ඇප දීම ප්‍රතික්ෂේප කිරීම නිදහස අහිමි කිරීමක් : ශානි සාක්ෂිකරුවන් බිය ගැන්වූ බවට තොරතුරු නෑ – අභියාචනාධිකරණයේ තීරණාත්මක තීන්දුව මෙන්න !

2014 වසරේදී සිදුවීයැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණිලි ලැබී ඇත්තේ 2020 ජුනි මාසයේදී බවත්, සාධාරණ හේතුවක් නැතුව මෙතරම් කාලයක් පැමිණිල්ල ප්‍රමාධ වීමෙන් පෙනෙන්නේ මෙය පසුව ආ සිතුවිල්ලක් මත ශානි අබේසේකරට එරෙහිව නිර්මාණය කරන ලද චෝදනාවක් බවත්, ශානි අබේසේකර මහතාට ඇප ලබා දීමෙන් සාක්කිකරුවන්ට බලපෑම් කිරීමට හැකි බවට කිසිම සාක්කියක් ඉදිරිපත් වී නැති බවත් ඔහුට ඇප නියම කරමින් ඊයේ (16) අභියාචනාධිකරණය ලබා දුන් නියෝගයේ සඳහන් වෙයි.
මාස දහයකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර ඇප මත මුදා හැරීමට අභියාචනාධිකරණය ඊයේ (16) නියෝග කළේය.  පහත පළවන්නේ එම සම්පූර්ණ තීන්දුවේ සරල සිංහල පරිවර්ථනයකි. තීන්දුව ලබා දුන්නේ නිශ්ශංඛ බන්දුල කරුණාරත්න සහ ආර් ගුරුසිංහ යන අභියාචනාධිකරණ විනිසුරුවරුන් විසිනි. සම්පූර්ණ නඩු තීන්දුවේ ඉංග්‍රීසි පිටපත මෙම ලිපියට පහළින් ඇත.
‘මෙය 2020.12.09 දිනැති ගම්පහ උගත් මහාධිකරණ විනිසුරුගේ නියෝගයට එරෙහිව ප්‍රතිශෝධනය සඳහා ඉදිරිපත් කරන ලද අයදුම්පතකි.
පෙත්සම්කරු – පෙත්සම්කරු (මෙහි පසුව පෙත්සම්කරු ලෙස හැඳින්වෙන) වන්නේ ශ්‍රී ලංකා පොලිසියේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකුව සිට 2020.01.07 දින සිට ක්‍රියාත්මක වන පරිදි වැඩ තහනම් කරනු ලැබ සිටින ශානි අබේසේකර නම් මෙම නඩුවේ සැකකාර වගඋත්තරකරුගේ (මින් පසු සැකකරු ලෙස හැඳින්වෙන) බිරිඳයි.
ශානි ආවේ කොහෙන්ද?
සැකකරු ශානි අබේසේකර 1986.02.10 දින උප පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස ශ්‍රී ලංකා පොලිසියට බැඳී ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එවකට නියෝජ්‍ය පොලිස්පතිගේ විශේෂ ඉල්ලීමට අනුව ඔහු එම දෙපාර්තමේන්තුවට පත්කිරීමට පෙර, පොලිස් සේවයේ වසර 34ක සේවා කාලය තුළ ජනාධිපති ආරක්ෂක අංශයේ, පොලිස් විශේෂ කාර්ය බලකායේ, ප්‍රභූ ආරක්ෂක අංශයේ විවිධ තනතුරුවල සේවය කර ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධුරයට පත්වූ ඔහු 2019 ජනාධිපතිවරණයෙන් පසුව, 2019.11.21 දින ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පුද්ගලික සහකාර ලෙස ස්ථාන මාරු කරන ලදි.
පෙත්සම්කරු සඳහන් කරන්නේ, 2020.01.07 දින ඔහු පොලිස් සේවයෙන් ඉවත් කළ බවයි. වසර 34කට වැඩි කාලයක සිය වෘත්තීය ජීවිතය තුළ, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග 1999දී ඝාතනය කිරීමට තැත් කිරීම ඇතුළු ඉහළ පෙළේ සිද්ධි ගණනාවක් විමර්ශනය කිරීමට සැකකරු ශානි අබේසේකර ක්‍රියාකාරීව සම්බන්ධ විය; 2001 දී කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට එල්ල කළ එල්ටීටීඊ ප්‍රහාරය; 2005 දී රෝයල් පාර්ක්හිදී ඉවෝන් ජොන්සන් ඝාතනය කිරීම; 2008 – 2009 දී නාවික බුද්ධි අංශ විසින් තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම; 2009 දී අඟුලාන ද්විත්ව ඝාතනය; 2010 දී මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම ඒ අතර ප්‍රධාන වේ. තවද, පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම අගය කරමින් සැකකරුට ජාත්‍යන්තර පොලිසියේ (ඉන්ටර්පෝල්) ලේකම් විසින් ප්‍රශංසා සහතිකයක් ප්‍රදානය කරන ලදි. සැකකරු මිනීමැරුම් නඩු 20කට අධික සංඛ්‍යාවක් ඇතුළුව නඩු 100කට අධික සංඛ්‍යාවක නඩු පැවරීමට අදාළ ප්‍රධාන සාක්ෂිකරු වී ඇති බව සැලකිල්ලට ගැනීම ද වැදගත් ය.
සිදු වූයේ කුමක්ද?
අත්අඩංගුවට ගත් පසු සැකකරු බී / 1536/20 නඩුවට අදාළව ගම්පහ උගත් මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කරන ලදි. ඇප ලබාගැනීම සඳහා දෙපාර්ශ්වයම ඉදිරිපත් කළ කරුණු අනුව උගත් මහේස්ත්‍රාත්වරයා විසින් 2020.08.07 දින නියෝගය සඳහා නඩුව කැඳවීමට නියම කරන ලදි. එම නියෝගය මත සැකකරු රිමාන්ඩ් කරනු ලැබූ අතර, ඔහුට ඇප ඉල්ලීම නිෂ්ප්‍රභ කෙරිණි.
පෙත්සම්කරු පසුව සැකකරු වෙනුවෙන් අංක 339/20 දරන ඇප අයදුම්පත ගම්පහ මහාධිකරණයට ඉදිරිපත් කළේය. මෙම ප්‍රතිශෝධන අයදුම්පත 2020.12.19 දිනැතිව ඇප ප්‍රතික්ෂේප කරන ලද ගම්පහ උගත් මහාධිකරණ විනිසුරුවරයාගේ තීන්දුව සලකා බැලීම සඳහා ය.
ඇප ඉල්ලීමට හේතු
පෙත්සම්කරු, පළමු වැනි වගඋත්තරකරු ලෙස කොළඹ අපරාධ කොට්ඨාසයේ ඒකක 01හි ස්ථානාධිපතිවරයාත්, දෙවැනි වගඋත්තරකරු ලෙස නීතිපතිවරයාත් නම් කරනු ලැබ තිබේ.
පෙත්සම්කරු සඳහන් කරන්නේ පහත සඳහන් හේතු මත සැකකරු ඇප මත මුදා හැරීමට අයිතිය ඇති බවයි.
