පාසල් සිසුන්ගෙන් සියයට 60කට අධ්‍යාපනය මගහැරිලා – රජය වගනොකියන අධ්‍යාපන අර්බුදයට විසඳුම ‘ඔන්ලයින්’ විතරද?

කොවිඩ් වෛරසය ව්‍යාප්තිය මුළු ලෝකයටම බලපාන වසංගතයක් වී හමාරය. වෛරසය සමග ලෝකය වසර එක හමාරකට වැඩි කාලයක් ගතකර අවසන් ය. එය ආර්ථික අර්බුදයක් ඇති කරන බවට පළ කළ අනාවැකි සැබෑ වී තිබේ.
එසේ වුවද මෙම වසංගතය හේතුවෙන් අධ්‍යාපන අර්බුදයක් ඇතිවේවි යැයි ඇතැම් විට බහුතරය නොසිතන්නට ඇත. කෙසේ වෙතත් වසංගතය ආරම්භයේදීම ලොව දියුණු යැයි සම්මත රටවල් අධ්‍යාපන අර්බුදයට විසදුම් සොයාගනිමින් කටවුතු කළද, ශ්‍රීලංකාව වැනි තුන්වැනි ලෝකයේ රටවල්වලට එය  ප්‍රමුඛ කාර්යයක් නොවීය. එහි ප්‍රතිඵලයක් ලෙස මේ වන විට රට තුළ අධ්‍යාපන අර්බුදයක් නිර්මාණය වී තිබේ.
පාසල් සිසුහු වසර එක හමාරකට වැඩි කාලයක් නිවසට වී සිටිති. මේ වසර දෙක තුළ විශ්වවිද්‍යාල වරම් හිමිකරගත් සිසුන්ට විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමට අවස්ථාව හිමිව නැත. විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය හදාරමින් සිටි සිසුන්ගේ අධ්‍යාපනය ද අතරමග නතර වී ඇත. අලුතින් එක වසරට යන දරුවා මෙතෙක් පාසල් පන්ති කාමරය දැක නැත. මේ ආකාරයේ අර්බුද රාශියකි. මේ සියල්ලටම ප්‍රායෝගික විසඳුම් සොයනවා වෙනුවට ශ්‍රීලංකාව යොමුවූයේ අන්තර්ජාල අධ්‍යාපනය හෙවත් ඔන්ලයින් අධ්‍යාපනය වෙත ය.
අන්තර්ජාලයට පිවිසීමට අවශ්‍ය උපකරණ සහ අන්තර්ජාල පහසුකම් නොමැති සිසු-සිසුවියන් බහුතරයකට මේ වන විට අධ්‍යාපනය මගහැරී තිබේ. සමස්තයක් ලෙස එය සියයට 60කට ආසන්න මට්ටමේ පවතී.

