රිෂාඩ්ගේ නඩුවෙන් තුන්වැනි විනිසුරුවරයාත් ඉවත් වෙයි ; කැඳවීම යළි කල් යයි

තමන් නීති විරෝධීව අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන සිටින බව කියමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා වෙනුවෙන් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම කැඳවීමෙන් අද (23) ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ.එච්.එම් නවාස් මහතා ඉවත් විය.
රිෂාඩ් බදියුදීන් සම්බන්ධ පෙත්සම කැඳවීමෙන් ඉවත්වූ තුන් වැනි විනිසුරුවරයා නවාස් මහතාය. මීට පෙර විනිසුරුවන් දෙදෙනකු ඉවත්වීම නිසා පෙත්සම කැඳවීම දෙවතාවක් කල් ගියේය.
පසුගිය මැයි 28 වැනි දා ජනක් ද සිල්වා විනිසුරුවරයා ද, පසුගිය ජුනි 04 වැනිදා යසන්ත කෝදාගොඩ විනිසුරුවරයා ද මේ ආකාරයටම ඉවත්වූහ.
අද නවාස් විනිසුරුවරයා ඉවත්වීම හේතුවෙන් පෙත්සම කැඳවීම තෙවැනි වරටත් ජූලි පස් වැනිදා තෙක් කල් තැබිණි.
පෙත්සම කැඳවීමේ විනිසුරු මඩුල්ලෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා ඉවත්වූයේ පෞද්ගලික හේතුවක් මත බව පවසමින් ය. ඒ එම පෙත්සම අගවිනිසුරු ජයන්ත ජයසූරිය, එස්.තුරෙයිරාජා සහ යසන්ත කෝදාගොඩ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ඉදිරියේ ඉකුත් 04 වැනිදා කැඳවු අවස්ථාවේ දීය.
එමෙන්ම අදාළ පෙත්සම විජිත් කේ. මලල්ගොඩ, කේ.කේ. වික්‍රමසිංහ සහ ජනක් ද සිල්වා යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ඉදිරියේ මැයි 28 වැනිදා කැඳවූ අවස්ථාවේදී විනිසුරු ජනක් ද සිල්වා මහතා එම විනිසුරු මඩුල්ලෙන් ඉල්ලා අස්වූයේ තමන් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වීම සහ එමගින් පෙත්සම්කරු සම්බන්ධයෙන් නිර්දේශ ලබා දී තිබීම නිසා බව සඳහන් කරමිනි.
පාස්කු ප්‍රහාරයට ආධාර අනුබල දීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ලබා ගත් රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන සිටී.
Previous articleනඩු නිමිත්තක් නැති විශාල පිරිසක් බන්ධනාගාරයේ – නාමල්ගේ යෝජනාවට ෆොන්සේකාගේත් සහාය !
Next articleසුමන්තිරන්ගෙන් නාමල්ට අභියෝගයක්

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here