(අ) කිසියම් චෝදනාවක් සනාථ කිරීමට අවශ්‍ය කරුණු ඇති බවට අධිකරණයට සාධාරණ හැඟීමක් ඇති කිරීමට පැමිණිලිකරු අපොහොසත් වීම,
(ආ) තමන්ට එරෙහි චෝදනාව විශ්වාස කිරීමට සාධාරණ හේතු නොමැතිවීම;
(ඇ) නියමිත ක්‍රියා පටිපාටියඅනුගමනය නොකර සැකකරු අත්අඩංගුවට ගෙන තිබීම;
(ඈ) සනාථ නොකරන ලද චෝදනා වැරදි ලෙස ඉදිරිපත් කළ චෝදනා වන අතර, සාධාරණ විශ්වසනීයත්වයක් නැති සාක්ෂිකරුවන් විසින් අපේක්ෂිත තනතුරු මත පදනම්ව ඉදිරිපත් කරන චෝදනා වේ;
(ඉ) අත්අඩංගුවට ගැනීමේ තත්ත්වයන් සැලකිල්ලට ගත්විට, පැමිණිල්ලේ අව්‍යාජභාවය පිළිබඳ සැක පවතින අතර, එය සිදු කර ඇත්තේ පාර්ශ්වීය අරමුණක් සඳහා ය;
(ඊ) සැකකරුගේ සෞඛ්‍ය තත්ත්වය අනුව ඔහුට විශේෂ වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වේ;
(උ) නඩු පැවරීමට ප්‍රමාද වීම සැකකරුගේ ගැටළුවක් නිසා සිදුවන්නක් නොවේ;
(ඌ) ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යටතේ සැකකරුට සහතික කර ඇති අයිතිවාසිකම් අමු-අමුවේ උල්ලංඝනය කිරීම.
ප්‍රතික්ෂේප කරන ලෙස ඉදිරිපත් වූ හේතු
01 වන පැමිණිලිකාර-වගඋත්තරකරු 2020.10.23 දිනැතිව 1997 අංක 30 දරන ඇප පනතේ 14 (1) (අ) (i) සහ 14 (1) (අ) (ii) වගන්ති පදනම් කරගෙන ඇප ඉල්ලීමට විරෝධය දක්වා තිබේ.
14 (1) (අ) (i) සහ 14 (1) (අ) (ii) වගන්තිවල සඳහන් වන්නේ;
“14.(1) මේ පනතේ ඉහතින් වූ විධිවිධානවලට පටහැනිව කුමක් සඳහන් වුවද, ඇප දිය හැකි හෝ ඇප දිය නොහැකි වරදක් සිදු කිරීමෙහි ලා සම්බන්ධ වී ඇති බවට හෝ සිදු කර ඇති බවට හෝ සැක කරනු ලබන හෝ චෝදනා ලැබ සිටින තැනැත්තෙකු නිසි අධිකරණ බලය ඇති අධිකරණයක් වෙත ඉදිරිපත් වූ විට හෝ එයට ගෙන එනු ලැබූ විට හෝ එයට යටත් වූ විට අධිකරණය විසින් එම තැනැත්තා ඇප පිට මුදාහැරීම ප්‍රතික්ෂේප කිරීම හෝ පොලිස් නිලධාරියෙකු විසින් තත්කාර්යය සඳහා කරනු ලබන ඉල්ලීමක් මත සහ අදාළ තැනැත්තා වෙත දැන්වීම් යවනු ලැබීමෙන් අනතුරුව එම තැනැත්තාගෙන් පෞද්ගලිකවම හෝ ඔහුගේ නීතිඥවරයෙකු මඟින් කරුණු විමසා එම තැනැත්තා ඇප පිට මුදා හැරීම සඳහා බලපවත්නා ආඥාව අවලංගු කිරීම –
(අ) එම තැනැත්තා
i. ඔහුගේ පරීක්ෂණයට හෝ නඩු විභාගයට පෙනී සිටීම සඳහා අධිකරණය වෙත නොපැමිණිය හැකි බවට : හෝ
ii. ඔහුට විරුද්ධව ඇති සාක්ෂිකරුවන් කෙරෙහි හෝ සාක්ෂිවලට අහිතකර ලෙස මැදිහත් විය හැකි බවට හෝ යුක්තිය ඉෂ්ට වීම කෙරෙහි අන්‍යාකාරයෙන් බාධා පැමිණවිය හැකි බවට : හෝ’’
සාක්ෂි ආවේ කෙසේද?
පෙත්සම්කරු පවසන්නේ සැකකරුට එරෙහි චෝදනාව පදනම් වී ඇත්තේ පොලිස් පරීක්ෂක විල්වලආරච්චිගේ ප්‍රකාශය සහ නැලිගමගේ දිලිප් අසංග නැලිගමගේ සිද්ධිය පදනම් කරගෙන බවයි. (මෙතැන් සිට නැලිගම ලෙස හඳුන්වනු ලැබේ.) බොරු නඩුවක් නිර්මාණය කිරීම සඳහා ඔවුහු සාක්ෂි ගෙතූහ. The weaponry comprised 6 numbers of T-56 firearms, 1 number of 38 revolver, 2 pistols, 11 blank cases of 9mm bullets, 10 blanks cases of 9 x 19 mm bullets, 303 cases of 8.5 bullets, 215 cases of 7.62 bullets, 4 bullets of 38 S.P.L., 04 12 Bore shotguns 3 air-rifles, 1 Repeater shotgun, 2 numbers of T-56 Ammo, 3 cases of R.P.G. shells, green colour 5.58 kg Claymore Bomb with the charger and 1 hand grenade.
පෙත්සම්කරු සඳහන් කරන්නේ 01 වැනි පැමිණිලිකාර වගඋත්තරකරුගේ විරෝධතාවලින් පහත තොරතුරු ඉදිරිපත් කර ඇති බවයි.
(අ) 2013.05.22 දින මොහොමඩ් සියාම් පැහැරගෙන ගොස් ඝාතනය කිරීම සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ නඩු අංක B / 3279/05/2013 යටතේ රහස් පොලිසිය පරීක්ෂණ පවත්වා තිබේ.
(ආ) හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනගේ නිවසේ හා කාර්යාලයේ සේවය කරමින් සිටි පොලිස් කොස්තාපල් ඩයස් සහ පොලිස් කොස්තාපල් සමීර සුසන්ත 2013 නොවැම්බර් 11 සහ 18 යන දිනවල ස්වේච්ඡාවෙන් රහස් පොලිසියට පැමිණ සියාම් ඝාතනයට යොදා ගත් ගිනි අවි කිහිපයක් පොලිස් පරීක්ෂක විල්වලආරච්චි වාහනයක රැගෙන ආ බවට සාක්ෂි ලබා දී ඇති අතර, 2013.06.04 දින උගත් මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ ද සාක්ෂි ලබා දී තිබේ.
(ඇ) ‍පොලිස් කොස්තාපල් ඩයස්, පොලිස් කොස්තාපල් සමීර සුසන්ත සහ පොලිස් පරීක්ෂක විල්වලආරච්චි යන අයගේ ප්‍රකාශයන්ට අනුව මෙම නඩුවේ සැකකරු සහ සෙසු විමර්ශන නිලධාරීන් විසින් ඉහත ආයුධ නැලිගමට අයත් අංක 107/01, රනිස්වල, කලගෙඩිහේන ලිපිනයේ ඉඩමක මඩුවක තිබී සොයාගෙන තිබේ.
(ඈ) රැඳවුම් නියෝග අංක ඩීඑම්එල් / පීටීඒ / 24/2014 යටතේ පොලිස් පරීක්ෂක විල්වලආරච්චි 2014.03.03 සිට රැඳවුම් නියෝග මත සිට ඇත.
(ඉ) 2014.05.27 වැනිදා අංක OW / 216/2014 දරන ලිපිගොනුව යටතේ ඉහත ආයුධ පිළිබඳ සාරාංශය රහස් පොලිසිය විසින් දෙවැනි වගඋත්තරකරු වන නීතිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇත. ඉන්පසුව නීතිපති සී / 155/2014 / සීඑම් දරන උපදෙස් ගොනුවක් විවෘත කර ආයුධ රජයේ රස පරීක්ෂක වෙත යවා ඇත.
