එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස ඉගෙනුම් ශූරයන් – ආසියාවේ එකම ජයග්‍රාහකයා සුපුන් ළහිරු ප්‍රකාශ් !

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පුහුණු හා පර්යේෂණ ආයතනය මගින් 2020 එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස : ඉගෙනුම් ශූරයන් (2020 UN CC:Learn Champions) දස දෙනාගෙන් අයෙකු ලෙස ශ්‍රී ලංකාවේ පරිසර ක්‍රියාකාරිකයෙකු වන සුපුන් ළහිරු ප්‍රකාශ් තෝරා පත්කර ඇත. එම දස දෙනා අතරින් ආසියානු රටකින් එසේ තේරී පත්වූ එකම ජයග්‍රාහකයා වන්නේද ඔහු ය.

සහතිකපත්ලාභීන් ලක්ෂයක්

එක්සත් ජාතීන්ගේ පුහුණු හා පර්යේෂණ ආයතනය (UNITAR) මගින් දේශගුණික විපර්යාස පිළිබඳ මාර්ගගත (online) ඉගෙනීමේ වේදිකාවක් ‘UN CC: e-Learn’ නමින් සකස් කර ඇත. 2020 වසරේදී UN CC: e-Learn පාඨමාලා සම්පූර්ණ කරන ලද සහතිකපත්ලාභීන් සංඛ්‍යාව 100,000 සීමාවට ළඟා විය. එය ලොව පුරා දේශගුණික සාක්ෂරතාව වැඩි දියුණු කිරීමේ ඔවුන්ගේ මෙහෙවරේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස හැඳින්වේ. එම ජයග්‍රහණය සැමරීම සඳහා ඔවුන් UN CC: Learn 100k Challenge නමින් වැඩසටහනක් සකස් කළේය. දේශගුණික ක්‍රියාකාරකම් අවම කිරීම සඳහා දායක වූ ආකාරය සහ ඊට UN CC: e-Learn පාඨමාලා ඉවහල් වූ ආකාරය දැක්වෙන තමන්ගේ ජීවන අත්දැකීම එක්සත් ජාතීන්ගේ පුහුණු හා පර්යේෂණ ආයතනය සමග බෙදාගන්නා ලෙස ඔවුන් තම සහතිකපත්‍රලාභී ආදි ශිෂ්‍යයන්ගෙන් ඉල්ලා සිටියේය. ඒ සඳහා ලොව පුරා රටවල් 87කින් දේශගුණ ක්‍රියාකාරීන් සිය ගණනක් තම කතා ඉදිරිපත් කර තිබිණි. ඒ අතරින් හොඳම කතා 10 තෝරා, ඔවුන් 2020 දේශගුණ විපර්යාස : ඉගෙනුම් ශූරයන් (2020 UN CC:Learn Champions) ලෙස අභිෂේක කිරීමට එක්සත් ජාතීන්ගේ පුහුණු හා පර්යේෂණ ආයතනය කටයුතු කළේය. ශ්‍රී ලංකාවේ පරිසර ක්‍රියාකාරිකයෙකු වන සුපුන් ළහිරු ප්‍රකාශ් ද එම පිරිස අතරට තෝරා පත්කර ඇත.

අනෙකුත් ජයග්‍රාහකයන්

Andrea Monroy-Licht – කොලොම්බියාව
Moussé Sane – සෙනගාලය
Aikaterina Lengou – ග්‍රීසිය
Maurici Tadeu Ferreira Santos – බ්‍රසීලය
Asha Alexander – එක්සත් අරාබි එමීර් රාජ්‍ය
Hassan Mowlid Yasin – සෝමාලියාව
Karel Liseth Miranda Mendoza – පැනමාව
Jean Baptiste Katako Kayambi – අප්‍රිකාව
Camile Clarke – ජැමෙයිකාව

2005 සිට ඇරඹූ ගමන

සුපුන් ළහිරු ප්‍රකාශ්, 2017 වසරේදී ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයෙන් කෘෂි ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ ව්‍යාපාර පරිපාලනවේදී බාහිර උපාධිය ලබා ගත් අතර, 2019 වසරේදී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් පිරිනමන වන විද්‍යාව හා පාරිසරික කළමනාකරණය පිළිබඳ විද්‍යාපති උපාධිය ලබා ගත්තේය. 2010 වසරේදී කෘෂිකර්මය පිළිබඳ උසස් ජාතික තාක්ෂණවේදී ඩිප්ලෝමාව ඔහු හිමිකරගෙන ඇත. 2005 වසරේ සිට ස්වේච්ඡා පරිසර ක්‍රියාකාරිකයෙකු සහ නිදහස් මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කරමින් සිටින ඔහුගේ පරිසර වාර්තා සහ ක්‍රියාකාරකම් මීට පෙර අවස්ථා කිහිපයකදීම ජාතික වශයෙන් පිළිගැනීමට ලක්විය. ඔහු 2013 වසරේ සිට මේ දක්වා ශ්‍රී ලංකා ජෛවවිවිධත්ව සංරක්ෂණ හා පර්යේෂණ කවයේ කැඳවුම්කරු වශයෙන් කටයුතු කරන අතර, 2012 වසරේ සිට මේ දක්වා මුතුරාජවෙල හා මීගමු කලපු සංවර්ධන පදනමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකි.

