තත්ත්වය කනගාටුදායකයි : පොලිස් අත්අඩංගුවේදී මියයෑම් සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් අවශ්‍යයි – එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් !

ශ්‍රී ලංකාවේ පොලිස් අත්අඩංගුවේ දී පුද්ගලයන් මිය යෑම සම්බන්ධයෙන් සවිස්තරාත්මක, කඩිනම් හා ස්වාධීන පරීක්ෂණයක් පැවැත්විය යුතු බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ මහ කොමසාරිස් මිෂෙල් බැචලට් මහත්මිය පැවසුවාය.
ශ්‍රී ලංකාවේ අතුරුදන්වූවන්ගේ කාර්යාලයට සහ හානි පූර්ණය සඳහා වන කාර්යාලයට මෑතකදී කරන ලද පත්කිරීම් සහ අතීත අපරාධ පිළිබඳ විමර්ශන අධෛර්යමත් කිරීමට ගන්නා උත්සාහයන් මගින් වින්දිතයන්ගේ විශ්වාසය තවදුරටත් අඩපණ කරනු ඇතැයි ද ඇය කීවාය.
කොමසාරිස්වරිය මේ බව පැවසුවේ ඊයේ (21) ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී ය. ඒ, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ 47 වැනි සැසිවාරයේදී මානව හිමිකම් සම්බන්ධයෙන් සිය තත්ත්ව වාර්තා ඉදිරිපත් කරමිනි.
ශ්‍රී ලංකාවේ, මුස්ලිම්වරුන් තවදුරටත් ඉලක්ක කර ගත් රජයේ ක්‍රියාමාර්ග මෙන්ම යුද්ධයෙන් මියගිය පුද්ගලයන් සැමරීමේදී ඇති වූ සිද්ධීන් ද ඇතුළත්ව දෙමළ වැසියන්ට හිරිහැර කිරීම ගැන සැලකිලිමත් වන බව ද ඇය මෙහිදී සඳහන් කළාය. ත‍්‍රස්තවාදයට සහාය දෙන බවට චෝදනා ලැබ සිටින දෙමළ හා මුස්ලිම් කණ්ඩායම් සහ පුද්ගලයන් 300කට වැඩි පිරිසක් ලැයිස්තුගත කිරීම සහ / හෝ තහනම් කිරීම ඇතුළුව මෑත කාලීන ත‍්‍රස්ත මර්දන රෙගුලාසි මගින් සංහිඳියාව ඇති නොකරනු ඇති බව ද ඇය පෙන්වා දුන්නාය.
කොමසාරිස්වරිය වැඩිදුරටත් මෙසේ ද සඳහන් කළාය.

මානව හිමිකම්වල බරපතළ පසුබෑමක්

’15 වන සංවත්සරය නිමිත්තෙන් මෙම කවුන්සිලය ඇමතීම ගෞරවයකි. කනගාටුවට කරුණ නම්, මේ කාල වකවානුව මානව හිමිකම්වල බරපතළ පසුබෑමක් ඇති කාලයක් වීමයි.
අන්ත දුප්පත්කම, අසමානතා සහ අයුක්තිය ඉහළ යමින් පවතී. ප්‍රජාතන්ත්‍රවාදී හා සිවිල් අවකාශය හැකිළෙමින් පවතී. සංකීර්ණ කොවිඩ් 19 අර්බුදයෙන් මිදීමට සහ හරිත, තිරසර, ස්ථාවර අනාගතයක් කරා ගමන් කිරීම මෙම පරම්පරාවේ ලෝක නායකයන්ගේ කාර්යය වනු ඇත. නැතහොත් ඔවුන්ගේ කඩාවැටීම වනු ඇත.
අතුරුදන්වූවන්ගේ කාර්යාලයට සහ වන්දි ගෙවීමේ කාර්යාලයට මෑතකදී කරන ලද පත්කිරීම් සහ අතීත අපරාධ පිළිබඳ විමර්ශන අධෛර්යමත් කිරීමට ගන්නා පියවර වින්දිතයන්ගේ විශ්වාසය තවදුරටත් අඩපණ කරනු ඇතැයි මම සිතමි.