(ඊ) ඉහත පොලිස් පරීක්ෂක විල්වලආරච්චි 2014.03.03 දින සිට මාස තුනක් පමණ රඳවාගෙන සිටි අතර, නීතිපතිවරයාගේ උපදෙස් පරිදි 2014.05.30 දින නිදහස් කරන ලදී.
(උ) 2014.03.04 දින මහේස්ත්‍රාත් අධිකරණය විසින් එම පොලිස් කොස්තාපල් ඩයස්, පොලිස් කොස්තාපල් සමීර සුසන්ත, අසංග නැලිගම සහ චිරන්ති සංජීවනී යන අය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස රහස් පොලිසියට නියෝග කර තිබේ.
(ඌ) එම නියෝගයට අදාළව මහාධිකරණයේ එච්.සී.එම්.සී.ඒ/17/16 අංකයෙන් ප්‍රතිශෝධන නඩුවක් පැවැති අතර, මූලික විරෝධතා මතු කිරීමෙන් පසු එය 2017.06.30 දින නිෂ්ප්‍රභ කරන ලදී.
(එ) එහි ප්‍රතිඵලයක් වශයෙන් පොලිස් කොස්තාපල් ඩයස්, පොලිස් කොස්තාපල් සමීර සුසන්ත, අසංග නැලිගම සහ චිරන්ති සංජීවනී යන අය අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා 2019.12.09 දින රහස් පොලිසියට උපදෙස් ලබා දී තිබේ. මේ කාලය වන විට වර්තමාන නඩුවේ සැකකරු රහස් පොලිසියේ සිට ගාල්ල නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට මාරු කර යවා තිබේ.
(ඒ) ඉන්පසුව, 2020.06.03 දින පොලිස් කොස්තාපල් සමීර සුසන්ත සහ කොස්තාපල් ඩයස් නිදහස් කරන ලෙස නීතිපතිවරයා යළිත් වරක් රහස් පොලිසියට උපදෙස් දී අතර, ඒ අනුව ඔවුන් නිදහස් කර තිබේ. නීතිපතිවරයා යළිත් වරක් 2020.06.11 දින අසංග නැලිගම සහ චිරන්ති සංජීවනී ද නිදහස් කරන ලෙස උපදෙස් දී ඇති අතර, ඔවුන් පිළිවෙලින් 2020 ජුනි 15 සහ 12 යන දිනවල නිදහස් කර ඇත.
(ඔ) අසංග නැලිගම සහ චිරන්ති සංජීවනී යන අය නීතිඥවරයෙකු මගින් 2020.06.09 දින රහස් පොලිසියට ඉදිරිපත් වීමෙන් පසු ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇත. නැලිගමගේ ඉඩමට ආයුධ ගෙනැවිත් දමා ඡායාරූප ගත් බවට අසංග නැලිගම සහ චිරන්ති සංජීවනී යන දෙදෙනා ශානි අබේසේකරට සහ පොලිස් පරීක්ෂක විල්වලආරච්චි ඇතුළු විමර්ශන නිලධාරීන්ට එරෙහිව චෝදනා නගා ඇත.
(ඔ්) තමන් හා පොලිස් පරීක්ෂක විල්වලආරච්චි අතර ඇතිවූ දුරකතන සංවාදයක් අසංග නැලිගම ඉදිරිපත් කර තිබේ.
(ක) එම ප්‍රකාශයන් මත ශානි අබේසේකර මහතා 2020.07.31 දින අත්අඩංගුවට ගනු ලැබීය.
පෙත්සම්කරු සඳහන් කරන්නේ එම විරෝධතාවලට අනුව 2020.07.29 දින සිට විමර්ශන සිදු කර ඇති අතර සාක්ෂිකරුවන් 09 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ඇති බවයි. සාක්ෂිකරුවන් පස් දෙනෙකුගේ ප්‍රකාශයන් මත පමණක් සැකකරුට එරෙහිව නඩුව පවරා ඇත. එනම්: අංක 96/05, පුක්වත්ත පාර, අත්තනගල්ල හි දිලිප් අසංග නැලිගම ; අංක 96/05, පුක්වත්ත පාර, අත්තනගල්ලහි ආරච්චිගේ චිරන්ති සංජීවනී; රත්නායක මුදියන්සේලාගේ ඉරෝෂ් චමින්ද විල්වලආරච්චි, ජය සෙවන, කෙලින් වීදිය, මහව හි වත්සලා ; කුරුණෑගල, කුඹුක්ගැටේ මිල්ලගොල්ලේ සමරතුංග අප්පුහමිලාගේ දොන් සමරපාල ඩයස් සමරතුංග සහ මායාකඩවර, මගුලාගම, හෙට්ටිපොල පදිංචි රන්පති දේවාලගේ සමීර සුසන්ත.
පෙත්සම්කරු තවදුරටත් සඳහන් කරන්නේ, 2015.03.04 දිනැති නියෝගයට අදාළ එච්.සී. එම්.සී.ඒ 17/16 දරණ සංශෝධන අයදුම්පත, මූලික විරෝධතා මතු කිරීමෙන් පසු, 2017.06.30 දින නිෂ්ප්‍රභ කළ බවයි. අධිකරණ නියෝගයක් අනුව සැකකරුවන් අත්අඩංගුවට ගත් බවත් පෙත්සම්කරු කියයි.
2020/12/09 දින නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් ලැබෙන විට පෙත්සම්කරුගේ ස්වාමිපුරුෂයා ඇතුළු සැකකරුවන් සිව්දෙනා රහස් පොලිසියෙන් විවිධ අංශවලට මාරු කර තිබුණු බව පෙත්සම්කරු කියයි. සැකකාර නිශාන්ත සිල්වා විදේශගතවී ඇත්තේ මේ කියන විමර්ශන ආරම්භ කිරීමට සහ පැමිණිල්ල ඉදිරිපත් කිරීමට මාස කිහිපයකට පෙර බවත්, නිශාන්ත සිල්වා රට හැර ගිය බව කියන විට ඔහුට ගමන් බිමන් යෑමේ කිසිදු තහනමක් නොතිබුණු බවත් පෙත්සම්කරු කියයි.
2014 – 2020 පරස්පර ප්‍රකාශ
පෙත්සම්කරු තවදුරටත් කියා සිටින්නේ 2020 දී එම සාක්ෂිකරුවන් පස්දෙනා දුන් ප්‍රකාශ 2014 දී ඔවුන් දුන් ප්‍රකාශවලට සම්පූර්ණයෙන්ම පරස්පර බවයි. 2020 දී ඩයස් විසින් කරන ලද ප්‍රකාශය 2014 දී දුන් ප්‍රකාශයට සමාන නොවේ. සංජීවනී වික්‍රමසිංහගේ නිවසේ සිටියදී රහස් පොලිසිය විසින් පැහැරගෙන ගොස් ඇති බව ඔහු සඳහන් කර ඇත. ඇය, සියාම්ගේ ඝාතනයට වාස් ගුණවර්ධන සමඟ වරදකරු කරනු ලැබූ සරත්චන්ද්‍රගේ සමීපතම මිතුරියකි. 2020 දී සමීර සුසන්ත සඳහන් කර ඇත්තේ 2014 දී සිය ප්‍රකාශය ලබා දී ඇත්තේ රහස් පොලිසියට ඇති බිය නිසා බව ය. නමුත් අවසානයේ අධිකරණයෙන් විශේෂ ඉල්ලීමක් කරමින් වාස් ගුණවර්ධන නියෝග කළ විට ඔහු ආයුධ මෝටර් රථයට දැමූ බවක් සඳහන් කර තිබේ. තන්තිරිමලේ සහ විලච්චිය පොලිස් ස්ථානවලින් කෙලින්ම වාස් ගුණවර්ධනට ලබා දුන් ආයුධ දෙකක්ද තිබුණු බව අනාවරණය වූ අතර, පොලිස් ස්ථානවලින් ආයුධ ලබාදීම සම්බන්ධයෙන් එම ස්ථානාධිපතිවරුන්ට එරෙහිව චෝදනා නඟා තිබේ. 2014 දී රහස් පොලිසිය විසින් මේ බව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට සහ නීතිපතිවරයාට වාර්තා කරන ලදී. මෙම ආයුධ වාස් ගුණවර්ධන බාරයේ තිබූ බව කොළඹ අපරාධ කොට්ඨාසය සහ නීතිපතිවරයා දන්නා බව පෙත්සම්කරු කියයි.