පර්යේෂණ ප්‍රමුඛතා

ඔහුගේ පර්යේෂණ ප්‍රමුඛතා වන්නේ වනජීවී සංරක්ෂණය සහ කළමනාකරණය, සොබාදහම පදනම් කරගත් සංචාරක කර්මාන්තය සහ දුම්කොළ නිවාරණයයි. පරිසර සහ දේශගුණික ක්‍රියාකාරකම් හැරුණු විට, අක්‍රීය දුම්පානයෙන් ජනතාව බේරාගැනීම සඳහා මෙවලමක් ලෙස දිවයිනේ ‘දුම්කොළ නිවාරණ ගම්මාන’ පිහිටුවීමේ ක්‍රියාවලිය පහසු කිරීම සඳහා පියවර දහයේ ක්‍රියාවලිය හඳුන්වාදීමට ඔහු මූලිකත්වය ගෙන ක්‍රියා කර ඇත. ශ්‍රී ලංකාවේ සහ ආසියාවේ පාරිසරික සංචාරක කර්මාන්තය, ශ්‍රී ලංකාවේ අලි – මිනිස් ගැටුම් හා දුම්කොළ නිවාරණය පිළිබඳ ඔහු ඉදිරිපත් කර ඇති පර්යේෂණ පත්‍රිකා ප්‍රකට විද්‍යා සඟරාවල පළවී ඇත. ඔහුගේ නවතම විද්‍යාත්මක පර්යේෂණ මැදිහත්වීම වන්නේ ශ්‍රී ලංකාවේ වන අලි නීතිවිරෝධී ලෙස අල්ලා ගැනීම සහ අභ්‍යන්තර වෙළෙඳාම පිළිබඳ අධ්‍යයනය කිරීමයි.

දේශගුණික විපර්යාස පිළිබඳ අවධානය

පාරිසරික ක්‍රියාකාරිකයෙකු හා මාධ්‍යවේදියෙකු වශයෙන් සුපුන්ගේ ප්‍රධාන අවධානය යොමු වූයේ වනාන්තර විනාශය, වනජීවී ජාවාරම, පරිසර දුෂණය වැනි පොදු දේශීය පාරිසරික ගැටළු කෙරෙහි ය. 2013 වසරේදී ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින් පවත්වන ලද දේශගුණික විපර්යාස පිළිබඳ පුහුණු වැඩසටහනකට සහභාගි වීමට ඔහුට අවස්ථාව ලැබිණි. එය මෙම ගෝලීය අර්බුදය පිළිබඳ ඔහුගේ උද්යෝගය වැඩි කිරීමට සමත් විය. ඉන්පසුව, ඔහු එක්සත් ජාතීන්ගේ UN CC: e-Learn වැඩසටහන හරහා දේශගුණික විපර්යාස පිළිබඳ මූලික මාර්ගගත පාඨමාලාව හැදෑරූ අතර, එය දේශගුණික විපර්යාස පිළිබඳ ඔහුගේ චින්තනයේ සුවිශාල වෙනසක් ඇති කිරීමට හේතු විය.