අපි ඉන්නෙ බරපතළ තැනක – වෛද්‍ය තාරා ද මෙල්

අධ්‍යාපන අමාත්‍යංශයේ හිටපු ලේකම් මෙන්ම අධ්‍යාපන සංසදයේ සම්බන්ධීකාරක ලෙස කටයුතු කළ වෛද්‍ය තාරා ද මෙල් මහත්මිය මේ සම්බන්ධයෙන් පැවසුවේ මෙවැනි අදහසකි.
‘2020 මාර්තු මාසයේ කොවිඩ් වසංගතය පැතිරෙන්න පටන්ගත් නිසා ලෝකයේ සියලුම පාසල් වැහුවා. බිලියන 1.7ක් පමණ ලෝකයේ සිටින ළමුන්ට අධ්‍යාපනය නැති වුණා. එහෙම හැලුනාම මේ සියලුදෙනාටම අන්තර්ජාලය හරහා අධ්‍යාපනය ආරම්භ කරයි කියලා අපි හැමදෙනාම හිතුවා. එහෙම වුණත් බොහොම සුළු ප්‍රමාණයකට තමයි, එක්වරම අන්තර්ජාල අධ්‍යාපනය ගිහින් තිබුණේ. ඒ ප්‍රමාණය රටවල් 10කට අඩුයි. ආසියාවෙන් රටවල් පොඩි ප්‍රමාණයයි එහෙම කළේ. බහුතරය අධ්‍යාපනය නැති පැත්තට වැටුණා. එතකොට ලංකාවට මොකද වුණේ. ලංකාවේ අන්තර්ජාල පහසුකම් තිබුණේ සියයට 48ක් වගේ ප්‍රමාණයකට. මේ අතරිනුත් සියයට 5ක් වගේ ප්‍රමාණයකට තමයි ඇත්ත වශයෙන්ම අන්තර්ජාලය හරහා ඉගෙනගන්න අවස්ථාව සැලසුණේ. ආර්ථික වශයෙන් ඉහළ මට්ටමක ඉන්න අයට විතරයි, කෙලින්ම අන්තර්ජාල අධ්‍යාපනයට යොමුවෙන්න පුළුවන් වුණේ.
අනෙක් පිරිස වෙනත්-වෙනත් ක්‍රම හරහා ඒ කියන්නේ වට්සැප්, වයිබර් ආදිය හරහා තොරතුරු හුවමාරු කරගනිමින් අධ්‍යාපනයක් ලැබුවා. අද වෙනකොට මාස 16කට වැඩි කාලයක් පාසල් වහලා තියෙනවා. මේ කාලය තුළ ලංකාවේ අධ්‍යාපනය ලබන දරුවන්ගෙන් සියයට 50කට කිසිම අධ්‍යාපනයක් ලැබිලා නැහැ.

අධ්‍යාපන අර්බුදයක් ගැන අපි හිතුවෙත් නෑ

වසංගතය සමගම මුලින්ම ආවේ ආර්ථික අර්බුදයක්. එය බොහොම සුළු කාලයකින්, සති කිහිපයකින් ලෝකයේ සියලුම රටවල්වලට දැනුණා. අධ්‍යාපනය අර්බුදයක් වේවි කියලාවත් ඇතැම් අය තේරුම්ගත්තේ නැහැ. නමුත් මාස හයක්-හතක් ගියාට පසුව මේ තත්ත්වයේ බරපතළකම බෙහෝදෙනා තේරුම් ගත්තා. අධ්‍යාපනය ඛේදවාචකයකට ලක්වෙන්න පුළුවන් කියලා තේරුම්ගත්තා. නමුත් ලංකාව දෙස බැලුවොත් මේ අර්බුදයේ බරපතළකම තවමත් තේරුම් අරගෙන නැහැ කියලා තමයි මම පුද්ගලිකව හිතන්නේ.
මේ අර්බුදයේ කෙටි කාලීන ප්‍රශ්න තිබෙනවා, දිගු කාලීන ප්‍රශ්න තිබෙනවා. කෙටි කාලීන ප්‍රශ්න ගැන කතා කළොත් ළමයි ගේ ඇතුළට වෙලා ඉන්නවා. මේ අයට අන්තර්ජාල පහසුකම් තිබුණත්, පැය පහ-හයක් ඩිජිටල් තිරයක් දිහා බලාගෙන ඉන්නවා. ඔවුන් යාළුවන්ගෙන් වෙන්වෙලා. විවිධ ක්‍රීඩා කරන අයගෙ ඒ ක්‍රීඩා නැවතිලා. සමාජ සම්බන්ධතා අඩු වෙලා. මේ නිසාම මානසික ප්‍රශ්න බෙහොමයක් ඇතිවෙන්න පුළුවන්. මේ නිසාම ගෙවල්වල ළමුන්ට තව-තවත් ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිදුවෙලා තියෙනවා. මෙලෙස දීර්ඝ කාලයක් අධ්‍යාපනය අහිමි වෙලා තිබෙන නිසා ඇතැම් තැන්වල දෙමාපියන් විසින් ළමුන්ව තමන් කරන රැකියාවට අරගෙන යන තත්ත්වයන් ඇතිවෙලා තියෙනවා. උදාහරණයක් ලෙස ධීවර පවුලක් ගත්තොත් මාස 16කට වැඩි කාලයක් පාසල් යන්නේ නැති නිසා ළමයවත් ධීවර කටයුතුවලට සම්බන්ධ කරගන්න දෙමාපියන් කටයුතු කරන්න පුළුවන්. ඇතැම් විට විභාගවලට සූදානම් වෙන්න නොලැබීම නිසාත් ළමුන්ට මේ මානසික පීඩනය වැඩිවෙන්න පුළුවන්.