ආයුධ කිහිපයක් වාස් ගුණවර්ධනගේ බාරයේ තිබී ඇති බව තහවුරු කරනු ලැබිණි. තන්තිරිමලේ සහ විලච්චිය සිද්ධියට අදාළ සාක්ෂිවලට අමතරව, වාස් ගුණවර්ධන විසින්ම H/C TAB 7193/14 නඩුවට අදාළව ප්‍රකාශ ලබාදෙමින් සඳහන් කර ඇත්තේ එල්ටීටීඊයට එරෙහි යුද්ධයෙන් පසු සොයා ගත් ආයුධ තිබුණු බවයි. ඒ බව නඩුවේ තීන්දුවේ ද සඳහන් කර ඇත.
පෙත්සම්කරු සඳහන් කරන්නේ ඉහත සඳහන් විල්වලආරච්චි, අසංග නැලිගමගේ මිතුරෙකු වන අතර, ඔහුගේ බිරිඳ චිරන්ති සංජීවනී ය. විල්වලආරච්චි, ඩයස් සහ සුසන්ත, හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනගේ සමීපතම මිතුරන් ය. ඩයස්ගේ ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ එකී සංජීවනී වික්‍රමසිංහ, සරත්චන්ද්‍රගේ සමීපතම මිතුරෙකු වන බවයි. මෙම සිදුවීම 2014.03.11 දින සිදුවූ බවට චෝදනා කෙරෙන අතර, එය වාර්තා කර ඇත්තේ 2020.06.24 දින පමණි.
ඇප දීමට විරෝධය දැක්වීමට නීතිපතිවරයාගේ හේතු පහත පරිදි වේ.
(අ) ව්‍යාජ සාක්ෂි සැකසීම සම්බන්ධයෙන් සැකකරු ශානි අබේසේකරට එරෙහිව ඇති චෝදනාව ගැන සාක්ෂිකරුවන්ගෙන් වැඩිදුර ප්‍රකාශ සටහන් කිරීමට නියමිත ය.
(ආ) මොණරාගල පොලිස් ස්ථානයේ සේවය කරමින් සිට සහ ටී – 56 ගිනි අවියක් රැගෙන විශේෂ රාජකාරියක් සඳහා ගාල්ල වෙත ගිය සැරයන් 53572 සමරතුංග අප්පුහාමිලාගේ දොන් සමරපාල ඩයස් කලගෙඩිහේන පදිංචි කාන්තාවකගේ නිවසේ සිටියදී හමුවූ නමුත් ඔහු සාක්ෂිකරුවෙකු ලෙස නොසලකා ඔහුගෙන් ප්‍රකාශයක් පමණක් සටහන් කර ගැනීම.
(ඇ) සැරයන් 53572 සමරතුංග අප්පුහාමිලාගේ දොන් සමරපාල ඩයස් අත්අඩංගුවට ගත් කලගෙඩිහේන නිවසේ සංජීවනී වික්‍රමසිංහගේ ප්‍රකාශය සටහන් කිරීමෙන් අනතුරුව වැඩිදුර පරීක්ෂණ පැවැත්විය යුතුය.
(ඈ) සැකකාර නවරත්න ප්‍රේමතිලකගේ ප්‍රකාශ සටහන් කිරීමට නියමිත අතර, ඒ අනුව වැඩිදුර පරීක්ෂණ පැවැත්වීමට නියමිත ය.
(ඉ) තන්තිරිමලේ පොලිස් ස්ථානයේ තිබූ 9912307/1878 සහ 9911318/1877 බෝර 12 රිපීටර් ගිනිඅවි දෙක මෙන්ම සේරුනුවර පොලිස් ස්ථානයේ තිබූ 9407088 දරන බෝර 12 ගිනි අවිය සැකකාර ශානි අබේසේකරගේ බාරයට ගත් ආකාරය ගැන අනාවරණය කර ගැනීමට ප්‍රකාශ සටහන් කර ගත යුතු අතර, ව්‍යාජ නඩුවක් නිර්මාණය කිරීම සඳහා සැකකරු ආයුධ සොයා ගත්තේ කෙසේද යන්න සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනය පැවැත්විය යුතුය.
(ඊ) පොලිස් පරීක්ෂක විල්වලආරච්චිගෙන් තවත් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට නියමිත ය. තවද, විල්වලආරච්චි සහ පොලිස් කොස්තාපල් ඩයස් අතර දුරකතන සංවාදයට අදාළ පටිගත කිරීම් ලබාගත යුතුව ඇත.
(උ) රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ඇති අදාළ දුරකතන වාර්තා සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්විය යුතුය.
(ඌ) සැකකරු ශානි අබේසේකර ඇතුළු පිරිස විමර්ශන කුසලතා ඇති සහ පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ තනතුරු දැරූ අය වීම නිසා ඔවුන් සාමාන්‍ය පුද්ගලයන් ලෙස සැලකිය නොහැකිය. එම නිසා, සාක්ෂිකරුවන්ට බාධා කිරීමේ හැකියාව ඔවුන්ට තිබිය හැකිය.
(එ) වර්තමාන නඩුවේ සැකකරු ශානි අබේසේකරට ඇප ලබාදුන්නේ නම්, එය විමර්ශනයට බාධාවක් වන අතර අනෙක් සැකකරු නිශාන්ත සිල්වා මෙන් රටින් පැන යෑමට හෝ රට හැර යෑමට හැකියාවක් ඇත.
සැකකරුට එරෙහිව පූර්ව වැරදි නැත
මෙම චෝදනාවට ලක්ව ඇති වරද සිදුවී ඇත්තේ 2014.03.11 වීම සහ මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් සීඅයිඩීයට ලැබී ඇත්තේ 2020.06.09 වීමත්, කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණිල්ලක් ලැබී ඇත්තේ 2020.06.24 වීමත් සැලකිල්ලට ගැනීම වැදගත් වේ. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකාර ශානි අබේසේකර සතුව කිසිදු නීතිවිරෝධී ආයුධයක් නොතිබූ අතර, ඉහත සඳහන් සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ හැරුණු විට එම ආයුධ සන්තකයේ තබාගැනීම සම්බන්ධව සැලකිය යුතු සාක්ෂි නොමැත. සැකකාර ශානි අබේසේකරට එරෙහිව පූර්ව වැරදි හැසිරීමක් හෝ වරදකරුවෙකු වූ අවස්ථා කිසිවක් නොමැත. සැකකරුට එරෙහිව නඩු පවරා නොමැත. සැකකරු අධිකරණ බලයෙන් සහ නීතිමය ක්‍රියාවලියට යටත් නොවී පලායනු ඇතැයි සාධාරණ ලෙස යෝජනා කිරීමට කිසිදු සාක්ෂියක් නොමැත.
