වනාතවිල්ලුව සැකකරුවන් නිදහස් කරන්න අත්සන් කළ කෙනා වගකීම බාරගත යුතුයි – මෛත්‍රී : අත්සන් කර ඇත්තේ මෛත්‍රී – කොමිසම

(හසරිඳු රාජපක්ෂ සහ ශානක ද සිල්වා)

වනාතවිල්ලුව සිද්ධියට සම්බන්ධ සැකකරුවන් නිදහස් කිරීමට ආදළ වගකීම ඔවුන් නිදහස් කිරීමට නිර්දේශ කරමින් අත්සන් කළ පුද්ගලයා බාරගත යුතු බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසූ අවස්ථාවේදී පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම පෙන්වා දුන්නේ ඒ සඳහා අත්සන් කර ඇත්තේ හිටපු ජනාධිපතිවරයාම බවයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ තුන්වන දිනටත් සාක්ෂි ලබාදුන් අවස්ථාවේ මේ බව ප්‍රකාශ කෙරිණි.

2019 ජනවාරි 16 වැනිදා වනාතවිල්ලුව ප්‍රදේශයෙන් පුපුරන ද්‍රව්‍ය තොගයක් සොයාගැනීමේ සිදුවීමට අදාළව ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනත යටතේ අත්අඩංගුවට ගත් සැකකරුවන් හතර දෙනෙකුගෙන් දෙදෙනෙක් එම සිදුවීමෙන් මාස තුනක් යන්නටත් පෙර නිදහස් කිරීම පිළිබඳව කොමිෂන් සභාව හිටපු ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කළේය.

ඊට පිළිතුරු වශයෙන් ඔහු පැවසුවේ එවැනි දෙයක් සිදුව ඇත්නම් අදාළ සැකකරුවන් නිදහස් කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කළ පුද්ගලයා ඒ සඳහා අනිවාර්‍යෙන්ම වගකිව යුතු බවයි. කෙසේ නමුත් ඔවුන් නිදහස් කිරීමට අදාළ ලිපි ලේඛන සඳහා අත්සන් යොදා ඇත්තේ හිටපු ජනාධිපතිවරයා විසින් බව කොමිෂන් සභාව ඔහුට දැනුම් දුන්නේය. එම අවස්ථාවේ සිරිසේන මහතා පැවසුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ආරක්ෂක අමාත්‍යාංශය විසින් තමන් වෙත රැගෙන එන ලිපි ලේඛන වලට අත්සන් තබන බවයි. ඒ සියල්ල එකින් එක පරීක්ෂා කිරීම සඳහා හැකියාවක් නොමැති බව ද ඔහු සදහන් කළේය.

තමා විදේශගත වීමට පෙර ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය හැකි යැයි තොරතුරු තමාට ලැබී තිබුණු බවට එල්ල වන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බව සිරිසේන මහතා පැවසීය. ප්‍රහාරය වලක්වා නොගැනීමේ වගකිම හිටපු පොලිස්පතිවරයා භාරගන්නේ නම් ඔහු කැමති ඕනැම රටක තානාපති ධුරයකට පත් කරන බවට තමා කළා යැයි කියන ප්‍රකාශයද අසත්‍යයක් බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.

අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පසුව සහරාන්ගේ අන්තවාදී සංවිධානය කෙටි කලකින් විනාශ කළද ප්‍රහාරයෙන් පසුව අයිඑස් සංවිධානය සිදු කළ ප්‍රකාශය සහ ජාත්‍යන්තරව එම සංවිධානය කර ඇති ක්‍රියාකාරකම් දෙස බැලූ විට මෙම ව්‍යාපාරය මෙතනින් අවසන් කිරීමට නොහැකි බව මෛත්‍රීපාල සිරිසේන මහතා කීවේය.”ප්‍රහාරයෙන් පසුව අපේ මිත්‍ර රටවල්වල වල බුද්ධි අංශ මාසයක් දෙකක් රට තුළ රැදී සිටිමින් විමර්ශන සදහා සහාය දුන්නා. නමුත් මේ ප්‍රහාරයට අයිඑස් සංවිධානය සෘජුවම උපදෙස් දුන් බවක් හෝ තිබූ සම්බන්ධතාවය මොකක්ද කියලා සොයා ගත්තේ නැහැ”යැයි හෙතෙම සඳහන් කළේය.

