නඩු නිමිත්තක් නැති විශාල පිරිසක් බන්ධනාගාරයේ – නාමල්ගේ යෝජනාවට ෆොන්සේකාගේත් සහාය !

චෝදනාවක් නැතිව වසර ගණනාවක සිට බන්ධනාගාර ගතව සිටින එල්ටීටීඊ සැකකරුවන්ට සාධාරණයක් ඉෂ්ඨ කරන ලෙස ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද (22) පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියේය.
නඩු නිමිත්තක් හෝ නැති විශාල පිරිසක් බන්ධනාගාරයේ සිටින බව කී නාමල් රාජපක්ෂ මහතා මේ පිරිසේ නඩු ගොනු දෙස සානුකම්පිතව බලා යම් ක්‍රමවේදයකින් ඔවුන්ට සාධාරණය ඉෂ්ඨ කරන ලෙස අධිකරණ ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටින බව ද සඳහන් කළේය.
නාමල් රාජපක්ෂ මහතාගේ යෝජනාව සම්බන්ධයෙන් තමන්ද සහාය පලකරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා කිවේය.
ඇමැති නාමල් රාජපක්ෂ – ‘අපේ රටේ අධිකරණ පද්ධතිය තුළ සහ බන්ධනාගාර තුළ විශාල තරුණ පිරිසක් ඉන්නවා යම් යම් ප්‍රමාද විම් නිසා ඇප ලබාගැනීමට නොහැකි වූත් සහ තම නඩු කටයුතු ඉවර කරගන්න නොහැකි වූ අය. වසර ගණනාවක සිට එල්ටීටීඊ ත්‍රස්තවාදීන් යැයි සැකපිට විශාල පිරිසක් රක්ෂිත බන්ධනාගාර ගත කරලා ඉන්න විශාල පිරිසක් ඒ අතර ඉන්නවා. මේ රටේ බන්ධනාගාරගත ජනතාව විඳින දුක ප්‍රායෝගික අත්දැකීම ඔබතුමාලා මට ලබා දුන්නා.
බන්ධනාගාර ගත වෙලා ඉන්න විශාල ප්‍රමාණයක් ඉන්නවා නඩු නිමිත්තක්වත් නැති අය. ඒ අතර විශේෂයෙන්ම එල්ටීටීඊ ත්‍රස්තවාදීන් යැයි සැකපිට විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඒ අනුව දීර්ඝ කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිට නඩු විභාගවලින් අනතුරුව දඬුවම් විදින ප්‍රමාණය 35යි. හැබැයි මේ 35 දෙනාගෙන් බහුතරයක් තමන්ට තියෙන දඬුවමට වඩා වැඩි කාල සීමාවක් රිමාන්ඩ් බන්ධනාගාරයේ ඉදලා තියෙනවා. ඒ කියන්නේ තමන්ට ලැබිලා තියෙන නඩු තීන්දුවේ දඬුවමට වඩා වැඩි කාලයක් රිමාන්ඩ් බන්ධනාගාරයේ ඉදලා තියෙනවා. ඒ වගේම දීර්ඝ කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටිමින් දැනට මහාධිකරණවල චෝදනා ගොනුකර තියෙන නඩු 38ක් තියෙනවා. ඒ කියන්නේ අවුරුදු 20කට වැඩි කාලයක් මේ නඩු අහනවා. තවමත් රක්ෂිත බන්ධනාගාරගත කරලා තමයි තවමත් මේ නඩු අහන්නේ. ඒ වගේම කිසිම නඩුවක් නොදාපු 13 දෙනකුත් ඉන්නවා. ඒ අතර පැමිණිලි කටයුතු නැත්නම් විභාග කටයුතු අවසන් කරලා අධි චෝදනා දාන්නේ නැතිව 116 දෙනෙක් ඉන්නවා.  