සැකකරු ශානි අබේසේකර මහතා සාක්ෂිකරුවන්ට හෝ ඔහුට එරෙහි සාක්ෂිවලට මැදිහත් වනු ඇති බවට හෝ වෙනත් ආකාරයකින් යුක්තිය පසිඳලීමට බාධා කරනු ඇති බවට පැවසීමට කිසිදු සාක්ෂියක් මෙම අධිකරණය ඉදිරියේ නොමැති බව පෙන්වා දීමට කැමැත්තෙමි.
සැකකාර ශානි අබේසේකර මහතා සාක්ෂිකරුවන්ට බලපෑම් කරනු ඇති බවට සාක්ෂි අධිකරණයට ඉදිරිපත් වී නැති බව ද දැක්වීමට කැමැත්තෙමි.
චෝදනා අසත්‍ය ද?
සෑම හැකියාවක්ම තිබියදීත් පළමු පැමිණිල්ල දැමීමට අසාමාන්‍ය සහ සුවිශේෂී ලෙස ප්‍රමාද වීම මඟින් පෙන්නුම් කරන්නේ ශානි අබේසේකරට එරෙහි චෝදනා අසත්‍යව සහ අලංකරණය කරන පසුව ඇතිවූ සිතුවිල්ලක් මත කරන ලද ඒවා බව මගේ මතයයි.
ඉහත සඳහන් අසාමාන්‍ය සහ සුවිශේෂ ප්‍රමාදය හේතුවෙන්, පැමිණිල්ලේ ස්වයංසිද්ධතාවයේ වාසිය අහිමි වී ඇතිවා පමණක් නොව, 2020 දී එකී සාක්ෂිකරුවන් විසින් ලබා දුන් ප්‍රකාශ 2014 දී ඔවුන් දුන් ප්‍රකාශයන්ට පරස්පර විරෝධී බව පැහැදිලිය.
මිනීමැරුම් පිළිබඳ වැරදිකරුවන්ගේ හෝ ආධාරකරුවන්ගේ හෝ ඔවුන්ගේ සහකරුවන්ගේ ප්‍රකාශයන් මත, සැකකරුට එරෙහිව බී / 1536/20 යටතේ උගත් ගම්පහ මහේස්ත්‍රාත් වෙත කරුණු වාර්තා කර ඇත. මෙම ස්ථාවරය සනාථ කිරීම සඳහා විශ්වාසනීය සාක්ෂි අධිකරණයේ අවධානයට යොමු කර නොමැත. 2014/02/24 දින විල්වලආරච්චි අත්අඩංගුවට ගෙන කලගෙඩිහේන, රනිස්වල, අංක 107/01 ස්ථානයෙන් ගිනිඅවි සහ උණ්ඩ සොයා ගැනීමෙන් පසු 2014 පෙබරවාරි මස 27 වැනිදා බී/3250/03/2014 දරන නඩුව ආරම්භ කර තිබේ. සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සහ මුදා හැරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් සිදු කර ඇත්තේ නීතිපතිවරයාගේ උපදෙස් අනුවය. මෙම තීන්දු සඳහා හේතු මෙම අධිකරණය ඉදිරියේ නැත.
පෙත්සම්කරුගේ තර්කය
පෙත්සම්කරුගේ තර්කය වූයේ වසර හයකට පසු, හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනගේ හිතවතුන් යැයි කියනු ලබන සමහර සාක්ෂිකරුවන් බොරු චෝදනා ඉදිරිපත් කර ඇති බවයි. දණ්ඩ නීති සංග්‍රහය යටතේ “ව්‍යාජ ගොතන ලද සාක්කි” යටතේ වැරදි සිදු කර ඇති බවට වූ අවිධිමත් චෝදනාවක් මත කිසිදු විශ්වාසදායක හෝ සාධාරණ සාක්ෂියක් නොමැතිව පීඩාකාරී ආයුධ පනත, ගිනිඅවි ආඥා පනත සහ පුපුරණ ද්‍රව්‍ය පනත යටතේ සැකකාර ශානි අබේසේකර අත්අඩංගුවට ගෙන ගම්පහ උගත් මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කර ඇති බවයි.
පූර්ව තීන්දු සහ බලය
1990 (1) ශ්‍රී ලංකා නීති වාර්තාවේ 262හි පිටු අංක 267හි බුද්ධදාස කළුආරච්චි එ. නීලමනී විජේවික්‍රම නඩුවේදී විනිසුරු එස්.එන්. සිල්වා, අතුකෝරල එ.සමයනාදන්, රස්ටන් එ. හපන්ගම, සුමනදාසම් එ.මීරමොහිදීන් යන තීන්දු සලකා බලමින් අභියාචනාධිකරණයට අදාළ ක්‍රියා පටිපාටිය සුදුසු අවස්ථාවන්හිදී සංශෝධනය කිරීමට බලය ඇති බව පිළිගෙන තිබේ.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 139 වැනි වගන්තියේ මෙසේ සඳහන් වේ.
‘’(1) අභියාචනාධිකරණය විසින් ස්වකීය අධිකරණ බලය ක්‍රියාත්මක කිරීමේදී කවර හෝ ආඥාවක්, නඩු තීන්දුවක්, තීන්දු ප්‍රකාශයක් හෝ දණ්ඩන නියමයක් නීතිය අනුව ස්ථීර කිරීම, ප්‍රතිවර්තනය කිරීම, නිවැරදි කිරීම හෝ සුළු වශයෙන් වෙනස් කිරීම හෝ ඒ මුල් අවස්ථා අධිකරණයට, විනිශ්චය අධිකාරයට හෝ වෙනත් ආයතනයකට විධාන නිකුත් කිරීම හෝ සුදුසු යැයි අභියාචනාධිකරණය සලකන නියමයන් මත අලුතින් නඩු විභාගයක් නැතහොත් වැඩිදුර නඩු විභාගයක් පවත්වන ලෙස ආඥා කිරීම හෝ කළ හැක්කේය.
(2) යම් මුල් නඩුකරයක දී, සිවිල් නඩුවක දී, අපරාධ නඩුවක දී හෝ නඩුවක දී ප්‍රස්තුත කාරණාවලට අදාළව මුල් අවස්ථා අධිකරණය විසින් ගෙන ඇති සාක්ෂිවලට අමතරව හෝ පරිපූරකව යුක්ති ධර්මය අනුව අවශ්‍ය විය හැකි අලුත් සාක්ෂි භාරගැනීම සහ පිළිගැනීම අභියාචනාධිකරණය විසින් වැඩිදුරටත් කළ හැක්කේය.”
මෙම ව්‍යවස්ථාව මගින් අභියාචනාධිකරණයට පුළුල් බලයක් ලබා දී තිබේ.
ඇප ලබාදීම ප්‍රතික්ෂේප කිරීමෙන් සිදුවන්නේ කුමක්ද?
ඇප ලබාදීමේ බලය විනිසුරුවන්ට පවරා ඇති අභිමතය පරිදි වන අතර, එය නිදහස් ලෙස ක්‍රියාත්මක කිරීමට අදහස් කෙරේ. ශ්‍රෙෂ්ඨාධිකරණය නිරන්තරයෙන් පුනරුච්ඡාරණය කර ඇත්තේ “ඇප දීම නීතියයි, බන්ධනාගාරගත කිරීම ව්‍යතිරේකයකි” යනුවෙනි. ඇප ලබාදීමේ මූලික පරමාර්ථය වන්නේ චූදිත පුද්ගලයා විමර්ශනයට අනුකූල වීම සහතික කිරීම සහ ඔවුන් අත්අඩංගුවට ගැනීමෙන් පසු නිදහස් කරනු ලැබුවහොත් නඩු විභාගයට පැමිණ සිටීමයි. ඇප ලබාදීම ප්‍රතික්ෂේප කිරීමෙන් වරදකරුවකු වීමකින් තොරව සිරගෙවල්වල සිර කරන අතර, එමගින් නිදහස අහිමි කරයි.