කොවිඩ් අධ්‍යාපන පසුබෑම යනු කුමක්ද?

ඒ වගේම ලෝකයම පිළිගත් අධ්‍යාපනඥයන් දැන් සඳහන් කරනවා, අවුරුදු එකහමාරකට වැඩි කාලයක් ළමයෙකු අධ්‍යපනය නොලබා සිටිනවා නම් එම දරුවාගේ මොළයේ වර්ධනය සිදුවෙනවා, නමුත් එයට සරිලන අධ්‍යාපනයක් ලැබෙන්නේ නැහැ කියලා. කොවිඩ් අධ්‍යාපන පසුබෑම කියලා මෙය හඳුනාගෙන තිබෙනවා. ළමයෙකුට අවුරුද්දක අධ්‍යාපනය නැතිවුණොත් එහි අධ්‍යාපන පසුබෑමක් තිබෙනවා. උදාහරණයකට 2020 මාර්තුවේ 03 වසරේ හිටපු ළමයෙක් ඊට පසුව පාසල් ගියේ 2021දී හතර වසරට. ඒ කියන්නේ ඔහුගේ 03 වසරේ පාසල් කාලය සම්පූර්ණයෙන්ම නැතිවෙලා. මේ තත්ත්වය හඳුනාගන්න දරුවන්ටත් අපහසුයි. ඒ වගේම ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන්ටත් එය හඳුනාගන්න අපහසුයි. මෙය ලොකු අර්බුදයක්. මේ තත්ත්වය වෙන රටවල් හඳුනාගෙන ලොකු වැඩපිළිවෙළවල් ක්‍රියාත්මත කරගෙන යනවා. සාමාන්‍ය කාලයේදීත් විශේෂ අධ්‍යාපනයක් අවශ්‍ය දරුවන්ට මේ තත්ත්වය නිසා ඉදිරියේදී විශාල ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්.
ඒ වගේම අධ්‍යාපන ක්ෂේත්‍රයේ පිට කොන්ද විදිහට හඳුන්වන්නේ ගුරුවරු. අධ්‍යාපන ක්ෂේත්‍රය ඉදිරියට ගෙනයන්න නම් ගුරුවරුන්ගේ කැපවීම අත්‍යවශ්‍යයි. කොවිඩ් අර්බුද ආරම්භ වුණාට පසුව වට්සැප් හරහා ගුරුවරුන්ට මැසේජ් යවන්න සිදුවුණා. ඔවුන්ගෙන් ඇතැම් අයට අන්තර්ජාල පහසුකම් උපකරණ නැහැ. තොරතුරු තාක්ෂණ දැනුම නැහැ. මේ නිසා අර්බුද රැසක් ඇතිවුණා. ඔවුන්ට දීමනා කිසිවක් දීලා නැහැ. නමුත් ගුරුවරුන්ගෙන් බොහෝ දේ රජය බලාපොරොත්තු වී තිබෙනවා. මේ නිසා ගුරුවරුන් දැඩි පීඩනයක ඉන්නවා. ඔවුන්ටත් දැඩි ආතතියක් ඇතිවෙලා. ඒ වගේම ගුරුවරුන්ට එන්නත් ලබාදීම ගැනත් තවම අවධානය යොමු කරලා නැහැ. අධ්‍යාපන අර්බුදයක් ගැන බලධාරීන් අවධානය යොමු නොකළ නිසා ගුරුවරුන් ප්‍රමුඛ පෙළක් ලෙස රජය හිතුවෙ නැහැ. ලෝකයේ අනෙක් රටවල් ඒක මුලින් හිතුවෙ නැතත්, පසුව එය ක්‍රියාත්මක කළා. ගුරුවරුන්ට ඉතා ඉක්මනින් එන්නත් ලබාදුන්නු රටවල්වල පාසල් ඉක්මනින් ආරම්භ කළා. මේ වෙනකොටත් අපේ රටේ ගුරුවරුන්ට එන්නත්කරණයේදී ප්‍රමුඛත්වය දීලා නැහැ. ඒ වගේම රජයට හෝ අධ්‍යාපන අමාත්‍යාංශයට තේරිලා නැහැ, අධ්‍යාපන අර්බුදයක් තිබෙන බව. ඒ වගේම ඒ අර්බුදය විසඳීමට ඉතා ඉක්මනින් කටයුතු නොකළොත් එක් පරම්පරාවකට අධ්‍යාපනය නොලැබීමේ තත්ත්වයක් ඇති වෙයි. එය අපිට දැන් පෙනෙන්නේ නැහැ. සමහර විට ලබන අවුරුද්දේ පෙනෙන්නෙත් නැති වෙයි. තවත් අවුරුදු දෙකකින් විතර දැනෙන්න පටන් ගනියි. අධ්‍යාපනයක් නැතිව ළමුන් කණ්ඩායමක් සමාජයට ඇතුළත් වෙනවා නම් එය හරිම බරපතළයි.
මේ තත්ත්වයෙන් ගොඩඒමට, පාසල් අරින්නේ කවදාද කියලා තවමත් උපායමාර්ගික සැලසුමක් නැති බව අපිට පෙනෙන්න තිබෙනවා. මෙහි බරපතළකම අපි හැමෝම හිතලා, සංවේදීව කටයුතු කළ යුතුයි කියලා මම හිතනවා.’

