ලිංගික හිංසන : කතා කළ ස්ත්‍රීන්ගේ ධෛර්යයට ආචාරය – එය නිහඬව සිටින පිරිසට ශක්තියක් : ප්‍රගතිශීලී කාන්තා සාමූහිකය

තමන්ට සිදු වූ ලිංගික හිංසන සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ කතා කළ සියලු ස්ත්‍රීන්ගේ ධෛර්යයට ආචාර කරන බවත්, එය ඒ සම්බන්ධයෙන් නිහඬව සිටි ස්ත්‍රීන්ට ශක්තියක් සපයන බවත් ප්‍රගතිශීලී කාන්තා සාමූහිකය අවධාරණය කරයි.
නිවේදනයක් නිකුත් කරමින් එම සාමූහිකය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ලංකාවේ මෙවැනි කරුණු සම්බන්ධයෙන් කතා කිරීමට ආරක්ෂිත අවකාශයක් නොමැති වීම බරපතළ ගැටළුවක් බවයි. එසේම රැකියා ස්ථානවල සිදු වන ලිංගික හිරිහැර පිළිබඳව ක්‍රියාත්මක වීමට තරම් නීති ප්‍රමාණවත් නොවීම සහ නීති පද්ධතිය කෙරෙහි විශ්වාසයක් තැබිය නොහැකි වීම ද මෙහිදී සාකච්ඡාවට භාජනය කළ යුතු බව ද අදාළ නිවේදනයේ සඳහන් ය.
සමාජය තුළ ස්ත්‍රීන්ට වෙනස් කොට සැලකීමේ තත්ත්වයන් වෙනස් කිරීමටත්, ආකල්පමය වශයෙන් ස්ත්‍රීන් ශක්තිමත් කිරීමටත් කළ යුත්තේ කුමක්ද යන්න සම්බන්ධයෙන් වැදගත් සංවාදයක් ගොඩනැගිය යුතු බව ද එම සාමූහිකය අදාළ නිවේදනය මගින් වැඩිදුරටත් අවධාරණය කර ඇත.
එම සම්පූර්ණ නිවේදනය පහත පළ වේ.

නැවත සිතීමට අවස්ථාවක්

‘පසුගිය සතියේදී, ස්ත‍්‍රීන් ගණනාවක් ඔවුන් මුහුණ දුන් ලිංගික හිරිහැර හා අපයෝජන පිළිබඳ කතා ඉදිරිපත් කරනු අපි දුටුවෙමු. ශ‍්‍රී ලංකාවේ #metoo (මීටූ)  ව්‍යාපාරයේ මතුවීම විසින් අපට ස්ත‍්‍රී-පුරුෂ සමාජභාවී විෂමතාවන්, ලිංගික හිරිහැර පිළිබඳ සමාජ-සංස්කෘතික ඉවසීම මෙන්ම නිහඬතාව පවත්වා ගැනීම සම්බන්ධයෙන් බලය යන්නෙන් ඇතිවන  බලපෑම පිළිබඳව නැවත සිතීමට අපට අවස්ථාවක් ලබා දෙයි.

කතා කිරීම පිළිබඳ ආචාරය

තමන්ට සිදු වූ ලිංගික හිංසනයන් ප්‍රසිද්ධියේ කතා කළ සියලු ස්ත්‍රීන්ගේ ධෛර්යයට අපගේ ආචාරය පළමුව පිරිනමන්නට කැමැත්තෙමු. තම මිතුරු-මිතුරියන්, පවුලේ අය, වෘත්තීය සගයන් සහ උසස් නිලධාරීන් සමඟ ඔවුන්ගේ කතා බෙදා ගත් ස්ත්‍රීන්, එය සිදු වූ විට කිසිවක් පැවසීමට හෝ කිරීමට නොහැකි වුවත්, දැන් මෙය බෙදාගැනීමට ශක්තිය සොයාගත් ස්ත්‍රීන්, මේ සියල්ලන්ගේම කතා තවමත් වලංගු හා වැදගත් වෙයි.