මේ වන විට ඇප ලබාදීමේ බලය අරපිරිමැස්මෙන් ක්‍රියාත්මක වේ. සමහර විට උසාවි සුළු වැරදි සඳහා පවා ඇප ප්‍රතික්ෂේප කරයි. ඔවුන්ගෙන් බහුතරයක් සීමාවන්ට යටත් ප්‍රජාවන්ට අයත් බව සැලකිල්ලට ගැනීම වැදගත් ය. පහළ උසාවිවලින් ඇප ලබා නොදීමේ ප්‍රතිඵලයක් ලෙස බොහෝ චූදිත පුද්ගලයන් දීර්ඝ කාලයක් සිරකරුවෝ ලෙස සිටිති.
1997 අංක 30 දරන ඇප පනතේ 14 වන වගන්තියට අනුව අධිකරණයට ඇප ප්‍රතික්ෂේප කළ හැකිය. එම කොටසේ (1) වන උප කොටසේ පළමු කොටස;
“14.(1) මේ පනතේ ඉහතින්ම වූ විධිවිධානවල පටහැනිව කුමක් සඳහන් වුවද, ඇප දිය හැකි හෝ ඇප දිය නොහැකි වරදක් සිදු කිරීමෙහි ලා සම්බන්ධ වී ඇති බවට හෝ සිදු කර ඇති බවට හෝ සැක කරනු ලබන හෝ චෝදනා ලැබ සිටින තැනැත්තකු නිසි අධිකරණ බලය ඇති අධිකරණය වෙත ඉදිරිපත් වූ විට හෝ එයට ගෙන එනු ලැබූ විට හෝ එයට යටත් වූ විට අධිකරණය විසින් එම තැනැත්තා ඇප පිට මුදාහැරීම ප්‍රතික්ෂේප කිරීම හෝ පොලිස් නිලධාරියෙකු විසින් තත්කාර්යය සඳහා කරනු ලබන ඉල්ලීමක් මත සහ අදාළ තැනැත්තා වෙත දැන්වීම් යවනු ලැබීමෙන් අනතුරුව එම තැනැත්තාගෙන් පෞද්ගලිකවම හෝ ඔහුගේ නීතිඥවරයෙකු මඟින් කරුණු විමසා එම තැනැත්තා ඇප පිට මුදා හැරීම සඳහා බලපවත්නා ආඥාව අවලංගු කිරීම – (අවධාරණය එකතු කරන ලදි)
මෙම කොටසේ ඇප ලබා ගත හැකි හෝ ඇප ලබා ගත නොහැකි වැරදි සඳහා සමාන බලයක් අදාළ වන අතර, උසාවියට ඇප ප්‍රතික්ෂේප කළ හැකි හේතු ද නියම කර ඇත. එම හේතු අදාළ බව විශ්වාස කිරීමට අධිකරණයට හේතු තිබිය යුතුය. එම හේතු;
(අ) එම තැනැත්තා
i. ඔහුගේ පරීක්ෂණයට හෝ නඩු විභාගයට පෙනී සිටීම සඳහා අධිකරණය වෙත නොපැමිණිය හැකි බවට : හෝ
ii. ඔහුට විරුද්ධව ඇති සාක්ෂිකරුවන් කෙරෙහි හෝ සාක්ෂිවලට අහිතකර ලෙස මැදිහත් විය හැකි බවට හෝ යුක්තිය ඉෂ්ට වීම කෙරෙහි අන්‍යාකාරයෙන් බාධා පැමිණවිය හැකි බවට : හෝ
iii ඇප පිට සිටින විට වරදක් සිදු කළ හැකි බවට ; හෝ
(ආ) සිදු කර ඇති වරදේ බරපතළකම නිසා සහ එම වරද සඳහා වන මහජන ප්‍රතිචාරය නිසා මහජන කැළඹීමක් ඇතිවිය හැකි බවට’
1997 අංක 30 දරන ඇප පනතේ 2 වන වගන්තිය පහත පරිදි වේ.
“මේ පනතේ මින් මතු විධිවිධාන සලස්වා ඇති පරිදි වූ ව්‍යතිරේකවලට යටත්ව, මේ පනතේ විධිවිධාන ක්‍රියාත්මක කිරීමේ අනුගම්‍ය ප්‍රතිපත්තිය විය යුත්තේ ඇප දීම රීතිය වශයෙන් සැලකීම සහ ඇප දීම ප්‍රතික්ෂේප කිරීම ව්‍යතිරේකයක් ලෙස සැලකීමයි.”
රැජින එ. ලියනගේ සහ තවත් අය 65 එන්එල්ආර් 289 හි 292 දී මෙසේ තීරණය කරන ලදි.
‘නිර්දෝෂී යැයි උපකල්පනය කිරීම සහ පුද්ගලයෙකුට හිමි නිදහසට, නීතිඥවරුන්ගේ තර්කවලදී බොහෝ ආතතීන් ඇති විය හැකිය. මෙම අධිකරණය කිසිම විටෙක නිදහස ආරක්ෂා කිරීම නතර නොකරනු ඇත. “නිදහසට දක්වන අනුග්‍රහය” සෑමවිටම එම නිදහසට බලපාන ප්‍රශ්නවලට එළඹෙන විනිසුරුවන්ට බලපෑම් කරයි. එහෙත්, ඇප ලබා දීම රීතියක් විය යුතු යැයි නොසිතිය යුතු අතර, ඇප දීම ප්‍රතික්ෂේප කිරීම, මෙවැනි ආකාරයේ බරපතළ ඇප රහිත වැරදි සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතුය. ඇප ලබාදෙන්නේ එවැනි දුර්ලබ අවස්ථාවන්හිදී සහ ශක්තිමත් සහ විශේෂ හේතූන් මත ය.’
1997 අංක 30 දරන ඇප පනත බලාත්මක කිරීමත් සමඟ ව්‍යවස්ථාදායකය විසින් මෙම රීතිය වෙනස් කරන ලදි. ඇප ලබාගැනීම පිළිගැනීම රීතියක් බවට පත් වූ අතර, ප්‍රතික්ෂේප කිරීම ව්‍යතිරේකයක් විය.
පනතේ 4 වැනි වගන්තිය යටතේ, සැකකටයුතු හෝ චෝදනාවකට ලක්වූ පුද්ගලයෙකු ඇප ලබා දිය හැකි වරදක් කර ඇතිනම් පනතේ විධිවිධානවලට යටත්ව ඇප ලබාගැනීමේ අයිතිය ලබා දී ඇත. 5 වැනි වගන්තිය මගින් සැකකටයුතු හෝ චෝදනාවට ලක්වූ පුද්ගලයෙකු ඇප ලබා දිය නොහැකි වරදක් කර ඇත්නම්, අධිකරණයේ අභිමතය පරිදි ඕනෑම වේලාවක ඇප මත නිදහස් කළ හැකිය. 7 වැනි වගන්තිය අනුව, සැක කරන ලද හෝ චෝදනාවට ලක්වූ පුද්ගලයෙකු ඇප දිය හැකි හෝ ඇප දිය නොහැකි යන ඔ්නෑම වරදක් සිදු කර ඇත්නම් අධිකරණය ඉදිරියේ පෙනී සිටිනු ලැබීමේ කොන්දේසියට යටත්ව ඇප මත මුදා හැරීමේ බලය අදාළ අධිකරණයට පවරා තිබේ. එබැවින්, ව්‍යවස්ථාදායකයේ අභිප්‍රාය වන්නේ ඇප සම්බන්ධ නීතිය වෙනස් කිරීමයි.