සත්‍ය වශයෙන්ම මේ වන විට අන්තර්ජාල පහසුකම් මෙන්ම අන්තර්ජාලයට සම්බන්ධ වීමට අවශ්‍ය උපකරණ සහ විදුලිය නොමැතිකම හේතුවෙන් ලංකාව පුරා දරුවන් විශාල ප්‍රමාණයක් අධ්‍යාපනයෙන් ඈත්වී සිටින අතර, ඔවුහු නිවෙස්වලට කොටු වී සිටිති. පාසල් පද්ධතිය තුළ දරුවන් සහ ගුරුවරුන් මුහුණ දෙන ගැටළු සම්බන්ධයෙන් සහ අධ්‍යාපන අර්බුදය සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා මෙසේ අප සමග අදහස් දැක්වීය.

රජය තවමත් වගකීමෙන් කටයුතු කරන්නෙ නෑ – ලංකා ගුරු සංගමය

‘මේ වන විට අධ්‍යාපනය බරපතළ ව්‍යසනයක තිබෙනවා. මේ වන විට අපි එය අත්දකිමින් ඉන්නවා. වසංගතය නිසා පාසල් වහපුවම ගෘහස්ථ අධ්‍යාපනය ලබාදිය යුතු වෙනවා. ඒ වෙනුවෙන් අපි යොමුවුණේ ඔන්ලයින් අධ්‍යාපනයට. නමුත් ග්‍රාමීය සහ වතු ආශ්‍රිත දරුවන්ට ඔන්ලයින් අධ්‍යාපනයට යොමුවෙන්න හැකියාව ඉතාම අඩුයි. ඔන්ලයින් තාක්ෂණයෙන් අධ්‍යාපනය ලබන අයට වඩා අධ්‍යාපනය නොලබන අය සීයට 60ක් ලංකාවේ ඉන්නවා. ඒ අනුව මේ කතා කරන සීයට 60ක පිරිස පහුගිය අවුරුද්දේ සහ මේ අවුරුද්දේ අධ්‍යාපනය ලබන්නේ නැහැ. ඔවුන්ට දැන් විශාල කාලයක් මගහැරිලා. නමුත් මේ පිළිබඳ රජය කිසිදු වගකීමක් නැති තත්ත්වයක කටයුතු කරමින් ඉන්නේ. එය ඉතාම කණගාටුදායක තත්ත්වයක්. හැමෝම කතා කරන්නෙ ඔන්ලයින්වලින් ඉගෙන ගන්න ළමයි ගැන විතරයි. නමුත් මේ අධ්‍යාපනය අහිමි වෙන අය ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. නිදහස් අධ්‍යාපනය ක්‍රියාත්මක වන රටක් විදිහට අපේ රටේ බලධාරීන්ගේ අවධානයට යොමු විය යුතු වන්නේ අධ්‍යාපනය අහිමි වන දරුවන්ට මොකක්ද කරන්නේ කියන කාරණය සම්බන්ධවයි. මේ සම්බන්ධයෙන් ගන්න විකල්ප සම්බන්ධයෙන් අපි සමග සාකච්ඡාවක් පැවැත්වුවෙ ඊයෙ-පෙරේදා. වසරකට වැඩි කාලයක් මේ ගැන කතා කළේ නැහැ. දුරස්ථ අධ්‍යාපනයේ විකල්ප ලෙස ඔන්ලයින් අධ්‍යාපනය හැර අනෙකුත් විකල්ප පිළිබඳ සකච්ඡා නොවුණේ ඇයි කියන ප්‍රශ්නය අපි හැමෝමට තිබෙනවා. අපේ රටේ අධ්‍යාපනය කේන්ද්‍රගත වී තිබෙන්නේ විභාග මත. එය වෙනස් විය යුතුයි කියන මතයේ අපි ඉන්නවා. මේ වන විට පැවැත්වෙන විභාග කල්දමා තිබෙනවා. නමුත් විභාගවලට මොකද කරන්නේ කියලා සැලැස්මක් නැහැ. දෙමාපියෝ ඒ ගැන කලබල වෙලා ඉන්නේ. බලධාරීන්ට ඒගැන පිළිතුරක් දෙන්න බැරිව ඉන්නවා.

