සුමන්තිරන්ගෙන් නාමල්ට අභියෝගයක්

වචනයෙන් පමණක් නොව දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම ක්‍රියාවෙන්ම සිදුකර පෙන්වන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා අද (23) පාර්ලිමේන්තුවේදී පැවසීය.
දේශපාලන සිරකරුවන් නිදහස් කර පෙන්වන ලෙසට තමා නාමල් රාජපක්ෂ අමාත්‍යවරයාට අභියෝග කරන බවත් ඔවුන් හැකි ඉක්මණින් නිදහස් කරන ලෙස ඉල්ලා සිටින බවත් ඔහු සඳහන් කළේය.  තමන් ඇතුළු පිරිස වසර එකොළහක් තිස්සේ මේ සම්බන්ධයෙන් ඉල්ලීම් සිදුකළ නමුත් මේ දක්වා එය ඉටු නොවූ බව ද හෙතෙම කීවේය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත 1979 දී හඳුන්වාදුන්නේ මාස හයකට තාවකාලික විධිවිධාන පනතක් ලෙස බවත් මාස හයකට ගෙන ආ එම පනත දැන් ස්ථීර වී ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ද අවලංගු කරන බවට හෝ වෙනස් කරන බවට කීමෙන් පමණක් තේරුමක් නැතැයි ද එය ද ක්‍රියාවෙන් කර පෙන්වන්නැයි ද ඔහු කීවේය.
එමෙන්ම කොරෝනා වසංගත පාලනය සඳහා සුදුසුම පුද්ගලයන් ආණ්ඩුව තුළ සිටියදී ඒ සඳහා දැනුමක් නොමැති හමුදාපතිවරයාට වසංගත පාලනයේ ප්‍රධානීත්වය ලබාදී තිබෙන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.  අනික් රටවල් කොරෝනා වසංගත පාලනය සඳහා සතියක් තුළ නීති සකසා ඇති බවත් වසරක් ගෙවී ගොස් ඇති නමුත් ශ්‍රී ලංකාව එවන් නීතියක් සම්මත කර නැති බවත් ඔහු පෙන්වා දුන්නේය.
සුමන්තිරන් මහතා මෙසේ ද පැවසීය.
 ‘‘මට කළින් කතාව කළ දයාසිරි ජයසේකර අමාත්‍යවරයා දෙමළ දේශපාලන සිරකරුවන් ගැන කතා කළා. මම ඔහුට කියන්න කැමතියි මට මතක විදියට මේ කාරණය 2010 ඉඳලා මේ සභාවේ අපි විවාද කරපු කාරනාවක්. අපි පෙර පාර්ලිමේන්තු එකකදීවත් මේ ගැන කතා නොකර ඉදලා නෑ. ඒ නිසා දශකයකට ආසන්න කාලයක මේ ගැන කතා කරලා තියෙනවා. 2011දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්ව සිටියදී මට සිරගෙවල්වලට ගිහින් සිරකරුවන්ගේ විස්තර ගන්න පහසුකම් සැපයුවා. මම ඒ විස්තර එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයාට ලබාදුන්නා. අවුරුදු දහයක් පමණ මේ ගැන කතා කළා. කිසිම ආණ්ඩුවක් මේ අය නිදහස් කරන්න බෑ කිව්වේ නෑ. නමුත් අවුරුදු දහයක් යනකම් මොකුත් කළේ නෑ.
ඊයේ වුණත් ආණ්ඩුවේම ඇමති කෙනෙක් ආණ්ඩුවෙන්ම ආයචනා කරනවා මේ අය නිදහස් කරන්න ක්‍රමවේදයක් හදන්න කියලා. මම පෙනී සිටිය අධිකරණවල ප්‍රසිද්ධ විනිසුවරයෙක් හිටියා. ඔහු මෙහෙම කියන්න පුරුදු වෙලා හිටියා. කවුරුහරි ලියවිල්ලක් අත්සන් කරනවා කරනවා කියලා කියනවානම් ඒ ලියකියවිල්ල කවදාවත් අත්සන් වෙන්නේ නෑ කියලා. ඒ නිසා ආණ්ඩුව දිගින් දිගටම කියනවා නම් අපි මේක කරනවා අපි මේක කරනවා කියලා. අපේ සැකය තමයි ඔවුන් ඒක කරන්න යන්නේ නෑ කියනදේ. ඒ නිසා කියවන්නේ නැතිව ඔවුන්ව නිදහස් කරන්න.. මොවුන් නිදහස් කරන එකට මොකද්ද හරස් වෙලා තියෙන්නේ?