ඩච්චායිනී එ. නීතිපති 2005(2) ශ්‍රී ලංකා නීති සංග්‍රහයේ 152 නඩුවේද එය තිබේ;
1997 නොවැම්බර් 28 දින සිට ක්‍රියාත්මක වූ 1997 අංක 30 දරන ඇප පනත අදාළ නීතියයි. ඇප පනත බලාත්මක කිරීම මගින් ඇප ලබා දීමේ ප්‍රතිපත්තියේ විශාල වෙනසක් සිදුවී ඇත. රීතිය යනු ඇප ලබා දීමයි. රීතිය මඟින් මානව නිදහස තහවුරු කරයි. ව්‍යතිරේකය යනු ඇප ප්‍රතික්ෂේප කිරීම වන අතර, ඇප ප්‍රතික්ෂේප කිරීමේදී හේතු දැක්විය යුතුය.
විනිසුරු ශ්‍රී ස්කන්ධරාජා –
“ඇප පනත බලාත්මක කිරීම මගින් ව්‍යවස්ථාදායක ප්‍රතිපත්තියේ විශාල වෙනසක් සිදු වී ඇති අතර, මෙම ප්‍රතිපත්තිය බලපැවැත්වීමට අධිකරණය බැඳී සිටී. මහාධිකරණ විනිසුරුවරයා විසින් නියෝගයේදී මෙම ප්‍රතිපත්ති වෙනස සැලකිල්ලට නොගැනීම වැරදි ය. මෙම අවශ්‍යතාව තවදුරටත් ඇප ඉල්ලීම් විභාග කිරීමේ ප්‍රතිපත්තියක් නොවන විට චූදිතයාට සුවිශේෂී තත්ත්වයන් පෙන්වීමට අපොහොසත් වී ඇති බවට වන මූලධර්මය පනත මගින් ගෙන එන ලදි.’’
අනුරුද්ධ රත්වත්ත සහ වෙනත් අය එ. නීතිපති නඩුවේ ඇත්තේ,
‘පනතේ අනෙක් විධිවිධානවලට පටහැනිව කිසිවක් නොතකා 14 (1) වගන්තිය අදාළ වන බව පෙනී යයි. සැකකටයුතු හෝ චෝදනාවට ලක්වූ පුද්ගලයන් සම්බන්ධයෙන් හෝ ඇප දිය හැකි හෝ ඇප දිය නොහැකි වරදක් කර ඇති බවට සැක කෙරේ. එය අවස්ථා දෙකක් ආවරණය කරයි
(i) අධිකරණ බලය ඇති අධිකරණයක එවැනි පුද්ගලයෙකු පෙනී සිටින විට හෝ ඉදිරිපත් කරන විට හෝ යටත් වූ විට;
(ii) එවැනි පුද්ගලයෙකු ඇප මත මුදා හැරීමේ නියෝගයක් අවලංගු කිරීමට ඉල්ලුම් කළ විට.
මෙම අවස්ථා දෙකේදීම වරදේ බරපතළකම, මහජන නොසන්සුන්තාව ආදී (අ) ඡේදයේ ), (i) සිට (i) දක්වා ( iii) ඉහත සඳහන් කර ඇති කරුණුවලට අදාළ ව අධිකරණයට විශ්වාස කළ හැකි හේතු ඇත්නම් අධිකරණය විසින් සැකකරු හෝ චූදිතයා ඇප මත මුදාහැරීම ප්‍රතික්ෂේප කළ හැකිය. නැතහොත් ඇප ලබාදීමේ නියෝගයක් අවලංගු කළ හැකිය.’
නීතිපති මතය
විමර්ශන කටයුතු අවසන් වන තුරු සැකකරු ඇප මත නිදහස් නොකළ යුතු බව උගත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා කරුණු ඉදිරිපත් කළේය. කෝවිඩ් 19 වසංගතය හේතුවෙන් වැඩිදුර පරීක්ෂණ ප්‍රමාද වූ අතර, ඉතිරි පරීක්ෂණ අවසන් කිරීමට තවත් මාසයක් ප්‍රමාණවත් වේ. සැකකරු ශානි අබේසේකර මහතා 2020.07.31 දින අත්අඩංගුවට ගෙන ඇති අතර, 2021 මැයි 31 වැනිදා වන විට මාස 10කට ආසන්න කාලයක් සම්පූර්ණ කර ඇත. අභියාචනාධිකරණයේ අධිකරණ බලය සලකා බැලීමේදී මෙම වරද ඇප ලබා ගත හැකි වරදක් බැවින් ඔහුව අත්අඩංගුවේ තබා ගැනීමට වලංගු හේතුවක් නොමැත.
1966 අංක 18 දරන පීඩාකාරී ආයුධ පනත යටතේ වරදක් සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිටියදී සැකකරුවෙකු ඇප මත මුදා හැරීමට මහාධිකරණයට අධිකරණ බලයක් නොතිබිණි. උගත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයාගේ තර්කය වූයේ ප්‍රහාරක අවි පනතේ 10 වැනි වගන්තිය යටතේ පමණක් සැකකරුවෙකුට ඇප ලබාදීමේ බලය අභියාචනාධිකරණය සතු බවයි.
1966 අංක 10 දරන පීඩාකාරී ආයුධ පනතේ 10 වන වගන්තිය “notwithstanding anything tothe contrary in the Code of Criminal Procedure Act or in any other law, no person charged with or accused of an offence under the Offensive Weapons Act shall be released on bail except on the order of the Supreme Court.”
නීතිපති එ. නිලන්ති නඩුව
පීඩාකාරී ආයුධ පනතේ 10 වැනි වගන්තිය යටතේ සැකකරුවෙකු ඇප මත මුදාහැරීමේ පූර්ණ අධිකරණ බලය අභියාචනාධිකරණයට ඇති බව වගඋත්තරකරු වෙනුවෙන් උගත් නීතීඥවරයා කරුණු ඉදිරිපත් කළේය. මෙම කොටස අදාළ වන්නේ 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහයේ 14 වැනි ඡේදයට අනුව එම පනත යටතේ පුද්ගලයෙකුට ‘චෝදනාවක්’ හෝ ‘වරදක්’ සම්බන්ධයෙන් චෝදනා ලැබ ඇති අවස්ථාවන්ට පමණක් බව නීතිපති එ. නිලන්ති නඩුවේදී දක්වා ඇත.
1966 අංක 18 පීඩාකාරී ආයුධ පනත බලාත්මක කරනු ලැබුවේ මේ ආකාරයේ අපරාධ නඩුවල අධිචෝදනා ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ තක්සේරු අධිකරණයේ තක්සේරු කොමසාරිස්වරුන් ඉදිරියේ සහ දිස්ත්‍රික් උසාවියේ විභාග වන කාලයකදී ය. අපරාධ තක්සේරු කිරීම් බොහොමයක මුලසුන හෙබවූයේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් විසිනි. එසේ වුවද ව්‍යවස්ථාදායකය සිතුවේ පීඩාකාරී ආයුධ සම්බන්ධ නඩුවලදී ඇප ලබා දීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයට පමණක් අධිකරණ බලය ලබා දීම සුදුසු බවයි. දෙවැනි ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාශයට පත් කිරීම සහ නව අධිකරණ ව්‍යුහය පිහිටුවීමත් සමඟ ශ්‍රේෂ්ඨාධිකරණයට ලබා දී ඇති අධිකරණ බලය අභියාචනාධිකරණයට පැවරී ඇත. වර්තමානයේ මහාධිකරණ විසින් ඒ දිනවල ‘Assize Court’ හා සමාන කාර්යයන් ඉටු කරනු ලැබේ. එබැවින්, පීඩාකාරී අයුධ පනතේ 10 වැනි වගන්තිය නිසි ලෙස කියවීමෙන් අදහස් වන්නේ, අභියාචනාධිකරණයේ නියෝගයක් හැර, පීඩාකාරී ආයුධ පනත යටතේ වරදක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හෝ චෝදනාවට ලක්වූ කිසිදු පුද්ගලයෙකු ඇප මත නිදහස් නොවිය යුතු බවයි.
