දුමින්ද සිල්වා තෝරාගත්තේ කෙසේද? : අපි ගැනත් බලන්න – බන්ධනාගාර දෙකක සිරකරුවන් වර්ජනයේ !

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට විශේෂ තෝරාගැනීමක් යටතේ ජනාධිපති සමාව ලබාදීමට විරෝධය පළකරමින්, තමන්ද නිදහස් කරන ලෙස හෝ මරණ දඬුවම ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් මහර සහ බෝගම්බර යන බන්ධනාගාරවල සිරකරුවන් ආහාර වර්ජනයක් ආරම්භ කර තිබේ.
මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා පැවසුවේ අදාළ බන්ධනාගාරවල සිරකරුවන්ගේ මේ ඉල්ලීම අතිශය සාධාරණ බවයි. ඊට හේතුව දුමින්ද සිල්වාට වඩා ජනාධිපති සමාව ලබාදීමට සුදුසුකම් ඇති සිරකරුවන් මේ බන්ධනාගාරවල රඳවා සිටීම බව ද සඳහන් කළ සභාපතිවරයා, ඔවුන් ජනාධිපති සමාව ලබාගැනීම සඳහා වන ඉල්ලීම් අවස්ථා ගණනාවකදී ජනාධිපතිවරයා වෙත ද යොමු කර ඇති බවයි.
සිරකරුවන් විසින් එවැනි ආහාර වර්ජනයක් ආරම්භ කර ඇති බව බන්ධනාගාර ප්‍රකාශක චන්දන ඒකනායක ද තහවුරු කර සිටී.

බලය පදනම් කරගත් සමාව

පසුගිය කාලය පුරාම පත්වූ ජනාධිපතිවරුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වගන්තිය අවභාවිත කළ බවත්, ඒ යටතේ ධනය සහ බලය පදනම් කරගෙන ජනාධිපති සමාව ලබාදීම සම්බන්ධයෙන් සියලු ජනාධිපතිවරුන්ට චෝදනා කළ හැකි බවත් මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී සඳහන් කළ සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා, මේ ජනාධිපති සමාව ලබාදීමේ ක්‍රමවේදය වෙනස් කිරීම සම්බන්ධයෙන් තම කමිටුවේ මූලිකත්වයෙන් සංවාදයක් ද ආරම්භ කළ බව පැවසීය.

ස්වාධීන සුපරීක්ෂණයකට යටත් කළ යුතුයි!

‘මේ සමාව දීමේ බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඉවත් කළ යුතු හෝ කිසියම් ස්වාධීන අධිකාරියක සුපරීක්ෂණයට යටත් කළ යුතු බවට සමාජ සාකච්ඡාවක් ආරම්භ කරනු ලැබුවේත් මෙම අයුක්ති සහගත, ඒකාධිපති ක්‍රියාව නතර කළ යුතු නිසා ය. දුමින්ද සිල්වාගේ නඩු තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ද තහවුරු කර ඇති පසුබිමක සියල්ලට පයින් ගසා අයුක්ති සහගතව කටයුතු කිරීම තුළ අධිකරණ නියෝග බලරහිත බවට විශාල ජනතා අවිශ්වාසයක් ඇති වීම ද නොවැළැක්විය හැකිය. නීතියේ පාලනය පවත්වාගෙන යෑමේදී මෙසේ අධිකරණ අකර්මන්‍යභාවයට පත්වන්නේ නම්, එය ඉතා භයානක තත්ත්වයකි.’

දේශපාලන පළිගැනීමක් ද?

දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබාදීම සම්බන්ධයෙන් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව විසින් නිකුත් කළ නිවේදනයක ඉහත කරුණු සඳහන් වේ. දේශපාලන පළිගැනීම් යන වචනය යොදාගනිමින් මේ අත්තනෝමතික කටයුතු සාධාරණීකරණය කිරීමේ උත්සාහයට දැඩි විරෝධය පළකරන බව ද අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය.
‘දුමින්ද සිල්වාට සමාව දීම දේශපාලන පළිගැනීමක් ලෙස අර්ථ දක්වා ජනතාව තුළ වැරදි අදහසක් තහවුරු කිරීමට උත්සාහ දරන්නේ නම්, එය සාධාරණය අපේක්ෂා කරන කිසිවෙකු පිළිගන්නා තත්ත්වයක් නොවේ. ඉතිහාසය දෙස බැලීමේදී බලයට ආ පාලකයන් තමන්ගේ හිතවතුන්ට සංග්‍රහ කිරීමට ‘දේශපාලන පළිගැනීම්’ යන වචනය යොදාගත් බව උදාහරණ සහිතව පෙන්වා දිය හැකිය.

දුමින්දලා මනුෂ්‍යයෝ ය !

එම නිසා 25,000කට අධික සිරකරුවන් ප්‍රමාණයක් සිටින බන්ධනාගාර පද්ධතිය තුළ සහන ලබාදීමේදී මෙසේ ‘දුමින්දලා මනුෂ්‍යයෝ ය’ යන ප්‍රතිපත්තියෙන් ඉවත් වී, ‘සිරකරුවෝ මනුෂ්‍යයෝ ය’ යන ප්‍රතිපත්තිය ලෝකයට පෙන්වීමේ අවශ්‍යතාව ද පෙන්වා දෙමු.’
Previous articleදුමින්ද සිල්වාට සමාව දුන්නේ ව්‍යවස්ථානුකූලව ද? – විනිසුරුවරුන්ගේ නිර්දේශ ගැන ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපතිගෙන් ප්‍රශ්න කරයි !
Next articleදඬුවම් දෙන්න මිලිටරි කණ්ඩායම්වලට බෑ : මේක ජන ඝාතනයක අනතුරක් – සම අයිතිය ව්‍යාපාරය

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here