ඉතින් මේ විශාල පිරිසක්. තරුණ ජීවිත තමන්ගේ නොයෙක් ඉතිහාසයන් නිසා වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් නොදැනුවත්කම නිසා වෙන්න පුළුවන්. සමහරු දැනුම්වත්ව වෙන්න පුළුවන්. හැබැයි වසර ගණනාවක් මේ අය රක්ෂිත බන්ධනාගාරගත වෙලා ඉන්නවා. එක්කෝ මේ අයට සාධාරණව නඩු දාන්න ඕනේ. නඩු අහලා දඬුවම් දෙන්න ඕනේ. එහෙම නැත්නම් අධි චෝදනා දාන්න ඕන. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුවේ 12000ට ආසන්න පිරිසක්   පුනරුත්ථාපනය කරලා සමාජගත කළා. ඒ අතර 3500කට සිවිල් ආරක්ෂක බලකායේ රැකියා දුන්නා. රජයේ රැකියා.   ඒ සටනේ එල්ටීටීඊ ත්‍රස්තවාදීන්ගේ අවසාන කාලයේ සටන් බිමේ හිටිය අය. හැබැයි මේ තියෙන බොහෝ පිරිස් අපට බන්ධනාගාරයේදී හම්බුණාම ඒ අය එක්ක කතා කළාම සමහරුන්ගේ බන්ධනාගාරගත කාලසීමාව මගේ වයසටත් වඩා වැඩී. මේක තමයි ඇත්ත කතාව. හැබැයි අද වෙනකම් චෝදනා ගොනු කරගන්න අපොහොසත් වෙලා තියෙනවා. ඒ හින්දා   මම කාරුණිකව ඔබතුමාගේ අවධානය යොමු කරන්නේ මේ අයට යම් සාධාරණයක් වෙන්න ඕන.. එක්කෝ මේ අයගේ නඩු අහලා අවසන් කරන්න ඕන. එහෙමත් නැත්නම් මේ අය පුනරුත්ථාපනය කරන්න ඕන. දොලොස් දාහක් පුනරුත්ථාපනය කරන්න පුළුවන්නම්.. මම පොඩි කතාවක් කරන්නම්.. බන්ධනාගාරගත පුද්ගලයකුගේ යම් සිදුවීමක්.. ලංකාවේ ප්‍රභූ ඝාතනයකට සැකපිට ගෙනල්ලා ඔහු වැරදිකාරයා වෙලා තිබෙනවා. ඔහු කරපු වැරැද්ද තමයි ගහක අත්තක් කපපු එක. ගහේ අත්ත කපපු කෙනා වැරදිකාරයා වෙලා හිරේ ඉන්නවා. ප්‍රධාන සැකකාරයා සමාව අරං ගෙදර ගිහිල්ලා තියනවා. ගහේ අත්ත කපාපු කෙනා ඇතුළේ.. වැඩේ කරපු කෙනා එළියේ… මේ නිසා මම ගෞරවයෙන් ඉල්ලන්නේ ගරු අධිකරණ අමාත්‍යතුමා ඉන්නවා… 12500ක් පුනරුත්ථාපනය කරලා 3500ක් සිවිල් ආරක්ෂක  බලකායට ගන්න පුළුවන්නම් මේ ඉන්න අයගේ නඩු ගොනු දිහා සානුකම්පිතව බලන්න. හැබැයි දාලා තියෙන චෝදනාවලට අනුකූලව අධිකරණයට ඇප දෙන්න බෑ.  එහෙනම් නීතිපතිවරයාට යන්න ඕන. නීතිපතිවරයාගේ මාර්ගයෙන් හරි වෙනත් මාර්ගයකින් හරි පුනරුත්ථාපනය කරන ක්‍රමවේදයකට හරි ගරු අමාත්‍යතුමනි මේ අයට සාධාරණය ඉටු කරලා දෙන්න කියන කාරුණික ඉල්ලීම මම කරනවා.’’