ඔබට අවුරුදු දහයක් එකොළහක් ඕන නෑ මේක ගැන කතා කර කර ඉන්න. මේක දැන් කතා කරන එකයි පැහැදිලි නැත්තේ. ඒකයි අපි ඊයේ මතුකරන්න උත්සහ ගත්තේ.  පෙරේදාත් මේ ගැන ප්‍රකාශයක් තිබුණා. ඊට කළිනුත් කිව්වා. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මේ රටට 1979 දී ගෙනාවේ මාස හයකට තාවකාලික විධිවිධාන පනතක් විදියට. තවමත් ඒ නමේ ඒක තියෙනවා. ඒක ඒ තරම් බරපතල කාරණයක්.  තවමත් ඒක හදුන්වන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනත ලෙසයි. මාස හයකට ගෙනාව එක දැන් ස්ථීර එකක් වෙලා තියෙනවා..
ඔබ මේ පැත්තේ ඉද්දි දයාසිරි ජයසේකර අමාත්‍යවරයා මේ පනතට විරුද්ධ වුණා. දේශපාලන සිරකරුවන් ගැන කතා කළා ඔබත්.. දැන් කියනවා ඔබත් නාමල් රාජපක්ෂ අමාත්‍යවරයාගේ යෝජනාව පිළිගන්නවා කියලා. ඒක පිළිගන්න එක විතරක් කර කර ඉන්න එපා..ඒක කරන්න.
මේක අවලංගු කරනවා වෙනස් කරනවා කියලා කියව කියව ඉන්න එකෙන් තේරුමක් වෙන්නේ නෑ. ඒක කරලා පෙන්නන්න. ක්‍රියාවෙන් පෙන්වන්න. කොහේ හරි සැසියක් හරි වාර්තාවක් එන්න තියෙද්දි මේ වගේ පැනලා මේ වගේ දේවල් කියනවා. එහෙම කරන්න එපා. මම නාමල් රාජපක්ෂ අමාත්‍යවරයාගේ යෝජනාව ඊයේ පිළිගත්තා… මම නාමල් රාජපක්ෂ අමාත්‍යවරයාට අභියෝග කරනවා.. මොකද ආණ්ඩුව රටට වැරදි පණිවිඩයක් දෙන්න හැදුවේ අපි මේක හිඟන්නාගේ තුවාලය වගේ මේක පාවිච්චි කරනවා කියලා. අපි ඔවුන්ව නිදහස් කරන්න කියලා ඉල්ලනවා ඒත් නිදහස් කරනවාට කැමති නෑ කියලා.. නමුත් ඒක අමූලික බොරුවක්.. හැම පාර්ලිමේන්තු සභා වාරයකදීම අපි කතා කරලා තියෙනවා මේ ගැන.ඔබ දන්නවා ඒක හොදට.. ඔබ වැරදි පණිවිඩයක් දෙන්න හැදුව නිසා මම ඊයේ ඒක පිලිගත්තා. නමුත් මම නාමල් රාජපක්ෂ අමාත්‍යවරයාට අභියෝග කරනවා මේක කරලා පෙන්වන්න කියලා. හෙට පොසොන්, නිදහස් කරන්න ඔවුන්ව.. නිදහස් කරන අනිත් අය සමග ඔවුනුත් නිදහස් කරන්න. ඔවුන්ව වහාම නිදහස් කරන්න.. ඔවුන් කවුරුත් තවදුරටත් හිරේ ඉන්න ඕන නෑ. ඔවුන් දේශපාලන සිරකරුවෝ..
අපි කියලා තියෙනවා ඇයි අපි ඔවුන්ව දේශපාලන සිරකරුවන් ලෙසට හදුන්වන්නේ කියලා. සුරේන් රාඝවන් මහත්තයා ඊයේ නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා ඒ ප්‍රකාශය කරද්දි නාමල් රාජපක්ෂට පිටුපස ඉදගෙන හිටියා ඒ වීඩියෝවල. අද ඔහු සමාජ මාධ්‍යවල ලියලා තිබුණා ඔහු ඒ සදහා පොඩි කාර්යභාරයක් කළා කියලා. ඔහු හදුන්වන්නෙත් මේ සිරකරුවන්ව දේශපාලන සිරකරුවන් කියලා. ආණ්ඩුවේම කෙනෙක් කියනවා ඔවුන් දේශපාලන සිරකරුවන් කියලා.. මම සුරේන් රාඝවන් මහතාටත් අභියෝග කරනවා ඔබට නිදහස් කරගන්න පුළුවන් කී දෙනෙක් කියලා බලමු කියලා. ඔබ මේ සිරකරුවන් එක්ක දේශපාලනයක් කරන්නේ..”