ත‍්‍රස්තවාදයට සහාය දෙන බවට චෝදනා ලැබ සිටින දෙමළ හා මුස්ලිම් කණ්ඩායම් සහ පුද්ගලයන් 300කට වැඩි පිරිසක් ලැයිස්තුගත කිරීම සහ / හෝ තහනම් කිරීම ඇතුළුව මෑත කාලීන ත‍්‍රස්ත මර්දන රෙගුලාසි ද සංහිඳියාව ඇති නොකරනු ඇත.
අන්තවාදය නැති කිරීම අරමුණ බව සඳහන් කරමින් නඩු විභාගයකින් තොරව වසර දෙකක් දක්වා අත්තනෝමතික පරිපාලනමය රඳවා තබා ගැනීමට නව රෙගුලාසි මගින් දැන් අවසර දී ඇත.
පොලිස් අත්අඩංගුවේ දී සහ අපරාධ කල්ලිවල යැයි කියනු ලබන පිරිස් සමග පොලිසිය ගැටීමෙන් දිගින්-දිගටම සිදුවන මරණ මාලාවක් ද පෙන්නුම් කරයි. මේ සම්බන්ධයෙන් සවිස්තරාත්මක, කඩිනම් හා ස්වාධීන පරීක්ෂණයක් පැවැත්විය යුතුයි.
අපි රජය සමඟ දිගටම කටයුතු කරන අතර, නව වගවීමේ මැන්ඩේටය ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ඇතුළුව සැප්තැම්බර් සැසිවාරයේදී මම මෙම සභාව තවදුරටත් යාවත්කාලීන කිරීමට බලාපොරොත්තු වෙනවා.’

වින්දිතයන්ට සාධාරණය ඉටු වී නෑ

ශ්‍රී ලංකාවේ යුද්ධය අවසන් වී වසර 12කට ආසන්න කාලයක් ගතවී ඇති නමුත්, එම සන්නද්ධ ගැටුමේ වින්දිතයන්ට සාධාරණය ඉටු කිරීමට සහ සංහිඳියාව ප්‍රවර්ධනය කිරීමට දේශීය ක්‍රියාමාර්ග ගැනීමට නැවත-නැවතත් අසමත් වී ඇති බව මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරිය ඉකුත් පෙබරවාරි 24 වැනිදා 46 වැනි සැසිවාරයේ දී කීවාය.
2015 දී එවකට ශ්‍රී ලංකා රජය මෙම ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් කැපවීම් සිදුකර තිබියදීත්, ඉන්පසු පත්වූ වත්මන් රජය යුක්තිය ඉටුකිරිම සඳහා වගවීමේ ක්‍රියාවලියක් අනුගමනය කිරීමට අසමත් වී ඇතැයි ඇය සඳහන් කළාය.
ඇය 46 වැනි සැසිවාරයේ දී මෙසේ ද කීවාය.
‘යුද්ධයෙන් දිවි ගලවාගත් දහස් ගණනක් වූ සියලු ජනකොටස්වල ජනතාවට එහි බලපෑම විනාශකාරී වූ අතර, පසුගිය වසර පුරා ඇති වූ කලබලකාරී ප්‍රවණතා මෙම වාර්තාව මගින් ඉස්මතු කර දක්වා තිබෙනවා. අතීත මානව හිමිකම් උල්ලංගනයන් සම්බන්ධයෙන් වගවීම ඉදිරියට ගෙනයෑමට නැවත-නැවතත් අපොහොසත් වීමෙන් සහ කවුන්සිලයේ 30/1 යෝජනාවට සහ ඊට අදාළ ක්‍රියාමාර්ග සඳහා වූ අනුග්‍රහය ඉවත් කර ගැනීමෙන්, වැරදිවලට දඬුවම් නොලැබීම අවසන් කිරීම සඳහා ජාතික ක්‍රියාවලියක් හරහා ප්‍රගතියක් ලබාගැනීම⁣ට ඇති හැකියාවට ශ්‍රී ලංකා රජය දොරටු වසා දමා තිබෙනවා.