මාධ්‍ය වගකීම සහ ප්‍රතිපත්ති

දේශගුණික විපර්යාස පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සඳහා මාධ්‍යවේදීන්ට විශාල වගකීමක් පැවරී ඇති බව සුපුන් දැඩිව විශ්වාස කරයි. දේශගුණික විපර්යාස පිළිබඳව ජනතාව දැනුවත් කිරීම, රටක් ලෙස අප දේශගුණ විපර්යාස පාලනය සඳහා ලෝකයට පොරොන්දු වී ඇති දේශීයව නිර්ණය කරන ලද අපේක්ෂිත දායකත්ව (Nationally Determined Contributions – NDC) අභියෝගයට ලක්වන ආකාරයේ රජයන්ගේ ප්‍රතිපත්තිමය තීරණ හෙළිදරව් කිරීම සහ දේශගුණික විපර්යාස මුළු මහත් ලෝකයම මුහුණ දෙමින් සිටින වඩාත් තීරණාත්මකම වර්තමාන සහ අනාගත අභියෝගය බව සාමාන්‍ය ජනතාවට ඒත්තු ගැන්වීම සඳහා ඔවුන් හැකි සෑමදෙයක් ම කළ යුතුව ඇත.
කුඩා නිවර්තන කලාපීය දූපත් රාජ්‍යයක් ලෙස සහ දේශගුණික අවදානම් දර්ශකයේ ඉහළ ස්ථානයක සිටින රටක් ලෙස ශ්‍රී ලංකාව දේශගුණික විපර්යාසයන්ගේ අහිතකර බලපෑම්වලට නිරන්තරයෙන් ගොදුරු වෙමින් පවතී. දේශගුණික විපර්යාස අවම කිරීම, අනුවර්තනය වීම සහ අලාභ හා හානි පූර්ණය පිළිබඳව පොදු ජනතාවට හොඳ දැනුමක් නැත. දේශීයව නිර්ණය කරන ලද අපේක්ෂිත දායකත්ව වැනි වඩාත් තාක්ෂණික කරුණු ගැන කිසිසේත්ම අදහසක් නොමැති බව පැහැදිලි ය. ශ්‍රී ලංකාවේ ජනතාව මේ පිළිබඳව දැන සිටින්නේ නම්, දේශගුණික විපර්යාසයන්ගේ අහිතකර බලපෑම්වලින් තමන් බේරාගැනීම සඳහා අත්‍යවශ්‍ය ප්‍රතිපත්තිමය වෙනස්කම් සහ තීරණ ඉල්ලා අරගල කරනු නොඅනුමාන ය.

දේශගුණික සාක්ෂරතාව

දේශීය පාරිසරික ගැටළු සහ දේශගුණික විපර්යාසය ආශ්‍රිත තොරතුරු වාර්තා කරන අතර, ශ්‍රී ලංකාවේ දේශගුණික සාක්ෂරතාව ඉහළ නැංවීම සඳහා භාෂාව බාධාවක් බව සුපුන් තේරුම් ගත්තේය. දේශගුණික විපර්යාස පිළිබඳව දැනගැනීමට සිංහල භාෂාවෙන් සන්නිවේදනය කරන පොදු ජනතාවට ඇත්තේ ඉතා සීමිත අවස්ථා ය. දේශගුණික දැනුම බොහෝදුරට ඉංග්‍රීසි භාෂාවෙන් ප්‍රකාශයට පත් වන අතර, සිංහල භාෂාවෙන් විශ්වාසදායක හා යාවත්කාලීන දේශගුණික තොරතුරු නොමැති වීම හෝ සීමිත ප්‍රවේශයක් තිබීම ගැටළුවකි. එම නිසා ඔහු 2016 දී ඉරුදින පුවත්පත සඳහා ‘දේශගුණ කතාව’ නමින් තීරු ලිපියක් ලිවීම ආරම්භ කළේය. පසුව එය බ්ලොග් අඩවියක් බවට පරිවර්තනය කරන ලද අතර, දැනට වාර 5,000කට වඩා එය පරිශීලනය කර තිබේ.
(http://climatetalksrilanka.blogspot.com/) සිංහල භාෂාවෙන් ප්‍රකාශයට පත්කරන ලද ශ්‍රී ලංකාවේ ජාතික පුවත්පතක් වන රැස පුවත්පත සඳහා ඔහු ලියූ ‘අභයභූමියේ සිට ලියමි’ තීරු ලිපියේදී ද දේශගුණික විපර්යාස සම්බන්ධ කරුණුවලට ප්‍රමුඛස්ථානයක් ලැබිණි.