සුරෙන් රාඝවන් මහතා – ‘ඔබ අවුරුදු පහළොවක් මේ පාර්ලිමේන්තුවේ සිටියා. ඔබ මොකද්ද කළේ?’
සුමන්තිරන් මහතා – ‘මම අවුරුදු පහළොවක් හිටියේ නෑ. මම පාර්ලිමේන්තුවට ඇවිත් අවුරුදු 11යි. ඒ 11න් හැම අවුරුද්දෙම මේ ගැන හැම සභා වාරයකදීම ඔවුන්ගේ නිදහස වෙනුවෙන් කතා කරලා තියෙනවා. අපි ඉන්නේ විපක්ෂයේ ඔබ වගේ ආණ්ඩුවේ තනතුරු වෙනුවෙන් සපත්තු ලෙවකන්න යන්නේ නෑ. විපක්ෂයේ ඉන්න අපිට කරන්න පුළුවන් එච්චරයි.. අපි ඒ වෙනුවෙන් ඉල්ලීම් කරලා තියෙනවා දිගින් දිගටම.’
දයාසිරි ජයසේකර මහතා – ‘මම අහන්න කැමතියි සුමන්තිරන් මහත්තයගෙන් පසුගිය වසර පහේ ඔබ මොකද කළේ?’
සුමන්තිරන් මහතා – ‘2015 සහ 2019 අතර දෙමළ දේශපාලන සිරකරුවන් සියයකට වඩා නිදහස් කරලා තියෙනවා. මම ඒකෙන් සෑහීමට පත් වෙන්නේ නෑ. අපි හැම කෙනාවම නිදහස් කරන්න බලපෑම් කළා. අපි හිටියේ විපක්ෂයේ.  අපි ආණ්ඩුවේ කොටසක් නෙවෙයි.
මම දැන් අදාළ කාරණාවට එන්නම්.. බරපතල ආර්ථික ගැටළුවක අද රට මුහුණ දෙමින් සිටින්නේ. අද පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒකට සාධාරණීයකරණය තමයි කොවිඩ්-19. අපි පිළිගන්නවා ඔබට සල්ලි අවශ්‍යයි කියලා.. ඔබට ඒක එක්ක දැඩි ලෙස සටන් කරන්න වෙනවා. නමුත් අප මේ සභාවේදී කතා කරන්න ඕන ඔබලා එය හරි ක්‍රමයට කරනවාද කියලා. මම සතුටු වෙනවා මට මේ කතාවේදී සඳහන් කළ යුතු දෙදෙනෙක් මේ සභාවේ ඉන්නවා. මහාචාර්ය තිස්ස විතාරණ මෙතන ඉන්නවා. වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මෙතන ඉන්නවා. මේ ක්ෂේත්‍රයේ ඉන්න ජ්‍යෙෂ්ඨම කෙනා මේ ආණ්ඩුවේ කොටස්කරුවෙක්. ඔහු මන්ත්‍රීවරයෙක්. ඔහු පාර්ලිමේන්තුවේ ඉන්නවා. ඔහු වෛරස ගැන බොහෝ පුද්ගලයන්ට වඩා දන්න කෙනෙක්. ඔහු ඉන්නේ ඔබත් එක්ක. (මහාචාර්ය තිස්ස විතාරණ) මම දැක්කා දවස් කිහිපයකට කළින් ඔහු ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරලා තිබුණා හමුදාපතිවරයා වෛරස ගැන මොකුත් දන්නේ නෑ කියලා. ඒක ඇත්ත. හමුදාපති වෛරස එක්ක සටන් කරන කෙනෙක් නෙමේනේ. ඔහුට මයික්‍රස්කෝපයකින් වෛරසය බලන්නවත් බෑනේ. නමුත් තිස්ස විතාරණ දන්නවා. ඇයි ඔහුව ඔබලා පාවිච්චි කරන්නේ නැත්තේ? ඇයි හමුදාපතිව යොදාගන්නේ.?