ප්‍රමාණවත් නොවන නීති

ශ්‍රී ලංකාවේ #metoo හරහා තම හඬ අවදි කළ ස්ත‍්‍රීන් ඇත්ත වශයෙන්ම අතළොස්සකි. නමුත් ශ‍්‍රී ලංකාව පුරා මෙබඳු ස්ත‍්‍රීන් දහස් ගණනක් සිටින බව අපි දනිමු. ඔවුන්ගේ කම්පනය හා බිය ගැන කතා කිරීමට බොහෝදෙනෙකුට ආරක්ෂිත අවකාශයක් නොමැත. වින්දිතයන්ට ලැජ්ජා කිරීම සහ දොස් පැවරීම, නැවත හිංසා කිරීම, බිය ගැන්වීම සහ සංස්කෘතිය යනාදිය විසින් නිහඬ කරනු ලැබ සිටින ස්ත්‍රීන් බහුතරයකට සුරක්ෂිත වේදිකාවලට සහ අවකාශයන්ට පිවිසිය නොහැකි බව අමතක නොකළ යුතුය. රැකියා ස්ථානවල සිදුවන ලිංගික හිරිහැරයන්ට යුක්තිය පසිඳලීමට අවශ්‍ය නීති ප්‍රතිපත්ති වැනි නිශ්චිත නීතිමය යන්ත‍්‍රණයන්හි හිඟතාව සහ නීති පද්ධතිය කෙරෙහි විශ්වාසයක් නොමැතිකම ද මෙම නිහඬතාවට දායක වේ.

නිදහස් අවකාශයක් ඇති කිරීම

#metoo වැනි ව්‍යාපාරයන් අවශ්‍ය නොවන  ආරක්ෂිත පරිසරයක් ගොඩනැගීම සඳහා අප සමාජයක් ලෙස කටයුතු කළ යුතුය. ස්ත‍්‍රීන්ට බියෙන් තොරව නිදහසේ කතා කිරීමට ඉඩ සලසන අවකාශයන් අප විසින් නිර්මාණය කළ යුතුය. මෙය, නීති සැකසීමෙන් පමණක් උදා කර ගැනීමට ද නොහැක. සමාජය තුළ ස්ත‍්‍රීන්ට වෙනස් කොට සැලකීම යන්න සහ බල-සම්බන්ධතා අතර ඇති ගැඹුරු සම්බන්ධතාව පිළිබඳව ජනතාව අතර පුළුල් අවබෝධයක් ඇතිකිරීම ද අවශ්‍ය වේ.

මාධ්‍ය අවධානය

තම හඬ අවදි කළ ස්ත‍්‍රීන්ට අපගේ සහයෝගීතාව පළකරන අතර, මෙම හෙළිදරව් කිරීම් බොහෝ දෙනෙකුට බලපාන්නේ කෙසේද යන්න පිළිබඳව ද අපි නොදන්නවා නොවේ. මෙම ස්ත‍්‍රීන් ඔවුන්ගේ කතා බෙදාගන්නා විට ඇති විය හැකි වෘත්තීයමය නිශ්ශබ්දතාවයන් මෙන්ම එම ස්ත්‍රීන්ට ලැබෙන මාධ්‍ය අවධානය යන දෙක ම පිළිබඳව අප සංවේදී විය යුතුය. ඒ සියල්ලම අභිබවා නැගී සිටීමට ඔවුන්ට සහාය දැක්වීමේ මාර්ග සොයා ගත යුතුය.
ප‍්‍රගතිශීලී ස්ත‍්‍රී එකමුතුව ලෙස අපි විශ්වාස කරන්නේ යුක්තිය ඉටුවිය යුතු බවයි. ඒ අතරම, ලිංගික හිංසනයන් නිසා ඇතිවන මානසික පීඩාවෙන් සුවපත් වීම ද වැදගත් පළමු පියවරක් විය හැකි බව අපි තේරුම් ගනිමු. අප සෑම කෙනෙකු තුළ ම ඇති ඔරොත්තු දීමේ හැකියාව, ඉගෙනීමේ හැකියාව, වර්ධනය හා පරිවර්තනය පිළිබඳව අපි විශ්වාස කරමු. අප ඉදිරියට ගෙන යන්නේ එම බලාපොරොත්තුවයි.’
Previous articleවිනිසුරුවරුන් 07 දෙනකුගේ තීන්දුව ඉවතට : දුමින්ද සිල්වා නිදහස්
Next articleදුමින්ද සිල්වාට සමාව දුන්නේ ව්‍යවස්ථානුකූලව ද? – විනිසුරුවරුන්ගේ නිර්දේශ ගැන ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපතිගෙන් ප්‍රශ්න කරයි !

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here