2018 නොවැම්බර් මාසයේ 18 වැනිදා අන්තවාදී සංවිධාන සහ ඒවායේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කිරීමට සිදු වූයේ එවකට රජයේ වගකිවයුතු නිලධාරින් සහ බලධාරීන් ඒ පිළිබඳව නිසි අවධානයක් යොමු නොකළ නිසා බව හිටපු අමාත්‍යවරයෙකු වූ විජේදාස රාජපක්ෂ මහතා කළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බව හිටපු ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේය.තොරතුරු ලද සෑම අවස්ථාවකම අවශ්‍ය අංශවලට ඊට අදාළ ක්‍රියාමාර්ග ගන්නැයි තමා නිසි උපදෙස් ලබා දුන් බව ද හෙතෙම කීවේය.

අතිරේක සොලිසිටර් ජනරාල්වරිය සඳහන් කළේ මෙම කොමිෂන් සභාවට ඉදිරිපත් වූ විශ්ලේෂණ වාර්තාවක් අනුව මෙරට සිද්ධස්ථාන පිහිටුවීමේදී කිසිදු නියාමනයක් සිදු වී නොමැති බවට අනාවරණය වී ඇති බවයි. කාත්තන්කුඩි ප්‍රදේශයේ මෙරට වෙනත් ප්‍රදේශවලට සාපේක්ෂව වෙනස් ඉදිකිරීම් තිබෙන බවත් විශේෂයෙන් අරාබි භාෂාව වැඩි වශයෙන් භාවිතා කිරීමක් දක්නට ලැබෙන බවත් කොමිසමේ දී අනාවරණය විය. එහිදී හෙළි වුයේ කාත්තන්කුඩි ප්‍රදේශයේ මාර්ග දෙපස රට ඉදි ගස් වගා කිරීමට මූලිකත්වය ගෙන ඇත්තේ හිටපු ආණ්ඩුකාර එම් එල් ඒ එම් හිස්බුල්ලා මහතා බව යි.

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබා දෙමින් පැවසූ පරිදි පාස්කු ඉරිදා දින බෝම්බ ප්‍රහාරය පිළිබඳව වගකීම සියළු දෙනා සාමූහිකව භාරගත යුතු ද යන්න අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය සිරිසේන මහතාගෙන් විමසුවාය. ඊට පිළිතුරු වශයෙන් හෙතෙම පැවසුවේ ප්‍රහාරය වළක්වා ගැනීමට හැකියාව තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකළ නිලධාරීන් එහි වගකීම භාරගත යුතු බවයි.

යම්කිසි රටක බලයට පත්වන රාජ්‍ය නායකයාගේ වගකීම වන්නේ රටේ සියළුම ජනකොටස්වලට අයත් ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම නොවේද යන්න අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය සාක්ෂිකරුගෙන් විමසුවාය. ඊට පිළිතුරු වශයෙන් හිටපු ජනාධිපතිවරයා පැවසුවේ ඉතාමත් දියුණු රටවල පවා විවිධ ගැටුම් තිබෙන බවයි.

මේ අතර 2018 ඔක්තෝබර් 23 වැනිදා ඉස්ලාම් රාජ්‍ය මතවාදය දරන පුද්ගලයින් 120ක් පිළිබඳව රාජ්‍ය බුද්ධි සේවය විසින් ඉදිරිපත් කරන ලද වාර්තාවක් පිළිබඳව ද කොමිෂන් සභාව සිරිසේන මහතාගෙන් විමසු අතර එවිට හිටපු ජනාධිපතිවරයා පැවසුවේ අදාළ කරුණු සම්බන්ධයෙන් ජාතික ආරක්ෂක කවුන්සිල රැස්වීම්වලදී සාකච්ඡා කොට අවශ්‍ය උපදෙස් ලබා දුන් බවයි. “නීතිය හා සාමය අමාත්‍යාංශයේ ලේකම් සහ අමාත්‍යවරයා එනවා අනිවාර්‍යෙන්ම ජාතික ආරක්ෂක කවුන්සිල රැස්වීම්වලට,ඒ නිසා ඔවුන් එවැනි කරුණු සම්බන්ධයෙන් ලබාදුන් උපදෙස් අනුව පියවර ගත යුතුව තිබුණා ” යැයි ඔහු සඳහන් කළේය.