විනිසුරු ආචාර්ය ඒ.ආර්.බී. අමරසිංහ “අධිකරණ හැසිරීම, ආචාර ධර්ම සහ වගකීම්” පොතේ 284 වන පිටුවේ එය නිරීක්ෂණය කරයි;
“විනිසුරුවරයෙකුගේ කාර්යය වන්නේ පාර්ලිමේන්තුවේ ප්‍රකාශිත අභිප්‍රාය ක්‍රියාවට නැංවීමයි. ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය නම්, එය අයුක්තියට හේතු වන හෙයින්, වෙනසක් ඇති කිරීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයන් භාවිත කළ යුතුය. මෙය ශ්‍රෙෂ්ඨාධිකරණය වසර සියයකට ආසන්න කාලයක් තිස්සේ ප්‍රකාශ කළ අභියෝගයට ලක් නොවූ දැක්මයි.’’
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 ව්‍යවස්ථාව
කෙසේ වෙතත්, අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 (5) ව්‍යවස්ථාවේ සඳහන් වන්නේ සෑම පුද්ගලයෙකුම වැරදිකරු බව ඔප්පු වන තුරු ඔහු නිර්දෝෂී යැයි සිතිය යුතු බවයි. 13 (2) වන වගන්තිය මගින් නීතියෙන් නියම කර ඇති පටිපාටියට අනුකූලව කරන ලද විනිසුරුවරයෙකුගේ නියෝගය අනුව මිස පුද්ගලයෙකුගේ පෞද්ගලික නිදහස අහිමි නොවිය යුතු බව දක්වා ඇත.
සැකකරු අවිනිශ්චිත කාලයක් රිමාන්ඩ් භාරයේ තබා ගැනීමෙන් රජය වක්‍රව දඬුවමක් නියම කරයි. ව්‍යවස්ථාවේ 13 (5) ව්‍යවස්ථාව බලාත්මක කරන විට, ව්‍යවස්ථාදායකයේ අභිප්‍රාය එය නොවන බව පැහැදිලි ය.
වෛද්‍ය උපදෙස
පෙත්සම්කරුගේ ප්‍රධාන අවධානය යොමු වී ඇත්තේ සැකකාර ශානි අබේසේකරගේ වයස අවුරුදු 59 ඉක්මවා ඇති අතර, දැනට අධි රුධිර පීඩනය සඳහා ඖෂධ ලබාගනිමින් සිටින බවට ය. ඔහුට වෛද්‍ය උපදෙස් ලබා දී ඇති අතර, නිරන්තර අවධානය සහ ප්‍රතිකාර අවශ්‍ය වේ. බන්ධනාගාර බලධාරීන් විසින් ප්‍රවාහනය කරන අතරතුර, ඔහු හෘදයාබාධයකට ගොදුරු වී ඇති බව පමණක් නොව, එක රැයකින් ගම්පහ සිට පොළොන්නරුවට රැගෙන ගොස් ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස ස්ටෙන්ට් එකක් හෝ කිහිපයක් ඇතුළත් කිරීම සඳහා ශල්‍යකර්මයක් කිරීමට සැලසුම් කර ඇති බවට සැකකරුට වෛද්‍ය උපදෙස් ලබා දී ඇති බව අනාවරණය විය. සැකකාර ශානි අබේසේකර දැනටමත් රිමාන්ඩ් භාරයේ සිටියදී කොවිඩ් – 19 රෝගයට ගොදුරු වී ඇති අතර, එයින් දිවි ගලවා ගැනීමට වාසනාවන්ත විය. කෙසේ වෙතත්, පෙත්සම්කරු පවසන්නේ නැවත වරක් එම රෝගය වැළඳීමේ අවදානමක් පවතින බවත්, ඔහුගේ වර්තමාන හෘද සෞඛ්‍ය තත්ත්වය හා දියවැඩියාව හා සම්බන්ධ අවදානම් ද පවතින බවත් ය. මේ සම්බන්ධයෙන්සහ වෙනත් ආකාරයකින්, පෙත්සම්කරු සැකකරුගේ ජීවිතය, සෞඛ්‍ය සහ ආරක්ෂාව ගැන බිය වේ. බන්ධනාගාර බලධාරීන්ගේ භාරයේ සිටියදී සැකකරුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව තහවුරු කිරීම සඳහා ‘ඒ -6’ ලෙස සලකුණු කරන ලද බොහෝ ලේඛන ඉදිරිපත් කර තිබේ.
ප්‍රබල තොරතුරු නෑ
සැකකරු පසුගිය මාස 10ක කාලය තුළ රිමාන්ඩ් භාරයේ පසු විය. සැකකාර ශානි අබේසේකර විසින් සාක්ෂිකරුවන් බිය ගැන්වූ බව තහවුරු කිරීම සඳහා මෙම අධිකරණය ඉදිරියේ කිසිදු ප්‍රබල තොරතුරක් නොමැත. අප ඉදිරියේ තබා ඇති කරුණුවල සම්පූර්ණත්වය සැලකිල්ලට ගනිමින්, මෙම අධිකරණය විසින් පනවා ඇති දැඩි කොන්දේසිවලට යටත්ව සැකකාර ශානි අබේසේකර ඇප මත මුදා හැරීම කළ යුතුය.
ඒ-1 ලෙස ලකුණු කර ඇති 2020.12.09 දිනැති උගත් මහාධිකරණ විනිසුරුවරයාගේ නියෝගය ප්‍රතිශෝධනය කරන අතර, සැකකාර ශානි අබේසේකර පහත කොන්දේසි මත මුදා හැරීමට අපි නියෝග කරමු.
1) රුපියල් 25,000ක මුදල් ඇප.
2) රුපියල් දස ලක්ෂයක ශරීර ඇප දෙකක්.
3) සැකකාර ශානි අබේසේකර මහතාගේ විදෙස් ගමන් බලපත්‍රය හෝ ඔහු සන්තකයේ ඇති වෙනත් විදෙස් ගමන් ලියවිල්ලක් ගම්පහ මහාධිකරණයට බාර දිය යුතුය.
4) ගම්පහ මහාධිකරණයේ පූර්ව අනුමැතියකින් තොරව විදෙස් ගත නොවිය යුතුය.
5) සැකකාර ශානි අබේසේකර හෝ කිසියම් ඇපකරුවෙකු ඇප බැඳුම්කරයේ දක්වා ඇති ලිපිනය වෙනස් කරන්නේ නම්, වහාම අධිකරණයට සහ පැමිණිලිකරුගේ වගඋත්තරකරුට දැනුම් දිය යුතුය.
මෙම නියෝගය වහාම ගම්පහ මහාධිකරණයට සන්නිවේදනය කරන ලෙස අපි මෙම අධිකරණයේ රෙජිස්ට්‍රාර්ට නියෝග කරමු.’’

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here