ගුරුවරුන්ටත් කිසිම සහනයක් නෑ

කොහොම වුණත් දරුවන්ට අධ්‍යාපනය අහිමි කිරීමේ වගකීම රජය බාරගත යුතුයි. මොකද ඉස්පිරිතාලවලින් රෝගීන්ට අවශ්‍ය බෙහෙත් ගෙවල්වලට යැව්වා. එහෙම නම් ඇයි දරුවන්ට ඉගෙනුම් කට්ටලයක් නිවෙස්වලට යවන්න බැරි වුණේ. මේ දේවල් අපි මුලදීම යෝජනා කළා. ඒ වගේම ඔන්ලයින් නිසා ළමයි කායිකව සහ මානසිකව දැඩි පීඩාවට පත්වෙලා ඉන්නේ. ඒ ගැන වගේ-වගක් නැහැ. අධ්‍යාපනය අහිමි වීම තුළින් සිදු වන විනාශය වගේම මෙවැනි වැඩ නිසා වෙනත් ආබාධ සහිත දරුවන් බිහිවෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔන්ලයින් උගන්වන ගුරුවරුන්ට කිසිම ගෙවීමක් සිදුකරලා නැහැ. මේ වගේ ප්‍රශ්න රාශියක් ඇතිවෙලා තිබෙනවා. මේ නිසා දරුවන් සහ රටේ අනාගතය ගැන හිතලා මේ ප්‍රශ්නය විසඳන්න කටයුතු කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා.’