එසේ නම් 2018 දෙසැම්බර් මාසයේදී මාවනැල්ල ප්‍රදේශයේ බුදු පිළිමවලට හානි කිරීමේ සිදුවීම, 2019 ජනවාරි වනාතවිල්ලුව ප්‍රදේශයෙන් පුපුරන ද්‍රව්‍ය තොගයක් සොයාගැනීම, හිටපු අමාත්‍ය කබීර් හෂීම්ගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකුට වෙඩි තැබීම, 2019 අප්‍රේල් 16 වැනිදා කාත්තන්කුඩි ප්‍රදේශයේ දී යතුරුපැදියක අටවන ලද බෝම්බයක් පුපුරුවා හැරීම සහ 2019 අප්‍රේල් 21 වන දින ප්‍රහාරය පිළිබඳව වගකීමක් එවකට නීතිය හා සාමය අමාත්‍ය ධූරය දැරූ හිටපු ජනාධිපතිවරයාටද පැවරෙනවා නේදැයි අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය විමසුවාය.

ඊට පිළිතුරු වශයෙන් ඔහු පැවසුවේ එවැනි සිදුවීම් සම්බන්ධයෙන් ප්‍රාදේශීය පොලීසිය සහ අනිකුත් අදාළ විමර්ශන ආයතන විසින් පරීක්ෂණ සිදු කර සැකකරුවන් අත්අඩංගුවට ගත යුතුව තිබූ බවයි. “මෙවැනි දේවල් සම්බන්ධයෙන් කටයුතු කරන්න ජනාධිපතිවරයාගේ හෝ ජාතික ආරක්ෂක කවුන්සිලයේ උපදෙස් ලබාගැනීම අවශ්‍ය වන්නේ නැහැ” යැයි හෙතෙම කීවේය.

සහරාන්ගේ පියා සහ සහෝදරයකු අත්අඩංගුවට ගෙන මඩකළපුව බන්ධනාගාරයේ රඳවා සිටින අවස්ථාවක එහි රැදවියන්ටද අන්තවාදී දේශන සිදු කර ඇති බව මීට පෙර සාක්ෂි ලබාදෙමින් ඇතැම් පුද්ගලයන් සදහන් කර ඇති බව කොමිසම වැඩිදුරටත් පැවසීය.

ප්‍රහාරය එල්ල වෙන සමයේ ඔබ මේ රටේ ආරක්ෂක ඇමති, ඔබ කියන පරිදි සියලු අංශවලට ඔබ නිසි උපදෙස් දීල තිබුනා නම් මෙවැනි ප්‍රහාරයක් එල්ල වූයේ ඇයි දැයි අතිරේක සොලිසිටර් ජනරාල්වරයා හිටපු ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කළ අතර ඊට පිළිතුරු ලබා දෙමින් හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ, “එහෙනම් මේ රටේ ඉන්න ඕනේ ජනාධිපතිවරයෙක් විතරයි, පොලිස්පති ,නියෝජ්‍ය පොලිස්පති ලා අවශ්‍ය නැහැ. ආරක්ෂක ලේකම්, පොලිස්පති, හමුදාපතිවරුන් ,බුද්ධි අංශ ඇතුළු හැම කෙනෙක්ම තම වගකීම හා යුතුකම නිසි පරිදි ඉටු කළ යුතු වෙනවා.” යනුවෙනි.

තමා කිසිසේත්ම අප්‍රේල් 21 ප්‍රහාරය එල්ලවීමෙන් පසුව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට වගකීම භාර ගන්නේ නම් තානාපති තනතුරක් ලබා දිය හැකි බවක් සදහන් නොකළ බව හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. “2018 වසරේ අගෝස්තු මාසයේ නුවර පෙරහරේ නටපු වෙලාවෙ මම කිව්වා තානාපතිකමක් වත් දෙන්නම් වෙන කෙනෙක් පත් කරගන්න ඉඩ දිලා යන්න කියලා. ඔය ඒ කතාව තමයි දැං මෙතනදි කියන්නේ” යැයි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සදහන් කළේය.

අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය මෙසේ ප්‍රශ්න කළාය.

“අප්‍රේල් 4 වැනිදා සිට ඔබ විදේශ ගත වු අප්‍රේල් 16 වැනිදා දක්වා මෙරට රැදි සිටි කාලය තුළ රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා ඔබ සමග අවස්ථා කිහිපයක දී දුරකථනය ඔස්සේ සම්බන්ධ වී ඇති බව දුරකථන විශ්ලේෂණ වාර්තා පෙන්වා දෙනවා. ඒ එක් අවස්ථාවකදීවත් ඔහු ඔබව දැනුවත් කළේ නැද්ද අප්‍රේල් 4 වැනිදා විදේශ බුද්ධි අංශයකින් ලැබී තිබුණු බුද්ධි තොරතුරු පිළිබඳව?”

