුව විභාග කළ විනිසුරුවරුන්ගේ වාර්තාව, ඒ පිළිබඳ නීතිපතිවරයාගේ මතය සහ අධිකරණ ඇමැතිවරයාගේ නිර්දේශය මත මේ සමාව ලබාදී තිබේද යන්න දැනගැනීම ජනතාවගේ අයිතියකි. එවැනි වාර්තාවක්, මතයක් සහ නිර්දේශයක් සහිතව මේ සමාව ලබාදුන්නේද යන්න හෝ එම පාර්ශ්වවල නිර්දේශ සහ වාර්තා නොමැතිව අදාළ සමාව ලබාදුන්නේද හෝ යන්න පිළිබඳව ජනතාව දැනුවත් කරන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇත. මේ සඳහා ජනාධිපතිවරයාට ව්‍යවස්ථානුකූලව බලය තිබුණද, එය අත්තනෝමතික හෝ තෝරාගැනීමක් සහිතව හෝ ක්‍රියාත්මක නොකළ යුතුය.
මේ තත්ත්වයන් නොසලකා වරදකරුවන්ට ජනාධිපති සමාව ලබාදී ඇති අවස්ථා සම්බන්ධයෙන් නීතිඥ සංගමය බරපතළ ලෙස අවධානය යොමුකර ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වගන්තිය යටතේ ලබාදී ඇති මෙවැනි සමාවක් ලබාදීමේදී 34 (1) වගන්තියේ දක්වා ඇති විධිවිධානවලට අනුකූලව කටයුතු කර තිබේ ද යන්න විශ්ලේෂණය කළ යුතුය.

ඇත්ත ජනතාව දැනගත යුතුයි !

මේ නිසා ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපිය මගින් පහත කරුණු ජනතාවට දැනගැනීමට ඇති අයිතිය සම්බන්ධයෙන් අවධාරණය කර තිබේ.
(අ) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 (1) යටතේ ජනාධිපති සමාව ලබාදීම සඳහා දුමින්ද සිල්වා තෝරාගත් පදනම.
(ආ) එම සමාව ලබාදීමේදී අවධානය යොමු කළ කරුණු.
(ඇ) අනෙකුත් මරණ දඬුවම නියම කර ඇති වරදකරුවන්ගෙන් දුමින්ද සිල්වා විශේෂිත වන ආකාරය.
(ඈ) දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබාදීමට පෙර 34 (1) වගන්තියේ සඳහන් විධිවිධාන ප්‍රකාරව, නඩුව විභාග කළ විනිසුරුවරුන්ගෙන් ජනාධිපතිවරයා වාර්තාවක් කැඳවූයේද, එසේ නම් එම වාර්තාවේ අන්තර්ගතය කුමක්ද යන්න.
(ඉ) දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබාදීමට පෙර නීතිපතිවරයාගේ මතය විමසා සිටියේද යන්න සහ එසේ විමසා සිටියේ නම් එම මතය කුමක්ද යන්න.
(ඊ) දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබාදීමට පෙර අධිකරණ ඇමැතිවරයාගේ නිර්දේශය ලබාගෙන තිබේද යන්න සහ එසේ නම් එම නිර්දේශය කුමක්ද යන්න.

අනුගමනය කර නැත්නම් සිදුවන්නේ කුමක්ද ?

ඉහත සඳහන් කර ඇති කිසියම් හෝ කරුණක් මෙහිදී සෑහීමකට පත් වන පරිදි අනුගමනය කර නොමැතිනම් දුමින්ද සිල්වාට ලබා දී ඇති ජනාධිපති සමාව අසාධාරණ සහ අත්තනෝමතික වන අතර, එය නීතියේ ආධිපත්‍යය බිඳවැටීමටත්, යුක්තිය පසිඳලීම සම්බන්ධයෙන් ජනතාව තුළ ඇති විශ්වාසය පළුදු වීමටත් හේතු වනු ඇත.’
Previous articleලිංගික හිංසන : කතා කළ ස්ත්‍රීන්ගේ ධෛර්යයට ආචාරය – එය නිහඬව සිටින පිරිසට ශක්තියක් : ප්‍රගතිශීලී කාන්තා සාමූහිකය
Next articleදුමින්ද සිල්වා තෝරාගත්තේ කෙසේද? : අපි ගැනත් බලන්න – බන්ධනාගාර දෙකක සිරකරුවන් වර්ජනයේ !

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here