ස්වාධීනත්වය ඛාදනයට

මීට පෙර සැලකිය යුතු ලෙස වර්ධනය වෙමින් පැවති සිවිල් සමාජයට සහ ස්වාධීන මාධ්‍ය සඳහා තිබූ නිදහස් අවකාශය දැන් වේගයෙන් නැතිවෙමින් තිබෙනවා.
මෑතකදී සම්මත වූ විසිවන ව්‍යවස්ථා සංශෝධනය මගින් අධිකරණයේ ස්වාධීනත්වය, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම, ජාතික පොලිස් කොමිසම සහ අනෙකුත් ප්‍රධාන ආයතන ගැඹුරින් ඛාදනයට ලක්ව තිබෙනවා. ප්‍රධාන සිවිල් කාර්යයන් මිලිටරිකරණය වීම ප්‍රජාතන්ත්‍රවාදී පාලනය ආක්‍රමණය කිරීමක්. දෙමළ හා මුස්ලිම් සුළුතරයන්වල වැසියන් ඉහළ රාජ්‍ය නිලධාරීන්ගේ සිටම කොන් කිරීම් සහ වෙනස් කොට සැලකීම්වලින් පීඩාවට පත්ව සිටිනවා.සියලුම පාර්ශ්ව සඳහා ජාත්‍යන්තර මට්ටමින් විවිධ ආකාරයේ වගවීමක් ඇති කිරීම සඳහා නව ක්‍රමයක් සොයාබලන ලෙස සභාවෙන් ඉල්ලා සිටිනවා. අනාගත වගවීමේ ක්‍රියාවලීන් සඳහා සාක්ෂි සහ තොරතුරු එක්රැස් කිරීම හා සංරක්ෂණය කිරීම සඳහා සහාය වීම ඇතුළුව වින්දිතයන් සඳහා සහනයක් සෙවීමටත් මීට අදාළ  අධිකරණ කටයුතු කවුන්සිලයේ සාමාජික රටවල සිදුකිරීම සඳහා සහාය ලබාදීමටත් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනවා.’

කරුණු 16ක යෝජනාව

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරයේ දී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් රටවල් 42ක් විසින් යෝජනාවක් ඉදිරිපත් කළ අතර, එම යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත විය. ඊ⁣ට පක්ෂව ඡන්ද 22ක් ද, විපක්ෂව ඡන්ද 11ක් ද හිමි වූ අතර, රටවල් 14ක් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියේය.
එම යෝජනාව පහත කරුණු 16 මුල්කරගනිමින් ඉදිරිපත් කෙරිණි.
1. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරිය විසින් 43 වැනි සැසිවාරයේදී මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් කරන ලද වාචික කරුණු ඉදිරිපත් කිරීම සහ 46 වැනි සැසිවාරයේදී සභාව වෙත ඉදිරිපත් කරන ලද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ වාර්තාව සාදරයෙන් පිළිගන්නවා.
2. මහ කොමසාරිස් කාර්යාලය සමඟ ශ්‍රී ලංකා රජය කටයුතු කිරීම සහ මානව හිමිකම් කවුන්සිලයේ විශේෂ ක්‍රියා පටිපාටිය සාදරයෙන් පිළිගන්නවා. එවැනි කටයුතුවල හා සංවාදවල අඛණ්ඩ පැවැත්ම ඉල්ලා සිටින අතර, කාර්යාලය විසින් කරනු ලබන නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙසත්, විශේෂ ක්‍රියා පටිපාටි මගින් කරනු ලබන නිර්දේශ පිළිබඳව නිසි සැලකිල්ලක් දක්වන ලෙසත් ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටිනවා.
3. අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය සහ වන්දි ගෙවීමේ කාර්යාලය ලබා ඇති ප්‍රගතිය පිළිගන්නා අතර, මෙම ආයතන සඳහා සහයෝගය පවත්වාගෙන යෑමේ වැදගත්කම අවධාරණය කරනවා, ඔවුන්ගේ ස්වාධීන හා ඵලදායී ක්‍රියාකාරිත්වය ආරක්ෂා කිරීම, කාර්යාල දෙකටම ඔවුන්ගේ බලතල ඵලදායී ලෙස ඉටු කිරීම සඳහා ප්‍රමාණවත් සම්පත් හා තාක්ෂණික ක්‍රම ලබාදීම, පීඩාවට පත් අවදානමට ලක් වූ පවුල් සඳහා ස්ත්‍රී-පුරුෂ සමාජභාවය කෙරෙහි අවධානය යොමුකර, අතුරු සහන පියවර ඉදිරියට ගෙනයෑම සහ බලහත්කාරයෙන් අතුරුදන් කිරීමේ සිද්ධි, අතුරුදන්වූවන්ගේ පවුල්වලට තම ආදරණීයයන්ගේ ඉරණම සහ ඔවුන් සිටින ස්ථානය දැනගැනීමට හැකිවන පරිදි විසඳීම.
4. ශ්‍රී ලංකාවේදී එල්ටීටීඊය විසින් සිදුකරන ලද අපරාධ ද ඇතුළුව සියලු පාර්ශ්ව විසින් ශ්‍රී ලංකාව තුළ සිදු කරන ලද සියලුම මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් මහ කොමසාරිස් කාර්යාලයේ සවිස්තර වාර්තාවෙන් අවධාරණය කර ඇති ආකාරය⁣ට පුළුල් වගවීමේ ක්‍රියාවලියක වැදගත්කම අවධාරණය කරයි.
5. දේශීය විමර්ශන කොමිෂන් සභාවට ස්වාධීනත්වයක් නොමැති බවත්, එහි බලය වන්නේ පෙර කොමිෂන් සභා සහ කමිටු පිළිබඳ වාර්තා සමාලෝචනය කිරීම බවත් අතීත මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හෝ ජාත්‍යන්තර මානුෂීය නීතිය බරපතළ ලෙස උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වගවීම සඳහා බලයක් නොමැති බවත් 2021 ජනවාරි 22 වැනිදා නිවේදනය කළ අතර, දේශීය යන්ත්‍රණවල වගවීම පිළිබඳ නිරන්තර අඩුපාඩුවක් එහිදී සටහන් කරයි.
6. ශ්‍රී ලංකාව තුළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ ඒ ආශ්‍රිත අපරාධ සම්බන්ධ සාක්ෂි වගවීම ඉදිරියට ගෙන යෑමේ අරමුණින් සංරක්ෂණය හා විශ්ලේෂණය කිරීමේ වැදගත්කම හඳුනාගත යුතු අතර, මහ කොමසාරිස් කාර්යාලයේ තොරතුරු එකතු කිරීමේ හැකියාව, තොරතුරු සහ සාක්ෂි ඒකාබද්ධ කිරීම, විශ්ලේෂණය කිරීම සහ ආරක්ෂා කිරීම ශක්තිමත් කිරීමට තීරණය කරයි. ශ්‍රී ලංකාවේ දළ වශයෙන් මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හෝ ජාත්‍යන්තර මානුෂීය නීතිය උල්ලංඝනය කිරීම, වින්දිතයන් සහ දිවි ගලවා ගත් අය වෙනුවෙන් පෙනී සිටීම, නිසි අධිකරණ බලය සහිත සාමාජික රටවල් ඇතුළුව අදාළ අධිකරණ හා වෙනත් කටයුතුවලට සහාය වීම සඳහා අනාගත වගවීමේ ක්‍රියාවලීන් සඳහා හැකි උපාය මාර්ග සංවර්ධනය කිරීම.