ඊට පිළිතුරු ලබාදෙමින් සිරිසේන මහතා සදහන් කළේ එවැනි දැනුවත් කිරීමක් නිලන්ත ජයවර්ධන මහතා සිදු නොකළ බවයි. සෑම බුද්ධි තොරතුරක් සම්බන්ධයෙන්ම ජනාධිපතිවරයා ලෙස තමාව දැනුවත් කරන ලෙස උප⁣දෙස් ලබා දි තිබියදිත් රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂවරයා එම තොරතුර සම්බන්ධයෙන් දැනුවත් නොකිරිම විශාල අතපසුවීමක් සහ වරදක් බව හිටපු ජනාධිපතිවරයා පැවසුවේය.

අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය : සිංගප්පූරුවේ සංචාරයේ යෙදී සිටින අතරතුර පැජට් පාරේ ඔබේ නිල නිවාසය හරහා රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා ඔබව දුරකථනය ඔස්සේ සම්බන්ධ කරගෙන තිබෙනවා නේද? එහිදී ඔහු මොනවාද ඔබට කිව්වේ?

හිටපු ජනාධිපති : ඔව් නිලන්ත මට කතා කරලා කිව්වා මේ ලංකාවේ මෙහෙම බෝම්බ පිපිරීමක් වෙලා තියෙනවා කියලා ලොකු හානියක් වෙලා තිබෙන බවත් ඔහු මට දැනුම් දුන්නා.

අතිරේක සොලිසිටර් ජනරාල්වරයා : නමුත් ඒ දුරකථන ඇමතුම ඔබට ලැබෙන තියෙන්නේ එදින උදෑසන බෝම්බ පිපිරීම සිද්ධ වෙන්න කලින්. එතකොට බෝම්බ පිපිරීම සිද්ධ වෙලා නැහැ එහෙනම් කොහොමද ඔහු ඔබට බෝම්බ පිපිරීම ගැන දැනුවත් කරන්නේ?

හිටපු ජනාධිපති : මට උදෑසන කාලයේ දුරකථන ඇමතුමක් ලබා දුන්න බවක් මතක නැහැ. මොකද මම ඒ වෙලාවේ හිටියේ රෝහල් ගත වෙලා ප්‍රතිකාර ලබමින්. අනික ලංකා වෙලාව සහ සිංගප්පූරුවේ වේලාව අතර පැය දෙකහමාරක පමණ වෙනසක් තිබෙනවා.

අතිරේක සොලිසිටර් ජනරාල් : ඔව් ජනාධිපතිතුමනි. මේ දුරකථන විශ්ලේෂණ වාර්තාව තිබෙන්නේ ලංකාවේ වේලාවෙන්. මේ දුරකථන ඇමතුම් ලබා දි තියෙන්නෙ ලංකාවේ වේලාවෙන් උදෑසන ප්‍රහාර එල්ල වෙන්න කලින්.

හිටපු ජනාධිපති : මට ඒ බව මතකයක් නෑ.

තමා විදේශගතවන මොහොතේ රට තුළ වැඩබලන ආරක්ෂක අමාත්‍ය වරයෙකු පත්කර යාමට තරම් අහිතකර ආරක්ෂක තත්ත්වයක් නොතිබූ බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කීවේය. එහෙත් තාක්ෂණය දියුණු නිසා ඕනෑම මොහොතක තමාව සම්බන්ධ කර ගැනීමට හැකියාවක් තිබූ බව හෙතෙම පැවසීය.

එහිදී විනිසුරු මඩුල්ල විමසා සිටියේ “තාක්ෂණය කෙතරම් දියුණු වුවත් ඇයි එහෙනම් රාජ්‍ය බුද්ධි සේවා වැනි වගකීම් සහගත ආරක්ෂක අංශයක නිලධාරියෙකුට ඔබව සම්බන්ධ කරගන්න නොහැකි වුණේ?” යනුවෙනි.

ඊට පිළිතුරු දුන් හිටපු ජනාධිපතිවරයා පැවසුවේ තමා 20 සහ 21 යන දිනවල රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ බවත් ඒ මොහොතේ තමාගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියාටවත් තමා වෙත සමීප වීමට හැකියාවක් නොතිබූ බවත් ය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා මහතා එම ඒකකයෙන් ඉවත් කිරීමට අදාළ සිදුවිමක්ද හිටපු පොලිස්පතිවරයා ආරක්ෂක මණ්ඩල රැස්වීම්වලට සහභාගි කර නොගැනීමට හේතු වු බවද හිටපු ජනාධිපතිවරයා කියා සිටියා.