දරුවන්ගේ ආතතිය නැති කරන්න – ප්‍රජා වෛද්‍ය විශේෂඥ ආසිරි හේවාමාලගේ

මේ අතර පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ආසිරි හේවාමාලගේ මහත්මිය පවසන්නේ දරුවන්ගේ ආතතිය නැති වන ආකාරයෙන් කටයුතු කරන ලෙසයි.
‘කොවිඩ් වසංගතය නිසා මාසයක පමණ කාලයක් රටේ දරුවෝ ගෙදරට වෙලා ඉන්නවා. ඇතැම් පවුල්වල දෙමාපියන් එක්ක ළමයි ගෙදර ඉන්නවා. සමහර පවුල්වල දෙමාපියන් අත්‍යවශ්‍ය සේවාවලට ගිහින් නිසා ළමයි පමණක් නිවෙස්වල සිටිනවා.
දෙමාපියන්ටත්, දරුවන්ටත් මේ කාල සීමාවේ ආතතිමය තත්ත්ව ඇති වන එක සාමාන්‍ය තත්ත්වයක්. මොකද අපි හැමෝම වෙනස් තත්ත්වයකට තමයි මුහුණ දීලා සිටින්නේ. අපේ සාමාන්‍ය දින චර්යාව වෙනස් වෙලා තිබෙනවා. ඒ අනුව ගැටළුකාරී තත්ත්ව ඇති වෙන එක සාමාන්‍යයයි. නමුත් මේ ගැටළුකාරී තත්ත්වය ගැන අපිට දෙවිදිහකට බලන්න පුළුවන්. ඒ අනුව මේක ප්‍රශ්නයක් කියලා හිතලා හිත කලබල කරගන්න එපා. ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්නේ කොහොමද කියලා බලන්න අපිට පුළුවන්. මේක තමන්ගේ දරුවන් එක්ක නිදහසේ ගතකරන්න ලැබුණු හොඳ අවස්ථාවක්. අපේ පුරුදු දින චර්යාවේ අපිට ඒ සඳහා කාලයක් ලැබී තිබුණේ නැහැ. නමුත් දැන් අපිට දරුවොත් එක්ක නිදහසේ දරුවාගේ වෙනත් කුසලතා අධ්‍යයනය කරගෙන ඒවා වර්ධනය කරන්න දේවල් කරන්න පුළුවන්. අපි දරුවෙකුගේ අධ්‍යාපනය කියලා බැලුවම මූලිකවම හිතන්නේ පාසලේ පන්ති කාමරයේ උගන්වන විෂය කරුණු ගැනයි. නමුත් අධ්‍යාපනය කියන්නේ විෂය කරුණුවලට වඩා එහා ගිය පුළුල් දැනුම් සම්භාරයක්. අපේ පැවති ජීවන රටාවේදී අපිට බැරි වුණා, මේ පුළුල් දැනුම් සම්භාරය අපේ දරුවන්ට ලබාදෙන්න. 21 වන සියවසට අවශ්‍ය කරන ඉගෙනුම් කුසලතා යනුවෙන් ලැයිස්තුවක් නම් කර තිබෙනවා. විෂය කරුණුවලට අමතරව දරුවෙකුට අනාගතයේ සාර්ථක වැඩිහිටියෙක් බවට පත්වන්නට ලැබිය යුතු දැනුම සම්බන්ධයෙන් එහි සඳහන් වෙනවා. අපි එහි සඳහන් කරුණු කීපයක් විමසා බලමු.
විචාරාත්මක චින්තනය – එනම් ගැටළුවක් දෙස විචාරාත්මකව බලා එයට පිළිතුරු සොයන ආකාරය
නව නිර්මාණශීලීත්වය – අලුත් යමක් උත්පාදනය කරන ආකාරය
සන්නිවේදනය – පිරිසක් ඉදිරියේ කතා කරන්නේ කොහොමද, සහකම්පනයකින් යුතුව කතාබහ කරන්නේ කොහොමද කියන එක
මේවා දරුවෙකුට පසුකාලීනව සමාජයේ කටයුතු කරද්දී සාර්ථක වෙන්න අත්‍යවශ්‍ය වෙනවා.