වෛද්‍ය ප්‍රනාන්දුපුල්ලේ අමාත්‍යවරිය මහජන සෞඛ්‍ය ගැන විශේෂඥවරියක්. ඒක ඇගේ ක්ෂේත්‍රය.. ඔබලා කොවිඩ්-19 සම්බන්ධයෙන් අමාත්‍යවරියක් පත්කරනවා. නමුත් ඇය කියන කිසිම දෙයක් මේ රටේ වෙන්නේ නෑ. අද පරිපූරක ඇස්තමේන්තුවක් ඔබලා ඉදිරිපත් කරලා තියෙනවා. නමුත් ඇය මුදල් ගැන අනතුරු ඇගවූවම ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායකවරයා මොකද කිව්වේ? ඔහු මාධ්‍ය වෙත ගිහින් කිව්වා ඇය ඉන්නේ ආතතියක කියලා. ප්‍රනාන්දුපුල්ලේ අමාත්‍යතුමියනි, ඔබේ ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායක කිව්වේ ඔබ මානසික වෛද්‍යවරයෙක් ගාවට යන්න ඕන කියලයි ඔහු ජනතාවට කිව්ව විදියට.
මේ ආණ්ඩුව වාසනාවන්ත ආණ්ඩුවක්… මේ ගැන තීරණ ගත යුතුම, මේකේ නායකත්වය දැරිය යුතු දෙදෙනෙක් ඔබත් එක්ක ඉන්න එක වාසනාවන්තකමක්.. නමුත් ඔබලා මේ වෛරසය සමග සටන් කරන්නේ විදේශ හමුදාවක් එක්ක යුද්ධ කරනවා වගේ ඒකේ නායකත්වය හමුදාපතිට දීලා. හමුදාපති මොනවද දන්නේ? ඔහු අඩුම තරමේ නීතිය ගැනවත් මොනවද දන්නේ මෙහේ ලොක්ඩවුන් කරනවා කියන්න සහ සංචරණ සීමා දානවා කියන්න තරම්. කොහේද ඒක තියෙන්නේ?. ඒ ගැන ලිඛිත නීතියක් ප්‍රසිද්ධ කරලා තිබිය යුතුයි. එතකොට විතරයි ඒක නීතියක් වෙන්නේ. කිසිවක් නෑ. පීඑම්ඩී – ජනාධිපති මාධ්‍ය අංශය ? එහෙමද නීති හදන්නේ ? මේ සභාවේ ගොඩ කාලයක් හිටපු දයාසිරි ජයසේකර අමාත්‍යවරයා දැන් නිහඩයි.එහෙදම නීති හැදෙන්නේ? ඔබලා හැම බලයක්ම එක පුද්ගලයෙක්ට දීලා ඔහු දැන් මාධ්‍ය නිවේදන නිකුත් කරනවා සහ ඒක සලකනවා නීතියක් විදියට. ඔහු කියනවා ඔහු කතා කළොත් ඒක සර්කියුලර් එකක් කියලා. ඒකලු නීතිය. සර්-කියු-ලෝ. ඔබ දැන් හිනා වෙනවා. හැබැයි එහෙම වෙන්න දෙන්න එපා ආණ්ඩුවක ඇමතිවරයෙක් විදියට. ඒක වෙන්න දෙන්න එපා. ඔබලා මේ වසංගතය වැරදි විදියට පාලනය කරන්නේ. ඒකයි අපි දැන් තුන්වැනි රැල්ලේ ඉන්නේ. ඔබලා අසමත් වෙලා තියෙනවා ඒක පාලනය කරගන්න. හතරවැනි රැල්ලකුත් ඇවිත් මිනිස්සු මැරෙන්න පුළුවන්.. වෛරස ප්‍රබේද ඇතිවෙමින් තියෙනවා.
මේක අලුත් දෙයක්.. සෞඛය බලධාරීන්, සෞඛ්‍ය ගැන විශේෂඥයින් මේකේ ප්‍රධානීත්වය ගන්න ඕන. අපි මේ පරිපූරක ඇස්තමේන්තුවට ඡන්දය දීම ගැන එහෙම හිතන්නේ නෑ. මොකද අපි දන්නවා ඕගොල්ලන්ට සල්ලි ඕන. අපි ගිය අවුරුද්දේ මේ කාලේ පාර්ලිමේන්තුව යලි රැස්කරන්න කියලා උසාවියට ගියා. ඒකට එක හේතුවක් මේ ඇස්තමේන්තු සම්මත කරගැනීමට සහ එමගින් කොවිඩ්-19 වෛරසයට එරෙහිව සටන් කරන්න යොදාගැනීම සදහා. ඒ අවස්ථාවේ ඔබලාට ඕන වුණේ නෑ. හැබැයි දැන් අවශ්‍ය වෙලා තියෙනවා.  එවෙලේ ඒකාධිපතිකමෙන් කරගත්තා. හැබැයි දැන් ඇවිල්ල තියෙනවා පාර්ලිමේන්තුවට. ඒක තමයි නිසි ක්‍රමවේදය..