නිශාන්ත ද සිල්වා මහතා දැඩි පක්ෂපාති ලෙස පරික්ෂණ කටයුතු මෙහෙයවන බව එවකට භික්ෂූන් වහන්සේලා සහ විපක්ෂය විසින් චොදනා කළ බවත් රාජ්‍ය නොවන සංවිධානවල මෙහෙයවීමෙන් නිශාන්ත ද සිල්වා මහතා ක්‍රියාත්මක වන බවට විශාල ජනමතයක් නිර්මාණය වි තිබීමත් ඔහු මාරු කිරිමට හේතු වූ බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.

මෙම තත්ත්වය හමුවේ නිශාන්ත ද සිල්වා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මාරු කරන ලෙස තමා ආරක්ෂක මණ්ඩලයෙදි හිටපු පොලිස්පතිවරයාට උපදෙස් ලබා දුන් බවයි. ඒ අනුව ජයසුන්දර මහතා විසින් ඒ සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිෂන් සභාවට ලිපියක් යොමු කර තිබූ බවත් එහි ‘ජාතික ආරක්ෂක කවුන්සිලයේදී ලැබුණු උපදෙස්’ අනුව යන්න සඳහන් කර තිබීම පිළිබඳව තමන් පොලිස්පතිවරයාට දෝෂාරෝපණය කළ බවත් හිටපු ජනාධිපතිවරයා පැවසීය. හිටපු පොලිස්පතිවරයාට ජාතික ආරක්ෂක කවුන්සිලයේ රැස්වීම් සඳහා ආරාධනා නොකිරීමට මෙයද හේතුවක් වූ බව හෙතෙම සඳහන් කළේය.

මීගමුව ප්‍රදේශයට ස්ථාන මාරු කළ සිල්වා මහතා නැවතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවයට කැඳවූයේ ඇයිද යන්න කොමිෂන් සභාව විමසූ අවස්ථාවේ හිටපු ජනාධිපතිවරයා පැවසුවේ ඔහුට ස්ථාන මාරුවක් ලබාදීමක් පිළිබඳව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විවිධ ඇමතිවරුන් සහ රාජ්‍ය නොවන සංවිධාන විශාල විරෝධයක් දැක්වූ බවයි. මේ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය තුළද ප්‍රශ්ණ ගණනාවක් ඇති වූ බව හෙතෙම සඳහන් කළේය.

ඒ අනුව කැබිනට් මණ්ඩල රැස්වීමේදිත් මේ සම්බන්ධයෙන් දැඩි සංවාදයක් ඇති වීම හමුවේ “ඔයගොල්ලොන්ට ඕන දෙයක් කරගන්න”යැයි තමා පැවසු බව හිටපු ජනාධිපතිවරයා පැවසීය. ආණ්ඩුවේ මත ගැටුමෙ ප්‍රතිපලයක් ලෙස නිශාන්ත ද සිල්වා වෙනුවට ස්වාධින අපක්ෂපාතී නිලධාරියකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පත් කිරිමට තිබු අවස්ථාව අහිමි වු බව ද හෙතෙම කීවේය.

නිශාන්ත සිල්වා මහතා විසින් හමුදා සහ බුද්ධි අංශ නිලධාරීන්ට එරෙහිව සිදු කරන ලද විමර්ශන බොහෝමයක් මෙහෙයවන ලද්දේ එල්ටීටීඊ සංවිධානයට සම්බන්ධ රාජ්‍ය නොවන සංවිධාන විසින් බව හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. සිරිසේන මහතා වැඩිදුරටත් සඳහන් කළේ නිශාන්ත සිල්වා විසින් සිදු කළ විමර්ශන සඳහා එල්ටීටීඊ සංවිධානයේ ජාත්‍යන්තර වශයෙන් ක්‍රියාත්මක වන යම් යම් සංවිධාන විශාල ලෙස සහය දැක්වූ බවයි.

Previous articleකිව්ව විදියට බස් නෑ : ගම්පහ උසස්පෙළ සිසුහු කිලෝමීටර් 10-12 පයින් යති
Next article*වීඩියෝ* මග නැගුම අයාලේ යයි ; සභාපතිට වැඩබලන සාමාන්‍යාධිකාරීගෙන් කනේ පහරක්

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here