පාර්ලිමේන්ත්‍ර මන්ත්‍රී රවුෆ් හකීම් මහතා – ‘මේ කාරණය නාමල් රාජපක්ෂ ඇමතිතුමා මතුකිරීම පිළිබද මම සතුටු වෙනවා. ඇත්තටම බන්ධනාගාරය තුළ ඇති වෙන මේ හානිය එක පැත්තක තියෙනකොට දැන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පාවිච්චි කරමින් විශාල අසාධාරණ රාශියක් සිදුවෙනවා…දේශපානඥයන් දඩයම් කරනවා එක පැත්තකින්… අනික්  පැත්තකින් අහිංසකයන්. දැන් එතුමාගේම පාසලේ ඉගෙන ගත්ත හිජාස් හිස්බුල්ලා වැනි අය   දීර්ඝ කාලයක් තිස්සේ ඇපත් නැතිව. දැන් නඩු පවරලත් තියෙනවා. ඒකේ සාක්ෂි ගොතලා තියෙනවා. මේ පිළිබදව කරුණු ඉදිරිපත් කරලා තියෙනවා.
අධිකරණ අමාත්‍යවරයා – ඒ පිළිබද අපි අපරාධ නීතිය අනුව කටයුතු කරනවා..
‘ගරු නාමල් රාජපක්ෂ අමාත්‍යතුමා විසින් ඉතාමත් වැදගත් ප්‍රශ්නයක් මතු කළා. අපි සම්පූර්ණයෙන්ම විශ්වාස කරනවා රජයක් හැටියට නීතියට අනුව තමයි කාටහරි විරුද්ධව අපරාධ නීතිය ක්‍රියාත්මක විය යුත්තේ. අපි වාර්තාවක් අරන් බැලුවම විශේෂයෙන්ම එල්ටීටීඊ කටයුතුවලට සම්බන්ධ අයගේ එතුමා කියපු ආකාරයට දීර්ඝ කාලයක් තිස්සේ රැදවුම් නියෝග මත හරි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ හරි අත්අඩංගුවට අරගෙන තිබිලා ඊට පස්සේ නඩු දාලා ලබාදීලා තියෙන දඩුවම විදගෙන ඉන්නවා නමුත් ඊට වඩා වැඩි ප්‍රමාණයක් ඔවුන් රැදවුම්වල ඉදලා තියෙනවා. ඒ අනුව බලලා අපි ක්‍රමවේදයක් හදන්න බලනවා අර කියනවා වගේ බුදු දහමෙන් පෝෂිත ඒ වගේම සියලුම ආගම්වලින් පෝෂිත අපි පළිගන්න උත්සහයක් නෑ. අපි උත්සහ කරන්නේ මේකට විසදුමක් හොයන්න… ඒ හින්දා අපි උත්සහ කරනවා ඒ පිළිබදව සම්පූර්ණයෙන් සලකා බලා සාධාරණයක් ඉෂ්ට කරන්න.. ජාති ආගම් බේදයක් අපිට අදාළ නෑ. අපිට හැම දෙනාම ශ්‍රී ලාංකිකයෝ. අපි මේකෙන් දේශපාලනය කරන එක නවත්තමු. එකිනෙකාට චෝදනා කරන එක නවත්තලා ක්‍රමවේදයකට එමු. අරහෙට මෙහෙට ඇගිල්ල දික් කරන එක අමතක කරලා දාමු. වරදක් වෙලා තියෙනවා. දෙවැනි එක ඉතාමත් වැදගත් දෙයක් තියෙනවා.. ඒ තමයි මේ නඩු ඉතා ඉක්මණින් අහලා ඉවර කරන්න ඕන. අපි ඒකට වැඩපිළිවෙලක් කරගෙන යනවා.ගරු නීතිපතිතුමා එක්ක මම සාකච්ඡා කළා.   ඒ අනුව ඒ නඩු විභාග කඩිනම් කරන්න ක්‍රමවේදයක් හොයන්න අපි බලාපොරොත්තු වෙනවා.  තුන්වැනි එක නඩු දාන්නේ නැත්නම් ඔවුන්ව දීර්ඝ කාලීනව ඇතුළේ තියාගෙන ඉන්න බෑ. එක්කො නඩු දාන්න ඕන… එහෙම නැත්නම් නිදහස් කරන්න කියන එක අපි සම්පුර්ණයෙන් විශ්වාස කරනවා. සියලු දෙනාටම ඒක එකයි. ඒ අනුව තමයි අපි කටයුතු කරගෙන යන්නේ… ඔබතුමන්ලට ඉදිරියට දැකගන්න පුළුවන් වෙයි අපි කතාවට විතරක් සීමා කරන්නේ නෑ සාධාරණව ඒ කටයුතු කරනවා කියලා.’
පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා – නාමල් රාජපක්ෂ ඇමතිතුමා ගෙනාපු යෝජනාවට මමත් පොඩි ශක්තියක් දෙනවා පොඩි පසුබිමක් එක්ක… මම ඒක සාධාරණීකරනය කරනවා. මට මතක් වෙනවා, මාව වැලිකඩ හිරගෙදරට අරන් ගියේ 2010 සැප්තැම්බර් 30  මම 12ට අරන් ගියා ඇතුළට…මාව වටයක් කරකවලා ගේට්ටුව ළඟට ගෙනාවා. එතැන බස් එකක් පුරවලා දෙමළ තරුණයෝ හිටියා. එක තරුණයෙක් කෑ ගහලා කැඩිච්ච සිංහලෙන් කිව්වා,  යුද්ධය ඉවර කරපු හමුදාපති වැලිකඩ ඇතුළට එනවා,  යුද්ධ කරපු අපි එලියට ගෙනියනවා කිව්වා. එතකොට තමුන්නාන්සේලා ඔය කතා කරන තරුණයෝ   ඒ කට්ටිය තමයි. එතැනින් එහාට ගියාම මම වැලිකඩ ඉදලා උසාවියට එනවා නඩුවලට. මම බංකුවක වාඩි වෙලා ඉන්නවා. ඒ බංකුවෙම වාඩි වෙලා ඉන්නවා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය මට එල්ල කරපු තරුණයෙක්… එයාට නඩුව තියෙන්නේ මට බෝම්බ ගහපු නඩුව. මොරිස් කියන ඒ තරුණයා ඇවිත් මගේ වම් පැත්තේ වාඩි වෙනවා. එතකොට අවුරුදු 15කට ඉස්සරලා තමයි 2006 අප්‍රේල් මාසයේ බෝම්බ ගැහුවේ. ඒ තරුණයා ඊට අවුරුද්දකට විතර පස්සේ අහුවුණා. තාම ඉන්නවා රිමාන්ඩ් එකේ. තාම නඩු අහලා නෑ. අපිත් ඔබතුමා කිව්ව එකට සම්පූර්ණයෙන් එකග වෙනවා. මම ඒ වගේ ප්‍රහාරයකට අහුවෙලත් මුහුණ දීලත් මම හිතනවා ඒ කරපු අයට සාධාරණයක් දැන් වෙන්න ඕන කියලා.  මම හිතනවා අවුරුදු 15ක් හිරේ හිටිය ඒ තරුණයන්ට ලැබුණ දඬුවම ඇති කියලා. අනිවාර්යයෙන්ම ඒකට සද්භාවයෙන් ඔබතුමාලා අතගහන්න. අපි ඒකට අවශ්‍ය ශක්තිය ආශිර්වාදය ලබාදෙනවා.
Previous articleපාසල් සිසුන්ගෙන් සියයට 60කට අධ්‍යාපනය මගහැරිලා – රජය වගනොකියන අධ්‍යාපන අර්බුදයට විසඳුම ‘ඔන්ලයින්’ විතරද?
Next articleරිෂාඩ්ගේ නඩුවෙන් තුන්වැනි විනිසුරුවරයාත් ඉවත් වෙයි ; කැඳවීම යළි කල් යයි

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here