ඩෙංගු – දේශගුණික විපර්යාස පිළිබඳ සාක්ෂියක්

දේශගුණික විපර්යාස පිළිබඳව විවිධ කණ්ඩායම් දැනුවත් කිරීමේ වැඩසටහන්වලට ද විවිධ අවස්ථාවල ඔහු දායක වී ඇති අතර, ළමා, තරුණ සහ වැඩිහිටි කණ්ඩායම් ඒවාට සහභාගි වී ඇත. ඔහුගේ ලේඛන සහ දේශන දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් පියවර ගැනීමට අන් අය තුළ යම්කිසි පෙළඹවීමක් ඇති කරන්නට හේතුවන්නට ඇතැයි ඔහු විශ්වාස කරයි. ඔහුගේ වන විද්‍යාව හා පාරිසරික කළමනාකරණය පිළිබඳව විද්‍යාපති උපාධියේ පර්යේෂණ නිබන්ධනය ද දේශගුණික විපර්යාස සමඟ සම්බන්ධ වූ අතර, ඒ සඳහා ගුරු-හරුකම් ලබාදුන්නේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය හේමන්ති රණසිංහ මහත්මියයි. එහි දී ශ්‍රී ලංකාවේ දේශගුණික විපර්යාසය පිළිබඳ සාක්ෂියක් ලෙස ඩෙංගු රෝගීන් වාර්තා වීම යොදාගැනීමට ඇති හැකියාව පිළිබඳව සුපුන් අධ්‍යයනය කළේය. දේශගුණික විපර්යාස කෙරෙහි ඔහුගේ නොනිමි අවධානය යොමු කළ එක් ප්‍රධාන බලවේගයක් වූයේ UN CC: e-Learn වේදිකාව ය. පෙරටත් වඩා වැඩි දියුණු කරන ලද විවිධ පාඨමාලා රැසක් නොමිලේ හැදෑරීමට දැන් UN CC: e-Learn වැඩසටහන හරහා හැකියාව ලැබී තිබේ. එබැවින් එමගින් දේශගුණ විපර්යාසය පිළිබඳ තම දැනුම අවබෝධය වැඩිදියුණු කරගන්නා ලෙස සුපුන් ශ්‍රී ලාංකීය ජනතාවගෙන් ඉල්ලා සිටී.

ගමනේ සන්ධිස්ථාන

මෙම සාර්ථකත්වය අත්කර ගැනීම සඳහා ඔහුට සහාය දුන් පාර්ශ්ව ද විශේෂයෙන් සිහිපත් කිරීමට සුපුන් අමතක නොකරයි. දේශගුණ විපර්යාස පිළිබඳව මුලින්ම ඔහුගේ උනන්දුව ඇති කළේ ප්‍රකට දේශගුණ ක්‍රියාකාරිකයෙකු වන රංග එල්ලාවල මහතා ය. ඔහුට ඉරුදින පුවත්පතේ දේශගුණ විපර්යාසය පිළිබඳ තීරු ලිපිය ලිවීමට ඉඩ සලසා දුන්නේ හිතවත් මාධ්‍යවේදී ශාලික විමලසේන ය. එසේ ඔහු ලියූ ලිපි සියල්ලම පාහේ ස්වකැමැත්තෙන් පරීක්ෂා කර බලා ගුරු-හරුකම් ලබාදීමට තම අතිශය කාර්යබහුල දින චර්යාවෙන් වේලාවක් වෙන්කර දෙමින් දේශගුණික විපර්යාසයන්ට අනුහුරු වීම පිළිබඳ ජාතික විශේෂඥ කමිටුවේ සභාපති සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා දැක්වූ සුවිශේෂී දායකත්වයට ද සුපුන් තම හිස නමා ආචාර කරයි. ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ජයසිරි ජයසේකර මහතා රැස පුවත්පතට ‘අභයභූමියේ සිට ලියමි’ තීරුව ලියන්නට ඔහු උනන්දු කළේය. ජ්‍යෙෂ්ඨ පරිසර ක්‍රියාකාරී හේමන්ත විතානගේ මහතා පරිසර යුක්ති කේන්ද්‍රය මගින් ‘ශ්‍රී ලංකාව සඳහා සිවිල් සමාජ දේශගුණික ක්‍රියාකාරී සැලැස්ම’ සකස් කිරීම සඳහා පත්කළ ක්‍රියාකාරී කමිටුවේ සාමාජිකයෙකු ලෙස තමන් පත්කිරීම පිළිබඳව සුපුන් සිහිපත් කරන්නේ ස්තූති පූර්වකව ය. එසේම ප්‍රිය බිරිඳ චේතිකා පෙරේරා සහ මව්පියන්, සහෝදර-සහෝදරියන් සහ නෑදෑ හිත-මිතුරන් තමන්ට ලබාදෙන සහයෝගය ද ඔහු නිබඳවම සිහිපත් කරයි.
තරගය පිළිබඳ විස්තර:  https://www.uncclearn.org/2020-un-cclearn-champion-climate-stories/
සුපුන් ළහිරු ප්‍රකාශ් (ජයග්‍රාහක):  https://www.uncclearn.org/stories/communicating-on-climate-change-in-local-language-in-sri-lanka/
Previous articleමාස 14ක් පමාවී පාස්කු චෝදනාපත්‍ර එයි ; දේශබන්දුත් ඒ අතර?
Next articleතත්ත්වය කනගාටුදායකයි : පොලිස් අත්අඩංගුවේදී මියයෑම් සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් අවශ්‍යයි – එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් !

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here