අනික් එක මේකට නිසි නීති අවශයයි. රටක් පාලනය වෙන්න ඕන නීති මගින්. ඒකාධිපතිකමෙන් නෙමෙයි. හමුදාපතිගේ ඕන එපාකම් අනුව නෙමෙයි. පාර්ලිමේන්තුවෙන් වැඩක් නෑ මේ තීරණාත්මක අර්බුදයට වසරක් ගිහිල්ලත් එකම එක නීතියක් හදාගන්න බැරිනම්. ගොඩක් රටවල් සතියක් ඇතුළත නීති හැදුවා මේ තත්ත්වයට මුහුණ දෙන්න. මෙහේ ඒවා නෑ. මොකද ඒවා කරන්න ඕනේ නැත්තේ ඒක හමුදාපති මේ ගැන කටයුතු කරන විදියත් එක්ක පරස්පර වෙනවා. ඔහු උදේට නැගිටලා ඔහු තීරණය කරනවා එදාට කොහොමද මේක පාලනය කරන්න ඕන කියලා.
ඉටුකම අරමුදල තියෙනවා. මේ ගැන ප්‍රශ්නයක් ඇහුවම විතරක් ආණ්ඩුව ගණන් හිලව් එක්ක ආවා මේකේ 23%ක් විතරක් පාවිච්චි කරලා තියෙනවා කියන උත්තරය එක්ක. ජනවාරිවල 6%ක් විතරයි පාවිච්චි කරලා තියෙන්නේ මේ අරමුදලෙන්. ඔබට ඒ සල්ලි තියෙනවා. ඔබ ආධාර දෙන්න කියලා ඉල්ලිම් කරලා තියෙනවා. මිනිස්සු ආධාර ලබාදෙමින් ඉන්නවා. ඒවා පාවිච්චි කරන්න. ඒවා ඉස්සෙල්ලා පාවිච්චි කරලා ඉන්න. මේ වෙද්දි මිලියන 300ක් විතරයි වියදම් කරලා තියෙන්නේ. මේ අරමුදලේ බිලියන 1.7ක් තියෙනවා.
අපි මේකෙදි එකට එකතුවෙලා වැඩ කරන්න ඕන.. මේ ගැටළුවෙදි සහ මේ වගේ අනෙක් ජාතික ගැටළුවලදී අපි දේශපාලනය කරන්නේ නෑ. ප්‍රසිද්ධිය ලබාගන්න විතරක් චෝදනා කිරීම දේශපාලනය කිරීමක්.   නමුත් ඔබලා ජනතාව මගින් තෝරා පත්කරගෙන තිබෙන පාර්ලිමේන්තුවේ සාමාජිකයින් නිසි ලෙස භාවිත කරන්නේ නෑ එකට එකතු වෙලා මේ ගැටළුවට මුහුණ දීම සදහා.. මේ රටේ ව්‍යවස්ථාව හැදිලා තියෙන්නේ ඒ විදියට.විධායක ජනාධිපති කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා තමයි. හැබැයි ඔහු කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා විතරයි. අපි නියෝජිත මන්ත්‍රී මණ්ඩලයක්. අපේ ජනතාවගේ අදහස් මෙතැනදි කතා කරන්න ඕන. අපි මේ තීරණ ගැනීම්වලට සහභාගී වෙන්න ඕන. අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා ඒක හරි විදියට කරන්න. එහෙම කළොත් අපිට මේක දිනන් පුළුවන්.. නමුත් මේ යන විදියට ගියොත් මට බයක් තියෙනවා අපිට ඔලුව උස්සගන්න බැරි වේවි.’’
Previous articleරිෂාඩ්ගේ නඩුවෙන් තුන්වැනි විනිසුරුවරයාත් ඉවත් වෙයි ; කැඳවීම යළි කල් යයි
Next articleවිනිසුරුවරුන් 07 දෙනකුගේ තීන්දුව ඉවතට : දුමින්ද සිල්වා නිදහස්

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here