මාධ්‍ය සාක්ෂරතාව අත්‍යවශ්‍ය කරුණක්

ඒ වගේම තොරතුරු හා මාධ්‍ය සාක්ෂරතාව ඉතා වැදගත්. මේ මාධ්‍ය සාක්ෂරතාව නැති තැන තොරතුරු වසංගත තත්ත්වයකට පත්වෙනවා. අපේ රටේ මේ තත්ත්වය දැන් ඇතිවෙමින් තිබෙනවා. අනාගතයේ ඩිජිටල් ලෝකයට එන දරුවන්ට අත්‍යවශ්‍යම කුසලතාවක් තමයි, තමන්ට ලැබෙන තොරතුර සත්‍ය තොරතුරක් ද යන්න හඳුනාගැනීමට ඇති හැකියාව.
ඒ වගේම අපිට අවශ්‍යයි, නම්‍යශීලීව අනුවර්තනය වීමේ හැකියාව. අද අපිට ප්‍රශ්න එකින්-එකට එනවා. කොවිඩ් ප්‍රශ්නය තියෙද්දි ගංවතුර ඇවිත් තිබෙනවා. ඒ ඔස්සේ එන රෝග තිබෙනවා. නැව නිසා ඇතිවූ පරිසර ප්‍රශ්න, තෙල් කාන්දුව නිසා ඇති වුණු ප්‍රශ්න වගේ පාරිසරික ප්‍රශ්නත් රටේ ඇතිවෙනවා. මේවා ගැන අවධානය යොමු කරලා දරුවන්ට නව නිෂ්පාදන කරන ආකාරය, ඒවා ආශ්‍රිතව අලුත් සංකල්ප හා ගැටළුවලට පිළියම් සොයන ආකාරය පිළිබඳ දරුවන්ට හිතන්න අවස්ථාව සලසා දිය හැකියි. ඒ අනුව දෙමාපියන් දරුවන් සමග කාලය ගත කළ යුතුයි. එදිනෙදා කටයුතුවලදී දරුවන්ට අලුතින් හිතන්න පුළුවන් වාතාවරණයක් සකස් කිරීම සිදු කළ හැකියි. තමන්ගේ දරුවාගේ වයසට අනුව අවශ්‍ය තොරතුරු ලබාදෙමින්, විශේෂයෙන් දරුවන්ට දැනෙන්න හරින්න අවශ්‍යයි ආදරය, කරුණාව, සෙනෙහස හා ඕනෑම දෙයකදී දරුවන් සමග දෙමාපියන් ඉන්නවා කියන හැඟීම. ඒ හරහා දරුවන් අතර තිබෙන ආතතිය අඩු කරගන්න පුළුවන්.

බයවෙන්න එපා – මේක හැමෝටම පොදු තත්ත්වයක්

මේ කාලය දරුවන්ගේ හොඳ ගුණාංග ඉගෙන ගන්න වටිනා කාලයක්. අනෙක් එක තමයි බයවෙන්න එපා පාසල් අධ්‍යාපනය අහිමිවීමෙන් දරුවන්ට ලොකු පාඩුවක් සිදුවෙනවා කියලා. මොකද ඔබේ දරුවාගේ සම වයසේ සිටින හැම දරුවෙකුටම මේ අවස්ථාවේදී යම් ආකාරයකට අධ්‍යාපනය අහිමි වෙනවා. එය රටේ දරුවන්ට වගේම ලෝකයේ අනෙක් දරුවන්ටත් පොදු තත්ත්වයක්. අවසානයේ දරුවෝ මේ මගහැරෙන දැනුම අල්ලාගනීවි. අපි හැමදාම මේ තත්ත්වයේ ඉන්න බලාපොරොත්තුවක් නැහැනේ. අපි කවදහරි යථා තත්ත්වයට පත් වේවි. එවිට මේ මගහැරුණු අධ්‍යාපනය දරුවො අල්ලාගනීවි. ඒ සඳහා දරුවන්ට සුවිශේෂී සහජ හැකියාවක් තිබෙනවා. අපි එයට ඉංග්‍රීසියෙන් කියන්නේ රෙසිලියන්ස් (resilience) කියලා. දරුවන් තුළ තිබෙන මේ හැකියාව ඔප්නංවන්න නම් දෙමාපියන් මේ කාල සීමාවේ තමන්ගේ දරුවන්ට ආදරය, කරුණාව, සෙනෙහස දැක්විය යුතුයි. දරුවොත් එක්ක තරහා ගන්නේ නැතිව, ඔවුන්ගේ හැසිරීම ධනාත්මකව පාලනය කිරීමයි සිදු කළ යුත්තේ.
Previous articleසාක්ෂි සම්පිණ්ඩනයක් 29දා – අහ්නාෆ් ජසීම්ට නීතිඥවරුන් මුණගැස්වීමේ නියෝගයක් !
Next articleනඩු නිමිත්තක් නැති විශාල පිරිසක් බන්ධනාගාරයේ – නාමල්ගේ යෝජනාවට ෆොන්සේකාගේත් සහාය !

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here