7. පසුගිය වසර තුළ මතුවෙමින් පවතින ප්‍රවණතා පිළිබඳව බරපතළ කනස්සල්ල පළකරන අතර, රජයේ සිවිල් ක්‍රියාකාරකම් වේගයෙන් මිලිටරිකරණය කිරීම; මානව හිමිකම් ප්‍රවර්ධනය හා ආරක්ෂා කිරීම සඳහා වගකිවයුතු අධිකරණයේ සහ ප්‍රධාන ආයතනවල ස්වාධීනත්වය අඩාල වීම; වැදගත් නඩුවලදී අපරාධ සහ මානව හිමිකම් උල්ලංඝනවලට දඬුවම් නොලැබීම සහ එම අපරාධ සඳහා වගවීමට දේශපාලන බාධා ඇති වීම; ආගමේ හෝ විශ්වාසයේ නිදහසට ඇති අයිතියට අහිතකර ලෙස බලපාන ප්‍රතිපත්ති; දෙමළ හා මුස්ලිම් ප්‍රජාවන්ට අයත් පුද්ගලයන් කොන්කිරීම් ඉහළ යෑම; සිවිල් සමාජ ක්‍රියාකාරීන් නිරීක්ෂණය කිරීම හා බිය ගැන්වීම; ජනමාධ්‍ය නිදහස සීමා කිරීම සහ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය අවහිර කිරීම; ස්මාරක විනාශ කිරීම ඇතුළුව යුද්ධයට ගොදුරුවූවන් ප්‍රසිද්ධියේ අනුස්මරණය කිරීම සඳහා වූ සීමා ඇති කිරීම; අත්තනෝමතික ලෙස රඳවාගැනීම;  වධහිංසා පැමිණවීම සහ වෙනත් කුරිරු, අමානුෂික පහත් සැලකීම් හෝ දඬුවම් සහ ලිංගික හා ස්ත්‍රී-පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනය ඇතුළුව ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිරිහෙන තත්ත්වයක් පිළිබඳ පැහැදිලි පූර්ව අනතුරු ඇඟවීමේ සලකුණු පෙන්වයි. මෙම ප්‍රවණතා මෑත වසරවල ලබාගෙන ඇති සීමිත නමුත් වැදගත් වාසි ආපසු හැරවීමට තර්ජන එල්ල කරන අතර, අතීතයේ බරපතළ උල්ලංඝනයන්ට තුඩු දුන් ප්‍රතිපත්ති හා භාවිතයන් නැවත ඇතිවීමේ අවදානමක් තිබේ.
8. කොරෝනා වසංගතයට ප්‍රතිචාර දැක්වීම ආගමේ හෝ විශ්වාසයේ නිදහසට බලපෑමක් ඇති කර ති‌බෙන අතර, මුස්ලිම් ප්‍රජාවට එරෙහිව පවතින අන්තවාදී සහ වෙනස් කොට සැලකීම උග්‍ර කර ඇත. කොවිඩ්-19 ආසාදිතව මියගිය අය ආදාහනය කිරීම නිසා මුස්ලිම්වරුන්ට සහ වෙනත් ආගම්වල සාමාජිකයන්ට  අවසන් කටයුතු සම්බන්ධයෙන් ආගමික වත්පිළිවෙත් අනුගමනය කිරීම අවහිර කර ඇති අතර, ආගමික සුළුතරයට අසමාන ලෙස බලපා ඇත. එමගින් ඔවුන් පීඩාවට පත්ව ඇති අතර, ඔවුන්ගේ ආතතීන් උත්සන්න කර ඇත.
9. කඩිනම්, සවිස්තරාත්මක හා අපක්ෂපාතී පරීක්ෂණයක් සහතික කරන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටින අතර, මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හා ජාත්‍යන්තර මානුෂීය නීතිය බරපතළ ලෙස උල්ලංඝනය කිරීම්වලට සම්බන්ධ යැයි කියනු ලබන සියලු අපරාධවලට එරෙහිව නඩු පවරන ලෙස ඉල්ලා සිටී.
10. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය සහ වන්දි ගෙවීමේ කාර්යාලය ස්ථාපිත කර ඇති පරිදි ඔවුන්ගේ බලය ලබාදෙන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටී.
11. මානව හිමිකම් ආරක්ෂා කරන්නන් ඇතුළු සිවිල් සමාජ ක්‍රියාකාරීන් ආරක්ෂා කරන ලෙසත්, ඕනෑම ප්‍රහාරයක් විමර්ශනය කරන ලෙසත්, සිවිල් සමාජයට බාධාකිරීම්, සෝදිසි කිරීම්, අනාරක්ෂිතභාවයන් සහ පළිගැනීමේ තර්ජනයෙන් තොරව ක්‍රියාත්මක විය හැකි ආරක්ෂිත හා සක්‍රීය පරිසරයක් සහතික කරන ලෙසත් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටී.
12. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සමාලෝචනය කරන ලෙසත්, ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීම පිළිබඳ ඕනෑම ව්‍යවස්ථාවක් රජයේ ජාත්‍යන්තර මානව හිමිකම් සහ මානුෂීය නීති බැඳීම්වලට අනුකූල වන බවට සහතික කරන ලෙසත් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටී.
13. සියලුම ආගමික ප්‍රජාවලට ඔවුන්ගේ ආගම ප්‍රකාශ කිරීමේ හැකියාව ප්‍රවර්ධනය කිරීමෙන් ආගමට හෝ විශ්වාසයට හා බහුවිධතාවට නිදහස ලබාදෙන ලෙසත්, විවෘතව හා සමාජයට සමාන පදනමක් මත දායක වන ලෙසත් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටී.
14. ඔවුන්ගේ ඉල්ලීම්වලට විධිමත් ලෙස ප්‍රතිචාර දැක්වීම ඇතුළුව මානව හිමිකම් කවුන්සිලයේ විශේෂ ක්‍රියා පටිපාටි සමඟ අඛණ්ඩව සහයෝගයෙන් කටයුතු කිරීමට ශ්‍රී ලංකා රජය දිරිමත් කිරීමට අපේක්ෂා කරයි.
15. ඉහත සඳහන් පියවර ක්‍රියාවට නැංවීම සඳහා ශ්‍රී ලංකා රජයේ එකඟතාව, උපදේශනය සහ උපදෙස් හා තාක්ෂණික සහාය ලබාදීමට මහ කොමසාරිස් කාර්යාලය සහ අදාළ විශේෂ ක්‍රියා පටිපාටි දරන්නන් දිරිමත් කළ යුතුයි.
16. සංහිඳියාව හා වගවීමේ ප්‍රගතිය ඇතුළුව ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳ එහි අධීක්ෂණය සහ වාර්තාකරණය වැඩි දියුණු කරන ලෙසත්, මානව හිමිකම් කවුන්සිලයේ 48 වැනි සැසියේදී වාචික යාවත්කාලීන කිරීමක් ඉදිරිපත් කරන ලෙසත් මහ කොමසාරිස් කාර්යාලයෙන් ඉල්ලා සිටී. එහි 49 වැනි සැසියේදී ලිඛිත යාවත්කාලීන කිරීමක් සහ එහි 51 වැනි සැසියේදී වගවීම ඉදිරියට ගෙනයෑම සඳහා තවත් විකල්ප ඇතුළත් පුළුල් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත් ඉල්ලා සිටින අතර, එම වාර්තා දෙකම සංවාදයක් තුළ සාකච්ඡා කළ යුතුය.’
Previous articleඑක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස ඉගෙනුම් ශූරයන් – ආසියාවේ එකම ජයග්‍රාහකයා සුපුන් ළහිරු ප්‍රකාශ් !
Next articleසාක්ෂි සම්පිණ්ඩනයක් 29දා – අහ්නාෆ් ජසීම්ට නීතිඥවරුන් මුණගැස්වීමේ නියෝගයක් !

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here